ළපෙති මල් -21

හිමංගිව ගමට ගොස් එන්නට පෙළඹවූයේ මන්දාරා ය.හිමංගි ඒ තීරණය ගැන සිටියේ දෙගිඩියාවෙන් ය.කිරියම්මා තමන්ට මොන ආකාරයකින් ප්‍රතිචාර දක්වාවිදැයි ඇයට සැබෑවටම තිබුණේ කුකුසකි.

“මං සෑහෙන කාලෙකින් ගමේ ගිහින් නෑ මන්දි..”

ඇය මන්දාරාට පැවසුවේ ළතැවිල්ලේ ය.

“අපි කිසිම දේකට පරක්කු නෑ හිමා.අපි ගිහින් එයාව බලල එමු..”

එසේ කී මන්දාරා කියන්නට සිතා හුන් තවත් කාරණාවක් එක් කළා ය.

“ඔයා මැරි කරපුව ගැන කියන්න ඕන නෑ.අපි ගිහින් එමු.තාත්තා මොනතරම් ලොකු මිනිහෙක් වුණත් ඔයාගෙ නෑයෝ ඒ මැරේජ් එක දිහා බලන්නෙ නාකි මිනිහෙක් බැන්දා කියලනෙ.”

මන්දාරා කියද්දී හිමංගි හිනැහුණේ කල්පනාබරව ය.ශිෂ්‍යත්වය සමත් වූ පසු ඇය නගරයේ බාලිකාවට හැරලන්නට ඇගේ ගුරුවරුන්ට කිරියම්මා සමඟ සටනක් කරන්නට ද සිදු විණ.

“මං හිතන් ඉන්නේ මේකිව ආයේ ඉස්කෝලෙ නොයව ඉන්න..මොන ටවුමෙ ඉස්කෝලද?”

කිරියම්මා පහේ ගුරුතුමියට කඩා පැන්නේ කිසිම වගවිභාගයකින් තොරව ය.

“මොනවද අම්මා මේ කියන්නේ.ඉස්කෝලේ යන වයසේ ළමයෙක් ගෙදර තියාගන්න බෑ කාටවත්.ඒක නීති විරෝධි..”

ගුරුතුමිය සූදානම් වූයේ කිරියම්මා බියපත් කරන්නට ය.නමුත් මැහැල්ල එහාමෙහා ඇවිද්දේ කෝපයෙනි.

“ඊටපස්සෙ..ටිකක් ඉගෙන ගෙන බඩවල් එල්ලන් ආවම?”

ගුරුතුමිය හිමංගි ළංකරගෙන හිස පිරිමැද්දේ කරකියා ගන්නට දෙයක් නොමැතිව ය.කිරියම්මාගේ අපිළිවෙල නිවසට ඉන්පසු ආවේ ගමේ පාසලේ විදුහල්පතිනිය ය.

“මේ ළමයට මේ දිස්ත්‍රික්කෙ තුන්වැනියට ළකුණු තියනව.ගමේ ඉස්කෝලෙ තියාගන්න බෑ.අපි මෙයාව ටවුමට යවනව..”

ඇය පැවසුවේ විධානයක ස්වරූපයෙනි.ලොකු මාමා පිටතට පැමිණ විදුහල්පතිනිය අත බැංකු පොතක් තැබුවේ කිරියම්මාගේ දැඩි විරෝධය මත බව ද හිමංගි සිහි කළා ය.

“මේ කෙල්ල හම්බ වෙන්න ඉන්නකොට ගමට ආවා.කෙල්ලට මාසයක් යන්න කලින් අපේ නංගි අතුරුදහන් වුණානෙ නෝනා.කෙල්ල හැදුණෙ අපේ සෝමෙල පොවපු කැඳවල බලෙන්.කන්න බොන්න එහෙම හොයාගත්තෙත් අමාරුවෙං..
නංගි ගැන ආරංචියක් නැත්තටම නැති වුණා නෙව..”

ඔහු හිස කසමින් එසේ කියද්දී තමන් ද මුව අයා බලා සිටි අන්දම හිමංගිට තවම අමතකව නොයයි.

“මේ මෑතක මෙන්න මේ පාස්පොත ආවේ තැපෑලෙන් නෝනා.ලියුං කරදහියෙ තිබ්බෙත් මේවා දුවගෙ වැඩකටයුතුවලට යොදවන්න කියල විතරයි. මේ සල්ලි කෙල්ලගෙ ඉගෙනීම්වලට ගන්න පුලුවන් වෙයි..”

ඒ මුදල් නිසා හිමංගිට බාලිකාව තුළ කරදරයකින් හිරිහැරයකින් තොරව අධ්‍යාපනය ලබන්නට භාග්‍යය හිමි විය.ගමක ළමයෙකු මිස දුප්පත් ළමයෙකු නොවී හිඳින්නට ඒ අහඹු බැංකු පොත ඇයට උදව් කළා ය.

“හිමා මේ…”

හිමංගිගේ කතාව අසා සිටි මන්දාරාට බාධා කිරීමක් තිබිණ.

“අපිට ඔය බෑන්ක් එකවුන්ට් එක ගැන හෙව්වැකිනෙ.ඒක අයිතිකාරයා ඔයාගෙ අම්මා හරි තාත්තා හරි..”

හිමංගි හිනැහුණේ වේදනාබර ව ය.එය මතක් කරන්නට කාරණාවක් නොවේ.

“තේරෙන වයසට ආපු ගමන් මම කළේ ඒක.ඒ සෝෂල් සර්විස් එකක එකවුන්ට් එකක්.එයාලා ඒ සල්ලි දාන කෙනා කියන එක ප්‍රතික්ෂේප කළා.මොකද දුප්පත් ළමයින්ට උදව් කරන සමහරු ඒ ළමයටවත් එයාලව හෙළිදරව් කරන්නේ නෑ කියනවනෙ..”

එය ද අසත්‍යයක් නොවන මන්දාරා සිතුවා ය.තාත්තා බොහෝ දරුවන් ප්‍රමාණයකට ඉගෙනීම වෙනුවෙන් මුදල් යොදවයි.නමුත් තමන්ගේ ඉගෙනීමට මුදල් වෙන් කරන්නේ රහල් බමුණුසිංහ බව සමහර දරුවන් දන්නේ නැත.

“ඔයාගෙ අම්මා ඇත්තටම හොයන්න ඕන හිමා.ඔයාගෙ නමම බලන්නකො.
ඕක තේජනයි මායි කතා වෙලා තියනව. “

මන්දාරා කියද්දී හිමංගි ඈ දෙස විමසුම් බැල්මක් හෙළුවා ය.

“ඔයාලගෙ ගම්වල ළමයින්ට නම් වැටෙන්නේ එකම ස්ටයිල් එකකට.ඔයාගෙ නම ටිකක් යුනික් අමුතු නමක්.ඇත්තටම එහෙම නමක් දාපු අම්මා අලුත් දේවල් දන්න කෙනෙක්..”

මන්දාරා එසේ කියද්දී හිමංගි හඬ නඟා හිනැහුණා ය.

“අලුත් දේවල් දන්න හින්දා නේන්නං එහෙම වුණේ..”

ගමට යන්නට පෙර කිරියම්මාට සහ සෙසු නෑයන්ට මොනමොනවා හෝ රැගෙන යන යෝජනාව ද ගෙන ආවේ මන්දාරා ය.ඇය හිමංගිව සාප්පු සවාරියකට රැගෙන ගියේ බලහත්කාරයෙන් වාගේ ය.

“මේ ෂොප්ස් වල තියන ඒව අපේ කිරියම්මා අඳින එකක්වත් නෑ මන්දි.එයාට හරියන ජාති ගන්න පමුණුවට ගියානං හරි..”

හිමංගි එසේ කියද්දී මන්දාරා ඇය දෙස බැලුවේ තද බැල්මකිනි.

“ඔයා ඉගෙන ගෙන හොඳ තැනකට ආපු කෙනෙක්.එයාලට හොඳ දේවල් ඔයාවත් ගෙනියන්න.අම්මා එහෙම දේවල් කරේ නෑනෙ..”

සිරිමා මහත්මිය අඳින පන්නයේ ඇඳුම් කැඩුම් තමන්ගේ අපිරිසිදු කිරියම්මා කොහේ අඳින්නදැයි හිමංගි සිතුවා ය.නමුත් ඈ සෙසු අයට ඇඳුම් තේරුවේ උනන්දුවෙනි.

“මං මැරි කරා කියල කිව්වැකි.ඒත් ඒ බැන්ද කෙනාගෙ ලොකු දුව ඔයා කියල කිව්වොත් කිරියම්ම පරල වෙනව..”

හිමංගි එසේ පැවසුවේ ගමන යන්නට ඇඳුමක් තෝරමින් හුන් මන්දාරාට උදව් දෙන අතර ය.මන්දාරා නෙතු උස්සා හිනැහුණා ය.

“මම ඒකයි කීවේ.තාත්තා කම්පැනි ඕනර් කෙනෙක්, ලෙක්චර කෙනෙක් කියන කාරණේ එයාලට වැදගත් නෑ.ඔයාලගෙ මැරේජ් එක දරාගන්න මේ කොළඹ ඉස්කෝලෙ ගිහින් අලුත් පන්නෙට හැදුණු මටම කොච්චර අමාරු වුණාද? ලෝකෙ තියන අලුත් ස්ටයිල්ස් ඔක්කොම බදා ගන්න අපේ අම්මට තාම බෑ.එහෙව් එකේ කිරියම්මා වගේ ගමේ මනුස්සයෙක් ඕක ගැන බලන්නෙම අවුලකින්..”

මන්දාරා එසේ කියද්දී හිමංගි කිරියම්මා පරල වන අන්දම පවා අනුමාන කළා ය.

“අපිත් මොන නැකතකට එළියට බැස්සද මන්දා.අන්න අර සක්කරවට්ටම..”

අම්මාගේ මිතුරියක වූ හිමාලි තමන් සිටින දිසාවට ඇවිද එන අන්දම දෙස අකමැත්තෙන් බලමින් මන්දාරා පැවසුවේ අප්‍රසන්න ලීලාවෙනි.
රූපලාවණ්‍යගාරයේ දී වරක් දෙකක් හමු වී ඇති ඒ සෑම මොහොතකම තමන්ට අප්‍රසාදයක් දැන වූ මේ ගැහැනිය දෙස නොබලා හිමංගි ඇඳුම් වෙත නෙත් ඇලවූවා ය.

“හායි මන්දි, අලුත් අම්මි එක්ක ෂොපිං ආවද?”

හිමාලි අසන්නේ ඔලොක්කුවට ය.මන්දාරා ඇය දෙස සමච්චලයට බැලුවා ය.

“හිමාත් ආන්ටි වගේ බබාලා හදන්න ආස නෑලු.ඉතින් එයාගෙ බබාලාත් මමයි මල්ලායි තමා..”

මන්දාරා කියන්නේ ඇඟටපතට නොදැනී ය.ගැහැනියකට පහර නොගැසිය යුතු තරමේ දුර්වල නිලයකට හිමාලිට පහර ගැසීම ගැන මන්දාරාව නවතන්නට උවමනා වුවත් මේ ගැහැනිය තමන්ටත් මන්දාරාටත් ඇනුම්පදයක් කී බව හිමංගිට සිහි විණ.

ප්‍රහාරය අශිෂ්ට නම් ප්‍රතිප්‍රහාරයේ ශිෂ්ට බවක් බලාපොරොත්තු විය නොහැකි ය.

“උත්පලා, දැන් ලංකාගෙ සැලෝන් එකේ වැඩ කරන් නැද්ද?”

හිමාලි තවදුරටත් හිමංගිව රිදවීම පිණිස ඇසුවා ය.

“උත්පලා කියනකොට හුරුත් නෑ වගේ.අපේ අම්මා ඒක නේද සැලෝන් එකට යූස් කරේ ඔයාට..”

මන්දාරා අසන්නේ හිමංගිගෙනි.පිළිතුරු ආවේ හිමාලිගෙන් ය.

“ඇයි මෙයාටත් තියෙන්නෙ ඔයාට වගේ අන්කොමන් නමක්ද?”

මන්දාරා හිමාලි දෙස නොසැලකිලිමත් ව බලමින් ඇඳුමක් අතට ගත්තා ය.

“ආන්ටිලට ඒක අම්මා කියලම නෑ?ආ බෙස්ට් ෆ්‍රෙන්ඩ් ශිරානි ආන්ටි නිසා ඔයාලට ඕපදූප කියන්නේ තෝරාබේරගෙන වෙන්නත් ඇති.මෙයා හිමංගි.එච්චර ලස්සන නමක් සැලෝන් එකට ගන්න අම්මාට ලැජ්ජ ඇති..”

හිමාලි මොහොතකට නිහඬ වූවා ය.

“ඔයාගෙ ගම කොහෙද කියන්නේ? හරි ඈතලු නේද?”

“මං මැදවච්ව්චියෙ.මැදවච්චියේ ඈත ගමක..”

තමන් උපන් බිම ගැන ලැජ්ජා විය යුතු නැති බවට රහල් පවසා ඇති කතාව සිහි කරමින් හිමංගි පැවසුවේ සිහින් හඬිනි.මේ ගැහැනුන් හිඳින්නේ කොහොමටත් තමන් ගැන විපරමිනි.ඒ නිසා සත්‍යය එළි වූවාට කම් නැත.

හිමාලි තාවර නොවී යන්නට ගියා ය.ඇය යන අන්දම බලා සිටි මන්දාරා හිනැහුණේ සැහැල්ලුවෙනි.

“ආව මෙතන ඕපාදූප හොයන්න.අම්මා එයාව වැඩිය ගණං ගන් නෑ කිව්වම තද වුණා.දැන් ශිරානිට වඩා මාක්ස් ගන්න ක්‍රමයක් හොයයි..”

හිමංගිට ද සිනාවක් ඉපදිණ.

“මට ශිරානියි මොරීනුයි තරම්වත් මෙයාව පෙන්නන්න බෑ මන්දි.මොන හේතුවක්ද මන්ද.මට දැක්ක පළවෙනි දවසෙම මහ තරහක් ආවා.කරපු දේකුත් නෑ..”

හිමංගි පැවසුවේ මන්දාරා අත තිබූ බෑගයට ඈ තෝරා ගත් ඇඳුම් දමන අතරේ ය.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles