ආරාධ්‍යා නිවස තුළ ඒ මේ අත ඇවිද්දේ කාන්සියෙනි. මුලු නිවසම පුදුමාකාර ලෙසින් නිහඬය. පාලුව හා තනිකම සිය දසැඟිලි විදහා ගෙල සිරකරන්නාක් මෙන් ඇයට දැනිණ. තාත්තා අද නිවසේ සිටියද, ඔහු සිය කාමරය තුළට වී එක්කෝ නිදා සිටිනවා වන්නට ඇත. නැතහොත් පොතක් කියවමින් හෝ චිත්‍රපටයක් නරඹමින් සිටිනවා වන්නට ඇතැයි ඇයට සිතිණ. විහාරා වෙනදා මෙන්ම අද උදෑසනම නිවසින් නික්ම ගිය අයුරු ආරාධ්‍යාට සිහියට නැගිණ.
“කොහෙද යන්නෙ?”
පිටත්ව යාමට සූදානම්ව තම කාමරයට පැමිණි විහාරාගෙන් විමසද්දී ඇය නැගූ දුක් සිනාව හදවත පතුළේ නතර විය.
“යනවා… යනවා අක්කෙ…” යි වදන් ගිල ගත් ඇය තමා අත වූ බෑගයක් ආරාධ්‍යා අත තැබුවාය.
“මේ මොකක්ද?”
“තෑග්ගක්.”
විහාරා යහන මත හිඳගත්තාය. ආරාධ්‍යා බෑගය හැර බැලුවාය. මිල අධික සුවඳ විලවුන් බෝතලයක් ද, චොක්ලට් එකක්ද එතුළ විය.
“ඇයි මට?”
දෙනෙත් වලට කඳුලු පිරී එද්දී ආරාධ්‍යා ඇසුවේ උගුර යටිනි.
“ආදරේට අක්කෙ.”
“තෑන්ක් යූ. තෑග්ගෙන් තෑග්ග උතුම් තෑග්ග කියනවනෙ. චොක්ලට් එක තියාගෙන මං මේක ඔයාටම දුන්නොත්?”
“එපා. පර්ෆියුම් යූස් කරනවා තමයි. ඒත් මගේ හිත ඇතුළෙ සුවඳක් තියෙනවා. ඒක ආදරේ සුවඳ අක්කෙ.”
“මට තේරෙන්නෙ නෑ. අදවත් ගෙදර ඉන්න නංගි. මට කියන්න. කොහෙද මේ ඔයා යන්නෙ කියලා විතරක් කියන්න.”
ආරාධ්‍යා ආයාචනා කළාය.
“සමාවෙන්න. යන තැනක් කියන්න බෑ. ඒත් මං යන්නෙ හොඳ අරමුණක් වෙනුවෙන් කියන එක විතරක් මතක තියාගත්තම ඇති.”
“සුහේල්ව හොයන්න?”
“මම දන්නෙ නෑ.”
“ඔයාගෙ කාමරේ ලස්සන චීත්ත ගවුමක් තිබුනා දැක්කා. මට කියන්න. ඔයත් මලීෂ වගේ ඩ්‍රාමා එකක ඇක්ට් කරනවද?”
“ඔව්. මේකත් ඩ්‍රාමා එකක්. ජීවිතේම ඩ්‍රාමා එකක්. අපි හැමෝම ඇක්ට් කරනවා අක්කෙ. ඔයත් ඇක්ට් කරනවා. මාත් ඇක්ට් කරනවා. මැඩම් සුහර්ෂාත් ඇක්ට් කරනවා. මං යනවා.”
“කොහොමද යන්නෙ?”
“පාරෙ බස් එකේ යනවා. අලුත් අවුරුද්ද කිය කියා ගෙදරට වෙලා ඉන්නෙ නැති ඩ්‍රයිවර්ස්ලා අනුන් වෙනුවෙන් තමුන්ගෙ සතුට ගෙදර තියලා බස් අරගෙන යනවා. මාත් මගේ සතුට කොහේදෝ නන්නත්තාර කරලා ඉබාගාතෙ යනවා. බායි…”
යහන මත වූ කුඩා අත් බෑගය අතට ගත් විහාරා කාමරයෙන් පිටව ගිය අයුරු තවමත් මතකයෙහි රැඳී තිබේ. කිරිල්ලියක් මෙන් ප්‍රීතිමත් හා සුන්දර ජීවිතයක් ගත කළ ඇගේ ජීවිතය වෙනස් වූ අයුරු සිතාගන්නටවත් නොහැකිය.
“හැමදෙයක්ම වුනේ සුහේල් නිසාද?”
තමාටම පවසා ගත් ආරාධ්‍යා සෙමෙන් සෙමෙන් පහත මහල දක්වා දිවෙන පියගැට පෙළ බසින්නට වූවාය. විසිත්තකාමරයේ කෙළවර වූ පුටුවක් මත හිඳගෙන පුවත්පතක් කියවමින් සිටි රංජනීට නින්ද ගොස් තිබේ. ඊයේ අවුරුදු දවස වෙනුවෙන් ඇය බොහෝ වෙහෙස මහන්සි වූවාය. ඇගේ නින්දට බාධාවක් නොවන පරිදි ආරාධ්‍යා හඬ නොනගා නිවසින් පිට වූවාය.
අහස වලාකුළු වලින් බර වී තිබේ. අව්වක් නැතත් ගතට දැනෙන්නේ මහත් වූ දාහයකි. සැන්දෑ වන විට මහා වැස්සක් ඇද හැලෙන බව නියතය. ආරාධ්‍යා ඉදිරියට පිය නැගුවාය. තවමත් ඉඳහිට ඇසෙන රතිඤ්ඤා හඬ නොදුරින් පිහිටා ඇති ධීවර ගම්මානයේ නිවෙස් වලින් නැගෙන ඒවා විය යුතුය. අම්මා හමු වීමට, ඇය විසින් කරනු ලබන සේවයට කෘතගුණ සැළකීමට කලකට පෙර අලුත් අවුරුදු දිනයෙන් පසු ධීවර පවුල් වල කාන්තාවන් නිවසට පැමිණියද, අම්මා අලුත් අවුරුදු දා නිවසෙහි නොමැති බැවින් ඔවුන් අම්මා හමු වීමට ආයතනයට යන්නේ අලුත් අවුරුද්දෙන් පසු වැඩ ආරම්භ කළ පසුය.
“කරදරයක්…”
එවන් දිනවල නිවසට පැමිණි අම්මා පැවසුවාය.
“ළමා ලපටිත් අරන් ඇවිත් බුලත් දීලා වඳිනවා. වන්දනවා. මගේ අත් දෙකයි කොන්දයි රිදෙනවා. තෑගි පාර්සල් දීලම.”
එවන් දිනවල රාත්‍රියේ සියලු දෙනා හමුවන කෑම මේසයේදී අම්මා පැවසුවාය.
“ඒක කරදරයක් කියලා හිතන්න එපා. ඒ මිනිස්සුන්ගෙ දුක පෙන්නන නිසා තමයි ඔයාට ඩොලර් ගලාගෙන එන්නෙ. හරිනම් ඔයයි ඒ මිනිස්සුන්ට වඳින්න ඕන.”
එවන් එක් අවස්ථාවක මලීෂ පැවසූ අයුරු තවමත් මතකය. මලීෂත්, විහාරාත් අම්මාට ‘ඔයා’ යනුවෙන් ආමන්ත්‍රණය කිරීම පිළිබඳව සිත තුළ කහටක් ඇතත් ඔවුන්ට කරන අවවාදයන්ගෙන් පලක් නොමැති යයි විහාරාට සිතිණ.
ආරාධ්‍යා සිතිවිල්ලේම මුහුදු වෙරළට පැමිණ සිටියාය. දම් පැහැති මල් පිපෙන බිම් තඹුරු මල් එක දිගටම පිපී තිබිණ. අලු පැහැති මුහුදු රළ සෙමෙන් වෙරළ දක්වා පැමිණ බිඳී යන ආකාරය ඇය බලා සිටියාය. ආරාධ්‍යාට හසිත් සිහියට නැගිණ. අලුත් අවුරුද්ද සඳහා ලද නිවාඩුවට ඔහු නිවසට යන්නට ඇතත් මේ දක්වාම ඔහුගෙන් දුරකතන ඇමතුමක් හෝ කෙටි පණිවුඩයක් නොමැති වීම දුකට කරුණකි.
“මාව අමතක වෙන්න ඇති.”
වැල්ලෙහි හිඳ ගත් ඇය තමාටම පවසා ගත්තාය. අවට වූ සිප්පි කටු කිහිපයක් අහුලා ගත් ඇය ඒවායින් ආරාධ්‍යා යන අකුරු සකස් කළ ද, සිප්පි කටු මඳ වූ හෙයින් සකස් කළ හැකි වූයේ ‘ආරා’ යන අකුරු පමණකි. ඇය ජංගම දුරකතනයෙන් එහි ඡායාරූපයක් ගත්තාය. ඡායාරූපය හසිත්ගේ දුරකතනයට යැව්වේ වහා ඔහුගෙන් ඇමතුමක් හෝ කෙටි පණිවුඩයක් ලැබෙනු ඇතැයි බලාපොරොත්තුවෙන් වුව ද, කිසිදු ප්‍රතිචාරයක් නොවීය.
“මොනවා වෙලාද? තරහ වෙන්න තරම් වරදක් මං අතින් වුනේ නෑ කියන එක මට විශ්වාසයි.”
කිව නොහැකි අන්දමේ මහා දුකක් තම සිත තුළ පෙරලි කරන අයුරු ඇයට දැනිණ. තවදුරටත් ඉවසා සිටිය නොහැකි තැන ඇය හසිත්ගේ ජංගම දුරකතනයට ඇමතුමක් ලබා ගත්තාය. බොහෝ වේලාවක් නද දුන් දුරකතනය අනතුරුව නිහඬ විය.
“ඇයි එහෙම කළේ?”
තමාටම පවසා ගත් ආරාධ්‍යා තම නම සකස් කළ සිප්පි කටු සියල්ල අහුලා මුහුදට විසි කර දැමුවාය.
“සිප්පි කටු අයිති මුහුදට.”
පෙර දිනෙක හසිත් පැවසූ වදන් ඇයට ඇසෙන්නාක් මෙන් විය. එදා මෙන්ම මහා මුහුදු රළක් පැමිණ තමා හිසේ සිට දෙපතුළ දක්වාම තෙමා දමන්නේ නම් යෙහෙකැයි ආරාධ්‍යාට සිතිණ. ඈත වෙරළේ කුඩා දරුවන් කිහිප දෙනෙකු බැලුන් බෝලයක් පසුපස දිව යනු පෙනේ. දීප්තිමත් රතු පැහැයෙන් යුත් බෝලය මුහුද දෙසින් හමා එන සුළඟට ඈතට ගසාගෙන යන්නේ ඔවුන්ට අල්ලා ගත නොහැකි වන ලෙසිනි.
“බැලුන් එක සැහැල්ලු නිසා ඈතට ගහගෙන යනවා. පුංචිවුන්ට ඒක අල්ලගන්න බැරිව යාවි.”
ඇයට සිතිණ.
“බේබි…”
මුහුදෙන් නැගෙන හඬ යටපත් කරගෙන රංජනීගේ කටහඬ ඈතින් ඇසිණ. ආරාධ්‍යා හැරී බැලුවාය. රංජනී කලබලයෙන් තමා සිටින දෙසට දිව එනු පෙනේ. ආරාධ්‍යාගේ හිත ගැස්සුනේ අහේතුකවය.
“බේබි…”
තමා සමීපයට පැමිණි රංජනී හති හැරියාය.
“ඇයි රංජනී? මොකක්ද වුනේ?”
රංජනී මොහොතක් නිහඬව සිටියාය.
“කියන්නකො. මලීෂ ගෙදර ආවද?”
“නෑ.”
රංජනී ආරාධ්‍යාගේ අතකින් අල්ලා ගත්තාය.
“අපේ සර් බේබිට ගෙදර එන්න කියන්න කිව්වා.”
“ඇයි?”
“දන්නෙ නෑ බේබි. අපි යමු.”
ආරාධ්‍යා රංජනීගේ මුහුණ දෙස බැලුවද, ඇගේ මුහුණෙහි වූයේ ප්‍රීතිමත් ස්වභාවයක් මිසක කලබලකාරී බවක් නොවේ. සසල වූ සිතට ඉන් අස්වැසිල්ලක් දැනුනෙන් ඇය රංජනී සමග ඉදිරියට පිය නගන්නට වූවාය.
*
කවීන් තමා ඉදිරියෙහි හිඳගෙන සිටින ආයුෂ් දෙස බලා සිටියේ ප්‍රීතිමත් දෑසිනි. එකල තම සමීප මිතුරා වූ ගිහාන්ගේ එකම පුතු වන ආයුෂ් දැන් වැඩුණු කඩවසම් තරුණයෙකු බවට පත් වී තිබේ. තම මිතුරා විසින් එවන ලද තෑගි පාර්සල් කිසිවක් මේ වන තුරුම විවෘත කර බලන්නට තමාට නොහැකි වූ බව තරුණයාට පවසන්නේ කෙසේදැයි ඔහු කල්පනා කළේය.
“කෝ අංකල් ආන්ටි.? ”
වටපිට බැලූ ආයුෂ් විමසුවේය.
“ආන්ටි නුවරඑළියෙ ගිහින්. පුතා මලීෂත් ගෙදර නෑ. පොඩි දුව කාමරේ ඉන්නවද එහෙමත් නැත්නම් එළියට ගිහින්ද කියන්න දන්නෙ නෑ. ලොකු දුව ආරාධ්‍යා නම් මුහුද පැත්තට ගිහින් කියලා රංජනී කිව්වා. දැන් එනවා ඇති.”
“මගේ බිස්නස් එක යාලුවෙක්ට භාර දීලා මම අම්මා එක්ක එන්න යු කේ ගියේ. මාසයක් හිටියා. අම්මට එහේ සීතල අල්ලන්නෙ නෑ අංකල්. නිතරම අසනීප… ඒ දවස් වල ඉඳලම කකුල් වල අමාරුවක් තිබ්බනෙ. දැන් ඉන්නෙත් ඇඳේමයි.”
“පුතාද අම්මව බලාගන්නෙ?”
කවීන් විමසුවේය.
“මට වෙලාවක් නැහැනෙ අංකල්. උදේම ෂොප් එකට ගියාම ආයෙ එන්නෙ රෑ. උයන්න පිහින්න ගෑනු කෙනෙකුයි, අම්මව බලාගන්න කෙනෙකුයි ඉන්නවා.”
කවීන්ට සිය මිතුරාගේ බිරිඳ සිහියට නැගිණ. බොහෝ මුදු ඇවතුම් පැවතුම් වලින් යුක්ත වූ ඇය එකල ඉඳහිට නිවසට යන තමා වෙනුවෙන් බොහෝ වෙහෙස මහන්සි වී කරන සංග්‍රහයන් ද ඔහුගේ මතකයට නැගිණ. එකල ආයුෂ් කුඩා දරුවෙකි.
“මම තාත්තා හම්බ වෙන්න යද්දි පුතා ගොඩක් පුංචියි. අපි දෙන්නා ඉගෙන ගත්තෙ එකට. යාලුවො මොන තරම් හිටියත් අපි දෙන්නා අතර තිබුනෙ යාලුකමටත් එහා ගිය සහෝදරත්වයක්.”
“මට තාත්තා කියලා තියෙනවා. අංකල් ලෝ කරාට තාත්තට ඕන වෙලා තිබිලා තියෙන්නෙ බිස්නස් පැත්තෙන් යන්න. පොඩියට පටන් ගත්ත බිස්නස් එක අම්මා හම්බ වුනාට පස්සෙ දියුණු වුනා කියලයි තාත්තා කියන්නෙ.”
“එහෙම වෙන්න ඕන. දැන් කඩදාසි හරි මිළයි කියලයි ආරංචි.”
“ඒ ගැන නම් කතා කරලා වැඩක් නෑ. පබ්ලිකේෂන් එකක් කරන්න කාලෙක ඉඳලා මං හිතාගෙන ඉන්නෙ. පොතක් මිල කරන්නෙ කොහොමද කියලයි මං කල්පනා කරන්නෙ.”
“ඕන මිනිහා කියවන මිනිහා පොතක මිල ගැන හිතන්නෙ නෑ. ගන්නවා. පුතා පබ්ලිකේෂන් එක පටන් ගන්න.”
“එහෙම හිතුවට අංකල් ඒ මිල මිනිස්සුන්ට දරාගන්න පුලුවන් වෙන්න එපායැ? තව ටිකක් බලලම වැඩේ පටන් ගන්නවා. ඒක මගේ ඩී්‍රම් එකක්.”
“ඒක හොඳයි. මට පුතා ගැන ආඩම්බරයි. මං හිතුවෙ පුතා දැන් මැරි කරලත් ඇති කියලා.”
“ම්…”
ආයුෂ් ලජ්ජාශීලී සිනාවක් නැගුවේය.
“මෙහේ එන්න ලෑස්ති වෙලා අම්මට කියන්න ගියාමත් අම්මා කිව්වෙ මගේ ඇස් දෙක පියවෙන්න කලින් කසාදයක් බඳින්න පුතේ කියලා.”
“ඒක ඇත්ත. දෙමාපියන්ගෙ හිත් වලට නිදහසක් දෙන්න ඕන. කවුරුහරි කෙනෙක් ඇති නේද මැරි කරන්න හිතාගෙන.”
“අපෝ නෑ අංකල්. බිස්නස් මිසක් ඒ පැත්තට හිත ගියේ නෑ. අවුරුදු ගානකට කලින් නම් හිත ගිය කෙනෙක් හිටියා. ඒත් මට ඒක එයාට කියන්න බැරි වුනා.”
ආයුෂ් මෙන්ම කවීන් ද හඬ නගා සිනාසුනේ සැහැල්ලු ලෙසිනි.
“ගොළු හදවත…”
කවීන් සිනාව අතරින්ම පැවසුවේය.
“මම නම් කලේ ඒකෙ අනිත් පැත්ත. ආන්ටි හමු වුනු දවසෙම මම කතා කරලා කිව්වා මං ඔයාට කැමතියි කියලා. ඒ දවස් වලත් ආන්ටි සුරංගනාවියක් වගේ ලස්සනයි. ප්‍රමාදය දුකට මුල වෙයි කියලයි මම එදාම කිව්වෙ.”
හඬ නගා සිනාසුන ආයුෂ්ගේ සිනාව එක්වරම වියැකී ගියේය. ඔහුගේ දෙනෙත් යොමු වී ඇති දෙසට කවීන්ගේ ද දෙනෙත් යොමු වූයේ සැනෙකිනි. ආරාධ්‍යා… ආරාධ්‍යා සිනාමුසු මුහුණින් යුතුව පියා සහ ආයුෂ් දෙසට ඇවිද ආවාය.
“ආයුෂ් ඇවිත් ටිකක් වෙලා පුතේ. එන්න මෙහාටම.”
ආරාධ්‍යා පියා හිඳගෙන සිටි දිගු සෝෆාවෙහිම හිඳ ගත්තාය. කවීන්ගේ දෙනෙත් බිත්ති ඔරලෝසුව දෙසට යොමු විය.
“මට දැන් කෝල් එකක් ගන්න තියෙනවා. ඒක අරන් එනකම් ඔය දෙන්නා කතා කර කර ඉන්න.”
කවීන් නැගිට සිය කාමරය දෙසට ගියේය. ආරාධ්‍යා දෙස බැලූ ආයුෂ්ගේ මුවග පුලුල් සිනාවක් නැගිණ.