නිවසක කිරි සුවඳ පැතිරෙන්නට ගත් විට ඒ නිවස ආදරයෙන් පිරී යන්නට පටන් ගන්නා වග දුලන්‍යා දැන ගත්තේ සිඟිත්තිය හන්දා ය. ජීවිතය ආදරයෙන් සහ ප්‍රීතියෙන් පිරී යමින් තිබිණ. බිළිඳිය හඬද්දී දිව යන්නට කිහිප දෙනෙකුම ඉන්නා ගෙදරක ආදරය ගැන අලුත් පාඩම් ඉගෙන ගන්නට හැකි බව ඇයට සිතිණ.සෑම මොහොතකම ඈ වටා කැරකුණු සඳරැස්ගේ දෙනෙත පවා දැන් වැඩි අවධානයක් දෙන්නේ දියණියට ය.
“දූලා වැඩියෙන් ආදරේ වෙන්නේ මාමාට.”
පාඩම් වැඩ කන්දකට යට වී සිටීමෙන් පසු කාමරයෙන් පිටතට විත් දියණිය තුරුලට ගත් දුලන්‍යාට සඳරැස් එසේ පැවසුවේ අභියෝගයක ස්වරයකිනි.
“ඒක ඇත්ත. කොහොමටත් අපේ සූකිරිට හාල් පොත වගේ එකම මාමෙක්නෙ ඉන්නේ.”
දුලන්‍යාගේ අම්මා කියන්නේ සඳරැස් දෙස ආදරයෙන් බලමිනි. තාරකාව දරා ගන්නා ඔහුට ඇය බොහෝ ආදරය කරන්නී ය. සඳරැස් සම්බන්ධයෙන් ද එහි වරදක් නොවේ. ඔහු උදෑසන රැකියාවට යන්නට පෙර දුලන්‍යාගේ අම්මා කොහේ සිටියත් ඇය සොයා ගොස් ඇගේ දෙපා නමදින්නට වග බලා ගනියි.
“මං හිතුවේ අපේ අම්මා ආවට පස්සෙ අම්මා සූකිරිට ගොඩක් ආදරේ වෙයි කියලා. වෙලා තියෙන්නේ ඒකෙ අනිත් පැත්ත.”
එදින සරසවියට යන්නට සඳරැස්ගේ මෝටර් රථයට ගොඩ වූ දුලන්‍යා පැවසුවේ සරදමක ස්වරයකිනි. සඳරැස් ඔහුගේ දෙතොල් පෙති ලිහී පිපෙන සිනාව නැඟී ය. ඔහු එතරමට සතුටිනි. දුලන්‍යාගේ අම්මා ඔහුට අම්මා කෙනෙකුගේ ආදරය ගැන කියා දෙමින් හිඳින්නී ය.
“මං පාවිච්චි නොකරනම වචනයක් අම්මා කියන්නේ. ඔයාලගේ අම්මා හින්දා මං දැන් ඒ වචනෙට ආසයි. අඩුම තරමෙ මං යාලුවන්ගෙ අම්මලටවත් අම්මා කිව්වේ නෑ.ළං වුණෙත් අඩුවෙන්.”
මතක කාලයක පටන් ඔහු තමන්ගේ අම්මාට ද ඒ තරමට සමීප නොවුණු බව දුලන්‍යා දන්න කාලයේ මතක වලින් සිහි කළා ය. ඔහුගේ මේ සමීප බවට හේතුව ඇයදැයි ඇයට පැහැදිලි නොවේ.
“ඔයාලගෙ අම්මා මගේ අක්කට ආදරේ කරන විදිය බලාගෙන හිටියම මට හිතෙන්නේ එක දෙයයි. තමන්ගෙ දරුවෝ අමතක කරල දාන අම්මලා ඉන්න ලෝකෙක අනුන්ගේ දරුවන්ටත් අම්මලා වෙන්න පුළුවන් මිනිස්සු මොන තරම් ලස්සනද.”
බාලිකාවකම කෙල්ලන්ට අම්මා වූ ඇය පුතෙකුට අම්මා වීම ලස්සන වග දුලන්‍යාට සිතිණ.
“කොහොමටත් මට දූලා තුන් දෙනයි පුතාලා තුන් දෙනයි ලැබෙන එකනෙ.”
අම්මා එසේ කියද්දී මල්ලීට පින් සිද්ද වන්නට බාලිකාවේ කෙල්ලන්ගෙන් බාගයක්ම දැනටමත් අම්මාගේ ලේලියන් වග පවසා මල්ලිගෙන් ගුටි කෑ අන්දම සිහි වී දුලන්‍යාගේ තොල් මත සිනාවක් පිපිණ. ඇගේ සිනාව මොනතරම් සුන්දරදැයි සඳරැස් දහස්වැනි වතාවටත් සිතී ය.
දුලන්‍යා ද එයම එලෙසම සිතමින් සිටියා ය. පවුලක ආදරය ඉදිරියේ ඔහු ළතෙත් මිනිසෙකු වෙමින් හිඳියි. සන්තෝස වන්නට එය ඕනෑවටත් වඩා ප්‍රමාණවත් ය.ඔහුගේ සිනාවට ඇත්තේ තෙත පාටක් වග සිතද්දී කඳුළ සහ වැස්ස වෙනස් බව ඇයට සිතේ. සීතල පාට සහ තෙත පාට අතර බොහෝ දුරක් පවතී.
වැස්සත් ඔයාගේ ඇස් වගේ!
තෙත පාට සනීපෙට දැනෙන දෙයක්!!
මේවා ඔහුට කියන්නට දවසක් පැමිණියහොත් තෙත පාට දෑසින් හිනැහෙමින් ඔහු මේවා අසා හිඳින්නට ඉඩ ඇතැයි දුලන්‍යා සිතුවා ය.එහෙත් ඔහු සතුටිනි. ආදරය නොදැන සිටිකාෂ්ඨක පොළොවක මල් පිපෙන වග දැන් ඇයට සහතික ය. තෙත පාට සිනාවකින් ආදරය දළු දමමින් ඇති බව ඇය තේරුම් ගත්‍තා ය.
කාන්තාරයක් වගේ හිතකට නිවර්තන සදාහරිත වනාන්තරයක් වෙන්න බැරිද?
අපෝ පුළුවන්!!
ආදරේ ඊට වඩා දේවල් කරනවා!!!
දුලන්‍යා තොරක් නැති සිතුවිලිවල පැටලී සිටියා ය. මෝටර් රථය තුළ ගෙවී ගිය කාලය සිහි කළ ඈ පියවි ලෝකයට ගෙනාවේ තාරකාගේ සිනාව ය.
“මං නම් කියන්නේ නංගි අපේ සූකිරිට ලැබෙන අනිත් මාමා ගැන මෙච්චර වෙලා කල්පනා කරේ.”
අක්කා උස් හඬින් හිනැහෙන්නට ගත් විට දුලන්‍යාට මහත් ලැජ්ජාවක් දැනිණ. ඇය ලැජ්ජාශීලිව අම්මා දෙස බැලුවා ය.එක අතකට අම්මා ඕනෑ එකක් සිතා ගත්තාට කමක් නැත. තමන් පෙම්වතියක බව ඔහු සිතනවාට ඇය අකමැති ය.ඔහුගේ දෑස් මත කෝපයක සේයා තැවරෙන අන්දම ඇය බලා සිටියා ය. නිදන බිලිඳිය තොටිල්ල මත තැබිය යුතු බව කියමින් දුලන්‍යා නැගිට්ටේ ඒ හන්දා ය.සූකිරි කැටේ ආදරය ගැන දන්නා දෙයක් නැත. ඇය සුරු සුරු ගාමින් නිදන්නී ය.නමුත් තව වසර දහ අටකින් පමණ ආදරය කියන්නේ හදවත සූරා දමන හැඟීමකට බව ඇය ද තේරුම් ගන්නට ඉඩ ඇතැයි දුලන්‍යා සිතුවා ය.
ඇය බරාඳයට ගියේ සඳරැස් සොයමිනි. ඇගේ අනුමානය නිවැරදි ය. ඔහු එතැන ය.
“කවුද කොල්ලා? අර විජේවර්ධන ද?”
ඔහු අසන්නේ ගහෙන් ගෙඩි එන්නාක් මෙන් රළුව ය. දුලන්‍යාට කෝපයක් දැනිණ.තමන්ගේ ආදරය තේරුම් නොගෙන ඔහු විකාර කියවයි.
“කොල්ලො නම් කොච්චර ඉන්නවද?”
ඇය ඇසුවේ ඒ කෝපයෙනි. ඔහු තරහින් මුහුණ ඇද කර නිවස තුළට යන්නට සූදානම් විය.
මිදී යාම සහ බැඳී හිඳීම අතරින් තෝරා ගන්නට වඩා පහසු කුමක්දැයි තර්ක කරන දවස් එළැඹේ. ඉතා අපහසු කාලවල සැනසීම මිස රිදවීම තෝරා නොගන්නට හදවත තරවටු කරයි.කෝපයෙන් කුඩා වෙන ඇස් දෙකකට ආදරයේ තෙත් පැහැය ද තවරා ගන්නට හැකි බව සිහි වේ.නැවත නැවතත් තෝරා ගන්නට වන්නේ බැඳී හිඳීම මිසක කිසිවක්ම නොවන වග තහවුරු වේ.
“අත් හැරෙන වෙලාවක පවා හයියෙන් අල්ලා ගන්න හිතෙන්නේ ආදරේට නෙවෙයි ලෝබකමට!”
දෙතොල් පෙති ලිහෙන අනතුරුව පිපෙන සිනාවක ඕනෑවට වඩා පැටලීම කමකට නැතැයි සිතෙද්දී දුලන්‍යා එසේ සිතුවා ය. ඔහු හිනැහෙමින් නැවතී හිඳියි.
අපි ලෝබකම් කරන්නේ අපිට වැඩියෙන්ම ඕනෑ දේවල්වලට!
වැඩියෙන්ම ඕනෑ කියලා හිතෙන්නේ අපි වැඩියෙන්ම ආදරේ දේවල්!!
හදවතත් බුද්ධියත් තර්කය නිමා කරමින් ඔහු සමඟ හිනැහිණ.
“ඇත්තටම වැඩියෙන්ම ඕනෑ ඔයාව මිසක් වෙන මොනවද!”
එහෙම කියන්නට සිතෙද්දී පවා ඇය නිහඬවත පිරුවා ය. ඒ මොනතරම් කාලයකටදැයි නොදැනම ඇය නිහඬ වන්නට සිතුවා ය.