ආරාධ්‍යා කුතුහලයෙන් යුතුව පියාගේ මුහුණ දෙස බලා සිටියාය. තාත්තා අසන්නට සැරසෙන කාරණාව කුමක්දැයි ඇයට අනුමානයෙන් හෝ සිතා ගත නොහැකි විය.
“ඇයි මේ බය වෙලා?”
ආරාධ්‍යාගේ මුහුණ දෙස බැලූ කවීන් සිනාසුනේය.
“නෑ තාත්තෙ… මං මේ කල්පනා කළේ…” යි ආරාධ්‍යා මුවට නැගි වදන් ගිල ගත්තාය.
“ඔයගොල්ලන්ට ප්‍රහ්නයක් වෙන දෙයක් මං කවදාවත් අහන්නෙ නෑ. ඔයා හෙට අර ගමන යන්න ලෑස්තිද කියලයි මං මේ අහන්න හැදුවෙ.”
“අර ගමන කිව්වෙ තාත්තෙ?”
“ඇයි ආයුෂ් ඔයාට කිව්වෙ නැද්ද? හෙට ප්‍රින්ටින් මැෂින් එකක් බලන්න යමු කියලා එයා මට කතා කරා. එයාමයි යෝජනා කළේ ඒ ගමනට අපි ආරාධ්‍යාවත් එක්ක යමු කියලා.”
ආරාධ්‍යාගේ සිතට සැනසීමක් දැනිණ. මුද්‍රණ යන්ත්‍රයක් බැලීමට යාමට එන්නැයි ඔහු කළ ආරාධනාව ඇයට සිහිපත් විය.
“මට අමතක වුනා. ආයු කතා කරා තාත්තෙ. මම කිව්වා එන්නම් කියලා.”
“මටත් හෙට වැඩ අඩු දවසක්. ඒ නිසා යන්න පුළුවන්. දියුණු වෙන්න උත්සාහ කරන ළමයෙකුට අපි උදව් කරන්න ඕන. ඒකනෙමෙයි. ඔයා මොකද ආයුෂ් ගැන හිතන්නෙ ආරාධ්‍යා?”
ආරාධ්‍යා දෑසින් සිනාසෙන ආකාරය දෙස කවීන් නිරීක්ෂණාත්මක ලෙසින් බලා සිටියේය.
“ආයුෂ් හොඳ කෙනෙක් තාත්තෙ.”
ආරාධ්‍යා පැවසුවාය.
“වෙන කෙනෙක් ගැන ඔයා ඔහොම කිව්වනම් මම කියන්නෙ කෙනෙක්ගෙ හොඳ කියන්න ඉක්මන් වෙන්න එපා කියලා. ඒත් ආයුෂ් එයාගෙ තාත්තා, මගේ මිත්‍රයා වගේම හොඳ කෙනෙක්.”
“අපි හෙට යනවා කියලා අම්මා දන්නවද තාත්තෙ?”
ආරාධ්‍යා අතුරු ප්‍රශ්නයක් නැගුවාය. කවීන් සිනාසුනේය.
“නෑ. අපි රෑට ඒ ගැන කියමු. අම්මා විරුද්ධ වෙන්නෙ නැති බව මට විශ්වාසයි.”
කවීන් පැවසුවේ විශ්වාසයෙනි. තම පුතු ද, ආරාධ්‍යා ද දවසක විවාහ වී පවුල් දෙක අතර මිත්‍රත්වය වඩාත් තහවුරු කර ගත යුතු යයි ගිහාන් දරුවන් කුඩා කාලයේ පැවසුවේ සුහර්ෂා ද ඉදිරිපිටමය. සුහර්ෂා ද, ගිහාන්ගේ බිරිඳ ද එය අනුමත කරමින් සිනාසුන අයුරු කවීන්ට සිහියට නැගිණ.
“අපි ඒ විදියට බලාපොරොත්තු වුනාට ළමයි ලොකු වුනාම කවුරු තෝර ගනීවිද කවුද දන්නෙ?”
ගිහාන්ගේ බිරිඳ පැවසූ අයුරු කවීන්ට අද මෙන් මතකය.
“එහෙම වෙන්න බෑ.”
සුහර්ෂා තරයේ පවසා සිටියාය.
“අපි කසාද බැන්දෙ අපේ දෙමාපියන් හොයලා දීපු අය. දෙමාපියන් දරුවන්ට නරකක් කරන්නෙ නැති බව දරුවො දැනගන්න ඕන.”
ඒවනවිට සුහර්ෂා දැනට තමා සභාපතිත්වය දරන රාජ්‍ය නොවන සංවිධානය පිහිටුවාගෙන නොතිබුණද, ඇය පොලිස් නිලධාරියකු වූ සිය පියා මෙන්ම දැඩි ගති පැවතුම් වලින් යුක්ත වූවාය.
“මේ දෙන්නා තවම පුංචි පැටව්. අනාගතය තීරණය කරන්න අපි ඉක්මන් වෙන්න ඕන නෑ.”
කවීන්ගේ බිරිඳ, ආයුෂ් සහ ආරාධ්‍යා තුරුලු කරගෙන පැවසූ අයුරු කවීන්ට සිහි විය. මිතුරන් දෙදෙනා ‘ආ’ අකුර මුල් කරගෙන සිය දරුවන්ට නම් තැබීම ද සැලසුම් සහගතව සිදු කළ දෙයක් නොවේදැයි කවීන්ට සිහිපත් විය. ගිහාන් විදෙස්ගතව සිටින දියණියගේ තනි නොතනියට විදෙස්ගත වීමෙන් පසු ඇසුරෙන් ඈත් වුව ද ඔහු ආයුෂ් අත එවා තිබූ තෑගි අතර ඔවුන් වූ පොරොන්දු සිහිපත් කරන ලද ලිපියක් ද වූ බව කවීන් සිහි කරේ මුවග රැඳි සිනාවෙන් යුතුවය.
“මොනවද තාත්තෙ කල්පනා කරන්නෙ?”
ආරාධ්‍යා ඇසුවාය.
“මට ආයුෂ්ගෙ තාත්තා මතක් වුනා. අපි දෙන්නම ගියේ මහින්දෙට. ඒක දීර්ඝකාලීන මිත්‍රත්වයක්.”
“මං තාත්තගෙන් කාරණාවක් අහන්නද?”
ආරාධ්‍යා එක්වරම ඇසුවාය.
“අහන්න පුතේ.”
ආරාධ්‍යාට සිය දෙසවන් අදහා ගත නොහැකි විය. ‘පුතේ… තාත්තා තමා සහ නංගීත්, මල්ලීත් අමතන්නේ නමින් මිසක දුව පුතා ලෙසින් නොවන බව ඇයට සිහිපත් විය. මෙම ඇමතුම මොන තරම් නම් ආදරණීයද?
“මොකක්ද දැන් අහන්න ගියේ? අහන්න…”
“නීතියේ දෙවඟන කියන්නෙ කාටද තාත්තෙ?”
කවීන් තිගැස්සුනේය. ‘නීතියේ දෙවඟන’ යයි ආරාධ්‍යා පවසත්ම ඔහුගේ සිහියට නැගුනේ මොනාලි ය. සුහර්ෂා ‘නීතියේ දෙවඟන’ නමින් මොනාලි හඳුන්වන්නේ සරදමක් වශයෙනි. ඔහු ආරාධ්‍යාගේ මුහුණ දෙස බැලුවේය. ආරාධ්‍යා පිළිතුරු බලාපොරොත්තුවෙන් බලා සිටියි.
“නීතියේ දෙවඟන කියන්නෙ අධිකරණ පද්ධතියෙ සදාචාරාත්මක ගුණය පෙන්නුම් කරන පිළිබිඹුවක්.”
කවීන් පැවසුවේ ආරාධ්‍යාගේ දෙනෙත් මග හරිමිනි.
“මම අහන්නෙ ඒ නීතියේ දෙවඟන ගැන නෙමෙයි.”
මුවට නැගි සිනාව තද කරගත් ආරාධ්‍යා පැවසුවාය.
“එහෙනම්?”
“අර අම්මා කියන නීතියේ දෙවඟන ගැන.”
“අම්මට පිස්සු.”
කවීන් පැවසුවේ ලජ්ජාවෙනි.
“අම්මා බොන්න අතට ගන්න වතුර වීදුරුවෙත් කිඹුල්ලු හොයනවනෙ. ජූනියර් ලෝයර් කෙනෙකුටනෙ අම්මා ඔය විදියට පද හදන්නෙ.”
ආරාධ්‍යා පියා නිරීක්ෂණය කිරීමට මෙන් ඔහු දෙස බලා සිටියාය. ඔහු පවසන තරුණ නීතීඥවරිය නමින් නොදැන සිටියද, ඇය දැක නොතිබුණද අම්මා සරදම් කරන ආකාරය අනුව ඇය බොහෝ සුරූපී අයකු විය හැකි යයි ඇයට සිතිණ.
“ඒ ළමයගෙ නම මොනාලි. තවම කා එකක් නැති නිසා මා එක්කයි ගොඩක් වෙලාවට කෝට්ස් යන්නෙ. අම්මා ඒක වරදවා තේරුම් අරගෙන.”
කවීන් දියණියගේ මුහුණ දෙස බැලුවේය. සුපිපුණ මලක් මෙන් සුන්දර දියණියගේ මුහුණෙහි සැකයක, අවිශ්වාසයක සේයාවක්වත් දක්නට නැතැයි ඔහුට සිතිණ.
“අපි රස්නෙන් තේකක් බොමු නේද?”
කවීන් පැවසුවේ මෙම මාතෘකාවෙන් මිදී යාමේ අරමුණ ඇතිවය.
“මම රංජනීට කියන්නම් තාත්තෙ.”
ආරාධ්‍යා නැගිට ගෙතුළට ගියාය.
*
ආයතනයේ සිය දෛනික වැඩ කටයුතු නිමා වූ සැනින් හසිත් තම කාමරය තුළට පැමිණියේ විඩාපත් සිතින් යුතුවය. කිසිදිනෙක නොවූ අන්දමේ වේදනාවක් තම සිත තුළ ඇතැයි හැඳ සිටි ඇඳුම් පිටින්ම යහන මත වැතිරුණු ඔහු සිතුවේය. දෑස් පියාගත් කළ ආරාධ්‍යාගේ සිනා පිරි මුව මැවී පෙනෙයි. ඇගේ දඟකාර හැසිරීම මැවී පෙනෙයි. අලුත් අවුරුද්දෙන් පසු සිටම ඇය තමා කෙරෙන් සැඟවී සිටීමට හේතුව කුමක්දැයි ඔහුට අනුමානයෙන් හෝ සිතා ගත නොහැකි විය.
“මොකක් නමුත් හිතේ තරහක් තියාගෙන ඇති. එහෙම නැත්නම් අඩුම තරමෙ මං යවන මැසේජ් එකකටවත් රිප්ලයි කරන්න ඕනනේ. මං දැනුවත්ව නම් එයාට වරදක් කරලා නෑ.”
හසිත් කල්පනා කළේය.
“සමහරවිට මැඩම් ගෙදර ගිහින් කියන්න ඇති දිසාලා මා එක්ක කතා කර කර හිටිය නිසා දිසාලාව අස් කළා කියලා.”
අවසානයේදී ඔහු තීරණය කළේය.
“මැඩම් ඒක මොන විදියට කියන්න ඇත්ද කියලා හිතාගන්න අමාරුයි. දිසාලව අස් කරලා දාන්න තරම් ලොකු වැරැද්දක් මා අතින් වෙන්න ඇති කියලා ආරාධ්‍යා හිතන්න ඇත්ද?”
හසිත් නැගිට මේසය මත වූ වතුර බෝතලය ගෙන එක හුස්මට පානය කළේ පිපාසය දැඩිව දැනෙමින් තිබූ හෙයිනි.
“හැමදේම ලැබුනත් එක අතකට මේක හිර ගෙයක්. මැඩම් හදන්නෙම මාව පාලනය කරන්න. මට ඕන කෙනෙක් එක්ක කතා බහ කරන්න, ඇවිදින්න යන්න, විනෝද වෙන්න මට තහනම්. මැඩම් මගේ කවුද?”
හසිත් සිතුවේ තරහෙනි. සහකාර මුදල් කලමනාකරු වන වරුණ මෙන්ම ආයතනයේ වඩාත් හිතවත් පිරිස පවසා සිටින්නේ මැඩම්ගෙන් ප්‍රවේශම් විය යුතු බවයි.
“කාර් එකක් අරන් දුන්නෙ නිකන්ම වෙන්න බෑ පුතෝ. මතු බලාපොරොත්තු ඇතිව වෙන්න ඕන. කෝකටත් කල්පනාවෙන්. අන්තිමේදි උඹට කඩෙන් ගත්තා වගේ දරු පවුලක් භාර ගන්න වෙන සීන් එකක් වගේ පේන්නෙ.”
අද දිවා කාලයේ වරුණ පැවසූ වදන් තවමත් දෙසවන් තුළ දෝංකාර දෙන්නාක් මෙනි. එම වදන් වල වූ අසංවර බව තම සිත මොන තරම් කැළඹීමට පත් කළේද යත් එවේලෙහි යන්තමින් දැනුන හිසරදය දැන් උත්සන්න වී ඇතැයි හසිත්ට සිතිණ.
“මහ ජරා මිනිස්සු. මොනවා වුනත් මැඩම් ඒ විදියෙ ගෑනියක් නෙමෙයි. මං අවංකව වැඩ කරන නිසා මට විශේෂත්වයක් පෙන්නුවට වරුණලා කියන්න වගේ පහත් හැසිරීමක් ඇති ගෑනියක් නෙමෙයි.”
හසිත් සිතුවේ තරහෙනි. වරුණ, ආයතනයේ සේවය කරන තරුණ හා මැදිවියේ සේවිකාවන් පිළිබඳව මෙන්ම ධීවර ගම්මානයේ කාන්තාවන් සම්බන්ධව පවසන පහත් කතා පිළිකුල් සහගතය. එවන් මිනිසෙකුට සුහර්ෂා මැඩම්ට විරුද්ධව කතා කිරීම පහසු දෙයකි.
“ගෑනියක් කියන්නෙම අම්මා කෙනෙක්. සහෝදරියක් කියන හැඟීම වරුණ තුළ විතරක් නෙමෙයි. ගොඩක් පිරිමි තුළ නෑ. ඒ වගේ අය තමයි කාන්තාවන්ට නින්දා කරන්නෙ. පව්.”
හසිත් මුලු කාන්තා සංහතියම කෙරෙහි ගෞරවයෙන් හා ආදරයෙන් සිතන්නට වූයේ තමා කුඩා කළ මව අහිමි වීමේ වේදනාව වැඩුනු මිනිසකු වූ පසු තදින් දැනෙන්නට වූ හෙයිනි.
“පුතේ… උඹගෙ අම්මා දේවතාවියක්.”
අප්පච්චි බොහෝ විට පැවසුවද, ඔහු අම්මා ගැන වැඩි තොරතුරක් නොපවසන්නේ අකාලයේ ජීවිතයෙන් සමු ගෙන ගිය ඇය සිහි කිරීමත් ඔහුගේ සිතට වේදනාවක් වන බැවින් විය යුතු යයි හසිත්ට සිතිණ. ඔහු යහනෙහි අනෙක් ඇලයට හැරුනේ වේදනාවෙනි.
හසිත්ගේ ජංගම දුරකතනය නාද වන්නට විය. ඇමතුම හා සම්බන්ධ නොවීමට සිතුණද ඔහු නිකමට මෙන් දුරකතන තිරය දෙස බැලුවේය. ආරාධ්‍යාගේ නම එහි සටහන් වී ඇති අයුරු දුටු හසිත්ගේ සිත තුළ දහසක් මල් පිපිණ.
“ඇති යන්තම් කතා කළා.”
යහනෙහි සෘජුව හිඳ ගත් ඔහු පැවසුවේ සතුටු සිතිනි.
“ඇත්තටම මොකක්ද වෙලා තිබුනෙ මිස්? මම කොච්චර කෝල්ස් ගත්තද? මැසේජස් එව්වද? සද්ද නැතිව ඉඳිද්දි මම හිතුවෙ මිස් තරහ වෙලා ඇති කියලා.”
ඔහු පැවසුවද ආරාධ්‍යාගෙන් පිළි.තුරක් නොලැබිණ.
“මිස් ආරාධ්‍යා…”
ඔහු කාරුණික ලෙසින් කතා කළේය.
“සොරි හසිත්.”
ස්වල්ප වේලාවකට පසු ආරාධ්‍යාගේ හඬ ඇසිණ.
“හිතලා කතා නොකර හිටියා නෙමෙයි. මීටපස්සෙ කවදාවත් මං ඔයා එක්ක කතා නොකර හිටියත් මාත් එක්ක තරහ නම් වෙන්න එපා.”
ආරාධ්‍යාගේ කටහඬ දුක්මුසුය. කිසියම් සිදුවීමක් සිදුවන්නට ඇතැයි සිතුණද එය ආරාධ්‍යාගෙන් විමසන්නට ද ඔහුට නොසිතිණ.
“මම මෙහෙම නිහඬව ඉන්නෙ ඔයාගෙ හොඳටයි කියලා හිතන්න හසිත්. ඒ ඇති. සමහරවිට… සමහරවිට… ඔයා බ්‍රෙක්ෆස්ට් ගන්න එන වෙලාවටත් මම එළියට නාවොත් මා එක්ක තරහ වෙන්න එපා.”
ආරාධ්‍යාගේ හඬ බිඳී තිබිණ.
“කවදාවත් නෑ මිස්.”
හසිත් පැවසුවේය.
“කවදාවත්ම තරහ වෙන්නෙ නෑ. ඒ වුනාට ඉඳහිටලා හරි මට කතා නොකර ඉන්න එපා. මට මේ හැමදේම එපා වෙයි.”
“හරි. මං කතා කරන්නම්. ඒකනෙමෙයි. මොකක්ද දැන් ඔයා කරන්නෙ?”
“මුකුත් නෑ මිස්. මට හිසරදේ. මිස්ට දෙන්න මං පුංචි තෑග්ගක් ගත්තා මිස්. මං ඒකෙ ෆොටෝ ්එකක් අරන් එවලා ඇති. තරහ නැතිව ඒක විතරක් ගන්නවද?”
“බලමු.”
ආරාධ්‍යා පැවසුවේ බොහෝ සෙමෙනි.
“රංජනී කාමරේට ආවා හසිත්. අම්මා මට කතා කරනවලු. මං යන්නම්. පස්සෙ කතාකරන්නම්.”
ආරාධ්‍යා දුරකතනය විසන්ධි කළ බව හසිත්ට දැනිණ. ඔහු යහන මත වැතිර ගත්තේ සැනසුම් සිතින් යුතුවය.