“මං දන්නේ නෑ අප්පා. මට තේරෙන්නේ නෑ.”
මල්ලිගේ ළදරු පාසල් පිළිතුර තාරකාට ගෙනාවේ සිනාවකි. ඇය ඔහු දෙස බලා සිටියේ ආදරයෙනි. මල්ලි නොකියන ඕනෑම දෙයක් ඔහුගේ දෑස්වලින් ග්‍රහණය කරගන්නට ඇය දන්නී ය. මේ වතාවේදී ද ඔහුගේ දෑස් බොරු කියන්නේ නැත.
“අනේ තමුසෙ බබානෙ මල්ලි. මගෙ ඉහේ කෙස් ගාණට වඩා තමුසෙට කෙල්ලො හිටියා. වලිබර කැරැක්ටර් එකක් කියලා ඉස්කෝලේ කාලේ ඉඳලම තමුසෙව ලේබල් වුණේ ඔය ගෑනු ළමයින්ගේ කේස්වලට ගහගෙන.”
අක්කා එසේ කියද්දී සඳරැස්ට සිනා උපදී. ඔහුට සඳරැස් කියා නම තැබීම විශාල අත්වැරැද්දක් බවත් එය හිරුරැස් ලෙස නොතැබීම දෙමාපියන්ගේ වරදක් බවත් පැවසුවේ සාමාන්‍ය පන්තියේ සිංහල ගුරුතුමිය ය. වරදක් ද නැත. ඒ කාලයේ ඔහු දැවෙන හිරු පන්නයේ කොල්ලෙකි. නමුත් සඳරැසක් වන්නට කාලය පැමිණෙමින් තිබේ. එය ඔහුට නොදැනුණා ද නොවේ.
“මං දන්නේ නෑ.මං කියන්නේ නෑ. වගකීමෙන් කියන්නේ මං ඕකට උත්තරේ දන්නේ නෑ.”
ජනප්‍රියම විහිළුවක් කරමින් සඳරැස් හිනැහෙන්නට උත්සාහ කළේ ය. තාරකා දෑත් ඉඟෙහි ගසාගෙන ඔහු දෙස අමනාප බැල්මක් හෙළුවා ය.
“අනේ මේ මල්ලි. දැන්ම උත්තර නොදී අඬාගෙන ආවොත් නම් තමුසෙව ගෙදරින් පන්නනවා මං.”
සහස් වැනි තවත් බොහෝ අය දුලන්‍යාව පතන්නට ඉඩ තිබේ. එවැනි මොහොතක තරඟ වැදීම එතරමට පහසු සිතුවිල්ලක් නොවේ. ඒ හන්දා කරන්නට ඕනෑ දේවල් දරා ගැනීම නොව අවස්ථාවක් මඟ නොහැරීම ය. තාරකා ඒ පාඩම මල්ලීට කෙටියෙන් පැහැදිලි කළා ය. සඳරැස්ගේ කළු පැල්ලම් වැටුණු ඉතිහාසය දන්නා දුලාජ් සමහරවිට ඔහු දුලන්‍යාගේ වෙනවාට අකමැති වන්නටත් ඉඩ තිබේ. නමුත් දැන් තාරකා දන්නා එක දෙයක් ඇත.
සඳරැස් සැබෑවටම සඳරැසක් වන්නට ඔහු අසල මේ කුඩා සුන්දර යුවතිය සිටිය යුතුම වේ!!
“ඒ ළමයා මට කැමතිද දන්නවයැ..”
සඳරැස් එවර සාම්ප්‍රදායික කතාවක් පැවසී ය. ඔහු සිත් ගත් ගැහැනු ළමයාගේ කැමැත්ත අකමැත්ත සිතමින් කල් මරන්නෙකු නම් නොවේ. කෙසේ හෝ කැමැත්ත දිනා ගන්නා පන්නයේ කොලුවෙකි. එසේ බලද්දී මේවා විහිළු කතා බව තාරකාට සිතේ.
“අනේ මේ! පුරුදු වෙන්න ලව් කරනවා වගේ මෝඩ කතා කියන්න එපා මල්ලි.”
ඇය එසේ කියමින් සඳරැස් කාමරයෙන් එළියට පන්නා ගත්තා ය. බිළිඳිය අවදි වී තිබේ. සියල්ලටම වඩා වටින්නේ ඇගේ කිරි වේල ය. මඟුල් කපුකම් පසුව කරන්නට හැකි ය.
සඳරැස් දුලන්‍යා ඇණවුම් කළ ආහාර එනතුරු බරාඳයේ සක්මන් කරන්නට වූයේ ය. ඇයට මේ ගැන කියන්නට ඕනෑ ය. තවත් සැඟවීම මෝඩ වැඩකි. දුලන්‍යා අහිමි කරගන්නට දැන් ඔහුට දැනෙන්නේ අප්‍රමාණ ලෝබකමකි.සමහර දවස් කල්පයකටත් වඩා දිගුව දැනුණු කාලයකට පසු දැන් ගෙවෙන දවස් ඇහිපිල්ලමක වේගයටත් අඩු වග ඔහුට දැනේ.ජීවත් වීම මහා වේදනාවක් යැයි නොදැනෙන තැනක ජීවත් වීම මොනතරමට පහසුදැයි ඔහු සිතී ය.
“On some days all we want is someone who looks at us and understands our unsaid words”
ඔහු ෆේස්බුක් තිරය මත එවැනි සටහනක් දිටී ය. එවැන්නක් දකිද්දී ආයේ ආයේම සිහි වෙන්නේ දුලන්‍යාව ය!
“අපි මොනතරම් සංවාද කරලා තියනවද? අපි ගැන, අපිට කිසිම විදියක් වැදගත් නැති දේවල් ගැන, ආදරය ගැන, දේශපාලනය ගැන, ජීවිතේ ගැන.ඒත් අපි කතා කරලා ඉවරද?”
සඳරැස් සිතන්නට වූයේ ය. නැත! කතාබහ අවසන් වී නැත.
සමහර හැඟීම් වචන විය යුතු නැති බව ඉගෙන ගත්තේ දුලන්‍යාගෙන් ය. නැත්තම් ඒ කතාව ඉගැන්නුවේ ඇය ය! ආදරය බලහත්කාරයෙන් ඉල්ලා ගන්නට පුරුදු වූ කොලුවෙකුට නොඉල්ලාම ආදරය ලැබීම ආශ්චර්යයකට ළඟ හැඟීමකි
එක අතකට ආදරේ භාෂාව වචන විතරමදැයි සඳරැස් සිතී ය.
නැත!
වචන නොවන හැඟීම් පවා තේරුම් ගැනීම මිසක ආදරය කියන්නේ වෙන කිසිවක් නොවේ.
ඔහු ඇය ඇණවුම් කළ ආහාර ද රැගෙන කාමරයට ගියේ ඒ සිතුවිල්ලේ ය. දුලන්‍යාගේ අතේ ඇති කැක්කුමක් නොවේ. එහෙත් හුරතල් වන්නට ඇය ඕනෑවටත් වඩා කැමති ය. අප්පච්චිත් අයියාත් පමණක් නොව මල්ලී පවා ඇයව ඕනෑවටත් වඩා සුරතල් කරන බව අම්මාගේ චෝදනාව ය.
ඉතින් අම්මාගේ බෑනා පවා එසේ කිරීම නරක නැත.
“මං සහස්ට හොඳ දෙකක් ටයිප් කරා”
දුලන්‍යා එසේ කියද්දී සහස් අනාරාධිතවම ඇගේ දුරකථනය අතට ගත්තේ ය.අනතුරුව ඔහු ඒ ලියා දමමින් සිටින පණිවිඩය මකා දැම්මේ ය.
“ඕන නෑ හොඳේ. නිකං රණ්ඩු කරගන්න එපා. අයියයි මායි මේක බලා ගන්නම්”
සඳරැස්ගේ කටහඬ අණ කිරීමක් ද නැතිනම් ඉල්ලීමක්දැයි දුලන්‍යාට පැහැදිලි නැත. ඇය පුටුවෙන් නැඟී සිටියේ කොණ්ඩය ගැට ගසමිනි. සොලවන්නටත් බැරි බව කී අතට කොණ්ඩය බඳින්නට පවා හැකි බව සිහි වී සඳරැස්ට සිනාවක් පිපිණ.
“ඔයාලා මට ආදරේ නිසා මෙහෙම බූතයෝ ගැන බය නෑ මට.”
දුලන්‍යා කියන්නේ විශ්වාසයෙනි. සඳරැස් ඇය දෙස බලා සිටි බැල්ම දරාගන්නට ඇයට ඉනික්බිතිව අපහසු විය. ඒ අර දෙතොල් පෙති ලිහී පිපෙන සිනාව නොවේ. බරැති බැල්මකි. අයියා සමානවම සඳරැස් ඇය කෙරෙහි විමසිලිමත් වීම ගැන දුලන්‍යා කැඩුණු රේඩියෝවක් සේ නොනවත්වාම ස්තූති කරන්නට ගත්තේ ඒ නිසා ය.
“මං ඔයාට ආදරේ දුලාජ් අයියා වගේනම් නෙවෙයි.”
කැඩුණු බවට මොර ගෑ අතම ඔහු මේ තරම් තදින් අල්ලා ගැනීම දුලන්‍යාට මඳ වේදනාවක් ද රැගෙන ආයේ ය. කම් නැත! ප්‍රේමය එක්තරා ආකාරයක වේදනාවකි. එහෙත් ප්‍රේමය මිහිරක් බව ඇයට හැඟුණේ ඊළඟ තත්පරයේ ය. ඔහුගේ දෙතොල් ඇගේ කම්මුලක රැඳිණ. දුලන්‍යා සිහි එළවා ගන්නටත් පෙර සඳරැස් අර ලස්සනම සිනාවෙන් ඇයට සංග්‍රහ කර යන්නට ගියේ ය.
ඒකපාර්ශ්වික ප්‍රේමයක උමතුවේ දැවටී සිටි යුවතිය ඒ ආදරය දිනා ගත්තා ය. නමුත් ඇය හුන් තැනම ගල් ගැසී සිටියා ය. ප්‍රථම හාදුවටත් විදුලියටත් සම්බන්ධයක් ඇති බව ඇය දැන ගත්තේ ඒ මොහොතේ ය.
(අද නැති කමෙන්ට්ස් මොකටදැයි කියලා ලියන්නම ඕනෑද?