දහස් පෙතියා මල් යාය මැදින් ඇවිද යද්දී මට දැනුනේ මා වෙනස්ම ලොවකට පිවිසී ඇති සෙයකි. ජාන්සි යන නමේ අකුරු වල හැඩයන්ට සකස් කර තිබූ මල් පාත්ති වල මැදින් ඇති වතුර මල් වලින් විසිරෙන ජල බිංදු මත සැන්දෑ හිරු රැස් පතිත වෙද්දී දිස් වන අලංකාරය මම දෙනෙත් පුරා විඳ ගත්තෙමි. ජ්‍යෝති මට මෙම බිමේ චමත්කාරය සිත් සේ විඳින්නට අවකාශ ලබා දෙමින් මා සමග පැමිණියද, වදනකින් හෝ මට බාධා නොකළාය. මෙම දහස් පෙතියා යායේ දක්නට ලැබුනේ නිතර අප රටේ දක්නට ඇති සාමාන්‍ය දහස් පෙතියා මල් නොවේ. විශාල මල් පිපෙන දහස් පෙතියා යාය ජංගම දුරකතනයෙන් ඡායාරූප ගත කර ගැනීමට තිබුනේ නම් යෙහෙකැයි සිතුණද, මට ජංගම දුරකතනය රැගෙන එන්නට අමතක විය.
“ඇයි මැඩම්?”
මගේ සිතිවිලි වටහා ගත්තාක් මෙන් ජ්‍යෝති ඇසුවාය.
“මේ මල් යායෙ පින්තූරයක් ගන්න ඇත්නම් කියලා මට හිතුනා ජ්‍යෝති.”
“ඉතින් ගන්න පුලුවන්නෙ මැඩම්.”
“මම ෆෝන් එක ගෙනාවෙ නෑ.”
“මම ගිහින් අරන් එන්නද?”
“දැන් එපා. වෙන දවසක ගනිමු.”
“පමා නොවී ගන්න වේවි මැඩම්. නැත්නම් මේ මල් ලස්සන වැඩි කලක් දකින්න ලැබෙන එකක් නෑ.”
“ඇයි?”
“මේ මල් යාය වැඩි කල් පවතින්නෙ නැහැනෙ මැඩම්. අපේ ඩොක්ට කුෂ් කියන්නෙ මේ මල් යායත් හරියට ජීවිතේ වගේ කියලා.”
“මල් ගස් වල කාලය ඉවර වුනාම මොකද කරන්නෙ ජ්‍යෝති?”
මම මහත් උනන්දුවෙන් ඇසුවෙමි.
“ගලවලා අලුතින් හදනවා. මල් පැල ගලවන්නෙ එකවර නෙමෙයි. එකවර ගැලෙව්වොත් දැනෙන පාලු ගතියට අපි කවුරුවත් කැමති නෑ.”
ජ්‍යෝති විස්තර කළාය.
“ජාන්සි මැඩම්ගෙ ආසාව නිසා මැඩම්ට ගෞරවයක් විදියට මේ මල් වැව්වට මේ මල් වලින් මොන තරම් ප්‍රයෝජනයක් තියෙනවද කියලා මැඩම් දන්නවද?”
මම මල් යාය අතර ඉදි කර තිබූ බංකුවක් මත හිඳ ගත්තේ ඒවනවිට ඇවිදීම නිසා දැඩි වෙහෙසක් දැනෙමින් තිබූ බැවිනි.
“මම දැනගෙන හිටියෙ නෑ ජ්‍යෝති. දහස්පෙතියා මල් පූජා කරන්න, හින්දු උත්සව වලට ගන්නවා කියලා දැනගෙන හිටියට වෙන ප්‍රයෝජනයක් ගැන මං අහලා නෑ.”
ජ්‍යෝති මඳ සිනාවක් නැගුවාය.
“බොහොමයක් දෙනා දන්නෙ නෑ. මේ මල් විෂබීජ නාශකයක්. අපේ හමට ඉතාමත් ගුණදායකයි. තුවාල සුව කරන්න වගේම පිළිකා වලටත් ඉතාමත් ගුණදායක ඖෂධයක්. මැඩම්ට මතකද ඉඳහිටලා මැඩම්ට දෙන කහපාට පානය? ඒ තමයි මෙරිගෝල්ඩ් තේ. තව ගොඩක් ප්‍රයෝජන තියෙනවා. ඩොක්ට කුෂ්ගෙන් අහගන්න පුලුවන් මේ මල් වල තියෙන වටිනාකම හරියටම.”
“හරි ෂෝක්.”
මම දැරියක සේ පැවසුවෙමි.
