සඳ ගංතෙර – 09

ආදරය පවතින්නේ සරාගය පදනම් කරගෙන හෝ රැවටීම පදනම් කරගෙන නොවන බව සඳරැස්ට සිතෙන්නට ගත්තේ දුලන්‍යා සමඟ කතාබහෙන් ඉනික්බිතිව ය. ඇය නිදහසේ කියවන මල් කිරිල්ලකි. හුරතලය පිටාර ගලන පොඩි කෙල්ලක වාගේ පෙනුණාට ඇය බොහෝ පණ්ඩිත කතා දන්නා කෙල්ලක යැයි ඔහු සිතී ය.

කාලය ගත වෙමින් තිබිණ.සංවාද දුර ඇදෙමින් ඒවා විවාද බවට පෙරළෙමින් තිබිණ. එකඟ විය යුතු තැන් පවා හිතුවක්කාරකමට විසංවාද කරන්නට දුලන්‍යාට සිතුණු දවස් අපමණ ය.

ජීවිතය ගලා යයි. 

නිදහස් කුරුල්ලෙකු බවට පාරම් බෑ සඳරැස්ට  ද කූඩුවක මිහිරියාව කෙබඳු වේදැයි සිහින දකින්නට ඕනෑ වෙමින් තිබිණ. ස්වාධීනත්වය පසෙක දා තනිකම ගැන වේදනා දැනෙමින් තිබිණ.

“ආදරේ කියන්නේ සංවාද කරන එකට!

කතා කරලා කතා කරලා මහන්සි හිතෙනතුරුම කතා කරන එකට!!”

ගැහැනුන් සරදමට ගනිමින් ඔවුන්ව හැඬවීම විනෝදාංශයක් කරගනිමින් සිටි කොලුවා යුවතියක හා කතාබහ කිරීම ම මිහිරක් කරගනිමින් සිටියේ ය. ජීවිතය එතරමට මිහිරි බව සිතමින් සිටියේ ය.

“කොහොමටත් දුලන්‍යාට කැම්පස් එක ඇතුළේ අෆෙයා එකක් හදාගන්න උවමනාවක් නෑ. මට හිතෙනවා තව කල් ගන්න.”

ජීවිතයේ ඕනෑම දෙයක් බෙදා ගන්නා මිතුරා වූ පවන්ට එසේ කියන්නට පවා සඳරැස් තීරණය කළේ දුලන්‍යා සමඟ මිත්‍රත්වය වර්ධනය වෙද්දී ය.

“කෑල්ලක් සෙට් වුණා. කොල්ලෙකුත් ඉන්න සමයමක්, අඩෝ මට බබෙකුත් ඉන්න ගෑනියෙක් සෙට් වුණා.”

වැනි කතාන්දර කියන මිතුරා නව යෞවනියක ගැන ප්‍රේමයකින් පිරී හිඳීම ම පවන්ට පුදුමයකි. එක අතකට ඔහුට ඇය ගැළපෙනවාද සිතීම පවා පවන්ට අසීරු ය.

” හොඳට හිතලා බලලා තීරණයක් ගනිං”

එහෙම කියන්නට පවන්ට සිතිණ. ඇත්තටම මෙහිදී සිතා බැලිය යුතු වන්නේ දුලන්‍යා බව නොකියා සිටින්නට ද ඔහුට ඕනෑ විය. සඳරැස් වැනි සෙල්ලකාරයෙකු දරාගන්නට එවැනි පුංචි කෙල්ලෙකුට හැකි වේ ද ඔහුට විශ්වාසයක් නැත. නමුත් ආදරය යන මාතෘකාව තුල කෙල්ලන් ඕනෑවටත් වඩා කැපකිරීම් කරන බව පවන් දැන සිටියේ ඔහුගේ ජීවිතයෙන් ම ය.

“මේ ලෝකෙ වැඩිපුරම ඉන්නේ ආදරේ වෙනුවෙන් ඕනෑ දෙයක් කරන කෙල්ලෝ. තමන් ආදරේ කරන මනුස්සය වෙනුවෙන් ලෝකයක් එක්ක වුණත් ෆයිට් කරන්න පුළුවන් කෙල්ලෝ. අවාසනාවට උඹට හම්බ වෙලා තියෙන්නේ උඹේ ජීවිතේ එක්ක ෆයිට් කරන කෙල්ලො. කොහොමත් ඕක තමයි අවාසනාව. හැබැයි ඒ අවාසනාවත් මේ වෙලාවේ වාසනාවක් කර ගන්න උඹට පුළුවන් වෙයි කියලා මට හිතෙනවා. මේ උඹට ගැලපෙන පුංචි කෙල්ල කියන එක මට විශ්වාසයි. ඒත් ඒ ළමයාගේ ජීවිතෙත් එක්ක සෙල්ලම් කරන්න යන්න එපා. ඒක උඹේ අක්කගේ පවුල් ජීවිතයට පවා ලොකු ප්‍රශ්න ඇති කරන්න පුළුවන්”

පවන් සමඟ එකඟ නොවී ඉන්නට සඳරැස්ට ඕනෑ නැත. අනෙක් කාරණාව දුලාජ් අයියා අතින් තමන්ගේ අක්කා රිදවීමට ලක් වනවා නම් කෝප ගන්නට තමන්ට ඇති අයිතියම දුලන්‍යාගේ ජීවිතය සම්බන්ධයෙන් ඔහුට සහ දුමිඳුට තිබේ. දුලන්‍යාට ආදරය කරන්නේ නම් එය අවසන් ප්‍රේමය විය යුතු බව සඳරැස් දැඩිව ඉටා ගත්තේ ය.

එහෙත් දෛවය වෙනත් සැලසුම් නිර්මාණය කරන්නට වග බලා ගනියි. හිතේ සම්බන්ධයෙන් අපි ගන්නා සමහර තීරණ උස්සා පොළොවේ ගසන්නට ඒ දෛවයේ සැලසුම් වලට හැකි වේ.

“හෙමින් අර පැත්ත බලන්න.”

දුලන්‍යාට එසේ පැවසුවේ මිතුරියක වූ මධුනි ය. මධුනි සමඟ මේ පෙන්වන තරුණයා සෑම දවසකම පණිවිඩ කිහිපයක් හෝ මැසෙන්ජර් හරහා හුවමාරු කර ගන්නා බව මධුනි පවසා ටික කාලයකි.

“ඇත්තටම මං හිතුවෙ ඒ කොල්ලා මට කැමැත්තෙන් චැට් කරනවයි කියලා. බැලින්නම් මූ විස්තර අහල තියෙන්නෙ දුලා ගැන.”

අධ්‍යයන  කටයුතු පීඩනය අමතක උන තුරු කෙල්ලන් පොත් එක පොදියට සිනාසුණ ඒ මොහොත දුලන්‍යාට මේ දැන් ද සිහි කරන්නට පුළුවන. නමුත් ඒ තරුණයා වූ සහස් තුන්වැනි වසරේ ජේෂ්ඨ සිසුවෙකු ලෙස මිස වෙනත් ක්‍රමයකට දකින්නට ඇයට උවමනා වූයේ නැත.

” සහස් අයියා ඇත්තටම ඔයාට මාර විදියට ක්‍රෂ්.”

ආකර්ෂණය කියන්නේ ප්‍රේමයක් ඇති වෙන්නට උවමනා සාධකයක් නොවන බව දුලන්‍යා පැවසුවේ ඉතාමත් පණ්ඩිතකමට ය. මධුනි ගස්සා අහක බලා ගත්තා ය.

“අනේ විකාර. දැන් ඔයා ඔය සඳරැස්ට ක්‍රෂ් එකක් නෙවේද තියෙන්නේ?”

නැත! ඒකපාර්ශවික ප්‍රේමයක් හෝ ආකර්ෂණයක් ලෙස දකින්නට දුලන්‍යා අකමැති ය.ඇය සඳරැස් කෙරෙහි ආදරයෙනි. ඔහු අලුත් සේවා ස්ථානයේ මිතුරන් සමග රස්තියාදු නොගසන බවත් එතන යුවතියන් සමඟ බොහෝ ආචාරශීලීව කටයුතු කරන බවත් තාරකා අක්කා අයියා සමඟ පවසන අන්දම දුලන්‍යා අසා සිටියා ය. සති පහ හයකට සිදු වූ ඒ වෙනස ඕනෑවටත් වැඩි බව සිතන්නට ඇය කැමති ය.

“සහස් මොකද සඳරැස් මොකද? දෙන්නගෙම මුල් අකුර සයන්න. අග අකුර අල් සයන්න. දෙන්නම හැන්ඩ්සම් කොල්ලො.ඔය මොනව වුණත් පාරක එක්ක යන්න පුළුවන් තරමට ලස්සන කොල්ලෙක් ලැබුණට පස්සේ ආදරේ කරන එක නතිං. කවුරුම හරි අපට ඇටෙන්ෂන් එක දෙන්න පටන් ගත්තට පස්සේ අපි ඒ මනුස්සයට බැඳෙනවා. බඳින්නේ මෙයාමයි කියලා ඔලුවෙන් එක එක චිත්‍ර මවා ගන්න දෙයක් නෑ.”

මධුනි දිගින් දිගටම උපදෙස් දෙන්නට පටන් ගත්තා ය. ඒවා අසන්නට දුලන්‍යාට ඕනෑ වූයේ නැත. එහෙත් දිගින් දිගටම දෑසක් ඇයා ලුහුබැඳීම කරදරයක්ද නැතිනම් සියුම් සන්තෝෂයක්දැයි තෝරා ගන්නට නොහැකි තැනක ඇය පැටලෙන්නට වූවා ය. එවැනි තෝරා ගන්නට නොහැකි සිතුවිලි දාමයක් තිබූ මොහොතක දුලන්‍යා සහස්ගේ ෆේස්බුක් මිතුරු ඇරයුම පිළි ගත්තේ ය.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles