ඕනෑම කෙනෙකුට අතීත රහස් තිබෙන්නට හැකි ය. ප්‍රීතිමත් අතීත මතක වළ දමා ලැබී ඇති වර්තමානයෙන් අනාගතයට යන අය ද අඳුරු අතීත මතක පෙට්ටියක ලා අගුළු ලා අනාගතය වෙත ඇවිද යන අය ද වෙති.
ඒවාට කියන්නේ තෝරාගැනීම් බව සහස් දනියි!
එහෙත් ඔහුට ගැටළුවක් වේ. අම්මා හිඳින්නේ මේ තෝරා ගැනීම් අතර කොතැනකදැයි දැනගන්නට ඔහුට ඕනෑ ය. ඇතුන් මෙන් පුතුන් දෙදෙනෙකු හිඳින බව අම්මා නිරන්තරයෙන් පවසන දෙයකි. නමුත් ඇගේ දරුවන් ඔහු හා විහස් පමණක් නොවේ. ඔවුන් දෙදෙනා නිසා දියණියන් ලැබෙන ප්‍රීතිය ගැන කියවූවාට අම්මාගේ කුළුදුල් දරුවා ද දියණියකි. සහස්ට මේවා විහස් සමඟ පවසා දුක බෙදා ගන්නට තරම් සිතිණ. නමුත් නිවුන් දරුවන් අතර ඇති බව කියන අත්‍යන්ත ප්‍රේමය සහ පුදුමාකාර බැඳීම සහස් හා විහස්ට පොදු නොවී ය. ඔවුන් දෙදෙනා අතර සමීප බව පාසලේ හත අට පන්තිවලදීම බිඳී ගොස් අවසන් ය. ලෝක දෙකක ජීවත් වී මෙවැනි ප්‍රශ්නයක් විසඳා ගන්නට එක් වීම අපහසු ය. අනෙක් අතට තමන්ට වැඩිමහල් සහෝදරයෙකු සහ සහෝදරියක සිටින බව දැනගත් විට විහස් ඔවුන් සමග මිත්‍රත්වයන් පවත්වන්නට යන්නට ද ඉඩ තිබේ. ඔහු එහෙම කෙනෙකි.
“දුලන්‍යා හිටියෙ නැත්තං එයාලට යාලු වෙන එකක් නැද්ද? මං දැන් සඳරැස් එක්ක තරහින් ඉන්නේ දුලා හින්දනෙ.”
සහස් සිතී ය.
“මොකක් හරි හේතුවක් හොයාගෙන හරි ඇත්ත කියලා හරි අක්ක එක්ක යාළු වෙන්න තියනම්”
අක්කා අම්මට කියන තවත් නමක් බව අදහන සහෝදරයන් ලෝකයේ ඕනෑ තරම් සිටී. සහස්ට එවැනි හැඟීමක් පහළ වූයේ නැත. වසර ගණනාවක් තිස්සේ තමන්ට අක්කා කෙනෙකු සිටින බව නොදැන ජීවත් වී ඇය සම්බන්ධයෙන් දැන ගැනීමෙන් පසු ඇගේ ආදරය විඳින්නට සිතුණා නම් ඔහු අත වරදක් නැත. එය ඕනෑම සහෝදරයෙකුට පහළවන ආදරණීය සිතුවිල්ලකි.
“ඔයාගේ නෑනාට ළං වෙන්න තියන ලේසිම පාර ඕක තමයි අක්කේ.”
ඔහුට සිතෙන්නට පටන් ගෙන තිබිණ. එය සාහසික සිතුවිල්ලක් බව දැන හෝ නොදැන සහස් දිගින් දිගටම එසේ සිතුවේ ය.
“දෙයක් අහන්න අයියා කේන්ති ගන්නේ නැද්ද?”
දුලන්‍යා දිනක් සඳරැස්ගෙන් අසද්දී ඔහු ලස්සනම සිනාවෙන් ඇය දෙස බැලී ය. තරහ වන්නට හෝ කේන්ති ගන්නට එපායැයි කියමින් අඳින ඇඳුමක් හොඳටෝම කැත බව කියන්නටත් මොනවා හෝ වැඩකට ගන්නටත් දැන් ඇය හුරු පුරුදු වී සිටී. ඒ නිසා ඇගේ මේ කතා දැන් ඔහුට සිනාවක් මතු වෙන ඉල්ලීම් ය.
“දැන්ම කසාද බඳින්නනම් බෑ. ඒ ඇරෙන්න ඕන එකක්.”
ඔහු එසේ කියද්දී ඇගේ කම්මුල් රත්පැහැයට හැරෙයි.එහෙත් ඒ ඉල්ලීම ඔහු ඉල්ලන්නේ නැතිව ඇය ඉල්ලන්නේ කොහොමදැයි ඇය හිතන්නේ විස්සෝපයෙනි.
“ඇත්තටම අර මල් පොකුරයි බබාට පංචායුධෙයි එව්වෙ අම්මානම් ඇයි ඔයාටයි තරු අක්කටයි අම්මා එක්ක යාළු වෙන්න බැරි?”
දරුවන් ජීවිතය තුළ වැඩි වශයෙන්ම තරහ වෙන්නේ අම්මා සමඟ ය. ඒත් ඒ තරහ වීම් ආයුෂ අඩු ඒවා ය. ඒ හන්දාම සඳරැස් සහ අක්කා අම්මා සමඟ යාළු නොවන්නේ මන්දැයි දුලන්‍යා සිතයි.
“අපිට ආයේ අම්මෙක් ලැබුණේ නැතුවට එයාට ළමයි ඉන්නවා නංගි.”
ඉන් එක් අයෙකු සහස් බව නොපවසා එසේ කියන්නට සඳරැස් තීරණය කළේ ය.
“දරුවන්ට අම්මෙක්ව ආයේ ලබා ගන්න බැරි උනාට අම්මෙක්ට දරුවෝ ලබා ගන්න පුලුවං. අම්මා අපිව දාලා ගිහිල්ලා ආයේ අලුතෙන් පවුලක් හදාගත්ත. එයා ඒ පවුලේ සතුටින් ජීවත් වෙනවා. මේ වෙලාවේ එයාට අක්කව මතක් වෙන්න ඇත්තේ මොකක්ම හරි ගිල්ටි ෆීලිං එකක් නිසා මිසක් වෙන මොකුත්ම හින්දා නෙවෙයි.”
සඳරැස් විස්තර කරන දෙයින් පිටතට යන්නට දුලන්‍යා අකමැති ය. තුවාලය ඇත්තේ ඔහුට නිසා වේදනාව අයිති ඔහුට ය. නමුත් ඒ වේදනාව ගැන ඔහු බෙදා ගන්නවානම් අසා හිඳින්නට ඇය මනාප ය.
“අපි වගේ සාමාන්‍ය පවුලක නෙවෙයි අම්මා ජීවත් වෙන්නේ. මිලියනර් කෙනෙක් ගාව. ඒ මනුස්සයා ගාව සතුටින් ඉන්න එයාට ඔය වගේ පොඩි ආතල් එකක් හරි සාමාන්‍ය දෙයක්. එයාට අපිව ඕනෑ නෑ නංගි. මල් පොකුර එවන්න ඇත්තේ හිත හදා ගන්න.”
සඳරැස්ගේ වේදනාව දුලන්‍යාට හොඳින්ම දැනෙයි.
“ගෑනු කියන්නෙ ඇත්තටම ඔහොම අය තමයි. අනිත් මිනිස්සුන්ට දුක හිතෙනවා කියලා හැඟීමක් නෑ. තමන් තමන්ගෙ ආතල් එක ගන්නවා.”
එය හොඳ නැති කතාවක් බව නොකියා ඉන්නට දුලන්‍යාට අපහසු ය. නමුත් මේ වෙලාවේ සඳරැස් ඉන්නේ වාද කරන මානසිකත්වයකින් නොවේ.
“අනිත් අය ගැන හිතන්නේ නැතිකම ගෑනුන්ටවත් පිරිමින්ටවත් උරුම දෙයක් නෙවේ අයියා. ඒක මිනිස් ගතියක්. අඩුවැඩියට මිනිස්සු ආත්මාර්ථකාමී. තමන්ගේ සතුට වෙනුවෙන් ඕනෑ දෙයක් කරනවා.”
සහස් මේ මොහොතේ හිඳින්නේද එවැනි කටයුත්තකට පිඹුරුපත් සකසමින් බව දුලන්‍යා නොදනී. ඔහු මේ කරන්නට යන දෙයින් මේ ජීවිත කඩා වැටෙන්නට හැකි බව පවා දන්නේ නම් සහස්ට හොඳ පාඩමක් උගන්වන්නට ඇය පසුබට වන්නේ නැත. එහෙත් දුලන්‍යා එවගක් නොදැන සිටියා ය.
“අනික ඔයාට අම්මා කෙනෙක් නෑ හිතන්න එපා. අපේ අම්මා අයියටයි මල්ලිටයි තරම්ම ඔයාටත් ආදරෙයි.”
දවසක තමන්ට පුතුන් තිදෙනෙකු ලැබෙන බව අම්මා නිතරෝම කියන කතාවකි. ඒ තුන්වැනි පුතා සඳරැස් විය යුතු බව බිලියන වාරයටත් ප්‍රාර්ථනා කරමින් දුලන්‍යා පැවසුවා ය.
ජීවිතය ගලා යා යුත්තේ ඇය සිහින දකින අන්දමට ය. මේ මෝඩ කොලුවා හිතේ බැඳි ආලය වචනවලට නොපෙරළීම ගැන ඇයට කෝපයක් ද දැනෙයි.