“මේ මල් වලින් කොච්චර නම් ප්‍රයෝජන ගන්නවද මැඩම්? ලස්සන වෙන්නත් හොඳ ඖෂධයක්. දැන් මහන්සි නේද? අපි දැන් යමු.”
සැබවින්ම මට බොහෝ වෙහෙස දැනෙමින් තිබුණද, මෙම සුන්දර පරිසරය හැර දමා යාමට සිතක් මා තුළ නොවීය.
“අපි තව ටික වෙලාවක් ඉඳිමු.”
කලකින් මෙතරම් දුරක් ඇවිදීම නිසා මගේ දෙපා වේදනා දෙමින් තිබුණද මම පැවසුවෙමි. මල් යායට ඉහළින් මොණරකු ඉගිල ගියේ මගේ සිත තව තවත් මෙම පරිසරය කෙරෙහි ආකර්ෂණය කරමිනි.
“මෙහේ හරියට මොණරු ඉන්නවා. මැඩම්ටත් ඇහෙනවා ඇති මොණරු කෑගහන සද්දෙ. අපේ ක්වාටස් පැත්තට හරියට මොණරු එනවා. වෙලාවක මං මැඩම්ව ඒ පැත්තට එක්ක යන්නම්කො. ”
“මට ආසයි.”
“හැබැයි අද නෙමෙයි. මැඩම් අද ගොඩක් ඇවිද්දා. ඕනවට වඩා වෙහෙස කරා කියලා මට තමයි බැනුම් අහන්න වෙන්නෙ.”
“ජ්‍යෝතිට බනින්න දෙන්නෙ නෑ. මම වරද භාර ගන්නම්.”
හිරු නිවී යනතුරුම මා දහස්පෙතියා යාය මධ්‍යයෙහි හිඳගෙන සිටියේ කෙතරම් යටපත් කිරීමට උත්සාහ කළ ද සිත පෙලන වේදනාවන්ගෙන් අත් මිදීම පිණිසය. එහෙත් දැන් අප යායුතුයයි ජ්‍යෝති තරයේ පවසා සිටියාය.
මා ජ්‍යෝති සමග මගේ කාමරයට ගියේ කැමැත්තකින් නොවේ. එහෙත් මා එහි යායුතුම නොවේද? කාමරය තුළට පැමිණිමත් සමගම පෙර තිබූ ප්‍රීතිමත් භාවය පහව ගොස් කනස්සලු ස්වභාවයක් ඇති වූයේ මන්දැයි කල්පනා කරද්දී වෛද්‍ය කුෂ්වාන්ත් සිං නිරන්තරයෙන් හදවතට ප්‍රවිෂ්ඨ වන්නට වූයේ මා තිගැස්මකට ලක් කරමිනි.
නාන කාමරයට ගොස් උණු ජලයෙන් ඇඟ සෝදා ගත් පසු ඇති වූ සනීපවත් බව නිසා මට ඉක්මනින් නින්දට යාමට අවශ්‍යව තිබිණ. යහන මත වැතිර ගත් සැනින් නින්ද මා කරා ළං වෙන්නට ඇතත්, ජ්‍යෝති මා ඇහැරවූයේ මා වෙනුවෙන් රැගෙන පැමිණි මසාලා චායි පානය කළ යුතු බව පවසමිනි. එහෙත් දැඩි වෙහෙසත්, නිදිබර භාවයත් නිසා උණුසුම් මසාලා චායි කෝප්පයෙන් අඩක් පමණවත් පානය කිරීමට මට නොහැකි විය.
*
දීර්ඝ නින්දකින් පසුව මට ඇහැරිණ. ජනේලයට පිටුපා හිඳගෙන සිටි ජ්‍යෝති ගීයක් මුමුණන හඬ ඇසුණෙන් මම මහත් උනන්දුවෙන් ඇගේ ගී හඬට සවන් දී සිටියෙමි. ජ්‍යෝතිගේ කටහඬ අතිශයින් මිහිරි යයි මට සිතිණ. මා ඇහැරී සිටින බව ඉවෙන් දැනුනාක් මෙන් ජ්‍යෝති එක්වරම හැරී බැලුවාය.
“මහන්සියටම මැඩම්ට නින්ද ගියා නේද? ඩොක්ට පීහු දෙතුන් සැරයක් ඇවිත් මැඩම්ව බලලා ගියා. ආයෙම තව ටිකකින් ඒවි.”
ජ්‍යෝති මගේ යහන අසළට පැමිණියාය.
“මට ඇහැරිලා ටිකක් වෙලා. ජ්‍යෝති කියපු සින්දුව අහගෙන හිටියෙ. හරි ලස්සනයි.”
“ඒක හින්දි සින්දුවක්. මට එච්චර ලස්සනට සින්දු කියන්න බෑ මැඩම්.”
ජ්‍යෝති පැවසුවේ ලජ්ජාවෙනි.
“අනේ… ආයෙ සැරයක් ඒක කියන්න ජ්‍යෝති.”
මම ඉල්ලා සිටියෙමි.
“ඩොක්ට පීහු ආවොත් මට බනීවි. සින්දු කිය කියා ඉන්නවා කියලා. මැඩම් කැමතිනම් මම වෙන වෙලාවක ඒ සින්දුව කියන්නම්.”
“හින්දි භාෂාව හරි ලස්සනයි. මට ඒ සින්දුවෙ තේරුම කියන්න.”
“කියන්නම්.”
ජ්‍යෝති මොහොතක් කල්පනා කළාය.
“අප දෙදෙනා ආදරවන්තයින් නොවේ
අප අතර ආදරයක් නැති බව ද මම පිළිගනිමි
ඒත් මා දෙස හොරැහින්වත් නොබලන්න
මා හද මට ද විශ්වාස කළ නොහැකි බැවින්…”
මම මහත් උනන්දුවෙන් ජ්‍යෝතිට සවන් දී සිටියෙමි. වෛද්‍ය කුෂ්වාන්ත් සිං මගේ මතකයට නැගුණේ මන්දැයි මම සිතා ගත නොහැකි විය.
“ලස්සනයි.”
මම පැවසුවෙමි.
“ඩොක්ට කුෂ්ට, ඩොක්ට පීහුට ලස්සනට සින්දු කියන්න පුලුවන්. දන්නවද මැඩම්? අපට ළඟදිම සින්දු අහන්න දවසක් ඒවි.”
“ඇයි ඒ?”
සිනාසුන ජ්‍යෝති කිසිවක් නොපැවසුවාය. ඒ හා සමගම දොරට තට්ටු කරන හඬ ඇසිණ. වෛද්‍ය පීහු ෂර්මා කාමරයට පිවිසියේ සුපුරුදු සිනාවෙන් යුතුවය.
“කොහොමද ඩිනාලි?”
මා සමීපයට පැමිණි ඇය ඇසුවාය. වෛද්‍ය කුෂ්වාන්ත් සිංට සිදු වූයේ කුමක්දැයි විමසීමට සිත් වුව ද ඔහු පිළිබඳව විමසීමට මට ඇති අයිතිය කුමක්දැයි මම කල්පනා විය.
“අද ටිකක් ඩිනාලිගෙ ප්‍රෙෂර් වැඩි වෙලා.”
මා පරීක්ෂා කළ වෛද්‍ය පීහු පැවසුවාය.
“මොකක්ද අද සිද්ද වුනේ?”
ඇය ජ්‍යෝතිගේ මුහුණ දෙස බැලුවාය.
“අද මැඩම් ටිකක් ඇවිද්දනේ. ඒක නිසා වෙන්න ඇති.”
“හෙට අනිද්දට ඩිනාලිට පරීක්ෂණ කීපයක් කරන්න තියෙනවා. ඩොක්ට කුෂ් ඒ ගැන කියාවි. දැන් බය වෙන්න කිසිම දෙයක් නෑ. සතුටින් ඉන්න.”
සිනාසී මගේ උරහිසට මිතුරු තට්ටුවක් දැමූ වෛද්‍ය පීහු කාමරයෙන් පිටව ගියාය. යහන මතින් නැගී සිටින්නට උවමනා වුව ද දැඩි වෙහෙසකාරී ස්වභාවය නිසා තවදුරටත් වැතිර සිටින්නට මට උවමනා විය.
නින්දත්, නොනින්දත් අතර සිටියදී ජ්‍යෝති මගේ රාත්‍රී ආහාර රැගෙන පැමිණියාය. එහෙත් වෙනදාට වඩා තදින් දැනුන ඔක්කාර ස්වභාවය නිසා මට ආහාර ගැනීමට හැකි වූයේ ඉතාමත් ස්වල්පයකි. මා දෙස අනුකම්පාවෙන් බලා සිටි ජ්‍යෝති ආහාර බඳුන් ද රැගෙන පිටව ගිය පසු මම දෑස් පියාගතිමි. ඉන්පසු යළිත් ඉක්මනින් මා වෙත නින්ද ළඟා වන්නට ඇත.
*
“මැඩම්… මැඩම්…”
කාමරයේ දොර විවෘත කරගෙන ජ්‍යෝති කාමරයට පිවිසුනේ කලබලයෙනි. එක්වරම නින්දෙන් නැගී සිටි බැවින් මට දැනුනේ කරකැවිලි ස්වභාවයකි.
“ඇයි ජ්‍යෝති?”
“මැඩම්ට විසිටර් කෙනෙක් ඇවිත්.”
“විසිටර් කෙනෙක්?”
මා ඇසුවේ විමතියෙනි. මට එක්වරම මතකයට නැගුණේ හේෂාන්ය. එහෙත් මේ රාත්‍රී කාලයේදී ඔහුට මා දකින්නට පැමිණීමට හේතුවක් නැත.
“ඔව්. මීට කලින් ආව කෙනෙක් නම් නෙමෙයි.”
“කොහෙද ඉන්නෙ?”
“පහළ ඉන්නවලු. රිසෙප්ෂන් එකේ මිස් ස්මිතා කෝල් කළා. මේජර් වංශනාථ කියලා කෙනෙක් කියලා ”
තාත්තා… මට මහා බියක් දැනිණ. මා මෙහි සිටින බව තාත්තා දැන ගත්තේ කෙසේද? ඔහු මෙහි පැමිණ ඇත්තේ ඇයි? ඇතැම් විට මා මෙම රෝහලට ඇතුලු කර ඇති බව වෛද්‍ය අරුන් ලංකාදේව ගෙන් තාත්තා දැන ගන්නට ඇත. අවසන් වතාවට ඔහු මා දැකීමට නිවසට පැමිණි අවස්ථාව මගේ මතකයට නැගුණේ නිතැතිනි. ඔහු එදින පසු වූයේ මා කෙරෙහි හට ගත් ශෝකයෙන් බව මම දැන සිටියෙමි. අම්මා සහ ඔහු අතර කවර ආකාරයේ ප්‍රශ්න ඇති වූවද, මා ඔහුගේ වැඩිමල් දියණිය බව ඔහුට කෙසේවත් අමතක නොවන්නට ඇත.
“එවන්න කියන්නද මැඩම්?”
මා කල්පනා කරමින් සිටියදී ජ්‍යෝති නැවතත් ඇසුවාය.
“එන්න කියන්න.”
ජ්‍යෝති දුරකතනයෙන් පිළිගැනීමේ නිළධාරිනිය අමතා තාත්තාට මෙහි පැමිණිමට අවසර දෙන මෙන් පවසන්නට ඇත. මා දකින ඔහුට කුමක් සිතෙනු ඇත්දැයි මම කල්පනා කළෙමි.
ස්වල්ප වේලාවකින් කාමරයේ දොර විවෘත විය. කාමරය තුළට ඇතුලු වූ තාත්තා ඇසිපිය නොහෙලා මා දෙස බලා සිටියේය. මගේ තට්ට හිස දකිද්දී ඔහුට ඇති වූයේ කවරාකාරයේ හැඟීමක්දැයි මට සිතා ගත නොහැකි විය.
“අපූරුයි.”
දෑත් බැඳගෙන මා දෙස බලා සිටි තාත්තා පැවසුවේය.
“මහ ගෑනි පංගාර්තු කරපු මංගල්ලෙත් ඉවරයි කියලා මට ආරංචි වුනා. ඌ ලස්සනට වෙන එකියක්ව බැඳ ගත්තා. උඹ… උඹ…”
තාත්තාට කතා කර ගත නොහැකි විය. දෑස් වලට කඳුලක් නොනැගුණද, ඔහු තුළ ඇති මානසික පීඩනය කෙතරම්දැයි මට සිතා ගත හැකි විය.
“ඈත් වෙලා හිටියට මං උඹලට කාගෙන්වත් වරදක් වෙන්න ඉඩ තියන්නෙ නෑ ඩිනාලි. මං උන් දෙන්නටම වෙඩි තියලා මැරුවා.”
“උන් දෙන්නා කිව්වෙ?”
මම වෙව්ලන හඬින් විමසුවෙමි.
“දෙන්නා කිව්වෙ උඹගෙ ආදරවන්තයාටයි, උගේ ගෑනිටයි.”
මට මගේ දෙසවන් අදහා ගත නොහැකි විය. තාත්තා පවසන්නේ ඇත්තක්ද? හේෂාන්… අරුණෝදි…
මගේ ලය හිරවන්නාක් මෙන් මට දැනිණ.
“ඇයි එහෙම කළේ?” යි මම කෑගැසුවෙමි.
තාත්තා නිහඬවම කාමරයෙන් පිටව ගියේය. මම මහ හඬින් කෑ ගසා හඬන්නට වූයෙමි.