හිමගිරි අරණ -45

රාත්‍රිය උදා වී තිබිණ.රවිඳු සිටියේ ඒ මේ අත සක්මන් කරමිනි.ප්‍රේමය අහිමි වී ගිය දවස්වල ඔහු වෙත නින්ද ළඟා වූයේ නැත.මේ ප්‍රේමයක් හිමි වේදැයි දෙගිඩියාවෙන් පසුවන දවස් ය.මේ මොහොතේදිවත්  ඔහුට නින්ද ළඟා නොවේ

“නිදි මරන්න ඕන නම් ආදරේ කරනවා.ලැබුණත් නින්දක් නෑ නොලැබුනත් නින්දක් නෑ.”

එවැනි සිතිවිල්ලක් හදට එද්දී ඔහුට සිනාවක් නැඟිණ.පාරමී ඇති කර ගිය කුණාටුව සිතේ එහෙ මෙහෙ සරද්දී මේ පීඩනය ඇති වන බව ඔහුට නොහැඟුණා නොවේ.ඇය එතරම්ම ආවේගයක් ඇති කරගත්තේ කෙසේදැයි රවිඳු සිතී ය.

“නොලැබෙන දේවල් බලෙන් අයිති කරගන්න මිනිස්සු ඉන්නවා.ඒ උනාට තමන්ට ලැබෙන්නේ නෑ කියලා විශ්වාස දෙයක් වෙන කෙනෙකුට අයිති වෙන්න යනකොට මෙච්චර කේන්තියෙන් ඉන්න කෙනෙක් මම දැක්කමයි.”

රවිඳු අඳුර සමඟ මිමිණී ය.පාරමී හිඳින්නේ බලහත් කාරයෙන් හෝ තමා දිනාගැනීමේ සටනක බව දැන් ඔහුට පැහැදිලි ය.එය එසේ කළ නොහැකි බව ඇයට මිත්‍රශීලීව පහදා දෙන්නට සිටි මිතුරිය දැන් ඇගේ ලොකුම වෛරක්කාරිය බවට පත්වී ද  අහවර ය.දැන් මේ ප්‍රශ්නය තිබෙන්නේ විසඳෙන සීමාවෙන් එපිට බව රවිඳුට වැටහෙන්නට විය.

“අඩුම තරමේ මේ ගැන හිමාටවත් සැක හිතෙන්න කලින් පාරමී සැක හිතපු එකනෙ වැඩේ.”

ඔහු අනතුරුව සිතී ය.ඇය එබන්දක් කෙසේ සැක කළා දැයි ඔහුට සැබෑවටම සිතාගන්නට අසීරු ය.

“සමහර වෙලාවට තමන්ගෙ කියල හිතෙන දේවල් ගැන අපි ඉන්නේ පුදුම අවදානෙකින්.ඒ දේවල් වෙන කෙනෙකුට අයිති වෙන්න යනවා කියලා දැනෙනවනම් ඒක ඉඟියකින් හරි අපට දැනෙනව.”

ඔහුට අතීත දවසක වෙනුරි පැවසූ වදනක් සිහියට නැගිණි.එවැනි කතාන්දර පැවසූ ඇය නික්ම ගොස් අවසන් ය.නමුත් ඇය අහිමි වෙන මොහොත දක්වාම රවිඳු ඇය අහිමි වේදැයි විශ්වාස කර නොතිබිණ.

 එහෙත් දැන් එය ද සිදු වී අවසන් ය!

“ආයෙත් කල්පනා කරන්න දෙයක් හොයා ගත්තා නේද?”

අන්ධකාරය අතරින් අම්මාගේ හඬ මතුව ආවේ ය.කියන්නට දෙයක් කල්පනාවට නොආ රවිඳු තත්පර කිහිපයක් වචන සොයන්නට වූයේ ය.අම්මා සමඟ බොරු කියන්නට ද පහසු නොවේ.ඇතැම් වෙලාවකට බැල්මකින් පවා අම්මා බොහෝ දෑ අවබෝධ කර ගන්නී ය.ඒ අම්මාකම බව පවසන්නේ ද ඇයම ය.

“ඔෆිස් එකේ මේ දවස්වල ප්‍රශ්න ටිකක් වැඩියි අම්මේ.”

රවිඳු සත්‍යයද නොවෙන අසත්‍යය ද නොවෙන අතරමැදි පිළිතුරක් ලබා දී අම්මා වෙතින් නික්ම යන්නට වෑයම් කළේ ය.නමුත් පෝටිකෝවේ ඇති මන්දාලෝකයෙන් ඔහුට අම්මාගේ මුහුණ වූ හැඟීම් කියවා ගැනීම අපහසු වූයේ ද නැත.ඒ මුහුණ එතරම් සතුටු මුහුණක් නොවේ.

“ඔයා එක වතාවක් අමාරුවක වැටිලා ඉන්න දරුවෙක්.මං ඔයා ගැන හරි බයෙන් ඉන්න පුතේ.අයියා ගැන මට කිසිම බයක් සැකක් නෑ.අඩු ගාණේ අර පුංචි එකා ගැනවත් මට බයක් නෑ.ඔයා ගැන ඇත්තටම මට බයයි.”

එතරම් බියවන්නට තමා අතින් සිදුවූයේ කුමක්දැයි රවිඳු අම්මාගෙන් විමසී ය.බොහෝවිට ඇය මේ කියන්නේ විවාහයක් කර ගැනීම ගැන බව ඔහුට සහතික ය.බිදීගිය ප්‍රේමයෙන් ඔද්දල් වී ගිය සිත සකස්කර ගන්නට කාලය උවමනා බව ඔහු බොහෝ වාරයක් අම්මාට පවසා ඇත.නමුත් ඇගේ කල් දීම දැන් අවසන් වී ගොස් ඇති බව ඔහුට මේ වචනවලින් හැඟේ.එහෙත් අම්මාට හිමාෂා ගැන එසේ පහසුවෙන් පැවසිය හැකි නොවන වගද ඔහු දැන සිටියේ ය.

සියල්ලටම පෙර ඇයට මේ ආදරය හෙළි කළ යුතු වේ.

“මම දන්නෙ නෑ දෙන්නට සම්බන්ධයක් තියෙනවද කියලා.ඒ ගැන ඇත්තටම මගේ අදහසක් නෑ.ඒ උනාට ඔෆිස් එකේ ගෑනු ළමයගෙ කතාව මම දන්නවා පුතා.මට නම් බොහොම කෙටියෙන් කියන්න තියෙන්නේ මම ඒකට කැමති නෑ”

අම්මාගේ හඬ අන්ධකාරය මැදින් ඔහුට ඇසුණේ අකුණක පරිද්දෙනි.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles