ඇයි ඌට අත් දෙකක් – 8

0
4724

ඩොක්ටර් කිව්වා මට තියෙන්නේ ඩෙලරින් ටර්ම්ස්  කියලා. වෙන කරන්න දෙයක් නැති නිසා මමත් ඒක විශ්වාස කරා..ඒත් මට ආප්පු ගැන ඇති වුණේ මහා විශාල සැකයක්.. ලංකා… උඹ මේක කොයි වෙලාවේ කොයි විදිහේ තත්ත්වයකදී කියවනවද කියන්න මම දන්නේ නැහැ.. සමහරවිට මේ හරිය කියවනකොට මම මැරිලා ඉඳී.. සමහරවිට උඹට හිතෙයි මේ විශාල අභිරහස හොයන්න ඕනෙයි කියලා.සමහරවිට උඹට හිතෙයි අනුන්ගේ කුණු ගොඩවල් වලට කර ගහන්නේ නැතුව මගේ අන්තිම කැමති පත්‍රය හැටියට වසන්තිට හැමදේම බාර දීලා ආපහු උබේ රටට යන එක තමයි කරන්න ඕනේ කියලා. මේ ප්‍රශ්නෙදි මටත් විසඳිච්ච නැති ගොඩක් තැන් තියෙනවා.උඹට පුළුවන් නම් උත්සාහ කරපන් ඒ තැන් හොයාගන්න.මේක සාපයක්ද නැත්නම් කවුරු හරි මේක නිර්මාණය කරපු දෙයක්ද කියන්න මම දන්නේ නැහැ..

::::::::::;:::::;::;;::::;::::::::::::::::::::::::::::::::::::::

ඊයේ මට හරි වැඩක් වුණා.ඊයේ හැන්දෑවේ තිබිච්ච වැස්සත් එක්ක මම හිටියේ කියාගන්න බැරි මහා පාළු හැඟීමකින්.උදේ වරුවේ වත්තේ මිනිස්සුන්ට පඩි දීල ආවේ මට ආපහු හැන්දෑවේ එලියට බහින්න බැරි වෙයි කියලා හිතුන හින්දමයි.හැමදාම වගේ පුරුදු විදිහට පෝරනුව පත්තු කරලා  අප්පු හදලා දීපු  බිත්තර තක්කාලි බීලූනු  මිශ්‍ර බේකන් ඩෙවල් එකත් එක්ක බකාඩි ශොට් තුනයි ගත්තේ… පුරුදු විදිහටම මගේ ඇස් පිය වෙනවා මට මතකයි.හැබැයි ඊට පස්සේ සිද්ධ වෙච්ච දේ හීනයක්ද ඇත්තක්ද කියන එක මට තවමත් තේරුම් ගන්න බැහැ.මම මේ සිද්ධිය උදේ නැගිට්ට ගමන්මයි මේ ලියන්නේ..
මට වැඩිපුර මත්ගතියක් දැනිච්ච හින්දා මම එහෙම්මම පුටු ඇන්දට හේතුවෙලා ඇස් දෙක පියා ගත්තා.ඊට පස්සේ හැම දෙයක්ම මගේ මතකයේ තියෙන්නේ හරියට හීනයක් වගේ.කවුරු හරි මේක ඇහුවොත් හිනාවෙයි.ලංකා … උඹ කවුරු හරි නෙමෙයිනේ..උඹ මගේ අති ජාත මිත්‍රයා..උඹ හිනාවෙන්න එපා විශ්වාස කරපන්..
මට හිතාගන්න බැරි වුණා..
මම දැක්කේ අප්පුගේ ඡායාව..ඒ අප්පුද කියන එක මට හරියටම කියන්න බැහැ.. ඒත් මට එහෙම හිතෙනවා.මගේ මුළු ඇඟම ගල් වෙලා වගේ තිබුනේ.අඩුම තරමේ මට මගේ අතක් වත් උස්සගන්න බැරුව හිටියේ.ඊට පස්සේ මහා පුදුම දෙයක් සිද්ධ වුණේ.එකපාරටම අප්පු විශාල හැන්දක් වගේ දෙයක් දාලා මගේ කට ඇරියා මට මතකයි.අප්පු මට මොන දේ කළත් මට එයාට විරුද්ධ වෙන්න පුළුවන්කමක් තිබුණෙ නැහැ..ඊට පස්සේ මොකක් හරි ලොකු භාජනයකින් එළියට ගත්තු දිග දෙයක් අප්පු මගේ කට ඇතුළට බාගයක් විතර ගිල්ලෙව්වා.. මට කෑ ගහන්න වුවමනාව තිබුනත් මට කෑ ගහගන්න බැරුව ගියා.ඊට පස්සේ මට දැනුනේ මගේ උගුර දිගට හරි රස්නෙට මොනවා හරි දෙයක් ගලාගෙන යනවා වගේ. උඹ විශ්වාස කරපං ලංකා මට ඇත්තටම එහෙම දෙයක් දැනුනා.මගේ කිසිම උත්සාහයක් නැතුව ඒ රස්නෙ දේ මගේ බඩ ඇතුලට ගියා.මම දන්නෙ නෑ මොනවද කියන්න… ඊට ටික වෙලාවකට පස්සේ ආපහු කට ඇතුලට දාපු දේ කවුරුහරි මගේ ළඟ හිටපු මනුස්සයා එළියට ගත්තා.ඊට පස්සේ එයා නොපෙනී ගියා… ඊටත් සෑහෙන වෙලාවකට පස්සේ තමයි මට වචනයක් හරි කතා කරගන්න පුළුවන් වුනේ..මට කතා කරගන්න පුළුවන් වෙච්චි ගමං  මම අප්පුට කෑගැහුවා… උබ විශ්වාස කරපන් ලංකා…මම හැන්දෑවේ ඉඳගත්තේ පහට විතර පුටුවේ.. ඒත් මට හරියටම කතා කරගන්න පුළුවන් තත්ත්වයට එනකොට මම හිටියේ පහුවදා උදේ නමය ත් පහුවෙලා..
මට කෑ ගහගන්න පුළුවන් වෙච්ච පළවෙනි තප්පරේදී මම අප්පු කියලා කෑ ගැහුවා…
අප්පු ලඟට ඇවිල්ලා මට කිව්වේ

සර්ට මම එපා කියනකොට ඊයෙ රෑ වැඩිපුර ගත්තා ..දැක්ක නේද නැගිට්ට වෙලාව.. කියලයි.අප්පුගේ ඇස් දෙක දිහා බලාගෙන හිටියහම මට මං ගැනම ලැජ්ජ හිතුනා.උඹ දන්නවද ඒ ඇයි කියලා.අප්පු ගෙ ඇස් දෙක අහිංසක කමින් පිරිලා තිබුණේ.මට හිතෙනවා මට මානසික රෝගයක් තියෙනවා කියලා.කාත් කවුරුවත් නැති යන්න එන්න තැනක් නැති අවුරුදු ගානක් අපිව බලා ගත්ත මේ අහිංසක මනුස්සයව නිකන් නිස්කාරණේ මම සැක කරනවා කියලා මට මගේ හිත ඇතුලෙම ඇති වුණේ මහා විශාල ලැජ්ජාවක්.

———————————–=========

සේනා ගේ ලියමං අතර අතරමං වෙලා උන්නු මං තවත් මේ විදිහට කල්පනා කරන එකේ තේරුමක් නැහැයි කියලා මට හිතුනා.මේ හැම සිද්ධියක්ම වසන්තිට දැනුම් දෙන්න දැන් කාලය හරි කියල මට හිතුනා.මේ වතු මේ ව්‍යාපාර සියලු දේ භාරගන්න කෙනෙක් ඉන්න ඕනේ.මං ඒ ගැන කියන්න දුරකථන ඇමතුමක් ගන්න ටවුන් එකටම යන්න ඕනේ.අප්පු හොයාගෙන මම ගියේ මම ටවුන් එකට ගිහිල්ලා එන්නම් කියලා කියන්න.තාමත් මේ සිද්ධිවල ඇත්ත නැත්ත මම හරියටම දන්නේ නැති නිසා මට කිසිම කෙනෙක් දිහා සැකයෙන් බලන්න බැරි වුණා.සැකයෙන් බලන හැම වෙලාවකම ඒ පුද්ගලයා වැරදි කාරයෙක් හැටියට පෙනෙන එක නවත්ත ගන්නත් මට බැරුව ගියා.

මේ කොළ කියවගෙන යනකොට මටත් සමහර වෙලාවට හිතෙන්න පටන් ගත්තා සේනාධිර කියන්නේ යම්කිසි කාලයකදී මානසික විපර්යාසයකට ලක් වෙච්ච පුද්ගලයෙක්ද කියලා.
අප්පුව හම්බවෙන්න මම කුස්සියට ගියත් අප්පු ඒ වෙලාවේ කුස්සියේ හිටියේ නැති හින්දා අප්පුගේ කාමරයට යන්න මම එළියට බැහැල ගියා. අප්පුගේ කාමරයේ දොර වහල තිබිච්ච හින්දා මට හිතුණා හෙමින් සැරේ කාමරයට එබිල බලන්න ඕනේ කියලා. අපගේ කාමරයේ එක ජනේලයක් තිබුණා . ඒ ජනේලය වහලා ලැටිස් ගහලා තිබුණේ.ඒ හින්දා මට තේරුණා කාමරයේ ඇතුළේ ඉන්න කෙනාට එළිය පේන්නත් එළියේ ඉන්න කෙනාට ඇතුළ නොපෙනෙන්නත් තමයි ඒක හදල තියෙන්නෙ කියලා.මට ඒ විදිහේ දෙයක් හිතුනේ ඇයි කියන්න තේරෙන්නේ නැහැ.මම බිත්තියට මුවා වෙලා බොහොම ඉවසීමෙන් බොහොම හෙමින් ලී තීරු අස්සෙන් ඇතුල බැලුවා.අප්පු ඇතුලෙ හිටියා.මට මගේ ඇස් අදහා ගන්න බැරුව ගියා.අප්පුගේ ඇඳ පැත්තකින් තියෙනකොට අප්පුගේ මේසේ උඩ තරමක ලී පෙට්ටි පහක් විතර තිබුණා.අප්පු ඒ එක පෙට්ටියක් ඇරගෙන ඇතුලට මූණ දාගෙන මොනවා හරි කතා කරන බව මම දැක්කා.ඇත්තටම ඒ පෙට්ටිවල තියෙන්නෙ මොනවද.මේ අභිරහස විසඳන්න නම් මම ගොඩක් කපටි වෙන්න ඕන කියලා මට හිතුනා.කරන්න තියෙන හොඳම දේ නං පොලිසියට ගිහිල්ලා කියන එක තමයි.ඒත් පොලිසිය ඇවිල්ල පරීක්ෂා කරන කරනකොට ඒ පෙට්ටිවල කිසි දෙයක් නැති වුනොත් අප්පුත් නිකන් නිස්කාරණේ මාත් එක්ක තරහා වෙනවා.පොලිසිය ඉස්සරහ මමත් නිකන් නිස්කාරණය ඕපදූප හොයන මනුස්සයෙක් බවට පත්වෙනවා.මේකට පොලිසිය ගාව ගන්න ඕනේ අන්තිම ස්ටෙප් එකේ දී කියලා ඒ හින්දා මම තීරණය කළා. දැනට අප්පු අහිංසක මිනිහෙක් නෙමෙයි කියල හිතන්න ඕනේ කියලා මට හිතුණා.

“සර්.. තේ බොන්න ඕන වෙලාද මාව හොයාගෙන ආවේ”

එකපාරටම මගේ පිටිපස්සෙන් අප්පුගේ කටහඬ ඇහෙනකොට මට උන්නු හිටි තැන් අමතක උනා.කොයි වෙලාවේ කොහොම අප්පු කාමරයෙන් එළියට ආවද කියන එක මම දැක්කේ නැහැ.මම ජනේලයෙන් හොරෙන් බලනවා කියන එක අපපුගේ අතටම අහු උනා කියන එක නම් මට තේරුණා. ඒත් මේ වෙලාවේ මොනවද ඒ පෙට්ටිවල තියෙන්නේ කියලා අහන්න ගියොත් ලොකු ප්‍රශ්නයක් ඇතිවෙයි කියලා මට හිතුනා.

“අ.හ්.. මම හැම තැනම අප්පුව හෙව්වා.. ලොකු සර් නැතිවෙච්ච දුකට අප්පු ඉන්නේ දුකෙන් කියලා  මං දන්නවා… ඒ හින්දයි මම ටිකක් අප්පුව හොයලා බලන්න හැදුවේ..”

“සර් මාව හෙව්වේ මොකක් හරි පණිවිඩයකටද…”

මම කියපු මේ ලෝකෙ දෙයක් තේරුනේ නැති විදිහට අප්පු මගෙන් ඇහුවා..මම කියන්න උත්සාහ කළේ මම අප්පුව සැක කරනවා නෙමෙයි අප්පු ගැන මම ආදරයෙන් හොයා බලනවා කියන එකයි.සමහරවිට මම කියපු එක තේරෙන්නත් ඇති.සමහර පුද්ගලයෝ ඉන්නවනේ අනිත් කෙනෙකුගේ ආදරය අනුකම්පාව කොහොමවත් බලාපොරොත්තු වෙන්නේ නැති..අප්පුත් සමහරවිට එහෙම කෙනෙක් වෙන්න ඇති..

“මම ටවුන් එකට යනවා.එන්න ටිකක් හවස් වෙයි.”

අප්පු මුකුත් නොකියා මං දිහා බලාගෙන ඉන්නකොට මම ආපහු හැරිලා පාර දිගේ ඇවිදගෙන යන්න පටන් ගත්තා.මම දැන් ඇවිල්ලා සතියක් විතර වුණාට මේ කරදරවලටම මුහුණ දුන්නා මිසක් අක්කර සීයක් විතර විශාල වෙච්ච මේ තේ වතුයායේ ඇවිදින්නවත් අවස්ථාවක් හම්බවුණේ නෑ..කිලෝමීටර දෙකහමාරක් විතර තේ වත්ත බැහැගෙන පයින්ම පල්ලෙහාට යන්න ඕන නිසා මම අඩිය ටිකක් ඉක්මන් කරලා ගියා. ආපහු සැරයක් වටේම අඳුරු කරගෙන හිරි පොදක් වැටෙන්න පටන් අරන් තිබුණේ මීදුමත් පාත් කරගන්න ගමන්මයි.
මගේ අඩි සද්දේ විතරක්ද මට මේ ඇහෙන්නේ..
මම ටිකක් නැවතිලා ඇහුම්කන් දුන්නා.මම ආපහු යන්න පටන් ගත්තා.ටික වේලාවකින් මීදුම අස්සෙන් කවුරුහරි මගේ පිටිපස්සෙන් ළඟින් ළඟින්ම එනවා කියලා මට තේරුණා.. 

ReplyForwardAdd reaction

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here