සිහින අසපුව – 9 කොටස

විහාරා පිළිබඳව කල්පනා කරමින්ම ආරාධ්‍යා නිවස තුළට ගියාය. බොහෝ සුන්දර සහ ආදරණීය හදවතක් හිමි නංගීගේ ජීවිතය උඩු යටිකුරු කළේ අම්මාදැයි යන පැනය හැමදාමත් මෙන්ම ඇගේ සිතට නැගිණ. සුහේල් අතුරුදහන් කරන්නට ඇත්තේ අම්මා ද? අම්මා සතු බලය පිළිබඳව හරිහැටි නොදැන සිටියද, දේශපාලනඥයින් ද, නම ගිය පාතාල නායකයින්ද ඇගේ හිත මිතුරන් වන්නට ඇතැයි කෑම මේසයේදී තාත්තා සමග කරන කතාබහෙන් පැහැදිලි වෙයි. මිනීමැරුම් චෝදනාවකට හසුව සිටි ඇගේ හිතවතකුගේ නඩුවකට පෙනී සිටින්නැයි මීට කලකට පෙර ඇය තාත්තා සමග කළ කතා බහෙන් පසු ආරාධ්‍යාට පමණක් නොව විහාරාට ද, මලීෂට ද මව කෙරෙහි පමණක් නොව පියා කෙරෙහිද ඇති වී තිබුනේ මහත් අප්‍රසාදයකි. 

“මට එක දෙයක් අහන්න තියෙනවා.”

එදින කෑම මේසයෙන් නැගිට තමා සහ විහාරා ද සමග ආලින්දයේ සිටි තාත්තා වෙත ගොස් මලීෂ විමසූ අයුරු ආරාධ්‍යාට සිහිපත් විය.

“මොකක්ද?”

ඔහු මලීෂ දෙස පමණක් නොව ඔහු සමග ගිය තමා දෙසත්, විහාරා දෙසත් බැලූ බැල්ම තවමත් මතකයට නැගේ.

“ඇයි අර මිනීමරුවා බේරගන්න හදන්නෙ තාත්තෙ? මැරුණ මනුස්සයගෙ අහිංසක දරුවො පව් කියලා හිතෙන්නෙ නැද්ද?”

තාත්තා සෘජු ලෙසින් මලීෂගේ දෙනෙත් දෙසම බලා සිටි අයුරු ආරාධ්‍යාට සිහිපත් විය.

“අපි අපරාධකාරයෙක් කියලා චෝදනා කළාට නීතියෙන් ඔප්පු වෙන තුරු ඒ මනුස්සයා සැකකාරයෙක් විතරයි.”

තාත්තා සන්සුන් හඬින් පවසා සිටියේය.

“ඒ මිනිහටත් අයිතියක් තියෙනවා නීතීඥයෙක්ගෙ සහය ලබා ගන්න. ඒක ලෝක නීතිය.”

“තාත්තා උසාවියෙදි කතා කරන්නෙ ඒ මිනිහා නිවැරදිකාරයෙක් කරන්න නෙමෙයිද?” 

“මම කරන්නෙ මගේ රස්සාව. තමුන්ට වෙන මොනවත් ප්‍රශ්න තියෙනවද?”

“තියෙනවා.”

මලීෂ දැඩි හඬින් පවසා සිටියේය.

“ඒත් ඒ ප්‍රශ්න තාත්තා එක්ක කතා කරලා පලක් නෑ. මං ඒවා තනියම විසඳා ගන්නම්.”

“පිස්සෙක් වෙන්න එපා.”

තාත්තා මලීෂගේ අතින් ඇද නතර කරන්නට දැරූ උත්සාහය ව්‍යර්ථ විය. තමා සහ විහාරා සමග තාත්තා හමු වීමට ගිය ද ඔහු තනිවම සිය කාමරය දෙසට දිව ගියේ සිත් වේදනාවෙනි.

“කවුරු කොහොම කිව්වත් හැඟීම්බර වෙලා මේ රස්සාව කරන්න බෑ.”

එදින ඔහු පවසා ගත්තේ තමාටම විය යුතුය. ආරාධ්‍යා සිතිවිල්ලේම විසිත්ත කාමරයේ ඒ මේ අත ඇවිද්දාය. ඇගේ දෙපා නතර වූයේ අම්මාගේ සහ තාත්තාගේ මංගල සේයාරුව අභියසය. අම්මා විවාපත් වන්නට ඇත්තේ බොහෝ ලාබාල වයසකින් විය යුතුය. ඇගේ සුන්දර මුහුණ දෙස ආරාධ්‍යා බොහෝ වේලාවක් බලා සිටියාය.

“අම්මා ඒ කාලෙ විහාරා වගේමයි. ඒතරම් අහිංසකව හිටි කෙනෙක් මේ තරම් වෙනස් කළේ පිටරට වලින් එන සල්ලිද?”

ඇයට සිතිණ.

“බේබි…”

රංජනී ඇය අසළට පැමිණියේ විහාරාගේ කිළිටි ඇඳුම් කීපයක් ද රැගෙනය.

“ඇයි රංජනී?”

“මේ බලන්නකො.”

ආරාධ්‍යා රංජනී අත වූ රතු පැහැති මල් වැටුනු චීත්ත ගවුම අතට ගෙන බැලුවාය. 

“කාගෙද රංජනී මේ?”

“කාගෙවත් ඇඳුම් පොඩි බේබිගෙ කාමරේ තියෙන්න විදියක් නෑනෙ බේබි.”

විහාරා චීත්ත ගවුම් ඇඳ සිටින බවක් ආරාධ්‍යා කිසි කලෙක දැක නොතිබිණ. කුඩා කාලයේ අම්මා ගෙනැවිත් දුන් ගවුම් අඳින්නට පුරුදුව සිටියද, යමක් කමක් තේරෙන වයසේදී විහාරා නිවසට පවා ඇන්දේ කොට කලිසම් මිස ගවුම් නොවේ.

“මෙහෙම ඇඳුමක් නංගි ඇඳලා ඉන්නවා මම දැකලා නෑ.”

“ගවුම් අඳින මනුස්සයෙක්යැ? කොල්ලා වගේ ගෙදරටත් කලිසම්මනෙ අඳින්නෙ.”

රංජනී සිනාසුනාය. ආරාධ්‍යා ගවුම මුහුණට ළං කළාය. නංගී පාවිච්චි කරන විලවුන් සුවඳ එම ගවුමෙන් යන්තමින් නික්මිණ.

“අනේ මන්දා…”

රංජනී තමාටම පවසා ගත්තාය.

“කිළිටි ඇඳුම් හෝදන්න ගන්න ගියාමයි දැක්කෙ. මේක ටවල් රැක් එක යට ගුලි කරලා දාලා තිබුනා.”

“හෝදලා දාන්න.”

ආරාධ්‍යා පැවසුවාය.

“මං නංගිගෙන් අහලා බලන්නම් ඒක කාගෙද කියලා.”

“අම්මෝ… ඒක නම් කරන්න එපා බේබි. කෙලින්ම අහන්නෙ නැතිව හොයලා බලන්න. මට බය මේ දරුවා අනුන්ගෙන් පළිගන්න ගිහින් අමාරුවේ වැටේවි කියලා.”

“නංගි මෝඩයෙක් නෙමෙයි රංජනී…”

වෙනත් අවස්ථාවක නම් තමා දෙන පිළිතුර එය විය හැකිව තිබිණ. එහෙත් නංගී දිනපතා යන ගමන් පිළිබඳව ඇති වන්නේ සැකයකි. ඇය පවසන පරිදි සුහේල් සෙවීමට යන මේ ගමන් වල අවසානය කුමක් විය හැකිද?

“මං හෙමිහිට හොයලා බලන්නම්. රංජනී මුකුත් දන්නෙ නෑ වගේ ගවුම හෝදලා අයන් කරලා තියන්න. වෙනදා වගේම.”

රංජනී ගවුම ද ගුලි කරගෙන නික්ම ගියේ වේදනාත්මක මුහුණින් යුතුවය. අම්මා සිය භූමිකාවෙන් මිදී ගිය පසු මව ලෙස කටයුතු කරන්නේ රංජනී ය. ඇය තමාට ද, විහාරාට ද, මලීෂටද මවක්ම නොවේදැයි ආරාධ්‍යා කල්පනා කළාය. ආරාධ්‍යා සිතිවිල්ලේම උඩු මහල දක්වා ඇති පියගැට පෙළ නැග්ගාය. විහාරාගේ කාමරය පසු කර යන ඇය මොහොතක් නතර වූවාය. ඇගේ කාමරයට පිවිස දැන් ඇය ගත කරන ජීවිතය පිළිබඳව කිසියම් හෝඩුවාවක් සෙවීමට ඇයට සිතිණ. එය සදාචාරසම්පන්න නොවුව ද, විහාරා කෙරෙහි ඇති ලේ බැම්ම සියල්ල පරයා නැග එයි. ආරාධ්‍යා කාමරයේ දොර හැරියාය. රංජනී විසින් පිරිසිදු කර තිබූ කාමරයේ වූ යහන මතට අලුත් ඇතිරිල්ලක් එලා තිබිණ. සියල්ල පිළිවෙලය. සන්සුන්ය. විහාරා නිවසට පැමිණි පසු වැඩි වේලාවක් ගත වීමට පෙර මෙම පිළිවෙල වෙනස් වෙයි. ඉන්පසුව කාමරයට එබී බැලුවහොත් එය දිස් වන්නේ යුද පිටියක් පරිද්දෙනි. 

ආරාධ්‍යා විහාරාගේ යහන මත හිඳ ගත්තාය. ඇය බොහෝ ආදරය කළ බෝනික්කාගේ අත පය සියල්ලම ගලවා පසෙක දමා තිබෙනු ඇය දුටුවාය. සිතට නැගි ආවේගය සමනය කර ගැනීමේ අදහසින් යුතුව ඇය බෝනික්කා කැබලි වලට ගලවා දමන්නට ඇත. කුඩා කල අම්මා සහ තාත්තා සමග ගිය විදේශ චාරිකාවකදී ගත් එම බෝනික්කා කෙරෙහි දුකක් ආරාධ්‍යා තුළ ඇති විය. ඇය විහාරා විසින් ගලවා දමන ලද බෝනික්කාගේ හිස සහ අත් පා සකස් කරන්නට උත්සාහ කළ ද එයට අසමත් වූවාය. දිගු සුසුමක් හෙලූ ආරාධ්‍යා විහාරාගේ මේසය අසළට ගොස් හිඳ ගත්තාය.

                    *

හසිත් මේවන තුරුත් තමා හමුවට නොපැමිණීම පිළිබඳව සුහර්ෂා තුළ ඇතිව තිබුනේ දැඩි කෝපයකි. ඇය කාර්යාලය තුළ නොඉවසිල්ලෙන් ඒ මේ අත ඇවිද්දාය. පාස්පෝට් කාර්යාලයට ගොස් ඔහු පැමිණ මේවනවිට අඩ හෝරාවකටත් වඩා ගත වී තිබේ. පැමිණි විගසම තමා හමුවට පැමිණෙන ලෙස පිටත්ව යාමට පෙර ඔහුට උපදෙස් ලබා දී තිබුණද ඔහු එය නොතකා හැරීම පිළිබඳව ඇති වන්නේ කෝපයකි. හසිත් සොයා ගැනීමේ අරමුණින් යුතුව සීසීටීවී දර්ශන වෙත දෙනෙත් යොමු කරද්දී ඔහු ආපන ශාලාව දෙසට ඇවිද යන අයුරු ඇය දුටුවාය.

“පව්. මහන්සි ඇති.”

සුහර්ෂා ඔහු පිළිබඳව දයා සිතින් යුතුව සිතුවාය.

“කමක් නෑ. තේ එකක් බීලා ආවදෙන්.”

එසේ වුවද, සීසීටීවී දර්ශන වලින් දෙනෙත් මුදවා ගැනීමට ඇයට නොහැකි විය. ආපන ශාලාවට ගිය හසිත් තේ කෝප්පයක් රැගෙන ගොස් හිඳ ගන්නා අයුරු දකිද්දී ඇගේ මුලු සිරුරම කෝපයෙන් රත් වන බව ඇයට දැනිණ. ඔහු හිඳ ගත්තේ මෑතකදී ආයතනයට සම්බන්ධ වූ සේවිකාවක සමීපයේය. ඇගේ නම සිහි කරගන්නට වෑයම් කළ ද, කෝපය හා නොඉවසිල්ල නිසා ඇගේ නම මතකයට නොනැගිණ.

“වැඩ කරන ගෑනු එක්ක ඕනවට වඩා ආස්සරේට යන්න එපා කියලා හසිත්ට කරන අවවාද ගඟට ඉනි කැපුවා වගේ වෙයිද? ඔය කෙල්ලන්ගෙ මායම්…”

තේ කෝප්පය පානය කරන හසිත් මෙන්ම තරුණිය ද සිනාසෙන අයුරු ඇය දුටුවාය.

“කතාව විතරක් නම් බැරියැ? හිනාවෙනවා. හොඳයි. මං බලාගන්නම්.”

සුහර්ෂා තමාටම පවසා ගත්තාය.

“ඔය හිනාවෙන්නෙ මට. මං ඉස්සරහ ඔලුව පහත් කරගෙන හිටියට මේකෙ ඉන්න එවුන් හැමෝම මට තරහයි.”

සුහර්ෂාගේ සිත දැවෙන්නාක් මෙන් ඇයට දැනිණ. නිල් පාට සාරියක් හැඳගෙන සිටින දිසාලාගේ නම මතකයට නොනැගුණද, ඇගේ සිනාව සුන්දර බව ඇය සේවයට බඳවා ගත් මුල්ම දිනයේදීද තම සිතට පිවිසි බව ඇයට සිහිපත් විය. 

“ඔය කෙල්ල ගත්ත දවසෙම මට හිතුනා. කවදාහරි චිංචිමානවිකාවක් වේවි කියලා. බදුල්ල පැත්තෙ කෙල්ලක්. පිටින් පේන අහිංසකකම ඇතුළෙ නෑ.”

සුහර්ෂාගේ සිතට නැගෙන සිතිවිලි වල නිමක් නොවීය. ඒ සිතිවිලි තම සිත දවන්නාක් මෙන් ඇයට දැනිණ. 

ක්ෂණිකව ගත් තීරණයක් අනුව ඇය කාර්යාල කාමරයෙන් පිට වූවාය. ආපන ශාලාව පිහිටා තිබුනේ ආයතනයට අයත් අනෙක් ගොඩනැගිලි වලට මඳක් ඈතිනි. දැඩි අව් රස්නය මැදින් ඒ දෙසට ඇවිද යාම එක් අතකින් දඬුවමක් මෙනැයි සුහර්ෂාට සිතිණ. ඇය වේගයෙන් ගමන් කරන අයුරු බලා සිටින ප්‍රධාන ගේට්ටුව අසළ කුටියේ සිටි ආරක්ෂක නිලධාරියාගේ කුතුහලයෙන් පිරුනු දෑස් සුහර්ෂා නොදුටුවාය.

ආපන ශාලාව ඉදිරිපිට වවා තිබූ කහ පාට මල් පිපෙන මල් පඳුරු මලින් බර වී තිබිණ. ඒවායේ වරදක් දකින්නට උත්සාහ කළ ද එය කළ නොහැකි වූයෙන් සුහර්ෂා වඩාත් කෝපයට පත් වුවාය.

“ඉස්සරහ තියෙන මල් ගස් වලට වතුර ටිකක් දාගන්න කාටවත් උවමනාවක් නෑ.”

ඇය ආපන ශාලාව තුළට පිවිසියේ උස් හඬින් කෑගසමිනි. ආපන ශාලාව තුළ වරදක් සොයා ගැනීමට උත්සාහ කළ ද, පිරිසිදුව සහ පිළිවෙලකට පවත්වාගෙන යන ආපන ශාලාවේ කිසිදු අඩුපාඩුවක් දැකගැනීමට ඇයට නොහැකි විය. තේ පානය කරමින් සිටි හසිත් ද, ඔහු ඉදිරියේ හිඳගෙන සිටි දිසාලා ද වහා නැගී සිටියේ ඇයට ගෞරව කිරීමක් වශයෙනි. ආපන ශාලාව භාරකරු සුහර්ෂා අසළට දිව ආවේ තමා අතින් සිදු වී ඇති වරද කුමක්දැයි වටහා ගත නොහැකිවය.

“තමුන් මොකක්ද කරන්නෙ? වගකීමක් භාර දුන්නම ඒක හරියට කරන්න බැරිනම් අස් වෙලා යනවා. එක්කෙනෙක් ගියාම මේකට එන්න සීයක් බලා ඉන්නවා.”

සුහර්ෂා පැවසුවේ හසිත් සමග කතා කරමින් සිටි දිසාලා දෙස බලමිනි. ඇය නිහඬව බිම බලාගෙන සිටියාය.

“හසිත් කීයටද ආවෙ?”

“ටික වෙලාවක් වෙනවා මැඩම්. ආව ගමන්ම තමයි තේ එකක් බොන්න කියලා ආවෙ.”

“තේකක් බොන්න කොච්චර වෙලාවක් ගත වෙනවද?”

ඇය ඇසුවාය. හසිත් පිළිතුරක් නොදුන්නේය.

“දැන්මම බෑන්ක් එකට යන්න ඕන. චෙක් වගයක් ඩිපොසිට් කරන්න තියෙනවා. මට උදේ කියන්න අමතක වුනා.

“දැන්?”

හසිත්ට ඇසිණ.

“ඔව්. ඇයි? යන්න බැරිකමක් තියෙනවද?”

“නෑ මැඩම්. මම යන්නම්.”

සුහර්ෂා දෑස් කුඩා කරගෙන හසිත් සමග කතාබහ කරමින් සිටි දිසාලා දෙස බලා සිටියාය. එම බැල්ම දරා ගත නොහැකි දිසාලා බිම බලාගත්තාය.

“දිසාලා තව විනාඩි පහලොවකින් මගේ ඔෆිස් එකට එනවා.”

ඇය දිසාලාට පැවසුවාය.

“ඇයි මැඩම්?”

ඇයට ඉබේටම ඇසිණ. 

“හේතු කාරණා කියන්න පුලුවන් නම් මං දැන් කියනවනෙ. ඔෆිස් එකට එනවා. එච්චරයි. හසිත්… යමු.”

හසිත්, සුහර්ෂා සමග ආපන ශාලාවෙන් පිට වූයේ කුතුහලයෙන් පිරුණු සිතින් යුතුවය. චෙක්පත් කිහිපයක් ගිණුමට තැන්පත් කිරීමට ඇති බවත්, ඒවායේ දින යොදා ඇත්තේ හෙට දිනයේ බවත් උදෑසන ඇය පැවසූ බව ඔහුට සිහිපත් විය.

“ඉන්නෙ තරහෙන් වෙන්න ඕන. හිනාවෙන්න හැදුවට ඇස් වල තියෙන්නෙ මහ නපුරු බැල්මක්.”

සුහර්ෂා පසුපසින් ඇවිද යන හසිත්ට සිතිණ.

“හසිත් අහලා ඇති නේද? මං මේ ආයතනය ගොඩ නගා ගත්තෙ සෑහෙන කැප කිරීමකින්. අදටත් විවේකය, විනෝදය කියන දේවල් මං මගේ ජීවිතෙන් ඈත් කරලා තියෙන්නෙත් ආයතනය වෙනුවෙන්. මේක මං ගොඩ නගා ගත්තෙ දරුවෙක් හදාගන්නවා වගේ.”

සුහර්ෂා පසුපසින් ගමන් කරන හසිත්ගේ මුවග සිනාවක් නැගුනේ ආරාධ්‍යා සිහි වීම නිසාය.  ආයතනනය නිසා තමා ද, නංගී ද, මල්ලී ද අම්මාගේ ජීවිතයෙන් බොහෝ දුර බව ඇය පැවසු අයුරු  ඔහුගේ මතකයෙහි රැඳී තිබිණ.

“දන්නවනෙ. මේක ඇතුළෙ හොඳ විනයක් පවත්වගන්න මම හැමතිස්සෙම උත්සාහ කරනවා.”

“ඔව් මැඩම්.”

නිහඬව සිටීම නොසුදුසු සේ හැඟුණෙන් හසිත් පැවසුවේය.

“මං කියන හැමදේටම ඔව් ඔව් කියන්නෙ නැතිව ඔයාගෙ අදහසුත් කියන්න හසිත්. මට ඒවා බොහොම වටිනවා.”

කාර්යාලය තුළට පිවිසි සුහර්ෂා සිය අසුන මත හිඳගත්තේ හසිත්ට ද හිඳ ගන්නා ලෙස අතින් සන් කරමිනි.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles