ඇයට ඇති වනතුරු හඬන්නට කඳුළු තිබිණ. මේ විසි හතර වසරකට ආසන්න කාලයක් හෙළන්නට අතපසූ වී තිබූ කඳුළු ය. හිත තද කර ගනිමින් නොහෙළා ඉන්නට හිත හදා ගත් කඳුළු ය. ප්‍රේමය වෙනුවෙන් අත හළ ජීවිතයක සැඟවුණු කඳුළු ය.
එහෙත් චාන්දනී මේ මොහොතේ දිය වී යමින් සිටියා ය.
තාරකා මවක් වී තිබේ. ජීවිතයේ තුන්වාරයක් දරුවන් සිව් දෙනෙකුට මවක් වූ ගැහැනියක ගර්භනී කාලයේ සහ මවක් වූ හැටියේ සිදුවන අපහසුතා සිහිකරමින් හඬන්නට පටන් ගත්තා ය. ඇගේ සැමියා පෙනෙන අන්දමට කාරුණික මිනිසෙකි. වර්තමාන තරුණයන් මෙවැනි මොහොතක ඕනෑවටත් වඩා බිරිඳව දරා ගන්නා බව චාන්දනී දන්නී ය. නමුත් තාරකාට මේ මොහොතේ මව් උණුසුම ඕනෑ නැතිදැයි චාන්දනීට සිතේ. සිතට දැනෙන පීඩාවන් ද ගත රිදුම් දෙන පීඩාවන් ද කියමින් සුරතල් වන්නට අම්මා කෙනෙකු සිටින්නේනම් තාරකාට මොනතරමට ශක්තියක්දැයි ඇයට සිතේ.
එහෙත් දැන් ඕනෑවටත් වඩා ප්‍රමාද ය!
නුබේ අම්මා කොතැන ගියා
කොහිල විලේ පතට ගියා
පත් උදුරා එන්ට ගියා
එන්ට නැතිව පමා ගියා
කුඩා දැරියක ඒ ගීය අසමින් නින්දට ගිය අතීතය චාන්දනීට සිහි වේ. එකල පවා ඇය කරදරයක් නැති දැරියකි. අම්මාට කරදර කරමින් හැඬීම වෙනුවට කවියක් අසමින් නිදා ගැනීම හොඳ බව ඇය ඒ වයසේදී ද තේරුම් ගත්තා ය. මල්ලී උපන් පසු මල්ලිව නැළවීමට ද තාරකා ගී ගැයූ අන්දම චාන්දනීට මතක ය. අතක වෙරළු ද ඉනට පලා ද රැගෙන එන්නට අම්මා නොගියත් අම්මා අක්කලා අයියලාට සිංදු කියන්නට උගන්වන්නට ඉස්කෝලේ යන බව මල්ලීට කියා දුන්නේ තාරකා ය. විජිතගේ රූපය පමණක් නොව ඔහුගේ ඉවසීමේ සහ දරා ගැනීමේ ගුණය පවා තාරකා සතු ය.
එසේ නම් තමන්ගේ රූපය එලෙසින්ම අයිති කරගත් සඳරැස් දරන්නේ අම්මාගේ ගතිගුණමදැයි සිතමින් චාන්දනී ළතැවුණා ය. ඔහු ඉගෙන ගන්නට හපන් වූයේ තමන් හන්දාම නොවේ. විජිත උගත් මිනිසෙකු වූ හන්දා ය.
“විජේවර්ධන මහත්තයා යන්තං සාමාන්‍ය පෙළ ගොඩ දාගෙන හිටියට ඉංග්‍රීසි ටික බේරාගන්න අපිව තියන් හිටියට පුතාව නම් මෙඩිකල් ෆැකල්ටි යවා ගත්තා.”
කමල්ගේ සේවක පිරිස එහෙම කියමින් හිනැහෙන බව චාන්දනි හොඳින්ම දනී. ඇත්තටම කමල්ට ලොකු ඉගෙනීමක් නැත. අතපය හැසිරවීම තරම් මොළය හසුරවන්නට ඔහු කොහොමටත් දන්නේ නැති බව බහුතරයකගේ මතය ය. නමුත් ඒ හැටි ඉගෙනීමක් නැති ඔහු වඩාත්ම හොඳින් හසුරුවන්නේ බුද්ධිය බව හොඳින්ම දන්නේ චාන්දනී ය. එහෙම නොකළානම් ඔහුට මේ තරම් දිග ගමනක් එන්නට අමාරු ය. උපාධි සහතික ද ඉංග්‍රීසි දැනුම ද අහිමි වූවාට ඔහුගේම භාෂාවෙන් “ගේමක් ගහන්නට” කමල් හොඳින් දැන සිටියේ ය. ඔහුට වඩා වසර හයකට වැඩිමහලු විවාහක කාන්තාවක දරුවන් අතැර එන තත්ත්වයට පත් කරගන්නට ද ඔහු ගේමක් ගැසූ බව ඇය දනියි. නමුත් දැන් ඒවා සිතීමේ තේරුමක් ඇත්තේ ම නැත.කාලය සියල්ලම සිදු කර හමාර ය.
“මොකද චන්දි අඬන්නේ?”
කමල් කාමරයට පැමිණියේ හදිසියේ ය. මේ කඳුළු සහස්ගෙන් හා විහස්ගෙන් සැඟවුවත් කමල්ගෙන් සැඟවිය යුතු නොවේ. සහස් හා විහස් අතීතය කිසිවක් නොදන්නා නමුත් කමල් සියල්ලම දන්නා මිනිසා ය.
“මං කල්ප කාලෙකට පස්සෙ ලොකු දරුවෝ දෙන්නා දැක්කා.”
අනතුරුව කතා කරන්නට වූයේ කඳුළු ය. කමල් කිසිවක්ම නොකියා බලා සිටියේ ය. අප ජීවත්වන්නේ ඕනෑවටත් වඩා කුඩා රටක ය. ඒ රටෙහි ඕනෑම කෙනෙකු ඕනෑම මොහොතක හමුවිය හැකි බව කමල් දනියි.
“ලොකූ එයාගෙ හිත ගිය ගෑනු ළමයෙක් පෙන්නුව. ඒ ළමයාගෙ අයියා බැඳලා ඉන්නේ තාරකා දුවව”
ඉන්පසු ආවේ ඉකි ගසන අවස්ථාව ය. තාරකා මවක වී තිබේ. උදව්වට ළඟ රැඳෙන්නට අම්මා කෙනෙකු නැතුවම ඇය අම්මා කෙනෙකු වී තිබේ.
“ඒ ළමයට විසි අටක්නෙ. අම්මෙක් වෙන්න කාලෙ. කසාද බැන්දා කියලත් ආරංචි වුණානෙ?”
කමල් වගේ වගක් නැති ස්වරයකින් අසයි. තොරතුරු ලබා දෙන ඥාතීන් තවම සිටින බව සත්‍යයකි. එහෙත් සඳ සහ තරු තවදුරටත් තමන්ගේ අහසට නොපායන බව චාන්දනී දන්නී ය. චාන්දනී කියන්නේ හඳට ය. හඳ අසල රැඳිය යුතු තාරකාවක් වගත් සඳෙන් සඳරැස් උපදින වගත් කියමින් දරු දෙදෙනාට නම් තැබූ විජිත ද ඇගේ සිතේ ඡායාවක්ව ඇඳී මැකී ගියේ ය.
සියල්ලම අතීතයකි!
“සේරමත් හරි. සඳරැස්ගෙ ගෑනු ළමයට තමයි මෙයා මේ ඇහැ දාන්නේ. ඒකෙන් වෙන්නේ සහෝදරයො…”
එතැනින් එහා කියන්නට චාන්දනී අකමැති ය. එක මව් කුසක් බෙදා ගත් පලියට ඔවුන් සහෝදරයන් වන්නේ නැත. විජේවර්ධන මාන්නය සඳරැස් හෝ තාරකා පිළිගන්නට ඉඩ නැතිවා සේම ඔවුන්ද සහස් හෝ විහස් පිළි ගන්නේ නැත.
“ඔය විකාර කල්පනා කරන්න එපා. ළමයි සේරම දැන් මහ මිනිස්සු. අපි ගැන හිතනවට වඩා උන් උන් ගැනයි බලා ගන්නේ.”
කමල්ට කියන්නට පහසු ය. හෘත් කුටීර හතරෙහි දරු සිවු දෙනා සඟවා ගන්නා තරමේ ආවේගයකින් චාන්දනී දැවී යයි.
කතා කරන්නට අකමැති එහෙත් තමන්ගේ ක්‍රමයට “ගේම් ගසන” කමල් විජේවර්ධන වැඩිමහල් පුතු වූ සහස් විජේවර්ධනගේ කාමරයේ දොරට ගැසී ය. දොස්තර මහත්තයා සමඟ වැඩි කතාබහකට නොගිය ද මේ මොහොතේ නොපවසන දෙය අනාගතයට ඉතිරි කරගෙන ඵලක් නොවේ