සඳ ගංතෙර – 05

“වැඩිය සද්ද බද්ද කරන් නෑ හරිද? අර පොඩි එකීට පාඩම් වැඩ තියනව”

අක්කා එසේ කියද්දී සඳරැස්ට සිනා පහළ විය. ඔහු ගීතය නවතා දමා ඇයව වැළඳ ගත්තේ ය. මවක වන්නට සැරසෙන යුවතියක පින් පාට බව ඔහුට සිතේ. අම්මා කෙනෙකු කියන්නේ හිත නිවන කෙනෙකි. එහෙත් අක්කාටත් ඔහුටත් එවැනි අම්මා කෙනෙකු අයිති නැත. හිතට ආ වදන් ගිලෙන්නට ඉඩ දුන් ඔහු අක්කා වැළඳගෙන තත්පර කිහිපයක් ගෙවා දැම්මේ ය.

“එයාට මෙතන තියන  අයිතියම මටත් තියනවා හරිද?”

තාරකා මල්ලී දෙස බලා සිටියේ ආදරයෙනි. ඔහු ආදර කතාව අතැර දැමූ බව කියමින් කෙල්ලන් කීදෙනෙකු තමන් අමතා ඇද්දැයි ඈ සිහි කළා ය. පාසල් කොලුවෙකු කාලයේ පටන්ම සඳරැස් ආදරය විශ්වාස කරන්නට අකමැති කොලුවෙකු වූයේ ය.

“මේ ඉන්නේ කෙල්ලක්.”

තාරකා මල්ලිගේ අත රැගෙන ඇගේ කුස මත තැබුවා ය. පවුලේ සමීපතමයන්ට ඒ කතාව රහසක් නොවේ. තාරකා තව නොබෝ දවසකින් දියණියකගේ අම්මා කෙනෙකු බවට පත් වන්නී ය.

“මං කසාද බඳියිද කියන්න බෑනේ. මං කෙල්ලව රැජිනක් කරනවා.” 

ඔහු හෘද සංවේදි හඬකින් කියයි. මාමාට අම්මා තරමටම ආදරය දැනෙන බව තාරකා සිහි කළා ය. බොහෝ අවස්ථා වල ඔහු ඇයට බාල සහෝදරයෙකුටත් වඩා වැඩිමහල් සහෝදර සෙනෙහසක් දුන් වග ඇයට අමතක නැත. ඒ හන්දාම ඇගේ දියණිය අම්මාට තාත්තාට වඩා මාමාට ආදරය කරන්නට ඉඩ තිබේ.

“අපිට ඉන්නේ කෙල්ලක් මල්ලි. අපේ කෙල්ලට යහපතක් වෙන්නනම් අපි හොඳට ඉන්නෝන.”

අක්කා කියන්නට යන්නේ කුමක්දැයි සඳරැස්ට වැටහේ. ඔහු ඉවත බලා ගත්තේ එනිසා ය. ලෝකයේ වඩාත්ම ආදරය කරන කෙනා අතින් වැරදි හෙළි වෙද්දී දරා ගැනීම එතරමට පහසු නැත. රිදෙන්නේ වඩාත් තදින් ය.

“ඔය රිලේෂන්ශිප් වලට බොරු කරන එක හරිම නරකයි මල්ලි. කාගෙ හරි හැඟීම් එක්කනෙ ඔයා ඔය සෙල්ලම් කරන්නේ.”

ඒ කාගේ හෝ හැඟීම් ම නොවේ. අක්කාට බොරු කරන්නට නුහුරු හන්දා සඳරැස් අක්කාගේ මුහුණ දෙස මඳ වෙලාවක් බලා සිටියේ ය. 

නිහඬවත සහනයක් ගෙන නොඑන බව ඇත්තකි. එහෙත් සමහර මොහොතක නිහඬ විය යුතුම වේ.

“මල්ලි”

තාරකා කතා කරන්නේ තදින් ය. ඔහු රිද්මිගේ කසාදය නැත්තටම නැති කර දමාවිදැයි තාරකා බියෙනි. තාරකා දික්කසාද වූ ගැහැනියක වූවානම් ඇය නෑනා කර ගැනීම ගැන තාරකාට කිසිම ගැටළුවක් නොවේ. නමුත් හොඳට ඇති පවුලක් කඩන්නට මල්ලි සැරසීමම ඇයව විශාල වේදනාවකට ඇද දමයි.

“අපේ ලේඩීස් ගෘප් එකට එන නිර්නාමික පෝස්ට් ඇපෲ කරනකොට මගෙ බඩ දනවා මල්ලි. සමහර ඒවා ඔයා ගැන කියලා තේරුණාම..තමන්ගෙ මල්ලි ගැනම ඒ වගේ කතා අහන්න ලැබෙන එක අක්කා කෙනෙකුට ඒ තරම් දරාගන්න පුළුවන් දෙයක් කියලා ඔයා හිතනවද?”

තාරකා වේදනාවෙන් කියද්දී සඳරැස් ගල් ගැසුණා ය. ඔහු ගැහැනු ළමයින්ගේ ශරීරය ක්‍රීඩා භාණ්ඩයක් කර ගන්නට අකමැති ය. බොහෝ ඉදිරිගාමී කතන්දර පැවසූවද ස්ත්‍රී පුරුෂ සම්බන්ධතා තුළ ශාරීරික බැඳීම් ඇති වූ පසු ගැහැනු දරුවන් මානසිකව ඇද වැටෙන්නේ වෙනම තැනකට බව ඔහු සිතයි. ඔහු ක්‍රීඩා කරන්නට තෝරා ගන්නේ කෙල්ලන්ගේ හදවත ය. ආදරය බව පෙන්වා අප්‍රමාණ සිහින ඇති වෙන්නට ඉඩ හැර අත්හැර දැමීම තුළින් ස්ත්‍රීන්ගෙන් පලි ගන්නට ඉඩ ලැබේ. ඒ වක්‍රාකාරයෙන් අම්මාගෙන් පලි ගැනීමකි.

“අහිංසක ගෑනු කියලා ජාතියක් ලෝකෙ නෑ අක්කා. ඔයා වගේ දෙතුන් දෙනෙක් ඇති. ගොඩක් ගෑනු ආදරේ කියන්නෙ මොකක්ද කියලවත් දන් නෑ. අනිත් එක අනිත් අයගෙ හැඟීම් එක්ක සෙල්ලං කරන්නේ ගෑනු. අපේ අම්මා පවා කරේ ඒකනෙ. තාත්තා එක්ක විතරයැ. අපි දෙන්නාගෙ හැඟීම් එක්ක පවා එයා සෙල්ලං කරා.”

එතනට වැටෙන්නට අම්මාට ද හේතු තිබෙන්නට ඇති බව තාරකා විශ්වාස කිරීම ඇරඹුවේ විවාහයෙන් පසුව ය. ප්‍රේම කිරීම සහ විවාහවීම ඇත්තේ අන්ත දෙකක බව ඇය දැන් තේරුම් ගෙන තිබේ. ප්‍රේමවන්තියකට වඩා පතිනියකට කැප කිරීම් අනන්ත ප්‍රමාණයක් කරන්නට ඇත. ඇතැම්විට අම්මාට ඒ කැපකිරීම් කරන්නට වෙහෙස දැනෙන්නට ඇත.

“මිනිසුන්ගේ හැඟීම් ගැන අපට  නිර්වචනය කරන්න බෑ මල්ලි. හැබැයි අනිත් අයට රිදවන්නෙ නැතුව ඉන්න තරමට අපිට රිදෙනවා අඩුයි කියලා මම හිතනවා. අඩුම තරමේ අපේ දරුවට හරි අපි කරන හොඳ ඉතුරු වෙයි. අපේ උපදින්න ඉන්න චූටි කෙල්ල නෙමෙයි දුලන්‍යා වුණත් උනත් කොල්ලෙක් හින්ද රිද්දා ගන්නවට මම පොඩ්ඩක්වත් කැමැති නෑ. ඒකෙන් අදහස් වෙන්නෙ නෑ මට වගේ පළවෙනි රිලේෂන්ශිප් එකම සාර්ථක වෙන්න ඕනි කියල. ඒත් එයාලා පිරිමි හින්දා අඬනවට මම කැමති නෑ. කොයි අම්මත් අක්කත් එහෙම ඇති.”

සඳරැස්ට මේ වචනවල ඕනෑවටත් වඩා බර ගතියක් දැනිණ.

“ඒ කෙල්ලො දෙන්නව මොකා හරි ඇඬෙව්වොත්නම් දත් හලනව. දුලන්‍යාටත් කියන්න කැම්පස් එකේ ඉන්න මොකෙක් හරි ගෝතයෙක් හින්දා හොට්ට පෙරන්න එහෙම එපා කියලා. අනිවා ගහනවා.”

කෙල්ලන්ගෙ ජීවිත වලට එතරම් අගයක් නැතිබවට පාරම්බාමින් සිටි කොලුවාට හදිසියේ සිදු වූ විපර්යාසය ඔහුගේ අක්කාට සිනාවක් ඇති කරන්නට සමත් විණ. මල්ලිව ඕනෑවටත් වඩා කියවා ගන්නට සමත් අක්කාට ඔහු මල් කිරිල්ලක ගැන සිහින දකිමින් සිටින බව නිකමටවත් සිතුණේ නැත.

“ඔයා තමන්ගේ මිනිස්සු වෙනුවෙන් උණු වෙනවා. එයාලට පණ දෙනවා කියලා මම දන්නවා. ඒ වගේ තව අයියලා මල්ලිලා යාළුවො මේ ලෝකෙ ඉන්නවා. උන් කවුරුහරි උඹේ දත් හලන්න කලින් පරිස්සමින් ඉඳපන් මල්ලි.”

තාරකා කාමරයෙන් පිට වූයේ එසේ පවසමිනි. මේ මොහොතේ අක්කාට ඇති ආදරය ද පරදමින් නූපන් බිලිඳියක හා මල් කිරිල්ලියක තමන්ගේ හදවත දිනා ගන්නට තරග කරමින් සිටින බව කියා කෑගසන ආවේගයක් සඳරැස්ට ඇති විණ.

ප්‍රේමය මඟ බැලීමකි. බිලිඳිය ඉපදෙනතුරු ද මල් කිරිල්ල සමීප වන තුරු ද මඟ බලන්නට ඔහු ඉටා ගත්තේ ය.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles