දුලන්‍යා සිටියේ අපහසුවෙනි.ප්‍රබෝධ හෝ ලහිරු ආවානම් යන්නට දෙන්නේ රෑ කෑම ගැනීමෙන් ද අනතුරුව ය. ගේ දෙක කරමින් මොනවා හෝ කියවා සඳරැස් එනතුරුම ඔහුව රඳවා ගන්නට ද තිබිණ. නමුත් මේ සහස් ය. ප්‍රේමයක් බලාපොරොත්තු නොවෙන්නැයි කියද්දීම ඔහු මල් පොකුරක්ද උස්සාගෙන පැමිණ තිබේ. දුලන්‍යාට දැනෙන කේන්තිය සහ අපහසුව මෙතෙකැයි කියන්නට නොහැකි විය.
“අයියා එන්න කලින් යන්න පුලුවන්ද?”
ඇය බැරිම තැන ඉල්ලා සිටියා ය. මවාගත් සංවරබව බිඳී ගිය සහස් වහාම කෝප ගත්තේ ය.
“සඳරැස් එන්න කලින් මාව යවන්නද හදන්නේ?”
ඔහු අසන්නේ අසංවර ස්වරයකිනි. පැමිණියාට ස්තූති කරන බවත් තමන් හදිසියේ කොල්ලෙකුගේ කඩා වැදීම ගැන ගෙදර අයට උත්තර දෙන්නට උවමනා බවත් දුලන්‍යා පැහැදිලි කළා ය. ප්‍රේමවන්තයෙකු බව පෙනෙන කෙනෙකුගේ පැමිණීම ගැන ඇගෙන් ප්‍රශ්න නොකර ඉන්නට ඉඩ ඇත්තේ සඳරැස් පමණි. අම්මා, අක්කා, අයියා ඇගෙන් අසන දේට දෙන්නට පිළිතුරු නොමැත. අනෙක් අතට කිසිම එකඟතාවයකට නොපැමිණ ඇති මොහොතක මෙසේ විකාර කිරීම පලක් නොවේ.
සහස් පිටව ගියේ අකමැත්තෙනි. ඒ අකමැත්ත ගෙදර උදවියට දැනෙන්නට ඉඩ දෙන්නට දුලන්‍යාට ඕනෑ විය.
“මේ මල් පොකුර කාමරෙන් තියාගන්න.”
සහස් කියන්නේ අර්ධ සහෝදරයා බව තාරකා දන්නී ය. ඔහු නංගීගේ ප්‍රේමවන්තයානම් කරන්නට දෙයක් නැත. විජේවර්ධන පවුලට තමන්ගේ එකම කෙල්ල දෙන්නට දුලාජ්ගේ අම්මා තාත්තා ද අකමැති වීමට ඉඩක් නොවේ. මල්ලීගේත් තමන්ගේත් හදවත් මහත් සේ කම්පනය කරමින් දුරස් වූ අම්මා සමග නෑකම් පවත්වා ගැනීමට සිදු වීම දැන් නියතයකි. තාරකා දුලන්‍යාට මල් පොකුර දුන්නේ එසේ කියමිනි. එහෙත් යුවතිය එක්වරම හඬා වැටෙන්නට පටන් ගත්තා ය.
“මොකද කෙල්ලේ මේ?”
ප්‍රේමවන්තයා නොදන්වාම පැමිණි නිසා දුලන්‍යාට ලැජ්ජාවක් ඇති වන්නට ඇතැයි තාරකාට සිතිණ. ඇය හිනැහෙමින් නෑනන්ඩිය වැළඳ ගත්තා ය.
“අනේ පැටියෝ. ලැජ්ජා වෙන්න දෙයක් යැ. කොල්ලා කියන් නැතුව ආව හින්දද මේ. ඕවට අයියා මොකුත් කියන් නෑ. එහෙම නැත්නම් කොල්ලා මේ පොඩි තුවාලෙට මල් බොකේ එකක් ගෙනාවට හිත රිදුණද? කොල්ලො එහෙම තමයි අනේ. ඔයාගේ අයියා තාමත් සූකිරිට වඩා මාව හුරතල් කරන්නේ.”
දුලන්‍යාගේ ඉකි ගැසීම වර්ධනය විය. නමුත් තමන්ගේ හැඬුම අක්කාට වරදවා වටහා ගන්නට ඉඩ දිය යුතු නැති බව ඇය අනතුරුව කල්පනා කළා ය. අක්කා කියන්නේ ඇගේ දෙවැනි අම්මාට ය. සඳරැස්ට ආදරය කරමින් සිටින බව හැරෙන්නට ඇය තාරකා අක්කාට සැඟවූ කිසිම රහසක් නොවේ. ඒ හන්දාම දුලන්‍යා ඇත්ත කියන්නට තීරණය කළා ය.
“යස වැඩක්නෙ ළමයො. ඒ ළමයා ඔයා අකමැත්තෙන් ඉද්දී පස්සෙන් එන කොල්ලෙක් කියලා ඔයාට කට ඇරලා අපිට කියන්න තිබ්බා. එහෙනම් අම්මයි මමයි එයා යන්න කලින් එයාට කතා කරනවා. අනිත් එක එහෙම ඔයා අකමැති කෙනෙක්ට ගෙදරට එන්න පාර කිව්වේ කවුද? මං හිතන්නේ නෑ ඔයාගේ යාළුවො තුන්දෙනා මේ වගේ වැඩ කරනවා කියලා.”
අද දහවල් සාමාන්‍ය මිතුරියක වූ චමත්කා දුලන්‍යාගේ නිවසට එන මාර්ග සිතියම ඉල්ලා සිටියා ය.බලන්න එන්නට පොරොන්දු වුව ද ඇය පැමිණියේ නැත. අනිවාර්යෙන් මේවා කුමන්ත්‍රණ ය. ඒ කුමන්ත්‍රණ පිටුපස මධුනි පවා සිටීම ටක්කෙටම විය හැකි දේ ය. දැන් දුලන්‍යාට හැඬෙන්නේ කෝපයට ය.
“අපි ඒ බෝයිට හෙමින් කතා කරමු.මං අයියට කියන්නං.”
දැනෙන අප්‍රමාණ සැනසීම ගැන කියන්නට තාරකාට වචන වූයේ නැත. අර්ධ සහෝදරයා පවුලට එකතු නොවීම ගැන ඇයට සතුටක් දැනේ. ඔහු තමන්ගේ මල්ලී වග ඇයට නොදැනේ. නමුත් තාරකා කුසින් වැදූ දියණියට තරමටම දුලන්‍යාට ආදරය කරන්නී ය.
“එක දවසයි එක්ක යන්න බැරි වුණේ. අතපයත් කඩා ගත්තද?”
නිවසට පැමිණි වහා සඳරැස් කළේ ඇයට බැන වැදීම ය.හොඳටම හිත රිදුණු පොතක ඔහුගේ බැණවැදීම ඇගේ දෑසට කඳුළු උනන්නට සමත් විය. දුලන්‍යා සඳරැස් දෙස බැලුවේ රතු වී ගිය ඇස් දෙකකිනි.
“කලර් ලයිට්ස් දැක්කේ නෑ වගේ ඒ මනුස්සයා ආවේ.”
ඇය වහා දුක කියන්නට වූවා ය. අම්මාටවත් මෙසේ හේතු නොපැවසූ බව ඇයට සිහි විය. නමුත් ඔහුගේ ආදරණීය ස්වරය අමුතු රළු ස්වරයක් ගනිද්දී ඇය තිගැස්සෙයි. ඒ රළු ස්වරයේ පවා ප්‍රේමය ඇති වග ඇය නොදන්නවා නොවේ.
“මල් අරන් ආවේ විජේවර්ධන ද?”
ඊළඟ ප්‍රශ්නය වඩාත් රළු ය.දුලන්‍යා හිස සැලුවා ය.
“බොරුවනෙ කරන්නේ ඌට කැමති නෑ කියලා. මල් උස්සන් ගෙදරටම ආවේ ඒකනෙ ඌ.”
දුලන්‍යා වහා නැඟී සිටියා ය. මෙහෙම කතන්දර අහන්නට ඕනෑ නැත.
“ඒ ආවට මට සතුටුනම් මම මල් බොකේ එක කාමරේට ගේනවනෙ. ඒක තිබ්බ තැනම තියෙන්නෙ මට ඒක එපා නිසා.”
ඇය කෝපයෙන් රතු වී කියවද්දී ඇගේ මුහුණ අල්ලා සිප ගන්නට තරම් දොළක් සඳරැස්ට ඇති වේ. මේ යුවතියට ආදරය කරන බව කියන්නට ප්‍රමාද විය යුතු නොවේ.නැතිනම් මොනම අන්දමේ හෝ ගෙම්බෙකු කුමාරයෙකු වන්නට පතමින් නැවත එන්නට ඉඩ තිබේ.
සඳරැස් එසේ සිතද්දී දුලන්‍යා ද ඔහු දෙස බලමින් හිත යටින් බනින්නට පටන් ගත්තා ය. මේ තරමට කෝප ගන්නට ඕනෑ නැත.හරිනම් කළ යුතු වන්නේ ඇය සමඟ එක් වී සහස්ට බැන වැදීම ය.
ප්‍රේමය නම් ඇස් බැල්මක දැවටෙමින් දිය වීම වග දැනෙන්නේ ද රිද්මගේ ගීයක් නොනවත්වාම අසන්නට සිතෙන්නේ ද විරහ ගීයක් නිකමටවත් අසන්නට නොසිතෙන්නේ ඔහු නිසා ය.
ආදරය නිසා දියව යා යුතු බව ඇය දැන ගත්තේ ද ඔහු නිසා ය.
හිම කඳු වගේ ගල් වී හිඳින කෙල්ලන් දිය වී ගඟක් සේ ගලන්නට ඕනෑ ය.ඒ හිම කන්දක් වී මිදෙන්නට ඕනෑ නැති නව තේරුම් යන ඇස් දෙකක් ජීවිතයේ කවදාමහරි ලැබෙද්දී ය.සමහර හිමිවීම් සදාකාලික ද නැද්ද කියන්නට අසීරු වුණත්ජීවිතයේ එක් වතාවක් හෝ හදවත දිය කරන දෑසක් ඇස ගැටෙන්නටම ඕනෑ බව දැන් දුලන්‍යා දන්නී ය.
ඉතින් ඇය ප්‍රේමයෙනි, අන්කවරදාටත් වඩා ඔහු කෙරෙහි බැඳෙමිනි!
එවැනි මොහොතක කොහේටවත් නැති සහස්ගේ මල් පොකුරක් වැඩකටම නැත.
“මට ඒ මල් බොකේ එකකින් වැඩක් නෑ. අත රිදෙනවා.බත් කන්න බෑ.”
ඒ කතාව අසා සිටි සඳරැස්ගේ දෙතොල් මත ලස්සනම මඳහස ඇඳිණ.
“දැන් අපේ රටේ මෙඩිකල් ෆැකල්ටිවල මාර ඒවා උගන්නනවා. අත රිදෙනකොට කෑම අජීර්ණ වෙන හැටි එහෙම.”
එසේ කියමින් ඔහු දුරකථනය අගුලු හැරියේ ය. අනතුරුව එය ඇය අත තැබී ය. දුරකථනය අතිශය පෞද්ගලික බව කියමින් ඔහු එය කිසිම කෙනෙකුට අල්ලන්නට දෙන්නේ නැත. නමුත් ප්‍රතිපත්ති වෙනස් කරන්නට කාලය එළඹේ.
“ආ.. කැමති දෙයක් ඕඩර් කරගන්න.”
ඇය දඟ සිනාවකින් දුරකථනය අතට ගත්තා ය.සහස්ගේ මල් පොකුර යකාට ගියදෙන් යැයි ඇයට සිතිණ.