සඳ ගංතෙර – 27

සමහර අවස්ථා නපුරු සිහිනයකට මිස අන් කිසිවෙකුට සමාන කරන්නට නොහැකි ය. දුලන්‍යා සිටියේ ගැහෙමිනි. විජේරාම හන්දියෙන් පාර පනින්නට ගොස් බස් රථයකට බිලි වූ විශ්ව විද්‍යාල සිසුවියක ගැන සටහන් තබා ආදායම වැඩි කර ගන්නා මොහොතක් ගොසිප් වෙබ් අඩවිවලින් ගිලිහී තිබිණ.

යන්තමට තුවාල වූ අත සමඟ දුලන්‍යා පාර කෙළවරකට වූවා ය. අද සඳරැස් මහා පාන්දර කාර්යාලයට ගිය දවසකි. ඔහු හදිසියේ එහෙමෙහෙ වූ දවසකම මෙවැන්නක් වීම ඔහුට වේදනාවක් අත් කර දිය හැකි බව ඇයට සිතේ. අද ඔහු පිටත්ව ගියේ තරමක් වැදගත් රාජකාරියකට බව ඇය දන්නී ය. වෙනකක් තබා ඒ විශේෂ අවස්ථාවට ඇඳුමක් මැද දෙන්නට වූයේ ද ඇයට ය. එතන සියල්ල ගසා බසා දමා ඔහුට එන්නට ඉඩ හැරීම නරක වැඩකි.

“ගෙදර යන්න නෙවෙයි, ඩොක්ට කෙනෙක් ගාවට යමුකො.”

නෙත්මි කියන්නේ බිය රැඳි නෙතකිනි. අම්මාගේ උවමනාවට වෛද්‍ය විද්‍යාව තෝරා ගන්නට සිදු වූවාට ඇය කුඩා තුවාලයක් දුටු විගස ගැහෙන්නට පටන් ගන්නා කෙල්ලකි.

“මේක ලොකු අමාරුවක් නෑ අනේ.”

දුලන්‍යා එරෙහි වූවා ය. නමුත් ඇය වේගයෙන් බසයේ වැදුණු බවත් අභ්‍යන්තර පරීක්ෂණ කිරීම අනිවාර්යය බවත් එතැන සිටි ත්‍රී රෝද රථ රියදුරන් විසින් කැට තබන්නට විය. නෙත්මි බියපත් වෙන තරමට බිය වන්නට දුලන්‍යාට ඕනෑ නැත.

“මේක පොඩි තුවාලයක්. මට තේරෙනවනෙ අමාරුයි නම්.”

දෙනෝදාහකගේ අවධානයට ලක් වීමෙන් ලැජ්ජාව විනා ඇයට වෙන කිසිවක් නම් දැනෙන්නේ නැත. ත්‍රීරෝද රථ රියදුරන් බස් රථ රියදුරාට සියළුම සිංහල වචනවලින් සංග්‍රහ කරමින් අත පය හසුරවන්නට සැරසෙද්දී එතැන සිටි වැඩිහිටි සරසවි සිසුන් පිරිසක් නොවන්නට මහා කලබගෑනියක් ඇති වන්නට ඉඩ තිබිණි. මේ සරල තුවාලයකි. හිතේ පීඩාව යන්නට ටිකක් නිදාගන්නට ලැබීම ඉහටත් උඩිනි.

“අපි ඔයාව ගෙදර එක්කන්‍ යන්නද?” 

සියල්ලටම ඉහළින් ඇත්තේ මිත්‍රත්ව සහ සහෝදරත්වය බව විශ්වාස කරන ලහිරු අසයි. ප්‍රබෝධ ඒ වෙද්දීත් ත්‍රීරෝද රථයක් බලාපොරොත්තුවෙන් සිටියේ ය. ලහිරුටත් නෙත්මිටත් දුලන්‍යා නිවසට හැරලවා එන්නට හැකි බව මිතුරු කණ්ඩායමේ නායකයා බවට නිතරගයෙන් පත්වී ඇති ඔහු තීරණය කර තිබිණ.

“දුලාගෙ අම්මවයි අක්කවයි බය කරන්න එපා හොඳේ. බස් කතාවක් නොකියා මූ ලිස්සලා වැටුණා වගේ එකක් කිව්වත් කමක් නෑ.”

ප්‍රබෝධ අනතුරු ඇඟවූයේ සියල්ලටම පෙර කට ඉස්සර කර ගන්නා නෙත්මිට ය.

“හැබැයි මෙයාගෙ සුදු මහත්තයටනම් ඇත්ත කියන්නෝන. එක දවසකට බබාව පරිස්සමට ගෙනත් ඇරලා ගන්න බැරි උනත් එයා අහක තියෙන බස් එකක හරි හැප්පෙනවයි කියලා සුදු මහත්තයා වුණත් දැන ගන්න එපැයි.”

නෙත්මි ලහිරුට අමතන්නේ එහෙමදැයි අසන්නට දුලන්‍යාට සිහිපත් නොවී ය. ඒ වෙනුවට ඇගේ තොල් මත මඳහසක් ඇඳී මැකී ගියා ය. අසීරුම මොහොතක පවා ඔහු සිහිවීමම සිනා පිපෙන්නට හේතුවකි.

ප්‍රේමය ඉපිදෙමින් හිනැහෙන බවත් හිනැහෙමින් ඇය සරසන බවත් දුලන්‍යා දන්නී ය.මේ හිනාවට හේතුව එය මිස වෙන කිසිවක් නොවේ.

“අනේ මේ! නිකං මිනිස්සු බය නොකර ඉන්නවා.”

ඇය මිතුරියට තර්ජනය කළා ය. එහෙත් ඔහු පැමිණියානම් මෙවැන්නක් සිදු නොවන බව දුලන්‍යා හොඳින් දන්නී ය. ඇයට දුක හිතෙන්නේ ඒ හන්දා ය.

කලබලයට පත් අම්මා ද අක්කා ද සන්සුන් කර ගැනීමට ගත වූ විනාඩි කිහිපය හැරෙන්නට කිසිවක්ම නරකට සිදු වූයේ නැත. නෙත්මිටත් ලහිරුටත් සංග්‍රහ කරමින් ඔවුන් සමඟ කියවමින් සිඟිත්තිය සුරතල් කර අක්කාට ඔවුන් ගිය පසු අසන්නට තිබූ ප්‍රශ්නය හැරෙන්නට වෙන කිසිම ගැටළුවක් නොවූ තරම් ය.

“යාළුවෝ ඔය අගේට රිලේෂන්ශිප් පටන් අරගන්නේ. ඔය දරුවා අපි මනමාලයෝ හොයනකම්ද ඉන්නේ?”

ඒ ප්‍රශ්නය ඇසෙද්දී ඈ මුහුණ රතු කරගත්තා ය. අක්කාටත් ඕනෑ නැති කෙහෙල්මලක් නැත.

“කොල්ලෙක් දිහා බලන් ගිහින් වෙන්නැති පුතේ ඔය වැටෙන්න ඇත්තේ”

අම්මා ද අක්කාට පෝර දමන්නී ය. දුලන්‍යා අකමැත්තෙන් මුහුණ රතු කරගෙන ඉවතට හැරුණා ය. මනමාලයන් හොයන්නට දෙයක් නැත. මනමාලයා හිඳින්නේ මේ වහල යටම ය.

“මට දුලාගේ ගෙදර ලොකේෂන් දෙන්නකො අනේ.”

නෙත්මිගෙන් එසේ ඉල්ලුවේ මධුනි ය. ඇය කෝකටත් ලහිරු දෙස බැලුවා ය. මධුනි මේ දිනවල දුලන්‍යා සමඟ එහෙමකට යාළුකමක් රැක ගත්තේ නැතිතරම් ය.

“ලොකු අමාරුවක් නම් නෑ. ඔයා මැසේජ් එකක් දාන්න. එයා හෙට එයි.”

ප්‍රබෝධ එසේ කිව්වේ ඔහුට සුපුරුදු මිත්‍රත්වය උතුරා යන හඬිනි. ඒ හඬට කෝප ගන්නට ද අසීරු ය. 

“එහෙම කියපු එක හොඳයි. මධුනි එහෙ ගිහින් සඳරැස් අයියට ඇස් කැරකෙව්වොත් යසට තියෙයි.”

නෙත්මි එසේ කියමින් හඬ නඟා හිනැහුණා ය. ඒ සිනාවට දෙමිතුරෝ හවුල් වූයේ සැහැල්ලුවෙනි. 

නමුත් මධුනි සැලසුමකට බසින්නේ අත් හරින්නට නොවේ!!

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles