පාට තැවරුණු හීන

නිපුනි ආයෙමත් සල්ලි ගණන් කරලා බැලුවා.මේ කාලේ සල්ලි කීයක් හරි එකතු කරගන්න මහා පුදුම වෙහෙසක් දරන්න වෙනවා.

“දැන් හාල් කිලෝ එකක් කීයද?”

මොනවාම හරි දෙයක් ගැන කතා කරනකොට හැමෝම මුලින්ම කියන්නේ එහෙමයි.ඇත්තටම දැන් හාල් කිලෝ එකක්ම රුපියල් දෙසියයකටත් වැඩියි.ජීවත් වෙන එක ලෙහෙසි නෑ කියලා හිතෙනකොට දැනෙන්නේ පුදුම වේදනාවක්.

“වෙඩින් එකක් ගන්න හිතන්නවත් බැරි කාලේ කෝසලගේ අම්මා කියනවා වෙඩින් එකක් නොගෙන කොහොමද කියලා.මේ කාලෙ වෙඩින් ගන්න නෙවෙයි ඇත්තටම කසාද බඳින්න ඕනද කියලා මංනම් හිතුවේ”

ඊයේ සඳලි එහෙම කිව්වේ කලකිරීමකින්.ඊටත් පස්සේ විහිලුවක් කරලා හිනා වුණත් සඳලි හිටියේ මහා බලාපොරොත්තු කඩ වීමකින් කියලා නිපුනිට හිතුණා.

“දැන් වෙඩින් එකක දෙන්න තියන හොඳම කෑම පරිප්පුයි පානුයි.ඒවත් දැන් පුදුම ගණන්නෙ.පරිප්පු කිලෝ එකම රුපියල් හයසීයකටත් කිට්ටුයි.කොහොම කරන්නද අනේ.”

සඳලි එහෙම කියලා හිනා වුණත් ඒ හිනාවෙ හැංගිලා තිබුණේ වේදනාවක් කියලා නිපුනිට තවමත් හිතෙනවා.ඇත්තටම මේ වගේ කාලයක් ගැන හීනෙකින්වත් හිතල නොතිබුණත් දැන් ජීවත් වීම කියන්නේ මහා පුදුම සටනක්.වෙනද වගේ ආශා කරන දෙයක් කරන්න මුදලක් පිරිමහා ගැනීම දැන් කරන්න හිතන්නත් අමාරුයි.

“කොණ්ඩේ කලර් කරන්න ඕන.”

ඒ ආශාව හිතට ඇවිල්ලා දැන් ටික දවසක්.ඉස්සර වගේ නෙවෙයි.දැන් හැමදෙයක්ම මිල අධිකයි.ඒ නිසා රූපලාවණ්‍යගාරයට ඇමතුමක් දීලා ඒ සම්බන්ධයෙන් වැය වෙන මුදල කල් ඇතුව ගණනය කර ගන්න නිපුනි වග බලා ගත්තා.

“ආස දෙයක් කරන්න දැන් ලේසියෙන් බෑ.”

ආපහු වතාවක් සල්ලි ගණන් කරන ගමන් නිපුනි හිතුවේ කලකිරීමෙන්.වෙනදා මේ වැඩේට මේ තරම් සල්ලියක් වැය නොවුණු බව ඇය දන්නවා.

“වැඩි නොවෙන්නේ සැලරි එක විතරයි.”

නිපුනිට එන්නේ කේන්තියක්.මහන්සි වෙලා ඉගෙන ගෙන සැපවත් ජීවිතයක් හදා ගන්න මහන්සි වෙනකොට සැනසිල්ල සතුට මිල වැඩි වෙන්න පටන් අරන්.නිපුනිට පාලකයන් එක්ක ඇති වුණේ පුදුමාකාර කේන්තියක්.

ගේට්ටුවට තට්ටු කරන සද්දයක් ආවේ ඒ අතරේ.නිපුනි ජනේලයෙන් එළිය බැලුවේ කවුද කියලා හොයා ගන්න.මේ දවස්වල හොරු වංචාකාරයෝ වැහි වැහැලා.ඒ නිසා සේරටම වඩා පරිස්සම වැදගත්.

“උදව්වක් ඉල්ලගෙන ආවේ නෝනා.”

ගේට්ටුව ළඟ ඉන්න පුංචි දැරියත් ගැබිණි මවත් දිහා නිපුනි බලාගෙන හිටියේ වේදනාවෙන්.ඇත්තටම මේ වගේ ගිනි අව්වක් තියන වෙලාවේ පාරේ ඇවිදිනවා කියන්නෙ ලේසි පාසු වැඩක් නෙවෙයි.ඒකත් මේ වගේ ගැබිණියකට?

“මෙච්චර මේ රටේ කරදර අස්සෙ මේ ළමයින්ගෙ තාත්තා මාව දාලා ගියා නෝනා.”

ගැබිණිය එහෙම කියනකොට නිපුනි ඈ දිහා බැලුවේ වේදනාවෙන්.ඇත්තටම මේ කියන්නේ ඇත්තමද කියලා හිතන්නවත් නොහිතෙන තරමට නිපුනිගේ හිත වේදනාවෙන් බර වෙන්න පටන් ගත්තා.

“ඔයාට වයස කීයද?”

නිපුනි ඇහුවේ පුංචිත්තියගෙන්.

“පහයි.”

ඇය කියන්නේ ලැජ්ජාව පිරුණු කටහඬකින්.අව්වේ ඇවිදගෙන ආපු නිසා මුහුණ රතු වෙලා ගිහින්.

“ඔයාට කන්න මොනවා හරි දෙන්නද?”

එහෙම අහනකොට රතු වෙලා ගිය පුංචි මුහුණට එළියක් වැටෙන හැටි නිපුනි දැක්කා.නිපුනි ගේ ඇතුළට ගිහින් යෝගට් දෙකක් අරගෙන ආවේ ඒ නිසා.

“යෝගට් එකක් කීයද බලන්නකො.දැන් චීස් පැක් එකක් එක්දාස් ගාණක්.පළතුරු වල ගාණ අහස උසට.ඩයපර්ස් දවසින් දවස ගණන් යනවා.පොඩි උන්ට එහෙම කියලා ඕන දේවල් නොදී ඉන්නද?”

කාර්යාලීය මිතුරියක් වුණු ගිම්හානි එහෙම කියපු හැටි නිපුනි මතක් කළේ යෝගට් දෙක අතට ගන්න අතරේ.

“සේරමත් හරි.බේබි සබන් කැටයක්මත් රුපියල් දෙසියගාණක්.”

හොඳ රැකියාවක් කරන ගිම්හානිගේ කටහඬ ඒ තරම් ශෝකයක් තැවරිලා තිබියදී මේ ගැබිණියගේ හිත ඇතුළේ මොනතරම් වේදනාවක් ඇතිද කියලා නිපුනිට හිතෙන්න පටන් ගත්තා.

“බබාව ලැබෙන්නේ එන මාසේ දොලොස්වැනිදා කියලා දින දුන්නෙ.බබාගේ බඩු ටික ගන්න සල්ලි කීයක් හරි හොයා ගන්න මේ ඇවිදින්නේ නෝනා.”

යෝගට් එකේ මිහිරි කිරි රසයෙන් මහන්සිය හේදිලා ගිය නිසා ගැබිණිය එක හුස්මට කියාගෙන යනවා.නිපුනිට මතක් වුණේ කාන්තා සමූහයක අලුත් බබාලාගෙ බඩු ලිස්ට් එක සම්බන්ධයෙන් ඇති වුණු කතාබහක්.එතැන තිබුණු ලිස්ට් එක ඇය හිතෙන් මතක් කරලා බැලුවා.කිරි සිහින මේ කාලේ රටේ තත්වෙ එක්ක අමතක කරන්න නිපුනි තීරණය කළාට ඒ සිහිනයේ එල්බ ගත් අය ඕනෑතරම් ඉන්නවා.අහම්බයකින් හෝ සැලසුමකින් තොරව මේ කාන්තාවත් එතැනට පත් වුණු කෙනෙක්.

“දැන් බබාලට ගන්න බඩු කොච්චර ගණන්ද?”

නිපුනි එහෙම කිව්වෙ ඇත්තටම වේදනාවෙන්.ගැබිණිය හිනා වුණෙත් වේදනාවෙන්.

“ඉස්සර වගේ නෙවෙයි නෝනා.දැන් කා අතෙත් සල්ලි හිඟ පාඩුයි.ඒ නිසා ඇවිද්දට මොකවත්ම ලැබුණේ නෑ.රුපියල් පනහ සීය හරි දෙන්නේ මිනිස්සුන්ට පුලුවන් විදියටනෙ.මේ දවස් ටිකේ ඇවිදලා බලනවා.”

ගැබිණිය එක හුස්මට කියාගෙන යනකොට නිපුනිට දෙයක් හිතෙන්න පටන් ගත්තා.ඇය ගෙතුළට ගියේ ඒ සිතුවිල්ල පර වෙන්න ඉඩ නොදී.මුදල් නෝට්ටු කිහිපය අතරින් කහ පාට නෝට්ටුවක්  අරගෙන නිපුනි එළියට ආවේ ඉක්මන් ගමනකින්.

“පරණ ඇඳුමක් හරි තියනවානම් දෙනවද නෝනා.මට මේ වෙලාවෙ ඒකත් ලොකු දෙයක්.”

ගැබිණිය එහෙම කියන්නේ බෑග් එක අතට අරගෙන යන්න සූදානම් වෙන ගමන්.

“මේක තියා ගන්න.”

කහපාට නෝට්ටුව නිපුනිගෙන් ලබා ගන්න ගමන් පිපීගෙන ආව හිනාව හැඬුමක් කරන්න ගැබිණිය වග බලා ගත්තා.

“මෙච්චර සල්ලියක් නෝනෙ..”

ඇය එහෙම කියන්නේ හැඬුමකින්.නිපුනි සැනසිල්ලේ හිනා වුණා.

“ඔයාගේ වැඩේට ඕක ලොකු ගාණක් නෙවෙයි.ඔය වගේ නෝට්ටු පහ හයක්වත් ඔයාට බබාට බඩු ගන්න වියදම් වෙයි.ඒත් මටත් කරන්න පුලුවන් මෙච්චරයි.”

නිපුනිට ඇත්තටම දුකයි.කළ හැකි සීමාව මේ තරම වුණත් ඉතුරු මුදල හොයා ගන්න ගැබිණියටත් පුංචි දූටත් ඇවිදින්න වෙන දුර ගැන හිතනකොට නිපුනිට එන්නෙ දරා ගන්න බැරි දුකක්.

“නෝනාගෙ හැම බලාපොරොත්තුවක් ම ඉෂ්ට සිද්ද වෙන්නෝනෙ.”

අම්මාත් දූත් සමු ගත්තේ නිපුනිට පුලුවන් තරම් ස්තූති කරලා.නිපුනි ගෙට ආවේ ඒ සතුට තුරුලු කරගෙන.

“හෙලෝ..තරූ සැලෝන්?”

ගෙට ඇවිල්ලා නිපුනි රූපලාවණ්‍යගාරයට ඇමතුමක් ගත්තා.නොවැලැක්විය හැකි හේතුවක් මත අද හවසට දාගත්තු අපොයිමන්ට් එක අවලංගු කරන්න කියලා දන්වපු නිපුනි දුරකථනය අතේ තියාගෙන කල්පනාවට වැටුණා.

“මගේ කොණ්ඩේ පාට කරන එක කල් ගියාට එයාලගෙ ජීවිත පාට කරන්න හවුල් වෙන්න ලැබුණානෙ.”

ආසාවෙන් මඟ බැලූ දෙයක් නැතුව ගියාට නිපුනි හිතුවේ සැනසිල්ලෙන්.සමහර වෙලාවට එන මාසෙදිත් ඉතුරු කරගන්න මුදල් කාගෙමහරි හීනයක් පාට කරන්න වැය කරන්න වෙන්නත් පුලුවන්.දැන් අපි ඉන්නේ එහෙම කාලෙක.

“කමක් නෑ.එන හැටියක්.දැන් වෙන කරන්න දෙයක් නෑ.”

නිපුනි එහෙම හිතන්න පටන් ගත්තා.

More Stories

Don't Miss



Latest Articles

ශරදාකාසේ -28

නිශාමනී ඒ සැඳෑවේ ගෙදර පැමිණියේ අලුතෙන් ම ශාන්ත වූ හිතකින් කියා කිව හැක. ඇය ශාරද සමගින් කතා බහකට ගියේ ම නැත. ඇගෙන්...

අමිහිරි විවාහ ජීවිතය නිසා විඳ වූ බිරිඳක්.

මනෝ උපදේශිකා ප්‍රබුද්ධිකා විජේතුංග මෙනෙවියගේ වෘත්තිය අත්දැකීම් ඇසුරෙන් පළ කරන්නකි.වෘත්තිය ආචාර ධර්ම රැකෙන පරිදි සත්‍ය කතාවේ නම් ගම් සහ යම් සිදුවීම් වෙනස්...

හිමගිරි අරණ -13

"මොන දේ වුණත් ඔහේ දරා ගන්න පුරුදු වුණාම ජීවිතේ ලේසියි රවිඳු." හිමාෂා එසේ පැවසුවේ ඇගේ ජීවිතය ඇසුරිනි.එයට කිසිත් නොකියා...

ශරදාකාසේ -27

නිශාමනී අරමුණකින් තොර ව ඔහේ බලා සිටියා ය. නටුවෙන් ගිළිහෙන කහ පාට ඇහැල මල් පෙති කැරකී විත් ඇගේ හිස මත ද පතිත...

අපිට අපි

"අම්මේ බඩගිනියි." පුංචි නෙතුක එහෙම කියාගෙන මුළුතැන්ගෙයට එබෙනකොට චමරි පුතා දිහා බලා ගෙන හිටියේ දරා ගන්න බැරි වේදනාවකින්.උයන්න මොකුත්ම...