“ආදරයේ පැහැය කුමක් විය හැකිදැයි මේධානි කල්පනා කළාය. එය සුදු පැහැය විය නොහැකිය. රතු පැහැය විය නොහැකිය. රෝස පැහැය ද විය නොහැකිය. එසේනම් ආදරයේ පැහැය කුමක් විය හැකිද? තම හදවතට දැනෙන පරිදි ආදරයේ පැහැය බොහෝ දීප්තිමත්….”
ලියමින් සිටි වාක්‍යය නතර කොට පෑන නිකටට තද කර ගත් ආරාධ්‍යා කල්පනා කළාය. සැබවින්ම ආදරයේ පැහැය කුමක් විය හැකිදැයි සිය නිදන කාමරයේ ජනෙල් පෙල අතරින් දිස් වන මහා සයුර දෙස බලාගෙන ඇය කල්පනා කළාය. ඈත ක්ෂිතිජයේ සිට වෙරළ දෙසට පෙරලී එන අලු පැහැති රළ ගෙඩි වෙරලේ හැපී බිඳී යන්නේ සුදු සිනා නංවමිනි. මතකයේ ඇති දින පටන්ම දකින මෙම සුන්දර දසුන කිසිදිනෙක එපා නොවන්නකි. නිල් පැහැය… අහසත් නිල් පැහැතිය. මුහුදත් නිල් පැහැතිය. ආදරයේ පැහැයත් නිල් පැහැති විය නොහැකිද?
“මේක පුදුම කරුමයක්නෙ? සල්ලි… සල්ලි… සල්ලි… සල්ලි ගස් වලින් කඩනවා කියලද උඹ හිතන්නෙ? නෑ… මං ළඟ සල්ලි නෑ කිව්වම නෑ…”
නිවස තුළින් ඇසෙන අම්මාගේ කටහඬින් ආරාධ්‍යා සිය දැහැනින් මිදුනාය. මෙතෙක් නිකටට තද කරගෙන සිටි පෑන ඇය අතින් ගිලිහිණ. විහාරා අදත් අම්මා සමග ගැටුමක් ඇති කරගන්නට ඇතැයි ඇයට සිතිණ.
“සල්ලි නිසා මේ ගෙදරින් ආදරය පලා ගිහින්. එක දවසක්… ඔව්… එක දවසක් හරි සතුටින් ඉන්න අපට කවදාවත්ම බැරි ඇයි?”
පෑන අහුලා මේසය මත තබා සුදු කඩදාසි පිටු සියල්ලම ලිපි ගොනුවක් තුළට දැමූ ආරාධ්‍යා කල්පනා කළාය. හඬන්නට තරම් වේදනාවක් සිතට දැනෙමින් තිබුණද, කඳුලට තම ජීවිතයට බද්ධ වන්නට ඉඩ නොදිය යුතු යයි යමක් කමක් වැටහෙන වියේ සිටම සිතන්නට ආරාධ්‍යා පුරුදුව සිටියාය. ධීවර කාන්තාවන් සහ ළමුන් වෙනුවෙන් පිහිටුවා ගන්නා ලද අතිශයින් සාර්ථක රාජ්‍ය නොවන සංවිධානයක සභාපතිනිය වන අම්මාගේත්, නීතීඥයෙකු වන තාත්තාගේත් අවධානයෙන් දරුවන් කෙමෙන් කෙමෙන් ගිලිහී යද්දී ජීවිතය යනු කුමක්දැයි වටහා ගැනීමට තමාට හැකි වුව ද, නංගී විහාරා ද, මල්ලී මලීෂ ද පීඩාකාරී ජීවිතය නිවා ගන්නේ තම තමා රිසි දෑ කිරීමෙනි. ඔවුන්ට කරන අවවාදයන් ගඟට කැපූ ඉනි සේ පලක් නොවන බව දැන ගත් පසු අවවාද කිරීම ඇය අත් හැර දැමුවේ සිතකින් නොවේ.
ආරාධ්‍යාගේ කාමරයේ දොර විවර විය. විහාරා කාමරය තුළට ඇතුලුව මුලින් කපා දැමූ කෙසෙල් ගසක් මෙන් යහන උඩ ඇද වැටුනාය. ඇගේ ගතෙහි හී ගඩු පිපිණ. තමා බොහෝ පවිත්‍ර ලෙසින් තබා ගන්නා ඇඳ ඇතිරිලි අපවිත්‍ර කිරීම පිළිබඳව විහාරාට චෝදනා කළ ද, ඇය එය මායිම් නොකරයි. විහාරාගේ කාමරය අවුල් ජාලයකි. පිළිවෙල සහ පවිත්‍රත්වය ඇගේ ජිවිතයෙන් ඈත් වී ගියා නොව ඇය එය උවමනාවෙන් ඈත් කර ගෙන ඇත්තේ අම්මාගෙන් සහ තාත්තාගෙන් පළිගැනීමේ චේතනාව නිසා බව සිතෙද්දී ඇති වන්නේ ඇය කෙරෙහි මහත් අනුකම්පාවකි.
ආරාධ්‍යා, විහාරා දෙස බැලුවාය. කෝපයෙන් පුපුරන මුහුණින් යුතුව සීලිම දෙස බලාගෙන කල්පනාවට වැටී සිටින ඇය කෙරෙහි ඇති වූ අනුකම්පාව නිසාම ඇය පුටුවෙන් නැගිට ගොස් යහන මත හිඳ ගත්තාය.
“මොකක්ද වුනේ?”
සිහින් පටි දැමූ කෙටි බ්ලවුසයකින් ද, කොට කලිසමකින් ද සැරසී සිටින විහාරාගේ දෙපා යහන මත විය. ඇගේ දෙපතුල් වල තැවරී ඇති කුනු පැල්ලමක් දුටු ආරාධ්‍යාගේ ගත හීගඩු පිපිණ. ඊයේ රාත්‍රියේ යහනට දැමූ අලුත් ඇතිරිලි විහාරා නිසා අදත් මාරු කළ යුතුය.
“මොකක්ද සිද්ද වුනේ චූටි?”
විහාරාගේ උරහිස මත අත තැබූ ආරාධ්‍යා ඇසුවාය. විහාරාගේ මුව කොන ඇදවී උපහාසාත්මක සිනාවක් නැගිණ.
“සුහර්ෂා සූරියබණ්ඩාර මැඩම්ගෙන් රුපියල් දහ දාහක් ඉල්ලුවා. නෑලු.”
විහාරා පැවසුවේ අපහාසාත්මක ලෙසිනි. අම්මාට ‘අම්මා’ යනුවෙන් ආමන්ත්‍රණය කිරීම ඇය විසින් නතර කරන ලද්දේ කෙදිනක සිටදැයි මතකයේ නොමැති වුව ද, අම්මාගේ මැදිහත් වීම නිසා සිය ප්‍රේමය බිඳී ගිය දින සිටම ඇය ‘අම්මා’ යනුවෙන් ආමන්ත්‍රණය කිරීම අත හැර දැමුවාය.
“සල්ලි මොනවටද ඔයාට?”
විහාරා ඇසුවේ කරුණාවෙනි.
“සල්ලිද? පුලුවන්නම් අම්මා කෙනෙක් ගන්න. තාත්තා කෙනෙක් ගන්න. ආදරේ ගන්න. මගේ නැති වුන සුහේල්ව ගන්න. තව මොන තරම් නම් දේවල් සල්ලි වලින් කරන්න පුලුවන්ද අක්කෙ?”
විහාරා උමතු වී ඇතැයි ආරාධ්‍යාට සිතිණ. ඇතැම් විටෙක ඇය පවසන වදන් තේරුම් ගැනීම අපහසුය. පවුලේ බාලයා වශයෙන් ආදරයට සැළකිල්ලට පාත්‍ර විය යුතු වුවද, අම්මාත් තාත්තාත් නිසා ඇගේ සිත නිරන්තරයෙන් පීඩනයට ලක්ව තිබීම අනිටු ප්‍රතිඵල ගෙන දෙන්නක් විය හැකි යයි ආරාධ්‍යාට සිතිණ.
“අම්මා මොනවද කිව්වෙ?”
ආරාධ්‍යා ඇසුවාය.
“මොනවද නොකිව්වෙ කියලා අහන්න. මම සල්ලි ටිකක් ඉල්ලුවම තමයි නැත්තෙ. සල්ලි ගස් වලින් කඩන සුහර්ෂා මැඩම්ට අපි සල්ලි ඉල්ලුවොත් නැති බණේම තමයි.”
“ඔය කිව්වට අම්මා සල්ලි දේවි.”
ආරාධ්‍යා විහාරාගේ සිත සැනසීමේ අදහසින් පැවසුවාය.
“ඔව්. දේවි. බැල්ලියකට විසි කරන පරණ පාන් කෑල්ලක් වගේ ගෙනත් මුණට විසි කරාවි. මට නම් ඇති වෙලා. මේ හැමදේම ඇති වෙලා. ටිං එකක් අරගෙන පාරෙ හිඟා කන්න යනවා. ඒක මීට සැපයි.”
“සන්සුන් වෙන්න චූටි.”
ආරාධ්‍යා විහාරාගේ හිස අතගෑවාය.
“ඉවසමු. ඉවසීමෙන් සැනසීම ලැබේ කියලා කියනවනෙ.”
කඳ සෘජුකොට ගෙන යහන මත හිඳ ගත් විහාරා මුව කොනින් සිනාසුනාය.
“ඔව්. එහෙම කියනවා විතරක් නෙමෙයි ලියනවා අපි පුංචි කාලෙ. ඉවසීමෙන් සැනසීම ලැබේ. පනින්න පෙර සිතා බලමු. පෙරලෙන ගලේ පාසි නොබැඳේ… ඔව්වා වචන විතරයි අක්කෙ.”
“රිලැක්ස් චූටි. රිලැක්ස්…”
ආරාධ්‍යා විහාරාගේ පිටට තට්ටු කළාය.
“බේබිලාට කෑම කන්න කතා කරනවා.”
රංජනීගේ කටහඬ කාමරයේ දොරකඩ දෙසින් ඇසිණ. ආරාධ්‍යා හිස ඔසවා බැලුවාය. රංජනී ගේ දෙනෙත් යොමු වී තිබුනේ විහාරා දෙසටය.
“හිතුවක්කාරකම් කරන්න එපා බේබි. මැඩම් ඉන්නෙත් හිතේ අමාරුවෙන්.”
ඇය පැවසුවාය.
“එයාට විතරද හිතක් තියෙන්නෙ. අපට නෑ. අපි ඔටුවොනෙ.”
“සන්සුන් වෙන්න චූටි. අපි යමු කෑම කන්න. මම බඩගින්නෙයි හිටියෙ.”
“යමු.”
විහාරා යහනෙන් බිමට පැන්නාය.
“කෑම අපිව කන්න ඉස්සරවෙලා අපි කෑම කමු.”
විහාරා කණ්ණාඩි මේසය ඉදිරියට ගොස් අවුල් වී තිබූ කෙටි හිසකෙස් අතින්ම සකස් කර ගත්තාය. හැඳ සිටි කෙටි බ්ලවුසය ද අතින් පහළට ඇද ගත්තාය.
“මං ඊයෙ රෑ හීනෙන් සුහේල්ව දැක්කා අක්කෙ.”
ඇය පැවසුවේ ආරාධ්‍යාට නොව කැඩපතටය.
“එයා නවත්තන්නෙ නැතිවම ගිටාර් එක ප්ලේ කළා. මං කිව්වා දැන් ගිටාර් එක ප්ලේ කළා ඇති. දැන්වත් අපි කතා කරමු කියලා. මං කියපු වචනයක්වත් එයාට ඇහුනෙ නෑ. එයත් හිටියෙ මේ ගෙදර ඉන්න මහ බීරි ජෝඩුව වගේ.”
විහාරා කට උල් කර කැඩපතෙන් හැඩ බැලුවාය.
“සමහර වෙලාවට මට මගේ ජීවිතේ එපා කියලා හිතෙනවා. ආයෙම හිතෙනවා ජීවිතය කියන දේ නැති වුනොත් ආයෙ ගන්න බෑ නේද කියලා. මැරි මැරී ජීවත් වෙනවා අක්කෙ. ජීවත් වෙවී මැරෙනවා.”
මෑතක සිට විහාරා පවසන්නේ මෙවන් වදන්ය. ඇය සිය සිතට නැගෙන දේ පවසන්නේද නැතිනම් සිත තුළ කැකෑරෙන වේදනාව වදන් වලින් පිට කර හරින්නේද යන්න ආරාධ්‍යාට නොවැටහිණ.
“අනේ බඩගිනියි. අපි යමු චූටි.”
ආරාධ්‍යාට අවනත වූ විහාරා කතා බහකින් තොරව කාමරයෙන් පිට වූවාය. පහත මහලේ වූ කෑම මේසයට තාත්තා හිඳගෙන සිටින අයුරු පියගැටපෙළ බසිද්දීම ආරාධ්‍යා දුටුවාය. පිටත්ව යාමට සූදානම්ව සිටි ඔහු සිය ජංගම දුරකතන තිරය දෙසට නෙත් හෙලාගෙන සිටියේය. කවීන් සූරියබණ්ඩාර දියණියන් දෙදෙනාගේ පා හඬ ඇසී හිස ඔසවා බැලූ නමුදු යළිත් සැනෙකින් ඔහුගේ දෙනෙත් ජංගම දුරකතනය දෙසට යොමු විය. විහාරා ශබ්ද නැගෙන සේ පුටුව ඇද හිඳ ගත්තාය.
“මැනර්ස්…”
යන්තමින් හිස එසවූ කවීන් සූරියබණ්ඩාර පැවසුවේය.
“තියෙනවද එහෙම එකක්?”
විහාරා ඇසුවාය. සාමාන්‍යයෙන් නිවසේ අම්මාගේ උපදෙස් පරිදි උදෑසන කෑම මේසය බොහෝ සරු ලෙස පිළියෙල වී තිබේ. රතු කැකුලු බත්, ඉඳිආප්ප, පාන්, මාලු, බිත්තර, කිරි හොදි, පොල් සම්බෝල, බටර්, ජෑම්, පළතුරු ආදියෙන් පිරී ඇති කෑම මේසය දකිද්දී අඩුම තරමේ පාන් කෑල්ලක්වත් නොමැති දරුවන් මෙම රටේ කෙතරම් ඇත්ද යන සිතිවිල්ල ආරාධ්‍යාගේ සිතට පිවිසියද, ඇය කිසිදිනෙක එය වදනින් ප්‍රකාශ නොකළාය. මේසයේ වූ ආහාර කඩිමුඩියේ බෙදා ගත් විහාරා කඩිනමින් එය ශබ්ද නගමින් කන්නට වූයේ තාත්තාගේ සිත රිදවීමට බව ඇය දැන සිටියාය.
“හෙමින් කනවා. කවුරුවත් උදුර ගන්නෙ නෑ.”
අම්මා කෑම මේසයට පැමිණියාය. චාම් කපු සාරියකින් සැරසී පැමිණි ඇගේ හිසේ ඉදිරිපස කෙස් කැරැල්ලක් තඹ පැහැ ගන්වා ඇති බව ආරාධ්‍යා දුටුවේ ඒ මොහොතේය.
“ඇයි නැත්තෙ? උදුර ගනීවි. මගේ හැමදෙයක්ම උදුර ගත්ත වගේම බෙදා ගත්ත බත් පතත් උදුර ගන්න බැරි නෑ.”
සුහර්ෂා මොහොතක් විහාරා දෙස බලා සිටියාය. ඇය දෙතොලෙහි ගල්වා ඇති ආලේපන වල පැහැය තද වැඩිදැයි ආරාධ්‍යාට සිතිණ. ඇස වටා ඇති කලු රේඛාව නිසා ඇගේ දෙනෙත් බොහෝ සුන්දරව පෙනෙයි. අම්මා තාත්තාගේ පිඟානට බත් ස්වල්පයක් බෙදන ආකාරය දෙස ඇය බලා සිටියාය. එතරම් සුහද කතා බහක් ඔවුන් දෙදෙනා අතර ඇති නොවුවද, කෑම මේසයේදී පළමුව ඔහුට බෙදා ඉන්පසු තමාට බෙදා ගැනීමට අම්මා පුරුදුව සිටියාය.
“මොකක්ද අර කේස් එකට වෙන්නෙ?”
පාන් පෙත්තක සීරුවෙන් බටර් තවරන අම්මා ඇසුවාය. විහාරා මවගේත්, පියාගේත් මුහුණින් මුහුණ බැලුවේ කිසිවක් නොවැටහුන හෙයිනි.
“දිනනවා. අනිවාර්යයෙන්ම දිනනවා. මං අත ගහපු කේස් එකක් කවදද පැරදිලා තියෙන්නෙ?”
“ඕන ගානක් වියදම් කරන්න පුලුවන්. මට ඕන ඌව අඩු ගණනෙ අවුරුදු දහයකටවත් ඇතුළට දාන්න.”
තමා අතින් වැරදි යමක් කියවුනාක් වැනි හැඟීමක් සුහර්ෂාගේ මුහුණෙහි විය. ඇය ඇඹුල් තියල් මාලු කැබැල්ලක් විහාරාගේ පිඟානට දැමුවාය.
“ඇයි?”
මාලු කැබැල්ල නැවතත් මවගේ පිඟානට විසි කළ විහාරා ප්‍රශ්න කළාය.
“මට බෙදන්න එපා. මගේ අත පය තවම හයියයි.”
“බෙදාගෙන කන්න ආරාධ්‍යා. ඔයත් දැන් කන්නෙ අඩුවෙන් කියලා රංජනී මා එක්ක කිව්වා.”
“ඔව්. අපි ඉතුරු කරනවා. එන්ජීඕ එකට ගලන සල්ලියි, ඇත්ත බොරු කරන බොරුව ඇත්ත කරන ලෝයර් මහත්තයගෙ සල්ලියි ඉතුරු කරන්න.”
“විහාරා…”
සුහර්ෂා සැර කළාය.
“ඔහොමද අපට කතා කරන්නෙ? අපි අම්මයි තාත්තයි බව ඔයාට හැමතිස්සෙම අමතක වෙනවා. ඇත්තමයි කවීන්. සමහර වෙලාවට මෙයා අපට කතා කරන්නෙ අපි පුංචි ළමයි කියලා හිතාගෙන.”
“නිසි විනයක් තියෙන කොලේජ් එකකට යැව්වෙ නෑ. ඒවයෙ ප්‍රතිඵල තමයි ඔය. කෝ දැන් මලීෂ? දවස් ගානකින් මම මිනිහව දැක්කෙ නෑ.”
“කතා කරලා වැඩක් නෑ. එයා රට හදන්න හදනවා. තමන් හැදෙන්නෙ නෑ.”
විහාරා වතුර වීදුරුව ගෙන ශබ්ද නැගෙන සේ පානය කළේ තාත්තා කෝප ගැන්වීමට බව ආරාධ්‍යා දැන සිටියාය. ඇගේ පිඟානට බෙදා ගත් ආහාර වලින් අඩකටත් වඩා ඉතිරිව තිබිණ.
“හසිත් ආවොත් කෑම ලෑස්ති කරලා දෙන්න රංජනී.”
තේ බන්දේසිය රැගෙන පැමිණි රංජනීට අම්මා පැවසුවාය.
“හසිත්…”
ආරාධ්‍යා තමාටම පවසා ගත්තාය. අම්මා විසින් පවත්වාගෙන යන රාජ්‍ය නොවන සංවිධානයේ ගණකාධිවරයා වශයෙන් පත්ව පැමිණි හසිත්ට අම්මා දක්වන සැළකිල්ල වැඩි යයි ඇයට සිතුණ වාරයන් අනන්තය. එහි සේවය කරන සේවක සේවිකාවන්ට වෙනම පවත්වාගෙන මුලුතැන්ගෙයක ආහාර පිළියෙල වුව ද, උදෑසන ආහාර ගැනීමට ඔහු දිනපතා තම නිවසට පැමිණෙයි. ඔහු දැකීම සිතට සතුටක් වී ඇත්තේ මන්දැයි ආරාධ්‍යාට නොවැටහිණ.
“මං යනවා.”
කවීන් පළමුව කෑම මේසයෙන් නැගී සිටියේය. කඩිනමින් තේ පානය කළ සුහර්ෂා ද සිය අත් බෑගය විවෘත කර එතුළින් ගත් මුදල් නෝට්ටු මිටියක් විහාරා ඉදිරියට දැමුවාය.
“බල්ලන්ට ලෙලි පොල්.”
අම්මාට ඇසෙන්නට පැවසූ ඇය නෝට්ටු මිටිය ද රැගෙන නැගී සිටියාය.
“තෑන්ක් යූ මැඩම්. තෑන්ක් යූ.”
විහාරා නෝට්ටු මිටිය ද රැගෙන උඩු මහලට නැගෙන පියගැට පෙළ ඔස්සේ දිව යන අයුරු ආරාධ්‍යා බලා සිටියාය.