සිහින අසපුව – 21 කොටස

විහාරා, ආරාධ්‍යා පසුපස සිටගෙන සිටියේ වෙහෙසකාරී මුහුණින් යුතුවය. ආරාධ්‍යාගේ හදවත ඇවිලිණ. උදෑසන පිපුන මලක් මෙන් ප්‍රබෝධමත් මුහුණින් යුතුව නිවසින් පිටව ගිය විහාරාගේ මුහුණ දැන් දිස් වන්නේ පරව ගිය මලක් මෙනැයි ඇයට සිතිණ.

“නංගි…”

ආරාධ්‍යා, විහාරාගේ උරහිස මත අත තැබුවේ හද උපන් ශෝකයෙනි.

“මහන්සියි අක්කේ…”

විහාරා පැවසුවාය.

“කොහෙද අද ගියේ?”

“අහන්න එපා… අහන්න එපා… අහන්න එපා…”

විහාරා කෑගැසුවාය.

“මං ඔයාගෙ අක්කා. මට යුතුකමක් තියෙනවා ඔයා කොහෙද ගියේ කියලා අහන්න.”

“සොරි… මං යන්නෙ කොහෙද කියලා හැමදාම ඔයා අහද්දි මට එකම උත්තරේ දීලා දැන් ඇති වෙලා. එපා වෙලා.”

විහාරා උරහිසෙහි එල්ලාගෙන සිටි බෑගය ගලවා බිමට විසි කළාය.

“අද මං අන්තිම වතාවටයි කියන්නෙ. මං යන්නෙ සුහේල්ව හොයන්න. හොයනවා. හොයනවා. ලංකාව පුරාම හොයනවා. එච්චරයි. ඒත් ඒ ගමන මට මහන්සියි අක්කෙ.”

“මෙච්චර දවසක් ඔය විදියට ගිය එකෙන් පලක් තියෙනවද?”

ආරාධ්‍යා, විහාරා බිමට විසි කළ බෑගය අහුලා ගත්තාය.

“මං දන්නෙ නෑ. මට තේරෙන්නෙ නෑ.”

“කරන දේ සිහි බුද්ධියෙන් කරන්න නංගි. සුහේල්ව හොයනවා කියලා ඉබාගාතෙ ගිහින් හරියනවද? ඒකෙන් වෙන්නෙ කවදාහරි ඔයා අමාරුවෙ වැටෙන එක විතරයි.”

“අමාරුවෙ වැටෙන්න?”

විහාරා මඳ සිනා පෑවාය.

“මං එහෙම අමාරුවෙ වැටෙන චරිතයක් නෙමෙයි. අන්න ඒක මතක තියාගන්න. මීට කාලෙකට කලින් හිටිය ලද බොළඳ ගැහැනු චරිතය දැන් මැරිලා. මම දැන් යකඩ ගැහැනියක් අක්කෙ…”

විහාරා කෙසේ පැවසුවද, ඇගේ දෙනෙත් වල රැඳි කඳුලු, දිගු කතාවක් පවසතැයි ආරාධ්‍යාට සිතිණ.

“යමු. ගිහින් වොෂ් එකක් දාගන්න. මං රංජනීට කියන්නම් තේ හදන්න කියලා.”

ආරාධ්‍යා, විහාරා ඇගේ කාමරයට කැඳවාගෙන යන්නට උත්සාහ කළ ද, විහාරා තම කාමරයට නොගොස් ආරාධ්‍යාගේ කාමරයට පැමිණ ඇගේ යහන මත වැතිරුනාය.

“කොච්චර කිව්වත් වැඩක් නෑ. දාඩිය පිටින් ඇවිත් ඇඳේ ගුලි වෙනවා.”

තම සිතට නැගි සිතිවිලි ආරාධ්‍යා මුවින් පිට නොකළාය. 

“මගේ ඇඳේ නිදාගත්තම එයාට සුරක්ෂිතතාවයක් දැනෙනවා ඇති. කමක් නෑ. මම බෙඩ් ෂීට් එක මාරු කරනවා.”

ඇය සිතුවාය.

“මට මග් එක පුරවලා රස්නෙට කිරි තේ එකක් ගේන්න කියන්න අක්කෙ. බස් වල ආවම කියන්න බැරි තරම් මහන්සියි.”

විහාරාගෙන් විමසන්නට දහසක් ප්‍රශ්න සිතට නැගුණද, ඇයගෙන් ඒ කිසිවකටත් පිළිතුරු නොලැබෙන බව දැන සිටි හෙයින් ආරාධ්‍යා කාමරයෙන් පිටව රංජනී සොයා ගියාය.

“චූටි බේබි ආවා නේද බේබි? මං මේ තේ හදන ගමන්. හොඳටම මහන්සි පාටයි මූණ. මං කතා කරාට කිසිම දෙයක් කියන්නෙ නැතිව උඩට ගියේ.”

“කතා කරලා එයාව තරහ ගස්සවන්නෙ නැතිව හෙමිහිට දැනගන්න බලමු මේ කොහෙද යන්නෙ කියලා.”

“අනේ මන්දා බේබි.”

රංජනී සාදන ලද තේ කෝප්ප දෙකකට වත් කළාය.

“බේබිටත් එක්කම හැදුවා. මං උඩට අරන් එන්නම්. බේබි යන්න.”

“රංජනී තියෙන වැඩක් කරන්න. මං තේ අරන් යන්නම්.”

ආරාධ්‍යා, තේ කෝප්ප දෙක ද රැගෙන සිය කාමරයට ගියාය. විහාරා ඒවනවිටත් තද නින්දට වැටී සිටියාය.

“තේ ගෙනාවා නංගි.”

කෝප්ප දෙක පසෙක තැබූ ආරාධ්‍යා, විහාරාගේ උරහිසින් අල්ලා සෙලවූවාය. එක්වරම නැගී සිටි විහාරා, තදබල පිපාසයකින් පසුවන්නාක් මෙන් තේ කෝප්පය පානය කරන අයුරු ආරාධ්‍යා බලා සිටියේ ශෝකයෙනි.

“මට ඔයාට කියන්න දෙයක් තියෙනවා. මං දවස් දෙකතුනකට ගෙදරින් යනවා අක්කෙ.”

හිස් තේ කෝප්පය ආරාධ්‍යා අතට දුන් විහාරා එක්වරම පැවසුවාය.

“මට ඔයාගෙ අර සුදු බෝල බ්ලවුස් එක දෙනවද? මං ආසයි ඒකට.”

“බ්ලවුස් එක නම් දෙන්න බැරිකමක් නෑ. ඒත් ඔයා යන්නෙ කොහෙද කියලා මට කියන්න. අනික දවස් දෙක තුනකට? කොහෙද නවතින්නෙ? කවුරු එක්කද යන්නෙ?”

“ගෙදරින් යන්නෙ තනියම. දවස් දෙකතුනක් වෙන්නත් පුලුවන්. සමහරවිට ඊට වඩා වැඩි වෙන්නත් පුලුවන්. අඩු වෙන්නත් පුලුවන්.”

විහාරා පවසන මෙවන් කතා ආරාධ්‍යාට අමුත්තක් නොවීය. එහෙත් නිවසින් පිටව ඇය යන ගමන පිළිබඳව ඇති වු කුතුහලය පහසුවෙන් සිඳී යන්නක් නොවේ. 

“ඔයා ගෑනු ළමයෙක්. යන තැනක් කියන්නෙ නැතිව යන එක හොඳ නෑ නංගි. මොකක් හරි කරදරයක් වුනොත් අපි කවුරුවත් දන්නෙ නෑ.”

“කරදරයක් වුනොත්?”

විහාරා මඳ සිනා නැගුවාය.

“කරදරයක් වෙනවා නම් මම කැමතියි. එතනින් චැප්ටර් එක ක්ලෝස්ඩ්. පශ්චාත් මරණ පරීක්ෂණ පැවැත්තුවා. අරන් ගිහින් වැළලුවා. එතනින් හැමදේම ඉවරයි. විහාරා සූරියබණ්ඩාර කියන නම සීමිත පිරිසකට ටික කාලයක් මතක තියේවි. ඊටපස්සෙ හැමදේම ඉවරයි.”

විහාරා නැවතත් කොට්ටය මත හිස තබා ගත්තාය. 

“නංගි. වගකීමක් ඇතිව වැඩ කරන්න. කතා කරන්න. මොකක්ද මේ වැඩේ තේරුම? මම තාත්තට කියනවා ඔයා දවස් දෙක තුනකට ගෙදරින් යනවා කියලා.”

“කියන්න.”

විහාරා සන්සුන් ලෙසින් පැවසුවාය.

“තමුන්ගෙ වයිෆ් දවස් ගණන් ගෙදරින් පිට යන එක නවත්තන්න බැරි එයා මාව නවත්තන්නෙ කොහොමද? ඊට හොඳයි හමන සුළඟ මකුලු දැලකින් නවත්තන්න හදන එක.”

“මට තේරෙන්නෙ නෑ.”

යහන මත හිඳ ගත් ආරාධ්‍යා පැවසුවේ හැඬුම් හඬිනි.

“හරි. මම ඇත්ත කියන්නම්. මට ෂූටින්. මම ඩ්‍රාමා එකක ඇක්ට් කරනවා අක්කෙ. දැන් හරිනෙ?”

යන්තමින් හිස ඔසවා බැලූ විහාරා දෙනෙත් පියාගත්තාය. ආරාධ්‍යාගේ සිතට යම් තරමක සැනසීමක් දැනිණ. විවිධාකාර දක්ෂතාවයන්ගෙන් යුත් මලීෂ මෙන්ම විහාරා ද කලා හැකියාවන්ගෙන් පිරිපුන් කෙනෙක් බව රහසක් නොවේ. මලීෂ රංගනයෙන් දායක වන ටෙලි නාට්‍යයක් මේ දින වල විකාශය වෙමින් තිබෙන බව තාත්තා ඊයේ පැවසූ බව මතකයෙහි තිබුණද, ඇයට රූපවාහිනියෙහි එම ටෙලි නාට්‍යය නැරඹීමට අමතකව තිබිණ. විහාරා ද මලීෂගේ අඩි පාරෙහිම යන්නට සැරසෙන්නේද? 

“නොකියා හිටියට සමහරවිට මලීෂම චාන්ස් එකක් අරන් දෙන්න ඇති. ඉවසීමෙන් බලාගෙන ඉන්නවා. විහාරා ගෙදර ඉන්නවද ගෙදරින් යනවද කියලාවත් අම්මාවත්, තාත්තාවත් දන්නෙ නැහැනෙ. බලමු.”

ගැඹුරු ලෙස හුස්ම ගනිමින් නින්දට වැටී සිටින විහාරා දෙස මොහොතක් බලා සිටි ආරාධ්‍යා  කාමරයෙන් පිටව ගියාය.

*

කවීන් සුපුරුදු පරිදි ආලින්දයෙහි වූ හාන්සි පුටුව මත වැතිර සිටියේ ගීත වලට සවන් දෙමිනි.  සැන්දෑවෙහි නිවසට පැමිණි පසු හාන්සි පුටුව මත වැතිර පැරණි හින්දි ගීත වලට සවන් දීමෙන් ලැබෙන මානසික තෘප්තිය කිව නොහැකි තරම්ය. දවස පුරා මනසින් විඳින විඩාව ඉන් සිඳී යන්නේ පුදුමාකාර ලෙසින් යයි කවීන් කල්පනා කළේය. තම දැහැනට බාධාවක් නොවන ලෙසින් සෙමෙන් පියවර තබා නිවස ඉදිරියට ඇවිද යන ආරාධ්‍යා ඔහු දුටුවේ අහම්බෙනි.

“ආරාධ්‍යා…”

ආරාධ්‍යා නතර වූවාය.

“කොහෙද මේ හොරෙක් වගේ යන්නෙ?”

මුවගට සිනාවක් නගා ගත් කවීන් ඇසුවේය. ආරාධ්‍යා විස්මයෙන් බලා සිටියාය.

“මං ඇහුවෙ යන්නෙ කොහෙද කියලා.”

“නිකමට එළියට ආවා තාත්තෙ. කාමරේ ඇතුළෙම ඉඳලා කම්මැලියි.”

“මටත් කම්මැලියි. පාලුයි. ඇවිත් මෙහෙන් වාඩි වෙන්න.”

මොහොතක් බලා සිටි ආරාධ්‍යා පැමිණ කවීන් අසළින් හිඳ ගත්තාය.

“කෝ විහාරා?”

කවීන් ඇසුවේය.

“නිදි තාත්තෙ. නංගි ගැන ටිකක් හොයලා බලන්න වේවි.”

ආරාධ්‍යා පැවසුවේ විහාරා, දින කීපයකට නිවසින් පිටව යන්නට සූදානමින් සිටින බව සිහි වීම නිසාය. කවීන් පිළිතුරක් නොදුන්නේය.

“හැමදාම උදේට ගෙදරින් යනවා. එන්නෙ හොඳටම මහන්සියෙන්. අම්මා දන්නෙත් නෑ. තාත්තා දන්නෙත් නෑ. මට නංගි ගැන බයයි තාත්තෙ.”

“බය වෙන්න එපා. ඔය හැමදේම කරන්නෙ අපට රිද්දන්න. විහාරා බුද්ධිමත් ළමයෙක්. අපි ඉවසගෙන බලා ඉඳිමු. සුහේල් නැති එකේ පළිය අපෙන් ගන්නයි එයා හදන්නෙ.”

“ඇත්තටම සුහේල්ට මොකක්ද වුනේ තාත්තෙ?”

“මම ඒ ගැන කියන්න දන්නෙ නෑ. ඒ ළමයා සුදුද කලුද කියලාවත් කියන්න මං දන්නෙ නෑ.”

ආරාධ්‍යා කල්පනාවට වැටුනාය. සුහේල් ගැන හොඳින් දැන සිටින්නිය අම්මාය. ඔහුගේ අතුරුදහන් වීමට අම්මාගේ සෘජු සම්බන්ධයක් ඇතැයි යන හැඟීමෙන් මිදීමට ඇයට නොහැකි විය.

“අපේ නම්බුව නැති කරන්නද හදන්නෙ විහාරා?”

කලකට පෙර සැන්දෑවෙහි නිවසට පැමිණි ඇය කෑගැසූ අයුරු ආරාධ්‍යාගේ මතකයට නැගිණ.   

“බලපන් මේ මොකක්ද කියලා?”

ඇය සිය ජංගම දුරකතනය විහාරාට පෙන්වූ නමුත් එහි වූ සේයාරුව දැක ගැනීමට ආරාධ්‍යාට නොහැකි විය. 

“රස්තියාදුකාරයෙක් එක්ක තැන් තැන් වල රස්තියාදු ගහන්න යන්නෙ උඹ හිතන්නෙ රටේ ලෝකෙ මිනිස්සු ඇහැ කණ පියාගෙන ඉන්නවා කියලද? මේ ෆොටෝ එක කෙනෙක් මගේ ෆෝන් එකට එවලා තිබුනෙ අද හවස.”

“ඇත්තද?”

කට ඇද කර ගත් විහාරා ඇසුවාය.

“ඒක මගේ ෆෝන් එකට ෆෝවර්ඩ් කරන්න.”

“මොකක්ද කිව්වෙ?”

අම්මා ඉදිරියට පැන විහාරාගේ කම්මුලට පහරක් එල්ල කලාය. බොහෝ රිදෙන්නට ඇතත් කඳුලක් නොසැලූ විහාරා දණ්ඩෙන් පහර කෑ හැපින්නක සේ කිපී සිටියාය.

“ලැජ්ජා නැද්ද මේ වගේ රස්තියාදුකාරයෙක් එක් තැන් තැන් වල ඇවිදින්න? නොකිව්වා කියන්න එපා. වහාම ඔය සම්බන්ධෙ නවත්තපන් විහාරා.”

“නෑ. මං නවත්තන්නෙ නෑ. මං ඒක පටන් ගත්තෙ නවත්තන්න හිතාගෙන නෙමෙයි.”

“එහෙමද?”

අම්මා කෝපයෙන් හති ලෑවාය.

“උඹට බැරි නම් මං ඒක කරන්නම්. ඌ කවුද කින්ද මන්ද කියලා හොයන එක මට මහලොකු වැඩක් නෙමෙයි.”

“ඉතින් හොයලා බලන්න.”

විහාරා එවේලෙහි උඩු මහලට දිව ගිය ආකාරය ආරාධ්‍යාට මතකයට නැගිණ. ඉන් දෙසතියක් ගත වන්නට පෙර විහාරා හඬාගෙන නිවසට පැමිණි ආකාරය ද සිතුවම් පටයක රූප රාමු සේ ආරාධ්‍යාගේ මනසෙහි පෙළ ගැසෙන්නට විය.

“සුහේල් නෑ අක්කෙ.”

තමා බදා වැළඳ ගත් විහාරා ඉකි ගසා හැඬුවාය. 

“ෆෝන් එකත් වැඩ කරන්නෙ නෑ. ගිය තැනක් කවුරුවත් දන්නෙත් නෑ. එයාට කරදරයක් වෙලා වගෙයි. ”

තම කාමරයට නොගිය විහාරා එදින මුලු රාත්‍රියම ආරාධ්‍යාගේ යහන මත වැතිර හඬා  වැලපුනාය. ඇය වරින් වර නැගිට සුහේල්ගේ මිතුරන්ට දුරකතන ඇමතුම් ලබා දුන්නාය.

“එයාට වෙච්චි දේ මට හිතාගත්ත හැකි.”

එළිවන්නට පැයකට දෙකකට පමණ පෙර එක්වරම යහනෙන් නැගී සිටි විහාරා පැවසුවේ අඩ නින්දෙහි සිටි ආරාධ්‍යා ඇහැරවමිනි.

“සුහර්ෂා සූරියබණ්ඩාර මැඩම් එයාව අතුරුදහන් කරලා.”

ශෝකය, බිය, වේදනාව මුසු කටහඬින් ඇය පැවසූ අයුරු ආරාධ්‍යාගේ මතකයට කිසි දිනෙක අමතක නොවේ.

“ආරාධ්‍යා…”

තාත්තාගේ කටහඬින් ආරාධ්‍යා මතකයෙන් මිදුනාය.

“මොකක්ද කල්පනාව? මං ඔයාගෙන් කාරණාවක් අහන්නයි හිටියෙ.”

ආරාධ්‍යා පියාගේ මුහුණ දෙස සෘජුව බැලුවාය. ඔහු අසන්නට සැරසෙන කාරණාව කුමක්දැයි ඇයට සිතා ගත නොහැකි විය.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles