සිහින අසපුව – 8 කොටස

කවීන් සූරියබණ්ඩාර නැගිට ජනේලය අසළට පිය නගන අයුරු මොනාලි බලා සිටියේ සැක සිතින් යුතුවය. උසාවියට රැගෙන යායුතු ලිපි ගොනු සියල්ල එක්තැන් කරමින්ම ඇය දුරකතනය ඔස්සේ කෙරෙන කතා බහට සවන් දී සිටියාය. ඇගේ පමණක් නොව ජීනාගේ දෙසවන් ද කවීන්ගේ දුරකතන සංවාදය දෙසට යොමු වී තිබිණ.

“කියන්න. මොකක්ද ප්‍රශ්නෙ?”

කවීන් ඇසුවේය. ඇමතුම ලබා ගත්තද, ආරාධ්‍යා නිහඬව සිටින්නේ මන්දැයි ඔහු කල්පනා කළේය. බොහෝ දිනකින්ම දියණිය සමග කිසිදු සුහද සංවාදයක් ඇති වී නොමැති බව ඔහුට සිහි වූයේ එවරය.

“තාත්තෙ…”

ආරාධ්‍යාගේ ඇමතුම නොහුරු ඇමතුමක් මෙන් කවීන්ට දැනිණ.

“තාත්තා හමු වෙන්න කියලා කවුදෝ කෙනෙක් ආවා. මං කිව්වා තාත්තා ගෙදර නෑ කියලා. එයා තවම ඉන්නවා.”

ආරාධ්‍යාගේ විස්තරයට කවීන් සවන් දී සිටියේය. තමා හමු වීමට නිවසට පැමිණ සිටින අමුත්තා කවරෙක්දැයි ඔහුට අනුමානයෙන් හෝ සිතා ගත නොහැකි විය.

“මොන වගේ කෙනෙක්ද? නම ඇහුවෙ නැද්ද?”

“ඇහුවා. ආයුෂ් කියලා කෙනෙක්ලු.”

“ආයුෂ්? ඒ කවුද?”

කවීන් කල්පනාවට වැටුනේය. එවන් නමක් හිමි අයකු පිළිබඳව මතකයක් ඔහුට නොවීය. 

“නඩුවකට ආව කෙනෙක් නෙමෙයි. ගිහාන් පෙරේරා කියන්නෙ එයාගෙ තාත්තටලු. එයා තාත්තට දෙන්න කියලා තෑගි වගයක් එව්වලු. ඒකයි තාත්තව ඇහුවෙ.”

“මං දැන් කෝට්ස් යන්න හදන්නෙ. එයාගෙ ෆෝන් නම්බර් එක ඉල්ලගන්න. මං කෝල් කරන්නම් කියන්න.”

“හා තාත්තෙ.”

දුරකතනය විසන්ධි විය. කවීන්ගේ සිතට මුදු මොලොක් හැඟීමක් දැනෙමින් තිබිණ. ආරාධ්‍යා… වැඩිමහල් දියණිය… තම අවධානයෙන් ගිලිහී ගිය ආරාධ්‍යාගේ මුදු කටහඬ දරු සෙනෙහස පුබුදුවන්නක් විය.

“කවුද?”

සිතිවිල්ලේම පැමිණ හිඳගත් කවීන්ගෙන් මොනාලි විමසුවාය.

“යාලුවෙක්.”

“කෙල්ලක්ගෙ කටහඬක් මටත් ඇහුනනෙ.”

මොනාලි  කෙරෙහි ප්‍රථම වරට කෝපයක් කවීන්ගේ සිතෙහි ජනිත වූයේ නිතැතිනි.

“ඔව්. කෙල්ලක් තමයි කතා කරේ. ඒ මගේ දුව… ආරාධ්‍යා…”

“මෙන්න… කවීන්ට උන්හිටි ගමන් දරු සෙනෙහස පහළ වෙලා.”

මොනාලි පැවසුවේ සරදම් ස්වරයෙනි. ජීනා ආයාසයෙන් සිය මුවගට නැගි සිනාව යටපත් කරන ආකාරය දුටු කවීන්ගේ සිත තුළ ඇය කෙරෙහිද ඇති වූයේ කෝපයකි.

“මම යනවා. දැනටමත් වෙලා ගිහින්.”

කවීන් මොනාලිගේ කාර්යාලයෙන් පිටව සිය කාර්යාලය දෙසට ඇවිද ගියේය. ලිපි ගොනු කීපයක් පරීක්ෂා කරමින් සිටි අමර් කවීන් දෙස පරීක්ෂාකාරීව බැලුවේය.

“ඇයි සර්?”

අමර් ඇසුවේය.

“ඇයි?”

“සර්ගෙ මූණ වෙනස් වෙලා.”

“එහෙම එකක් නෑ. ගෙදරින් ලොකු දුව ආරාධ්‍යා කතා කරා.”

අමර්ගේ මුවග පුලුල් සිනාවක් නැගිණ. භාර්යාව පිළිබඳව ඉඳහිට පැවසුවද, දරුවන් පිළිබඳව  ඔහු කතා නොකරන්නේ මන්දැයි අමර්ට ද බොහෝ වර සිතී තිබිණ.

“දරුවෙක්ගෙ කටහඬ තරම් මිහිරි දෙයක් අම්මෙකුට තාත්තෙකුට තවත් කොයින්ද සර්? රුහුණු විශ්ව විද්‍යාලෙ ඉගෙන ගන්න මගේ කොල්ලා කතා කරන දවසට මගේ ඉහේ මල් පිපුනා වගෙයි. සර් දැන් කෝට්ස් යනවද?”

ලිපි ගොනු සියල්ලත්, කවීන්ගේ බී්‍රෆ්කේසයත් අමර් දෑතට ගත්තේය. කාර්යාලයෙන් පිට වූ කවීන් පිටත්ව යාමට සූදානම්ව සිටින මොනාලි දුටුවේය. ඇය තවමත් නෝක්කාඩු මුහුණින් යුතුව පසු වන බව දුටු ඔහුගේ මුවග සිනාවක් ඇඳිණ.

                    *

රංජනී විසින් රැගෙන එන ලද තේ කෝප්පය සෙමෙන් සෙමෙන් තොල ගාන තරුණයා දෙස ආරාධ්‍යා බලා සිටියාය. කඩවසම් රූපයකින් හෙබි ඔහු කොතැනකදී හෝ දැක පුරුදු බවක් දැනේ. ඇය ඔහු නිරීක්ෂණය කිරීමට මෙන් ඔහු දෙස බලා සිටියාය. ලා කොල පැහැති අත් කොට ලිනන් කමිසයකින් ද, ඩෙනිම් කලිසමකින්ද සැරසී සිටින ඔහු වටිනා පාවහන් යුවළක් පැළඳ සිටියි.

“තේ රසයි.”

හිස් තේ කෝප්පය රංජනී දිගු කළ බන්දේසිය මත තැබූ ඔහු පැවසුවේ මඳ සිනාවක් මුවගට නගා ගනිමිනි.

“ලංකාවට ආවට පස්සෙ බිව්ව රසම තේක.”

රංජනී පුලුල් සිනාවක් පෑවාය. තමා විසින් පිළියෙල කරන ආහාර පාන වල රසවත් බව කිසිවෙකු පවසද්දී රංජනී ගේ මුවෙහි එම සුන්දර සිනාව නැගෙයි. මල්ලී මලීෂ නිවසෙහි සිටියදී ඔහු රංජනී අගය කරන්නේ ඇය සතුටු කිරීමේ අරමුණින් යුතුවය.

“ඇයි සර්ගෙ අම්මා තේ හදලා දුන්නෙ නැද්ද?”

රංජනී ඇසුවාය. ආරාධ්‍යා තරවටු බැල්මකින් යුතුව ඇය දෙස බැලුවාය.

“අම්මා ඉන්නෙ අසනීපෙන්. ගෙදර වැඩට ඉන්න ගෑනු කෙනාට රහට කන්න බොන්න හදන්න බෑ.”

ආරාධ්‍යාට ඔහු කෙරෙහි ඇති වූයේ දුකකි. 

“තාත්තා ඉන්නෙ යූකේ වල. අක්කා ළඟ. අම්මත් කාලයක් හිටියෙ එහේ. එහේ දේශගුණය අම්මට අල්ලන්නෙ නැති නිසා එයා ආපහු ලංකාවට එක්ක ආවා. මමයි දැන් අම්මව බලාගන්න ඉන්නෙ.”

තමාගේ හෝ රංජනීගේ විමසීමකින් තොරව වුව ද කිසිදු විමසීමකින් තොරව වුව ද ඔහු සිය පවුලේ තොරතුරු පවසන්නේ ම්නදැයි ආරාධ්‍යාට සිතිණ. 

“එහෙමනම් නංගි මං යන්නම්. මේ පාර්සල් ටික තාත්තට දෙන්න අපේ තාත්තා දුන්නා කියලා.”

ඔහු නැගිට්ටේය.

“මම තාත්තට කෝල් කළා. ඔයාගෙ ෆෝන් නම්බර් එක ඉල්ල ගන්න කියලා කිව්වා. තාත්තා කතා කරාවි. 

“මම යන්නම්.”

කලිසම් සාක්කුව තුළින් ගත් විසිටින් කාඩ්පතක් ආරාධ්‍යා දෙසට දිගු කරන ඔහු පැවසුවේය.  ආරාධ්‍යා හිස සැලුවාය. ඔහු පැමිණි සුඛෝපභෝගී මෝටර් රථය පිටත්ව යන දෙස ආරාධ්‍යා මෙන්ම රංජනී ද බලා සිටියේ විස්මය කැටි වූ දෑසින් යුතුවය.

“මෙව්වා ඇතුලෙන් තියන්න.”

ආරාධ්‍යා පැවසුවාය. තරුණයා රැගෙන පැමිණි පාර්සල් සියල්ල ද රැගෙන රංජනී නිවස තුළට ගියාය. ආරාධ්‍යා මිදුල දෙසට ඇවිද ගියේ කාන්සිය පිරුණු සිතින් යුතුවය. ඇයට හසිත් සිහියට නැගිණ. ඔහු අද නොපැමිණියේ ඇයි? පසුගිය දිනයේ ඔහු තමා සමග මුහුදු වෙරළෙහි කතා කරමින් සිටි බව අම්මා දැන ඇය ඔහුට දොස් නගන්නට ඇත්ද?

ආරාධ්‍යා අත වූ ජංගම දුරකතනය නාද වන්නට විය. ගබඩා නොකළ දුරකතන අංකයෙහි අග ඉලක්කම් දෙක 77 ලෙස සටහන් වී තිබුණෙන් එය හසිත්ගෙන් පැමිණෙන ඇමතුමක් බව ඇය වටහා ගත්තාය.

“ඇති යන්තම් මතක් වුනා. ඇයි අද බ්‍රෙක්ෆස්ට් ගන්න ආවෙ නැත්තෙ?”

ආරාධ්‍යා ඇසුවාය.

“පාන්දරම මැඩම් වැඩ ගොඩක් පැවරුවා. මට එළියට යන්න වුනා මිස්. අද කැෆටේරියා එකෙන් බ්‍රෙක්ෆස්ට් ගන්න කියලා මැඩම් කියපු නිසා ආවෙ නෑ. සොරි.”

“ඇයි මට සොරි කියන්නෙ? රංජනීට කියන්න. රංජනී අඬ අඬා හිටියෙ හසිත් සර් ආවෙ නෑ කියලා.”

“රංජනී විතරද අඬන්න ඉන්නෙ?”

ආරාධ්‍යා වටපිට බැලුවාය. රංජනී අසළක නොමැති බව දුටු බැවින් ඇගේ සිතට සැහැල්ලුවක් දැනිණ.

“ඉන්නවා.”

ඇය පැවසුවේ සිනාව තද කර ගනිමිනි.

“ඒ කවුද?”

“බ්ලැක් ෂුස්.”

“එහෙමද?”

හසිත් දුක් හඬින් පැවසුවේය.

“මම හිතුවෙ මිසුත් බලාගෙන ඉන්නවා කියලා මං එනතුරු.”

“බලාගෙන හිටියා තමයි මෝඩයෝ. මාත් අද ඔයා එනතුරු හිටියෙ බ්‍රෙක්ෆස්ට් ගන්න.”

“ඇත්තමද?”

“ඇත්තමයි.”

“හෙටත් ඉන්නවද?”

“අද ගැන මිසක් හෙට ගැන කියන්න මම දන්නෙ නෑ හසිත්. දැන් කොහෙද ඔයා ඉන්නෙ?”

“පාස්පෝට් ඔෆිස් එකේ.”

“ඇයි?”

“බෙහෙත් ගන්න.”

හසිත් සිනාසුනේය.

“හරි. එහෙමනම් බෙහෙත් අරන් එන්න.”

ආරාධ්‍යා කෝපයෙන් යුතුව දුරකතනය විසන්ධි කළාය. ඇය මිදුල දෙසට ඇවිද ගියාය. මල් වැවීම කෙරෙහි එතරම් උනන්දුවක් නොදක්වන අම්මා නිවස වටා ඇති විශාල ඉඩම පුරාම කුන්දිරා ගස් රාශියක් වවා තිබිණ. මෙම විශාල ඉඩම පුරාම මල් වවන්නට එකල නංගී විහාරා සමග සිහින මැවූ යුගය දැන් සිහිනයක්ම පමණකි.

“ඇත්තටම කොහෙද මේ කෙල්ල හැමදාම උදේට යන්නෙ?”

ඇයට සිතිණ.

“පිදුරු ගොඩක වැටුන ඉදිකටුවක් හොයනවා වගේ සුහේල්ව හොයනවද? ඒක කරන්න පුලුවන්ද?”

සුහේල් අතුරුදහන් වූ දිනවල නංගී පුවත්පත් දැන්වීම් පවා පළ කර තිබූ බව ආරාධ්‍යා දැන සිටියාය. තාත්තා ඒ පිළිබඳව කිසිවක් නොපැවසූ නමුදු අම්මා විහාරාට දොස් නැගූ ආකාරය ආරාධ්‍යාට සිහියට නැගිණ.

“විලිලැජ්ජාවෙ බෑ. මේකි පත්තරවල දැන්වීම් පල කරලා තියෙන හැටි. ඒ උඹගෙ මිනිහද?”

සංවිධාන කාර්යාලයේ සිට හදිසියේම නිවසට පැමිණි අම්මා කෑගැසුවාය.

“ඔව්… ඇයි මොකක්ද මැඩම්ට තියෙන ප්‍රශ්නෙ?”

“එක ප්‍රශ්නයක් නෙමෙයි. ප්‍රශ්න වැලක්ම තියෙනවා. ලැජ්ජාවක් කියලා දෙයක් ඇත්තෙම නැද්ද උඹට?”

“තියෙනවා.”

විහාරා අම්මාට නොදෙවෙනි ලෙසින් කෑගැසුවාය.

“ඔයාට ලැජ්ජාව තියෙන්නෙ කොච්චර ප්‍රමාණයක්ද, අන්න ඒ තරමටම මටත් තියෙනවා.”

විහාරා කරා අඩියට දෙකට දිව ගිය අම්මා ඇගේ කම්මුලට පහරක් එල්ල කළාය. බොහෝ රිදෙන්නට ඇතත් නංගී නොහැඬුවාය. 

“ඇයි එක කම්මුලකට විතරක්? මේකටත් ගහන්න.”

ඇය අනෙක් කම්මුල දැක්වූ එඩිතර ලීලාව බොහෝ දිනක් ගත වනතුරුම මතකයට අමතක නොවීය.

“ගහලා මදි. උඹව මරන්නයි වටින්නෙ.” 

අම්මා ජීප් රථයට නැග තනිවම එය පදවාගෙන නික්ම ගියාය. ඇය එදින රාත්‍රියේ නිවසට පැමිණියේ නැත. බොහෝ රෑ බෝවනතුරුම ඇය පැමිණෙන තෙක් බලා සිටිද්දී තමා වෙත පැමිණි රංජනී පැවසූ වදන් තවමත් දෙසවන් තුළ දෝංකාර දෙන්නාක් මෙනි.

“මැඩම්ගෙ ගෙදර මෙහේ නෙමෙයිනෙ. බේබි බය වෙන්න එපා. ඉන්න කාමරයක් එහේ තියෙනවනෙ. අද එහේ නවතින්න ඇති.”

අම්මාගේ කාර්යාලයට යාබද වායුසමනය කරන ලද සියලු සැප පහසුකම් වලින් යුත් නිදන කාමරයක් සහ නාන කාමරයක් පිහිටා ඇති බව ආරාධ්‍යා දැන සිටියාය. එකල, ඇතැම් දවල් කාලයන්හිදී විහාරා සමග එහි යන අවස්ථා වල දිවා ආහාරයෙන් පසු අම්මා එම කාමරයෙහි නිදා සිටියාය.

“මෙහේ ෂෝක්.”

විහාරා අම්මාගේ යහන මත පෙරලෙමින් පවසද්දී අම්මා ඇගේ අතින් ඇද දැමූ අයුරු තවමත් මතකයට නැගේ. 

“යනවා කුණු ගාන්නෙ නැතිව. මේ කාමරේ තියෙන්නෙ මට ඉන්න. ඔයගොල්ලන්ට ඉන්න තැනක් තියෙනවනෙ.”

එදින ආරාධ්‍යාත්, විහාරාත් නිවසට පැමිණියේ යළි අම්මාගේ කාර්යාලයට නොයන්නට සිත තුළ තදින් සනිටුහන් කරගනිමිනි.

“එහෙම වුනාට මං යනවා දවසක. ගිහින් ඔය ඇඳ පුරාම කුණු ගාලා පාගලා දාලා එන්නෙ.”

කුඩා වුව ද දිළිසෙන දෑසින් යුතුව විහාරා පැවසූ වදන් ආරාධ්‍යාගේ මතකයට නැගිණ.

                    *

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles