මල් තුහින – 07

“තමන්ගෙයි කියලා කවුරුත්ම නෑ කියලා හිතෙන මොහොතක පවා තමන්ට කියලා කවුරුමහරි ඉතුරු වෙනව.”

ඒ කතාව උගත් තැන මලිතිට අමතක ය. නමුත් එය එසේ බව පමණක් ඇය සිතුවා ය. නමුත් සුදු අම්මාගේ කියවා ගැනීම වෙනස් එකකි.

” ඕනම කෙනෙක්ට මේ ලෝකෙ ඉන්න හොඳම කෙනා තමන්ම තමයි. අපි කිසිම මොහොතක අපිව අත් අරින්න නරකයි. මිනිස්සු ජීවිතේට එනවා. ආපහු යනවා. ඒත් මැරෙනකම්ම තමන්ට තමන් එක්ක ඉන්න වෙනවා.”

කුඩා දියණියක සමඟ ප්‍රේමවන්තයා බාර ගැනීම වැනි තදබල තීරණ ගන්නට තරම් ඇය ශක්තිමත් වන්නට ඇත්තේ එසේ ය. ඇය සෑම මොහොතකම ඇය වෙනුවෙන් පෙනී සිටිනා චරිතයකි. සුදු අම්මා කිසිම මොහොතක ඇගේ ඇතුළාන්ත සාමය විනාශ කරන්නට කිසිවෙකුටත් ඉඩ නොදුන්නා ය.

මලිති උදෑසන අවදි වූයේ ඒ ධෛර්යය හිතේ තබාගෙන ය. ඈ ඉවුම් පිහුම් අහවර කර මුළුතැන්ගෙය අස් පස් කරන්නට වූවා ය. හැඩි වූ නිවසක් හිත හැඩි කරන බව ඇයට පැවසුවේ ද සුදු අම්මා ය.

“ඇවිල්ලා අස් කරන්න පුලුවන් නේද?”

නවීන් අසයි. ඒ බසට අවනත වීම මලිති නවතා දමන්නට සිතුවා ය.

“පුදුම හොඳ මනුස්සයෙක් වගේ පෙනුණට නවීන් ඔයා සම්බන්ධයෙන් අධිකාරි බලයක් නඩත්තු කරනව. ඒක ඔයා දන්නව කියලයි මට හිතෙන්නේ”

එවැන්නක් දිනක් විමසුවේ රුවිනි ය.ඒ ගැන සිතමින් කාලය මරන්නට මලිතිට නුවුමනා විය. ඇය නාන කාමරය වෙත ගියේ ඇද වූ මුහුණින් හිඳින නවීන් ඊළඟට කියන්නට යන දෙය අනුමාන කරමින් එයට පිළිතුරු සූදානම් කර ගනිමිනි.

“නවීන්, මම පරක්කු වෙනවා. මගෙ ඔලුවෙ කැක්කුම අඩු වෙලා නෑ. නාන්න ඕන. මම ටුක් එකක එන්නම්. ඔයා යන්න.”

වේදනාව ඇති වන්නේ ප්‍රමාද වී සූදානම් වීමට අවසර ඉල්ලූ විට ය. මලිතිගේ ප්‍රමාදය මිනිත්තු දෙකක් නම් ඒ මිනිත්තු දෙක හින්දා හෝරා කිහිපයක වැඩ මඟ හැරී ගිය බව පැවසීම නවීන්ගේ සාමාන්‍ය ස්වභාවය ය. නමුත් ඔහු කුමක් හෝ හේතුවකට ප්‍රමාද වීම ගැන ඔහුට කියන්නට කිසිවක්ම නොවේ. ඔහු එතරමට අසාධාරණ වෙන තැන් දැන් ඕනෑ තරම් ය.

මලිති දිය නා සූදානම් වූයේ නිස්කාංසුවේ ය.ඇය පැයක් ප්‍රමාද වන බවට විද්‍යුත් ලිපියක් ලියා යැව්වේ ද නාන කාමරයේ දී මය.

“ඩොක්ටව මුණ ගැහෙන්න ගියාද මලිති. වැඩිය හිතන්න එපා ඕව.මේ අපේ කාලෙ වගේ නෙවේනෙ. දොස්තරලා ගාව ඕන තරම් පිළියම් තියනව.”

රංගනී එසේ කියමින් උරහිසට කැපූ ඇගේ කෙටි කොණ්ඩය සකස් කර කුර්තාවේ කර සකස් කරගන්නා අන්දම සිහි කරමින් සිටි මලිතිට සිනා ඉපදිණ. රංගනීගේ තද පැහැති තොල් ආලේපනය ඇගේ මුහුණ හඳුනා නොගත් සත්වයෙකුට සම කරන බව කියන්නී පාරමී ය.

“අපේ අම්මලගෙ වයසෙ ඉන්න මනුස්සයෙක්ට අපි කරන අපහාස නම් බොහොම කැතයි.”

ඇතැම්විටෙක එසේ කියන්නට සිහි වන්නේ පවන් ට ය. නමුත් ඒ හැඟීම ඇසිල්ලකින් බිඳී යයි. විදුලි සෝපානයේ නැඟී ඉහළ මාලයට එන රංගනී ඇගේ කර ඇති විසිතුරු මාලය සකසන අතරම නිවසක සැලසුමක් සම්බන්ධයෙන් වූ කුඩා අතපසු වීම සිහි කරමින් පවන්ට බැන වදින්නේ අහළ ගම් හතටම ඇසෙන්නට ය.

“රංගනී ෆිල්ම් එකක ප්‍රඩියුසර් කෙනෙක් වෙන්න යන්නේ.”

ඒ ඕපාදූපය ආ තැන මලිතිට අමතක ය. නමුත් රංගනී කලාව මහත් ප්‍රිය කරන ගැහැනියකි. ඒවා ඉතා බොළඳ මට්ටමේ නිර්මාණ වුව ද ඇගේ වියපත් දෙනෙත් ප්‍රීතියෙන් බබළන්නේ ඒ ගැන කියද්දී ය.

“කබීර් සිං වගේ හරි ආශිකී හරි වගේ නම් මරු.”

එසේ පැවසූ කෙල්ලන් රොත්ත එක පොදියට හිනැහෙන්නට පටන් ගත් අන්දම මලිතිට අමතක නොවේ.

“කබීර් සිං, රාහුල් වගේම කැරැක්ටර් එකක් අපිට ඔෆිස් එක අහල පහලින් හොයා ගන්න පුලුවන්.”

එහෙම කීවේ දේවින්දි ය. ඇය සිතන්නේ පිරිමියෙකු නිකමටවත් මත් වන යමක් දෙස ඇස හැර බලන්නට නුවුමනා බව ය.

” බීලා වැටිල හිටියත් තුහින ලස්සනයි හැබැයි.”

ඊළඟ සිනාව මතු විය. දකින ඕනෑම මොහොතක තුහින හිඳින්නේ මත් වී බව කෙල්ලන්ගේ ජනප්‍රිය විහිළුවකි.නමුත් ඇඳ පැළඳ ගන්නා අතර මලිතිට සිතුණේ වෙනම කතාවකි.

“රැල්ලට බොන, විනෝදෙට බොන කොල්ලො තමයි වැඩියෙන් ඉන්නේ.ඒත් තුහින ඔහොම කරන්නේ මොකක්ම හරි වේදනාවක් හංගා ගන්න. මට වුණත් වෙලාවකට වැටෙන්න බොන්න හිතෙන්නේ ඒකනෙ. ඒක රුවිනි ඉන්න තැනක විතරක් මං ඉඳහිට කළාට තුහිනට තැනක් නොතැනක් නෑ.”

වේදනාත්මක තැනකින් මිදී නතර විය යුතු වන්නේ සරතැස නිවෙන තැනක ය. නමුත් තමන්ගේ නවාතැන කරගන්නට ඇයට උවමනා එහෙව් නිස්කලංක තැනක් නම් නොවේ.

(ආදරේ අරන් SmartLady ව්‍යාපෘතිය වෙනුවෙන් අපි අතිශය කාර්යබහුල දින කිහිපයක් ගත කළා. ඒ නිසා මල් තුහින මඟ හැරුණාට සමා වෙන්න. අද සිට කතාව නොකඩවා පළ වෙනවා. මලිති ගැන ඔබට දැනෙන හැඟෙන හැම දෙයක්ම කමෙන්ට් එකකින් ලියා යන්න)

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles