හිමගිරි අරණ -11

රවිඳු කාමරයේ දොර වසා ගත්තේ අම්මා කිනම් මොහොතක හෝ කඩා වැදෙන්නට ඉඩ ඇති බැවිනි.සැබෑවටම අම්මා හිඳින්නේ කෝපයෙනි.ඒ අනතුර ස්වභාවික එකක් බව සිතන තුරුම අම්මා හුන්නේ රවිඳු අනතුරට පත් කළ ලොරි රථය ගැන කෝපයෙනි.නමුත් රවිඳු රෝහල්ගත වී හුන් දවස්වල ඔහුගේ කාමරයේ තිබූ සමු ගැනීමේ සටහන සොයා ගත්තේ ඔහුගේ අයියාගේ බිරිඳ වූ කලනි ය.ඒ ලිපිය අම්මාට නොපෙන්වා හිඳින්නට තිබුණා නොවේදැයි රවිඳුගේ අයියා,දුමිඳු අනේක වාරයක් බිරිඳට බැන වැදුණා ය.එහෙත් නැන්දණියට ලේලියක නොවී එකම දූ වී හුන් කලනිට එය නොපෙන්වා හිඳින්නට සිත එකඟ කර ගන්නට නොහැකි විය.

“කොහෙවත් ඉන්න රට උඩැක්කියක් වෙනුවෙන් මැරෙන්න හිතුණා කිව්වම මට එන තරහනම්..”

රවිඳුගේ අම්මා,සුරම්‍යා එසේ පවසමින් පරල වූවා ය.තාත්තා නම් වචනයක් වත් නොකියන්නට ප්‍රවේසම් වූයේ ය.වෙනුරිට බනිමින් අම්මාට පොහොර දමන කලනි දෙස රවා බැලූ දුමිඳුට කියන්නට කාරණාවක් තිබිණ.

“අනේ අම්මේ මේ,මල්ලිට වගේම වෙනුරිටත් දොස් කියන එක කිසිම තේරුමක් නැති වැඩක්.”

සුරම්‍යා ඒ කතාවට වහා එරෙහි වූවා ය.ප්‍රේමය අතැර දැමීම සම්බන්ධයෙන් වෙනුරි වැරදිකාරියක වන තරමටම ජීවිතය අතැර දැමීමට උත්සාහ කිරීම සම්බන්ධයෙන් තමන්ගේ පුතු වැරදි කරුවෙකු බව ඇය තීරණය කර තිබිණ.එනිසාම ඇයට ඕනෑ වූයේ පුතුට දොස් තබන්නට ය.

“ජීවිතයක් හිතුණු හැටියේ අතාරින එක මෝඩ වැඩක් තමයි.ඒ වැඩේ බරපතලකම ගැන මල්ලිට හෙමින් කියා දෙන්න ඕන.ඒ වුණාට අම්මේ වෙනුරිට දොස් කියන්න අයිතියක් අපිට නෑ.”

දුමිඳුගේ ඕනෑවට වඩා පණ්ඩිතකම් ගැන කලකිරීමක් ආවේ කලනිට ය.ඇය සැමියා දෙස රවා බැලුවා ය.එහෙත් තමන් එල්බ ගන්නා තීරණයක ඇති නිවරද්‍යතාවය ගැන කරුණු දක්වන්නට සමත් දුමිඳු අම්මාත් බිරිඳත් දෙස බැලුවේ නිවී සැනසිල්ලේ ය.

“අපි තෝරා ගන්න පාට්නර් කෙනෙක් අපිට මොනම හේතුවක් නිසා හරි ගැලපෙන්නේ නෑ කියලා විශ්වාස නම් එයාගෙන් වෙන් වෙන්න ඕන කසාදෙට කලින්.කසාදත් බැඳලා රණ්ඩු වෙවී ඉඳලා වෙන් වෙන මිනිස්සු බහුතරේ බැන්දට පස්සෙ හැදෙයි කියලා විශ්වාස කරපු අය.එහෙම විශ්වාස වල ඉන්නේ නැතුව තමන්ගෙ පාට්නර් තමන්ට නොගැළපෙනවා නම් අයින් වෙන්න ඕනෑ කෙනෙකුට අයිතියක් තියෙන්න ඕන.ඒකට බලපෑම් කරන්න බනින්න අපි යන්න හොඳ නෑ.”

දුමිඳු එසේ කීවද සුරම්‍යාට ඒ කතාවට එකඟ වන්නට නොහැකි විය.ඇය පුතු දෙස නොසැලකිලිමත් බැල්මක් හෙළා ලේලිය දෙස බැලුවා ය.මෙවැනි ප්‍රශ්න කතා කළ යුතු වන්නේ දියණියක සමඟ ය.

“මල්ලිට හොඳ තැනකින් කටයුත්තක් බලන්න ඕන පුතේ.”

කලනි ඒ කතාවට හිස වනා එකඟ වූවා ය.නමුත් දුමිඳුට ඇති වූයේ කෝපයකි.

“ඔයාලට පිස්සුද? තාම ඒ කොල්ලගෙ අතපය වල තුවාල වේලිලාවත් නෑ.ඊට පස්සෙ හිතේ තියන තුවාල ටික සනීප කරවන්න ඕන.ඒ මොකුත් නොකර ගෑනු ළමයෙක් ජෝඩු කරලා දීලා හරියනවද?”

මේ බොහෝ මව්වරුන් කරන වරදක් බව දුමිඳු දනියි.ප්‍රේමයකින් පැරදෙන දරුවෙකු ඉතා ඉක්මනින් කසාදයක පටලවන්නට ඔවුහු වග බලා ගනිති.ඉන් වඩාත්ම අසාධාරණය සිදු වන්නේ බිඳ වැටුණු ජීවිතයකට අත්වැල වන්නට පැමිණි සහකරුට හෝ සහකාරියට ය.බිඳුණු හදවතක් සමඟ ගනුදෙනු කරන්නට යාමෙන් බිඳී යන්නේ ඔවුන් ය.

“මල්ලිට පාඩුවෙ ඉන්න දෙන්න අම්මේ.මල්ලි ගැන හොඳට ඇහැ ගහන් ඉන්නව මිසක කසාද හොයන්න ඕන නෑ දැන්ම.”

දුමිඳු අවසන් තීන්දුව ලබා දුන්නේ ය.තාත්තා සමඟ මේ ගැන වැඩිදුර කතා කරන්නට ඔහු අනතුරුව තීරණය කළේ ය.නැතිනම් තවත් විනාශයක් සිදුවීම වළක්වන්නට නොහැකි ය.

“හිත හොඳටම රිද්දන් ඉන්නකොට කොහෙවත් ඉන්න උඩැක්කියක් කරේ එල්ලා ගන්න බැරිත් නෑ.අර මල්ලිව බලන්න ඉස්පිරිතාලෙ දුවගෙන ආව එක ගෑනු ළමයෙක් කරේ නොගිය ටික විතරයි.”

අතීතයේ වෙනුරි සම්බන්ධයෙන් ද එවැනි රතු එළි දුටු බව සිහි කරමින් සුරම්‍යා පැවසුවා ය.පුතුගේ සුවදු විමසන්නට ආ කාර්යාලීය යුවතියන් දෙදෙනාගෙන් එක් අයෙකුගේ ඇගේ හදවත පැහැර ගනිද්දී අනිත් යුවතිය ඇගේ හිත තුළ රතු එළි දල්වන්නට සමත් වූවාය.කලනි ද ඒ අදහස ස්ථිර කරන්නට වූවා ය.මිත්‍රත්වයක් පවා නුහුරට දකින අම්මාත් බිරිඳත් ගැන දුමිඳුට මතුව ආයේ සිනාවකි.

“අර සුප් එහෙම හදන් ආව ගර්ල් නම් හරි සිරියාවන්තයි අම්මෙ.ඒ වුණාට මල්ලි අයිති කරගෙන වගේ හිටියේ අනිත් ගර්ල්නෙ.”

නැන්දණියත් ලේලියත් නොදැන හුන් කාරණාවක් විය.ඒ ඔවුන් දුටු සිරියාවන්ත ගැහැනු ළමයා යුවතියක නොව විවාහයකින් දරුවෙකු පවා ලද ගැහැනියක බව ය.නමුත් එක්වරක් පමණක් දුටු ඒ රුව ගැන සුරම්‍යා රහසේම සිහින දකින්නට පටන් ගත්තා ය.

(රෝගාතුර වී සිටි නිසා හිමගිරි අරණ දින කිහිපයක්ම ඔබ වෙත ගෙන එන්නට නොහැකි වීම ගැන සමා වෙන්න) 

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles