කවීන් සූරියබණ්ඩාර තමා ඉදිරියෙහි වාඩි වී සිටින සුහර්ෂා දෙස එක එල්ලේ බලා සිටියේය. අලුත් අවුරුද්දේ සිය ආයතනයෙහි වැඩ ආරම්භ කිරීම සඳහා පිටත්ව යාමට සුදානම් වූ ඇය සුපුරුදු පරිදි ඉන්දියන් සාරියෙන් නොව බතික් ඔසරියකින් සැරසී සිටියාය. ඇගේ හැඩැති සිරුරට ඉන්දියන් සාරියට වඩා ඔසරිය ගැලපෙතැයි ඔහුට සිතිණ.
“මොකද කවීන් මා දිහා කන්න වගේ බලා ඉන්නෙ?”
සැමියාගේ පිඟානට කිරිබත් කැබැල්ලක් බෙදූ ඇය ඇසුවාය.
“බලා හිටියෙ ලස්සන. ඔයාට සාරියට වඩා ඔසරිය ගැලපෙනවා කියලයි මං කල්පනා කරේ සුහර්ෂා.”
“තෑන්ක් යූ. කවීන්ට දැන් ඉස්සරටත් වඩා මගේ ලස්සන පේනවා නේද?”
මේවනතුරුත් දියණියන් දෙදෙනාම උදෑසන තේ මේසයට පැමිණ නොසිටියෙන් ඔවුන් දෙදෙනාට නිදහසේ කතා කිරීමට අවස්ථාව ලැබී තිබිණ. මතක ඇති කාලයකින් මෙවන් අවස්ථාවක් උදා වී නැතැයි කවීන් සිතුවේය.
“අපේ අම්මා ඒ දවස් වල ඇන්දෙ ඔසරියමයි. කසාද බැඳලා ආවට පස්සෙ ඒ කාලෙ ගෑනු උදවිය ගෙදරටත් අඳින්නෙ සාරිය, ඔසරිය තමයි.”
“කෝ මේ ගෑනු ළමයි දෙන්නා?”
කවීන් වටපිට බැලුවේය.
“දෙතුන් පාරක් පණිවිඩ යැව්වා. විහාරා විතරක් නෙමෙයි ආරාධ්‍යාත් දැන් ටිකක් හිතුවක්කාර වෙනවා වගෙයි මට පේන්නෙ.”
“කවදාවත් නෑ.”
කවීන් පළමු බත් පිඬ අනා සුහර්ෂාගේ මුවට ළං කළේය. ඇය දැරියක මෙන් කට හැරියාය.
“අවුරුද්ද දවසෙවත් අපි අපේ අතින් වෙන්න ඕන යුතුකම් ඉෂ්ඨ කළේ නෑ සුහර්ෂා.”
“මගේ කාර්ය බහුල ජීවිතෙත් එක්ක යුතුකම් ගැන හිතන්න වෙලාවක් නෑ. දන්නවද කවීන් නුවරඑළියෙ ගියා වුනත් එක දවසක් මුලු රෑම ගෙවුනෙ ඊමේල් බලන්නයි රිප්ලයි කරන්නයි. නෑ…. ජීවිතයක් නෑ. මේක හරියට කොටි වල්ගය අල්ල ගත්තා වගේ.”
කිරිබත් කටක් අනා කවීන්ගේ මුවට ළං කළ සුහර්ෂාගේ දෙනෙත් දිළිසුනේ කඳුලු පිරීම නිසා විය යුතු යයි කවීන් කල්පනා කළේය. සුහර්ෂා අසංවේදී ගැහැනියක නොවන බව ඔහු හොඳින්ම දැන සිටියේය. එහෙත් ඇය විසින් පිහිටුවා ගත් රාජ්‍ය නොවන සංවිධානය තුළ ඇය අධික කාර්ය බහුල ගැහැනියක වීම නිසා ඇය තමාගෙන් දුරස් වීම පිළිබඳව ඔහු තුළ උපන්නේ කණගාටුවකි.
“දැන් හැමදේකම වගකීම කාටහරි භාර දීලා ඔයා නිදහස් වුනොත් කියලා හිතෙන්නෙ නැද්ද සුහර්ෂා?”
කවීන් ඇසුවේ කාලයක සිටම අසන්නට සිතා සිටි පැනයකි.
“නෑ.”
සුහර්ෂා ගත් කටටම පැවසුවාය.
“නිදහස් වෙන්න ඕන. දැන්ම නෙමෙයි. මගේ ටාගට් එකක් තියෙනවා. ඒකට යනතුරු තව ටික කාලයක් කැපවීම් කරන්න තියෙනවා. කැපවීමෙන් තොර ජයග්‍රහනයක් ලබන්න බැහැලුනේ කවීන්.”
“සම්පූර්ණ ඇත්ත. ඒත් සමහර වෙලාවට හිතෙනවා දුවලා දුවලා ගිහින් අන්තිමේදි හැරිලා බැලුවම අපට ගොඩාක් දේවල් අහිමි වෙලා කියලා.”
“නැහැ. මම එහෙම හිතන්නෙ නෑ. අහිමි වෙන්න යන දේවල් මොන විදියෙන් හරි හිමි කරගන්න කෙනෙක් සුහර්ෂා කියන්නෙ. දන්නවනෙ මට තියෙන බලය ගැන. මගේ ටාගට් එකට යනතුරු මම මගේ අරමුණු සාක්ෂාත් කරගන්න මට තියෙන බලය උපරිම විදියට යොදනවා.”
“ඒක හොඳ දෙයක් කියලා මං හිතන්නෙ නෑ.”
“මගේ හිත හොඳයි කියලා කියනවනම් මම ඒ දේ කරනවා කවීන්.”
“හරි.”
කවීන් එකඟ විය.
“අපි ළමයි ගැනත් හිතන්න ඕන. මලීෂ ගෙදරින් ගියා ගියාමයි. කිසිම ආරංචියක් නෑ. විහාරා වුනත් පිස්සියක් වගේ ඔහේ ඇවිදිනවා සුහේල්ව හොයනවා කියලා. ආරාධ්‍යා විතරයි අවබෝධෙන් වැඩ කටයුතු කරන්නෙ.”
“මලීෂ මේ දවස් වල ටෙලි ඩ්‍රාමා එකක ඇක්ට් කරනවා කියලා ආරංචි වුනා. දුර පළාතක ෂූටින්ලු. ඔහේ හිතුවක්කාරකම් කරපුදෙන්. ඒකෙන් වෙන්නෙ ජීවත් වෙන්න පන්නරයක් ලබන එකයි.”
රංජනී තේ බන්දේසිය රැගෙන පැමිණියාය. තේ කෝප්පයක් ගෙන සැමියා ඉදිරියෙන් තැබූ සුහර්ෂා තම තේ කෝප්පය සෙමෙන් තොල ගාන්නට වූවාය.
“රංජනී…”
ඈතින් සිටගෙන සිටින රංජනී දෙස නොබලාම ඇය රංජනී ඇමතුවාය.
“අද හසිත් සර් එන එකක් නෑ තේ බොන්න. ළමයි කෑවම මේසෙ අස් කරලා දාන්න.”
“දැනගෙන හිටියෙ නෑනෙ මැඩම්. හසිත් සර්ටත් එක්ක තමයි ලෑස්ති කරේ.”
“මට කියන්න අමතක වුනා. අද වැඩ පටන් ගන්න දවසෙ එහෙත් තේ මේසයක් ලෑස්ති කරනවනේ. ඉතිරි වෙන දෙයක් තියෙනවනම් පාර්සල් ටිකක් හදලා ඔය කාට හරි දෙන්න.”
සුහර්ෂා මේසයෙන් නැගිට්ටාය.
“ඔයා අද යන්නෙ නැද්ද?”
මේවනතුරුත් පිටත්ව යාමට සූදානමක් නොමැති සැමියාගෙන් ඇය ඇසුවාය.
“නෑ. මං හෙටයි යන්නෙ. මට කියන්න අමතක වුනා. ආයුෂ් මෙහේ ආවනෙ.”
“කවුද ආයුෂ් කියන්නෙ?”
“ගිහාන්ගෙ පුතා.”
“ඕ… තාත්තලා දෙන්නගෙ පොරොන්දු ඉෂ්ඨ කරන්න ඇවිත්ද? අපි පස්සෙ කතා කරමු කවීන්. මං දැන් යන්න ඕන.”
සුහර්ෂා කලබලයෙන් පසෙක තබා තිබූ අත් බෑගය අතට ගත්තාය.
“සෝමපාල ඇවිත්ද ඉන්නෙ රංජනී?”
“ඇවිත් ගොඩක් වෙලා මැඩම්…”
රංජනී පිළිතුරු දුන්නාය. පැළඳ සිටි උස් අඩි සහිත සපත්තු හඬවමින් සුහර්ෂා පිටව යන ආකාරය දෙස කවීන් බලා සිටියේ හිස් දෑසිනි.
*
වායු සමනය කළ කාර්යාල කාමරය තුළ හිඳගෙන සිටින හසිත්ට වීදුරුව තුළින් වෙනදා සෘජුවම දිස්වන්නේ දිසාලා සිටින මේසයයි. එය අද හිස්ව තිබිණ. ඇය රැකියාවෙන් ඉවත් කිරීම පිළිබඳව සිත තුළ වූ වේදනාත්මක හැඟීම දැන් තුරන් වී ඇතත් තමා හැරෙන්නට ආයතනයේ සේවය කරන සියලු දෙනාම දිසාලා පිළිබඳව සත්‍ය්‍ය නොදනී. ආයතනයේ සේවක සේවිකාවන්ට රහසින් සුහර්ෂා මැඩම් විසින් යවනු ලැබූ මුදලෙන් දිසාලා කුඩා ව්‍යාපාරයක් ආරම්භ කිරීමට සැරසෙමින් සිටියි. එහෙත් එය කිසිවකුටත් පැවසිය නොහැකිය.
“දිසාලාට මැඩම් උදව් කරන බව කිව්වොත් අනිත් අයත් ඒක ආදර්ශයට ගනීවි. මම කිසිම දෙයක් දන්නෙ නෑ වගේ ඉන්නවා. මං දිසාලගෙ ගෙදර ගියා කියලා මැඩම් දැනගත්තොත් තවත් එකක්.”
හසිත් කල්පනා කළේය.
“මැඩම් කියන්නෙ දේවතාවියක්…”
දිසාලාගේ කටහඬ තවමත් සිත පතුලේ දෝංකාර දෙයි. ඇතුළතින් යක්ෂණියක්වූ සුහර්ෂා දේවතාවියකගේ භූමිකාව රඟ දක්වන්නේද, නැතහොත් ඇතුළතින් දේවතාවියක්වූ ඇය, යක්ෂණියකගේ භූමිකාව රඟ දක්වන්නේදැයි තවමත් සිතා ගත නොහැකිය.
“ඒක මට අදාළ දෙයක් නෙමෙයි.”
හසිත් සිතුවේය.
“මම මගේ වැඩ කොටස හරියාකාරව කරනවා. එච්චරයි.”
කාර්යාලයේ දොර විවෘත විය. සහකාර මුදල් කළමනාකරු වන වරුණ කාමරයට පිවිසියේ සිනාමුසු මුහුණින් යුතුවය. උදෑසනම ඔහුට සුබ පැතූ නමුත් ඔහු සමග කතා කිරීමට නොහැකි වූ බව හසිත්ට සිහිපත් වූයේ එවරය.
“මොකද කල්පනාව?”
වරුණ හසිත් ඉදිරියෙහි හිඳ ගත්තේය.
“මුකුත් නෑ. කොහොමද වරුණ? නිවාඩුව හොඳට ගත කරාද?”
“නැතුව? මෙදා පාර අපට වඩා හොඳට හසිත් අවුරුදු නිවාඩුව ගත කරන්න ඇති.”
“ඇයි?”
“අවුරුද්දට ගමන් බිමන් යන්න ලොක්කි අලුත්ම කාර් එකකුත් දුන්නනේ. හැබැයි හසිත් එක දෙයක් තියෙනවා.”
වරුණ ඉදිරියට නැමුනේය. ඔහු වටපිට බලන්නේ කිසිවකු තමා කතා කිරීමට යන දේ අසා සිටීද යන සැකයෙන් මෙනි.
“කාර් එකක් අරන් දුන්න එක ගැන මෙහේ කසුකුසු යනවා හැමතැනම. මෙච්චර කාලයක් කිසිම කෙනෙකුට ඔය විදියට වාහනයක් අරන් දීලා නෑ තමන්ගෙ ප්‍රයෝජනේට. අපටත් වාහන දෙනවා තමයි. හැබැයි ඒ රාජකාරි ගමන් වලට විතරයි. මං අහන්නෙ… ඇයි මැඩම් හසිත්ට අලුත්ම කාර් එකක් අරන් දුන්නෙ?”
“ඒක ඉතින් අහන්න ඕන මැඩම්ගෙන්ම තමයි.”
හසිත් දුර්වල සිනාවක් පෑවේය.
“මැඩම්ගෙන් අහන්න? අපි ඒ ගෑනි එක්ක කතා කරන්න ඕන මෙහෙන් යන්න බලාගෙන. හසිත්ට නම් ඕන දෙයක් කරන්න ප්‍රශ්නයක් නෑනෙ.”
“එහෙමම නෑ. මැඩම් මටත් කෑගහන වෙලාවල් කොච්චර තියෙනවද?”
හසිත් එසේ පැවසුවද, එවන් අවස්ථාවක් මතකයට නගා ගැනීමට ඔහුට නොහැකි විය.
“දිසාලාව අයින් කරපු එක ගැනත් තැන් තැන් වල කතා පැතිරෙනවා.”
Ω“දිසාලාට නැති කැක්කුමක්නෙ අනිත් අයට තියෙන්නෙ.”
හසිත් පැවසුවේ තරහෙනි.
“ඒ ළමයා අසරණ දුප්පත් ළමයෙක්. තාත්තත් අසනීපෙන් නම් ජීවත් වෙන්න විදියකුත් නැත්නම් ගෙදර ගිහින් දිවි නහ ගනීවිද දන්නෙ නෑ කියලා කැෆටේරියා එකේ අයියා කිව්වෙ.”
“අනේ මන්දා.”
මෙම කතා බහෙන් මිදී යාමට හසිත්ට උවමනාව තිබුණද වරුණ ඉන් ඉවත් වීමේ සූදානමක් නොමැති සේය.
“මැඩම් හසිත්ව රකින්නෙ මැණිකක් රකිනා නා රජිඳකු වගේ කියලා කට්ටිය හිනාවෙනවා.”
“ඇයි මටම කියන්නෙ? ගිහින් කියන්න කියන්නකො එයාටම.”
“එයාටම? දැන් මැඩම් එයා වෙලාද?”
මිත්‍රත්වය පසෙක දමා වරුණගේ මුහුණ හරහා පහරක් ගැසීමට තරම් ආවේගයක් හසිත් තුළ ඇති වුව ද ඔහු ආයාසයෙන් එය මැඩ පවත්වා ගත්තේය. දොරට තට්ටු කරන හඬ ඇසුනු ඔහු එදෙස බැලුවේය. කාර්යාල කාර්ය සහායක හසිත් සහ වරුණ අසළට පැමිණියේය.
“තව විනාඩි දහයකින් සර්ලට කොන්ෆරන්ස් හෝල් එකට එන්නලු.”
කාර්යාල කාර්ය සහායකයා එසේ පවසා කඩිනමින් පිටව ගියේ ආයතනයේ සියලු දෙනාම ඉක්මනින් දැනුවත් කිරීමේ අවශ්‍යතාවය නිසා විය යුතුය.
“අදත් තෑගි දෙන්නද දන්නෙ නෑ.”
වරුණ නැගිට්ටේය.
“කිසිම පදනමක් නැතිව ඕපදූප පතුරන එවුන්ට දෙන්න ඕන තෑගිම තමයි.”
පුටුව පසෙකට කර නැගී සිටි හසිත් සිය ටයි පටිය සකස් කර ගත්තේය. අනතුරුව ඔහු සිය කාර්යාලයෙන් පිට විය.
*
සුපුරුදු පරිදි විහාරා නිවසින් පිටව ගිය පසු ආරාධ්‍යාගේ සිතට තනිකමක් දැනිණ. හසිත් අද නිවසට නොපැමිණෙන හෙයින් රංජනී උදෑසන කෑම මේසය අස් කරන අයුරු ඇය බලා සිටියාය. ඇගේ සුරතලා වූ ‘බ්ලැක් ෂූස්’ බලාපොරොත්තු සහගත දෑසින් මේසය යටට වී බලා සිටින අයුරු ආරාධ්‍යා දුටුවාය.
“ඇයි බ්ලැක් ෂූස්? ඔයාගෙ අයියා අද එන්නෙ නෑලුනේ.”
ආරාධ්‍යා පූසා වඩාගෙන සුරතල් බස් දෙඩුවාය.
“අයියා එනකන් බලා හිටියෙ බ්ලැක් ෂූස් ද? එහෙමත් නැත්නම් බ්ලැක් ෂූස්ගෙ අක්කද?”
රංජනී පැවසුවේ සරදම් ස්වරයෙනි.
“අක්කට නම් බලා ඉන්න උවමනාවක් ඇත්තෙම නෑ. රංජනීනෙ හසිත් එනතුරු බලා ඉන්නෙ හසිත් සර් තව නැත්තෙ මොකද දන්නෙ නෑ කියලා.”
“වැඩේමයි.”
ලජ්ජාශීලී සිනාවකින් යුතුව රංජනී දෙඋරහිස් ගැස්සුවාය.
“විහිලු නෙමෙයි බේබි. මං මේ කියන්නමයි හිටියෙ.”
වටපිට බැලූ රංජනී ආරාධ්‍යා අසළට තවත් ළං වූවාය.
“ඔන්න හසිත් සර් ආවට මින් පස්සෙ කතාවට නම් යන්න එපා.”
“ඇයි?”
ආරාධ්‍යා ඇසුවාය.
“අද උදෙත් මැඩම් කිව්වා බේබිලා හසිත් සර් එක්ක කතාවට ගියොත් කියන්න කියලා. දෙපාරක් හිතන්නෙ නෑ එහෙම වුනොත් හසිත් සර්ව වහාම එළියට දානවා කියලා.”
“එහෙම කරන්න පුලුවන්ද?”
“බලය තියෙනවනම් මිනිහෙක් ගෑනියෙක් කරන්න වුනත්, ගෑනියෙක් මිනිහෙක් කරන්න වුනත් පුලුවන් කියලා මැඩම් හැමතිස්සෙම කියන්නෙ.”
ආරාධ්‍යා කිසිවක් නොපැවසුවාය. හසිත් දැක ගන්නට ඔහු හා කතා බහ කරන්නට යටි සිත ප්‍රිය වූවද, මින් පසු හැකිතාක් ඔහු මග හැර සිටිය යුතු යයි ඇය තරයේ අදිටන් කර ගත්තේ, අම්මා ඔහු රැකියාවෙන් නෙරපුවහොත් ඔහු පත්වන අසරණ භාවය ගැන සිතූ බැවිනි.
“බේබි අද බීච් එක පැත්තෙ යන්නෙ නැද්ද?”
රංජනී ඇසුවාය.
“නෑ.”
ආරාධ්‍යා පියගැට පෙළ නගින්නට වූයේ සිතිවිල්ලෙනි. තම කාමරයට නොගොස් විහාරාගේ කාමරයට යා යුතුයයි උඩු මහළට පිවිසි ඇයට සිතිණ.
—