බිම්මල් –  28 කොටස 

මා ප්‍රතිකාර සඳහා ලේඩි ජාන්සි අනුස්මරණ පිළිකා රෝහලට කැඳවාගෙන යාමට පැමිණෙන බව පැවසුවද, හේෂාන් පැමිණෙනු ඇතැයි මා තුළ බලාපොරොත්තුවක් නොවීය. එහෙත් හේෂාන් උදෑසනම අප නිවසට පැමිණියේ මා විස්මයට පත් කරමිනි. අනතුරට පත් මෝටර් රථය ඒවනතුරුත් අලුත්වැඩියා කර අවසන් වී නොතිබුණෙන් හේෂාන් පැමිණ සිටියේ සිය මිතුරු සචින්ගේ මෝටර් රථයෙනි. 

“පුතා උදෙන්ම ඇවිත්. අපි තවම ලෑස්ති වුනේවත් නෑ.”

හේෂාන් නිවස තුළට කැඳවාගෙන පැමිණි අම්මා පැවසුවාය.

“ඒකට කමක් නෑ. අම්මා නැගිටින්න කලිනුයි මං ගෙදරින් ආවෙ.”

හේෂාන් පැවසුවේ දුක් මුහුණින් යුතුව යයි මට සිතිණ. 

“ගිහින් ලෑස්ති වෙන්න ඩිනාලි. අපි ඉක්මනින් ගිය තරමට හොඳයි. ගොඩක් දුර යන්නත් තියෙනවනේ.”

හේෂාන් පැවසුවේ ඒවනවිටත් මා රාත්‍රී ඇඳුමින් සැරසී සිටි බැවින් විය යුතුය. 

“පුතාට ඔච්චර දුරක් ඩ්‍රයිව් කරන්න පුලුවන්ද මන්දා. තවම අත හොඳ නැතිවත් ඇතිනෙ.”

අම්මා පැවසුවේ හේෂාන් කෙරහි උපන් අනුකම්පාවෙන් විය යුතුය. 

“අත දැන් හොඳටම හොඳයි ආන්ටි. සචින් එන්නද කියලත් ඇහුවා. මං කැමති වුනේ නෑ. අපි නිදහසේ මේ ගමන යන්න ඕන නිසා.”

“අපි දෙන්නා මාරුවෙන් මාරුවට ඩ්‍රයිව් කරමු.”

අම්මා පැවසුවාය. 

“බලමු. ආන්ටි මහන්සි වෙන්න ඕන නෑ. ආන්ටි මට උණු තේ එකක් ඕන. අම්මා නිදි නිසා මට තේකක්වත් බොන්න වුනේ නෑ.”

මට හේෂාන් පිළිබඳව ඇති වූයේ දරා ගත නොහැකි දුකකි. ඔහු නොපැවසුවද, ඊයේ දිනයෙහි ඔහු සහ මව අතර යළිත් ගැටුමක් නිර්මාණය වන්නට ඇතැයි මම සිතුවෙමි.

“ඉන්න පුතා. මං තේ හදාගෙන එන්නම්.”

අම්මා මුලුතැන්ගෙය දෙසට ගියාය.

“දැන් කොහොමද ඩිනාලි?”

හේෂාන් ඇසුවේය.

“බෙහෙත් අරගෙන ආවට පස්සෙ හොඳයි.”

“ඊයෙ හිතුවෙත් නැති දෙයක්නේ වුනේ. අරුණෝදි ඔයාලව හෙව්වා. මං කිව්වා ඔයාට අසනීප වෙලා ඩොක්ට ළඟට අරන් ගියා කියලා.”

“මං නිසා කාටත් කරදර වෙන්න වුනා.”

මා පැවසුවේ පසුතැවිල්ලෙනි. 

“ඔව්වත් කරදරද? දැන් ගිහින් හොඳ ළමයා වගේ ලෑස්ති වෙන්න. දුර යන්න තියෙන නිසා අපි කලින්ම යමු.”

හේෂාන් මගේ හිස පිරිමදිමින් පැවසුවේ දුක් මුහුණින් යුතුවය. 

මම කාමරයට ගියෙමි. ඒවනවිටත්, අම්මා හෝ වජිරා මා රෝහලට හැඳගෙන යන ඇඳුම් සූදානම් කර යහන මත තබා තිබිණ. මට නොදන්වා අම්මා රෝහලේ නේවාසික වීමට අවශ්‍ය සියලු දෑ රහසිගතව සුදානම් කර තබන්නට ඇත. පෙර දින මංගල උත්සවයට සහභාගි වූ අවස්ථාවේ ඇති වූ උදර වේදනාව ප්‍රතිකාර ලැබීමෙන් පසු කෙමෙන් පහව ගිය ද, මා කඩිනමින් ප්‍රතිකාර ගත යුතුයයි වෛද්‍ය අරුන් ලංකාදේව අවධාරණය කර පවසා සිටි බව අම්මා දුරකතනයෙන් හේෂාන් සමග පවසන්නට ඇතත් හේෂාන් පැමිණෙන බව අම්මා මට නොපවසන්නට ඇත්තේ යම් හෙයකින් එදා මෙන් ඔහු නොපැමිණියහොත් මගේ සිත වේදනාවට පත් වනු ඇතැයි සිතා විය යුතුය. 

“හිතුවක්කාර වෙන්න එපා දරුවා. අම්මා ගැන හිතන්න. හෙටම ප්‍රතිකාර වලට යොමු වෙන්න. අද වෛද්‍ය විද්‍යාව දියුණුයි. ඉක්මනින් ප්‍රතිකාර ගත්තම ඉක්මනින් සුව වෙනවා විතරක් නෙමෙයි. ඔයාගෙ අනිත් බලාපොරොත්තුත් ඉක්මනින්ම ඉෂ්ඨ වේවි.”

ප්‍රතිකාර කිරීමෙන් අනතුරුව මගේ හිස මත අත තබා වෛද්‍ය අරුන් ලංකාදේව අවසාන වශයෙන් පැවසූ වදන් තවමත් මගේ සිත තුළ දෝංකාර දෙන්නාක් මෙනි.

මා සූදානම් වූයේ සතුටින් නොවේ. අද සිට සුවය ලබන තුරුම මා අම්මාගෙන්, සුදු නංගීගෙන්, හේෂාන්ගෙන්, වජිරාගෙන් දුරස් වනවා නොවේදැයි යන සිතිවිල්ල පවා මට පීඩාවක් විය. සූදානම් වී අවසන් වෙත්ම අම්මා සහ සුදු නංගී කාමරයට පැමිණියහ. අම්මා මා සිප ගත්තාය. ඇගේ දෙනෙත් වල වූ කඳුලු මගේ කොපුලක තැවරිණ. 

“අඬන්න එපා.”

මා පැවසුවේ හඬමිනි. වෙන්වීමේ දුක මේ තරම් කිසිදු දිනයක මට දැනී නොතිබිණ. අම්මාගෙන් සහ සුදු නංගීගෙන් වෙන්ව මා ජීවත් වන්නේ කෙසේද යන්න මට සිතා ගත නොහැකි තරම්ය. 

“අපි යමු.”

අම්මා සහ සුදු නංගී මා පහළට කැඳවාගෙන ගියාය. ඒවනවිට හේෂාන් සෝෆාව මත වැතිරී දෑස් පියාගෙන සින අයුරු මම දුටුවෙමි. අපගේ පා හඬ ඇසුනු ඔහු දෑස් හැර බැලුවේය.

“පුතාට නින්දත් ගියාද?”

අම්මා ඇසුවාය.

“නෑ ආන්ටි… මේ… මේ…”

කිසිවක් පවසන්නට සැරසුණද, හේෂාන්ට වදන් අමතක වූවාක් මෙන් විය. 

“යමු ඩිනාලි…”

හේෂාන් මගේ අතින් අල්ලාගෙන ගොස් මෝටර් රථයේ ඉදිරි අසුනෙහි වාඩි කළේය. අම්මාත්, සුදු නංගීත්, වජිරාත් පසුපස අසුනේ හිඳ ගත්හ. මම අවසන් වතාවට හැරී නිවස දෙස බැලුවෙමි. මේ නිවස මා අවසාන වරට දකින දවස අද විය හැකියයි සිතුණද, මා එවදන් මුවින් පිට නොකළේ ඉන් සියලු දෙනාගේම සිත් වේදනාවට පත් වන බැවිනි.

                    *

මට එක්වරම ඇහැරිණ. පසුගිය රාත්‍රිය මුලුල්ලේම නිසි නින්දක් නොලැබූ බැවින් ගමන ආරම්භයේදීම මා නින්දට වැටෙන්නට ඇතැයි මට සිතිණ. හේෂාන් ඉදිරිය බලාගෙන වේගයෙන් රිය පදවයි. අප දැන් ගමන් කරමින් සිටින්නේ නගරබද පෙදෙසක් පසු කරමිනි. මම සෙමෙන් හිස හරවා බැලුවෙමි. පසුපස අසුනේ හිඳගෙන සිටි අම්මාත්, වජිරාත් ගැඹුරු කල්පනාවකට වැටී සිටි අතර, සුදු නංගී අම්මාගේ උරහිසට හිස තබාගෙන නින්දට වැටී සිටියාය. සාමාන්‍යයෙන් ගමනක් යන අතරමගදී තොරතෝංචියක් නොමැතිව කතා කරන සුදු නංගී මේ ගමනේදී දෑස් පියාගෙන නින්දට වැටී සිටින්නේ පසුගිය රාත්‍රියේ ඇය ද නිදිවර්ජිතව පසුවන්නට ඇත්ද, එසේ නොමැති නම්  මා රෝහලේ තනිකොට යන ගමන ඇගේ සිතට පීඩාවක් වී ඇති නිසාදැයි මම නොදැන සිටියෙමි.

උකුළ මත තබාගෙන සිටි මගේ දකුණත මත හේෂාන් සිය වම් අත තබද්දී මම ඔහු දෙස බැලුවෙමි. මඳ ලෙසින් සිනාසුන ඔහු මගේ අත තදකර අල්ලා මුදා හැරියේ මුදු සිනාවක් මුවග රඳවාගෙනය.

“හොඳ නින්දක් ගියා නේද ඩිනාලි?”

හේෂාන් ඇසුවේය. 

“ඊයෙ රෑ මට ඇහැරෙන හැම වෙලාවෙම ඩිනාලි හිටියෙ ඇහැරගෙන. රෑ පැයක්වත් නිදාගත්තද මන්දා.”

අම්මා අප කතාවට සම්බන්ධ වුවාය.

“මොන හේතුවක්ද මන්දා මට නින්ද ගියේ නෑ. මං අහස දිහා බලාගෙන හිටියා. අම්මා සැරෙන් සැරේ නැගිටලා තවම නිදි නැද්ද, නිදාගන්න කියලා කිව්වට මට නින්ද ගියේම නෑ.” 

“මටත් නින්ද ගියේ නෑ.”

යන්තමින් හිස හරවා අම්මා දෙස බැලූ හේෂාන් පැවසුවේය.

“නින්ද නොයන නිසා ජනේලෙන් පේන හඳ තරු දිහා බල බලා හිටියා. මං ඔය රෑ අහස දැක්කෙ කාලෙකින්.”

මට පුදුම සිතිණ. පසුගිය රාත්‍රියේ මා මෙන්ම හේෂාන් ද නිදිවර්ජිතව රෑ අහස දෙස බලා සිටිද්දී අහස පාලමක් වී අප සිතිවිලි යාකරන්නට ඇත්දැයි මට සිතිණ.

“ඇයි පුතාට නින්ද නොගියෙ?”

අම්මා ඇසුවේ හේෂාන් පිළිබඳව අනුකම්පාවෙන් විය යුතුය.

“රෑට කන්න ගත්තට කන්න හිතුණෙ නෑ. බඩගින්නෙ නිදා ගන්න ගිය නිසා වෙන්න ඇති.”

හේෂාන් පවසන්නේ මුසාවකැයි මට සිතිණ. නිසැකවම මා අද රෝහලට කැඳවාගෙන යාමේ වේදනාව ඔහු සිත පෙලන්නට ඇති බව මට සිතා ගත හැකිය.

“අම්මත් ඊයෙ ඉඳලා මා එක්ක කතා කරන්නෙ නෑ.”

ස්වල්ප වේලාවක් නිහඬව සිටි හේෂාන් පැවසුවේ දුක් හඬිනි. 

“ඇයි?” යි අම්මා අසනු ඇතැයි මා සිතුවද, අම්මා කිසිවක් නොඇසුවාය.

“කියන්න තියෙන දේවල් කියන්නෙත් තාත්තා හරහා. එක අතකට තාත්තා පව්.”

ඔහු පවසා ගත්තේ තමාටමය. හේෂාන්ගේ පියාගේ රුව මට සිහිපත් වූයේ නිතැතිනි. බොහෝ නිහඬ මිනිසකු වූ ඔහු අප නිවසට පැමිණි අවස්ථා වල දී වුව ද, කතා බහ කළේ අඩුවෙනි. 

“මං කතා නොකළට මොකද අපේ චාන්දනී මටත් එක්කම කතා කරනවනෙ.”

තම නිහඬතාවයට හේතු දක්වන්නට මෙන් වරක් ඔහු පවසා සිටිය අයුරු මට සිහි විය.

“ප්‍රෙස් එක කරන කාලෙ ඇති තරම් කතා කරා විතරක් නෙමෙයි. ඇති තරම් බොරුත් කියලා ඇති කස්ටමර්ස්ලට. ජොබ් එකට අත තියලාවත් නැතිව ඉඳිද්දි මේ කරගෙන යනවා කියලා මෙයා කස්ටමර්ස්ලට බොරු කියද්දි මට හිනා යනවත් එක්ක.”

හේෂාන්ගේ මව සරදම් කරද්දී ඔහු බොහෝ අහිංසක ලෙසින් සිනාසුණ අයුරු මගේ මතකයට නැගිණ.

“දැන් අපි ඉස්සරහ පූසා වගේ හිටියට ඩිනාලිගෙ තාත්තාවත් හිටියා නම් බලන්න තිබුනා මෙයාගෙ කටේ රඟේ. අපි එක්ක කියවන්න දෙයක් නැති වුනාට බලන්න එපැයි දේශපාලනෙයි, බිස්නස් ගැනයි කතා කරන්න ගත්තම ආයෙ කට නවත්තන්නෙ නෑ.”

හේෂාන්ගේ මවගේ සරදම් ඉදිරියේදී ඔහු ලජ්ජාශීලී ලෙසින් සිනාසෙද්දී මට ඔහු ගැන දුක සිතිණ. පිය සෙනෙහසක් නොවිඳි දියණියක වූ මට ඔහුගේ සමාගමය බෙහෙවින් ප්‍රිය වූ එකක් විය.

“මගෙ දූ…”

හේෂාන්ගේ පියා මා ඇමතුවේ එලෙසිනි.

“මගෙ දූ පුතා එක්ක එකතු වෙලා බිස්නස් එක තව දියුණු කරලා ගන්න ඕන.”

අප නිවසට පැමිණි එක් අවස්ථාවක ඔහු පවසා සිටියේය.

“ප්‍රෙස් එක ඔය තත්වෙට ගන්න මං ගොඩාක් දුක් වින්දා. හේෂාන් වෙන රස්සාවක් කරන්න හිතුවානම් මං වින්ද දුක් වතුරෙ යනවා.”

ඔහු විඳි දුක් මොනවාදැයි අවබෝධයක් නොමැති වුව ද, මම එදින සිට ඔහුට අනුකම්පා කළෙමි. දියණියක නොමැති හෙයින් මට බොහෝ සෙනෙහස දැක්වූ ඔහු සිය බිරිඳගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් කවර ආකල්පයක් දරනු ඇත්දැයි දැන ගැනීමට මා තුළ වූයේ නොතිත් ආශාවක් වුව ද, හේෂාන්ගෙන් ඒ පිළිබඳව විමසා සිටින්නට මට නොසිතිණ.

“ලස්සනයි නේද ඩිනාලි?”

කෙමෙන් නගරබද පෙදෙසෙන් ඈත්ව ගම්බද පරිසරයකට අප අවතීර්ණ වෙමින් සිටින බව මා දුටුවේ එවේලෙහිය. නිල්ම නිල් පාටෙන් බබලන තෙරක් නොමැති වෙල් යාය අතිශයින් ප්‍රිය දසුනක් විය. විල්ලුද පලසක් මෙන් දිස් වන මේ ගොයම් පලස මත වැතිරෙන්නට ඇත්නම් යයි මට සිතිණ.

“කොච්චර ලස්සන රටකද අපි ජීවත් වෙන්නෙ ඩිනාලි?”

මා කතා කරවීමට මෙන් හේෂාන් යළිත් පැවසුවේය.

“ඔව්. ඇත්තටම ලස්සනයි.”

මම පැවසුවෙමි. මැදි වියට පත් වූ පසුව සුන්දර ගම්බද පෙදෙසක වෙල් යායක් මැද ඉදි කළ කුඩා නිවහනක ජීවත් වෙන්නට අප දෙදෙනා කළ කතා බහ මට සිහිවිය. හේෂාන්ට ද ඒ බව සිහියට නැගෙන්නට ඇතත් ඔහු ඒ පිළිබඳව නොපවසන්නට ඇත්තේ මගේ සිත රිදෙනු ඇතැයි සිතා විය යුතුය.

“හොස්පිටල් එකට තව කිලෝ මීටරයක්වත් නෑ ආන්ටි.”

දෙපස වූ වෙල් යාය මැදින් ගමන් කරද්දී අම්මා කතා කරවීමට මෙන් හේෂාන් පැවසුවේය. මගේ හද වේගයෙන් ගැහෙන්නාක් මෙන් මට දැනිණ. මා හේෂාන්ගේ අත තද කර අල්ලා ගත්තේ සිත පෙලන පීඩනයෙන් මිදීමටය.

“බය වෙන්න එපා ඩිනාලි. ඒක ඔයාගෙ හිත නිවන තැනක් වේවි. ඒක මට විශ්වාසයි.”

හේෂාන් පැවසුවේ සෙමෙනි. එසේ පැවසුවද, ඔහුගේ සිත පෙලන වේදනාවෙහි තරම මට සිතා ගත හැකි විය. මා රෝහලේ තනි කර දමා ආපසු යන්නට සිදුවීම ඔහුට පමණක් නොව අම්මාට ද, සුදු නංගීට ද, වජිරාටද මහත් වේදනාවක් බව මම දැන සිටියෙමි.

“කතා පෙට්ටිය තව නිදිද?”

හේෂාන් විමසුවේ දුක් සිනාවක් මුවග රඳවාගෙනය. මම පසුපස හැරී බැලුවෙමි. සුදු නංගී නින්දෙන් පිබිද දෑස් පොඩි කරමින් පසු වුවාය.

“නිදි.”

වතුර බෝතලයකින් වතුර උගුරක් මුවට හලා ගත් ඇය පැවසුවාය.

“වතුර ටිකක් බිව්වෙත් හීනෙන්. මේ කතා කරන්නෙත් හීනෙන්.”

හේෂාන් මෙන්ම අම්මා ද, වජිරා ද සිනාසුනේ සිතට සැහැල්ලුවක් දනවමිනි.

“ඔන්න ඔය ගේට් එකෙන් ඇතුලු වෙලා තව ටික දුරක් යන්න තියෙනවා හොස්පිටල් එකට.”

මම වටපිට බැලුවෙමි. ඉදිරියෙහි වූ උස් තාප්පයේ කෙලවරක් දැක ගැනීමට නොහැකි වූ අතර එහි ආලේප කර ඇති වර්ණය දහස් පෙතියා මලක වර්ණය මතකයට නංවන්නට සමත් විය. වසා තිබූ තද කොළ පැහැති දැවැන්ත ගේට්ටුවට ඉහළින් ‘ලේඩි ජාන්සි මෙමෝරියල් කැන්සර් හොස්පිටල්’ යනුවෙන් ඇති අකුරු පෙළ මම කියවා ගතිමි.

“මම බැහැලා බලන්නම්.”

හේෂාන් මෝටර් රථයෙන් බැස ගත්තේය. ඔහු කහ පැහැයෙන් ආලේප කර ඇති මුර කුටිය දෙසට යන අන්දම මම බලා සිටියෙමි. 

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles