ඉඳුදුන්න -34

“අර…කිඩ්ස් ස්ටාර් එකේ ඉඳුවරත් කෝච් කෙනෙක්..”

සඳුනි පෙන්වන්නේ තරගයේ පූර්ව ප්‍රචාරක දැන්වීම් ය.අමන්දී එය ගැහෙන හදවතක් සහිතව බලා හුන්නා ය.ඇය සිතා සිටියේ දුලනි සවියක් වන්නට ඈ රැගෙන තරගයට යන්නට ය.තමන්ගේ මහ ගෙදර නැවතී දුලනිව තරගයට ගෙන යන්නට පවා ඇය සැලසුම් කරගෙන හුන්නා ය.

“අපෝ ප්‍රසන්ටින් කරන්නෙ අර හෝන්තුවනෙ.මං ආසම නෑ..”

සඳුනි පෙන්වූයේ තරිඳි ය.ඇය නාලිකාව පළමු වරට පවත්වන ජාත්‍යන්තර මට්ටමේ ළමා රියැලිටියක පූරකවරිය වන්නට තරම් වාසනාවන්ත වී සිටියා ය.
ඒ ෂෙරිල්ගේ මඩ ව්‍යාපාරය හන්දා ය.ෂෙරිල්ගේ මඩ තුළ අසත්‍ය මිස සත්‍ය බිඳුවකුදු අඩංගු නොවූ හන්දාම නාලිකා ප්‍රධානියා තරිඳිට පැවසුවේ කෙටි වචන කිහිපයකි.

“තරිඳි, ඔයා දක්ෂ ළමයෙක්.ඔයාට යන්න සෑහෙන ලොකු ගමනක් තියනවා.වැටෙන මඩ වලට නැවති නැවති ඉන්න ඇත්තටම ඔයාට කාලයක් නෑ.ඔයා කරන්න ඕන පුලුවන් වේගෙන් ඔයාගෙ ගමන යන එක.එච්චරයි..”

එපමණකි.

ඇය ඊළඟ සතියේ ළමා තාරකා තරගයේ පූරකවරිය බවට පත්ව සිටියා ය.

“සනූ,ඉඳුවර කෝච් කෙනෙක්.තරිඳි ප්‍රසන්ටර්.මං හිත හදාගෙන මගෙ දරුවව අරන් යන්නෙ කොහොමද?”

අමන්දී සනුරිට වට්සැප් පණිවිඩයක් යැව්වා ය.

“ඒ උඹේ දරුවෙක්.ඒ දරුවට පාර පෙන්නන්න ඕන උඹ කියලා හිතලා හිත හදා ගත්තම ඇති..”

සනුරි ලියා එව්වා ය.බොළඳ පෙම්වතියක ලෙස මේ ප්‍රශ්නය දෙස බලන්නට බැරි බවත් දුලනිගේ සංගීත ජීවිතය තුළ අම්මා තමන් බවත් අමන්දී අවබෝධ කරගත්තේ ඒ මොහොතේ ය.ඇය හිත ශක්තිමත් කරගන්නට සිතුවා ය.

“මොනවම වුණත් ඒ ඔයාගෙ පරණ යාළුවෙක්නෙ නංගි.ඔයාට කතා කරොත් කතා නොකර ඉන්න එපා.ආදරේ ඇති වෙලා නැති වෙන්න පුලුවං..ඒත් යාලුකම් නැතිකරගන්න එක අපරාදයක්..”

ගොයම් කොළ අතර සැරිසරමින් ද මහ පොළොව සමඟ ගැටෙමින් ද සෑම මොහොතක්ම ගතකරන සැමියා මෙතරම් ජීවන දැක්මක් ඇත්තෙකු බව අමන්දීට සැබෑවටම සිතී තිබුණේ නැත.ඇය අවිශ්ක දෙස බැලුවේ ආදරයෙනි.ඉඳුවර ප්‍රේමය පුරවාගත් අර විදුලි සැර බැල්ම හෙළුව ද කමක් නැත.මේ නිහඬ තරුණයා ජීවිතය සහමුලින්ම ඔහුට නතු කරගෙන ඇති බව අමන්දීට හැඟෙයි.

කෝච්චියෙන් කොළඹ ආ ගමන දුලනිට ගෙන ආවේ සතුටකි.අම්මාත් ටීචත් සමඟ කොළඹට විත් ටීචගේ කොළඹ ගෙදර නැවතුණු දා ඇය හුන්නේ සතුටිනි.

“මට මුහුද බලන්න යන්න බැරිද ටීච..”

බොහෝ කාලයකට පසු තමන්ගේ ගෙදර තමන්ගේ කාමරයේ තමන්ගේ ලෝකයකට වී සිටි අමන්දී වෙත ආ දුලනි ඇසුවා ය.අමන්දී මේ දස හැවිරිදි දැරිය තුරුලට ගත්තා ය.

“පුලුවන් පුතේ, අපි හෙට තරගෙ ඉවර වෙලා යං..දැන් හොඳට කන්න ඕන..ආයේ ප්‍රැක්ටිස් කරලා අපි කලින් නිදා ගමු..”

දුලනි හිස වැනුවා ය.

“පුතේ..”

අමන්දීට දැරියට පවසන්නට දෙයක් විය.එය කියම්දෝ නොකියම්දෝ යැයි ඈ ඇගේ සිත සමඟ බොහෝ වෙලාවක් තර්ක කරමින් ද සිටියා ය.

“පුතා සින්දුව කියනකොටනෙ කෝච්ල ටර්න් වෙන්නෙ.ඒ කියන්නේ එයාලා පුතාගෙ පැත්ත හැරිලා පුතාව තෝරා ගන්නෙ..පුතාට හතර දෙනාම හැරුණොත් කාවද තෝරා ගන්නෙ?”

දැරිය මහපට ඇඟිල්ලෙන් බිම ඉරි අඳිමින් මඳ වෙලාවක් ගෙවූවා ය.

“අර ඉඳුවර කියන්නෙ.එයාව…”

අමන්දී දැරියව දෝතින්ම අල්ලා ගත්තා ය.ඒ තීරණය වළකාලිය යුතු ය.නමුත් දැරියගේ සිත නොරිදෙන්නට ය.අමන්දී කල් තියා සූදානම් කරගත් පිළිතුර පැවසුවේ කටපාඩම් කරගත් අන්දමට ය.

“පුතේ, ඔයා ශමාලි මැඩම්ව තෝරා ගන්න.මං ඔයාට උගන්නන්නෙ ජන කවිවලට කිට්‍ටුවෙන් යන සින්දුනෙ.ඒ විදියෙ ඒවා වැඩියෙන්ම කියන්නෙ ශමාලි මැඩම්.පුතා එයාව තෝරා ගන්න.රනුක සරුත් හොඳයි.ඉඳුවර සර් අලුත් තාලෙ සින්දු කියන කෙනෙක්නෙ.ජෙනී මිස් නම් ඉංග්‍රීසි සින්දු කියන බබාලට තමයි හරියන්නෙ.පුතා ශමාලි මිස් තෝරා ගන්න..”

දැරිය කාමරයෙන් එළියට ගියේ ඒ තීරණය එතරම් කැමැත්තක් ඇතිව බාර නොගෙනැයි අමන්දී සිතුවා ය.නමුත් ඉඳුවර සමඟ දුලනිගේ අනාගතය සම්බන්ධයෙන් එක්ව කටයුතු කරන්නට ඇගේ කැමැත්තක් වූයේම නැත.නිරන්තරයෙන් ඉඳුවර අමතමින් දුලනිගේ ප්‍රගතිය ගැන විමසන්නට සිදු වීම සහ ඇගේ පුහුණුකිරීම් එක් වී කරන්නට සිදුවීම දඬුවමක් මිස සතුටක් නොවන බව අමන්දී විශ්වාස කළා ය.

අලුත් දවසකට හිරු උදා වූයේ ගුරුතුමිය ද ශිෂ්‍යාව ද චකිතයට පත් කරමිනි.නොදන්නා පරිසරයක ගී ගැයීම ගැන සිසුවිය තිගැස්මෙන් හුන්නා ය. බොහෝ කාලයකට පසු දකින හද කළඹවන කුළුදුල් ප්‍රේමය යළි දැක ගැනීම නිසා ගුරුතුමිය කැලඹී හුන්නා ය.

සිසුවිය සනසන්නට ගුරුතුමිය හුන්න ද ගුරුතුමියට ශක්තියක් විය යුතු බව සිතූ කෙනෙක් නාලිකාවේ පිවිසුම් දොරටුවට වී අමන්දී සහ දුලනි එනතුරු බලා හුන්නා ය.

ඒ රුව අමන්දීට ගෙන ආවේ සැනසීමකි.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles