දෙදෙනාටම ලිංගික තෘප්තියක් ලබාගන්න පෙර , සූදානම කොහොමද ?

ලිංගිකව සක්‍රිය යුවලවල් අතර නිතර කතා බහ වෙන ප්‍රශ්නයක් විදිහට දෙන්නාගෙන් එක් කෙනෙක්ට හෝ දෙන්නටම ලිංගිකව තෘප්තිමත් නොවීම හඳුන ගන්න පුළුවන්. මේ ලිංගික ව තෘප්තිමත් නොවීමට බලපාන ප්‍රධාන ම හේතුව තමයි පෙර සූදානමක් නොමැති කම. ලිංගික එක්වීමක් කියන්නේ පෙර සූදානමක් ඇතිව කරන දෙයක්ද කියලා ඔයා බලාවි. ඔව්. ලිංගික ව සක්‍රීය යුවලක් ලිංගික එක්වීමකට පෙර සූදානම් වීම ඉතා වැදගත්. ඒ කොහොමද කියලා අපි අද කතා කරමු.

සන්නිවේදනය 

මම හැමදාම කියනවා වගේ, ලිංගික සහකරුවන් අතර ඉතා හොඳ සන්නිවේදනයක් තියෙන්න ඕනෙ. පෙර සූදානම් වෙන ක්‍රියාවලියේදී පළවෙනි ම අංගය තමයි මේ. ඔයාලා දෙන්නා ඉතා ම හොඳ – ගැඹුරු සන්නිවේදනයක් තියාගන්න ඕනෙ. එයා කැමති දේවල් – අකමැති දේවල් වගේ ම සීමාවල් අනිවාර්යයෙන් ම කතා කරගෙන දැනගෙන ඉන්නකොට ඔයාලා දෙන්නගෙ ලිංගික තෘප්තිමත්බව කෙරෙහි ඒක සෘජුව ම බලපානවා. අපි ආස නැති දෙයක් කොච්චර කළත් තෘප්තියක් නැහැනේ. ඉතින් ඔයාගෙ පාට්නර් ආස දේ මොනවද ? ආස නැත්තේ මොනවද? එයාට දේවල් දරාගන්න පුළුවන් සීමාව මොකක්ද වගේ දේවල් අනිවාර්යයෙන් දැනගෙන ඉන්න එකෙන් ඔයාගෙ ලිංගික ජීවිතේ ගැටලු ඇති වීම වැළකිලා තෘප්තිමත් බව වැඩි වෙනවා. ඒ වගේ ම එකිනෙකාගෙ කැමැත්තට ගරු කිරීම නිසා ආදරෙත් ගොඩාක් වැඩි වෙනවා. ආදරේ වැඩි වෙන එක ආයෙමත් ඔයාගෙ ලිංගික තෘප්තිය කෙරෙහි බලපානවා. 

සනීපාරක්ෂාව 

සෙක්ස් කරන්න කලින් පිරිසිදුව නොහිටියොත් අනිත් කෙනාට අප්‍රසන්න අත්දැකීමක් වෙන්න පුළුවන්. ඒත් අපි කන්නයි හදන්නෙ ඒ නිසා අත හෝදනවා වගේ, ඔන්න අපි දැන් සෙක්ස් කරන්නයි යන්නෙ ඒ නිසා නාගෙන එන්නම් වගේ කියන්න ඔයාට බෑ. එතකොට මූඩ් එක ගිහින් වැඩේ අල වෙන්න තියෙන සම්භාවිතාව වැඩී. ඒ වගේ ම පෞද්ගලික සනීපාරක්ෂාව කියන්නෙ ලිංගික ව සක්‍රිය වුණත් නැතත් ඔයා අනිවාර්යයෙන් ම නිරෝගී ජීවිතයක් වෙනුවෙන් පවත්වගෙන යන්න ඕනෙ දෙයක්. දිනපතා නාන එක, පිරිසිදු ඇඳුම් අඳින එක, දන්ත සෞඛ්‍ය යහපත් ව පවත්වා ගන්න එක වගේ දේවල් ඔයාගෙ පෞද්ගලික සනීපාරක්ෂාව පවත්වාගන්න කරන්න ම ඕනෙ දේවල්. ඒවා පවත්වා ගැනීමෙන් නිරෝගීබවට අමතර ව ඔයාට ලිංගික කටයුතුවලදී අමුතු සූදානමක් වෙන්න ඕනෙ වෙන්නෙ නැති වෙනවා. එතකොට ඕනෙ වෙලාවක – දඩිබිඩියෙ වුණත් ඔයාට ලිංගික එක්වීමකදි අනිත් කෙනාට අප්‍රසන්න හැඟීමක් එයි කියලා බය වෙන්න දෙයක් නම් නෑ. එයා රෙඩී නම් ඔයා එවරෙඩි වගේ කන්ෆිඩන්ස් තියන් ඉන්න පුළුවන්. ඒකෙන් ඔයාල දෙන්නම ලිංගික ව තෘප්තිමත් වෙන්න පුළුවන්.  

අවශ්‍ය ද්‍රව්‍ය ළඟපාතක තියෙනවද ?

මොනාද මේ සෙක්ස් කරන්න අවශ්‍ය ද්‍රව්‍ය කියන්නේ? කොන්ඩම්, සෙක්ස් ටෝයිස්, ලිහිසි ද්‍රව්‍ය තමයි මම මේ කියන්නේ. ඔයා ලිංගික ව එකතු වෙන්න අරන් මැදදි මේවා ඕනෙ වුණොත් ගන්න විදියක් නැත්නම් ඔන්න මූඩ් එක අවුල් යනවා. ඒ හින්දා ටිකක් වැඩිපුර ගෙනත් පරිස්සම් ඇතුව ළඟ පාත ම තියාගත්තොත් ඔයාටමයි වාසිය. 

සද්ද බද්ද ගැන සැලකිලිමත්ද 

ඔයාලා දෙන්නා ඉන්නෙ තනියම නම් මේක ලොකු ප්‍රශ්නයක් වෙන්නේ නෑ. නමුත් දරුවො ඉන්නවානම්, එක්කො මහගෙදර ඉන්නවා නම් ඒ කියන්නෙ ඔයාලා දෙන්නා හැර තව පවුලේ අය එක්ක නම් ඔයාලාට ජීවත් වෙන්න වෙන්නේ මේක ටිකක් බලපානවා. සමහර විටක සද්ද බද්ද එළියට ඇහෙයි කියලා බය වීම නිසා එයාට හෝ ඔයාට ලිංගික එක්වීමක තෘප්තිමත්බව නැති වෙලා යන්න පුළුවන්. ඉතින් ඒකටත් මොකක් හරි විසඳුමක් හොයාගන්න වෙනවා. රේඩියෝ එකක් තියෙනවා නම් ඔන්න ප්‍රයෝජනයට ගන්න වෙලාව!

ඉතින් අපි අද කතා කළේ ලිංගික එක්වීමකදි පෙර සූදානම් වීමෙන් දෙදෙනාම තෘප්තිමත් වෙන්නේ කොහොමද කියලායි. මේ ටිප්ස් ඔයත් ට්‍රයි කරලා බලන්න. අත්දැකීම් මටත් කියන්න. 

Related Articles

Don't Miss


Latest Articles