විහඟ පියාපත් 23

0
3957

“එහෙමද ? දැන් ඒකටත් මමද වැරදි .. මම පත්තරකාරයාව මේකට ගාවගත්ත එකද වැරදි ? අහ්.. එතකොට අර ගමේ මිනිස්සු මෙතන මැරෙන්න හැදුවේ පත්තරකාරයාව මේකට ගාවගත්ත නිසාද ? .. ඈ ? එහෙමද කියන්නේ ?”

ශයිනි උන්නේ අමයුරු දිසානායක මෙයට ඈඳාගෙන චරිත් නටන්නට යන නාඩගම ගැන තවත් කෝපයට පත්වෙමිනි. අමයුරු නන්නාඳුනන්නා වුවද, තමා විනාශ වන්නට නොදී රැකගන්නට කැක්කුම වූයේ ඔහුටය.

 වසර ගණනාවක් තමා හා සමඟම රැඳෙමින්, තමා මතින්ම ජීවිත ගොඩ නඟා ගත් උන් තම විනාශය පෙනි පෙනීම මුනිවත රැක ඇත. නොඑසේනම්, ඔවුන් තම විනාශය සිදුවන්නට වන මාවත් තනා දමා පසෙකට වී බලා සිටින්නට ඇත.

“ඔයාට මේක තේරෙන්නේ නෑ ශයිනි …”

චරිත් පුදුමාකාර තරමේ සන්සුන් ස්වර වලින් සෙල්ලම් කිරීම අරඹා තිබුණේය.

“ඔව් .. ඔව්… මට තේරෙන්නේ නෑ.. ඔක්කොම තේරෙන්නේ උඹලාට…නේ ?”

ශයිනි මතක ඇති කාලයක මෙලෙස හැසිරී තිබුනේ නැත.

“අමයුරු කියන එකා මේ සිද්දියට ආවේ නැත්නම්, කොච්චරක් කොහොම කවුරු කෑ ගැහුවත් ඒක නිකම්ම නිකන් පුස් සද්දයක් විතරයි … ඔයාට,අපිට, මොණරවිල නමට තියෙන ඉරිසියාව නිසා වටේ පිටේ හොටෙල් කාරයෝ එකතු වෙලා කරන වැඩක් ගානයි ඒක… ඒක ඒ විදියටම යටපත් වෙලා යනවා… ඒත් අමයුරු මේක අස්සට රිංගගෙන ඔය ආර්ටිකල් එක ලිව්වේ.. ඌ මේ හැමදේම ස්ටඩි කරලා.. ඌ මේ හැමදේම දන්නවා… ඔයා දන්නවද, ඊයේ ඔය අමයුරු කියන එකා මට මැසේජ් එකක් දාලා තියෙනවා, වහාම හැමදේම නිවැරදි කරන්න, එහෙම නැත්නම් ඔයාට මං ගැන හැමදේම කියනවා කියලා .. මේ ..මේ බලන්න…”

චරිත් ඉතා කලබලයෙන් තම සාක්කුවේ වූ ජංගම දුරකතනය ගෙන එය ශයිනිට පෙන්වූවේය. ශයිනි එයට එබුණේ උනන්දුවෙනි

“මේ.. මහත්තයා .. ඔය ගහන ඩබල් ගේම නවත්තපං. මම ආර්ටිකල් එකේ ලිව්වේ හොයාගත්ත කාරණා වලින් බොහොම ටිකයි.. අනෙක් ඔක්කොම මගේ අතේ තියෙනවා. ඒවා පස්සෙන් ඉන්නේ උඹ කියලත් මම දන්නවා.. උඹ මේක අතෑරලා දාන්නේ නැත්නම්, මම උඹට මේ හැමදේම අතෑරලා යන විදියට පාර හදලා දෙන්නම්… යකෝ, හම්බකරගෙන කන තැනට ඔහොම පහරන්න එපා…”

ශයිනි යළි වරක් කියවනතුරුම චරිත් දුරකතනය පසෙකට කලේ නැත. ශයිනි යළි අසුනටම වැටුණාය. නූල් බෝලයක් පැටලුණාට පසු දෙකොන සොයා ගැනීමම අපහසුය. එහෙව් එකේ  කැබලි වලට කැඩෙන නූල් බෝලයක මැදට වැටුණ පසු දෙකොන් සොයන්නේ කෙලෙසද  ?

” මං වැරැද්දක් කලා කියලා හිතෙනවා නම් ශයි  උඹ කැමති තීරණයක් ගනින්.. ඒක මට කිසිම ප්‍රශ්නයක් නෑ… මම උඹේ එක සතයක්වත් වංචා කරලා නෑ. පාවිච්චි නොවුන හැම රුපියලක්ම වෙනම එෆ් ඩී කරලා තියෙන්නේ.. ඒක එහෙම කලේ, මේ ගේම උඹට කියලා ගහන්න බැරි නිසා. ශයි, උඹට කියලා මේ දේවල් මම ගලපන්න ගියා නම් මේවා මෙහෙම කරන්න වෙන්නේ නෑ… මං අතේ කෝටි ගාණක් තියෙනවා තව. ඒවා ඉතුරු කලේත් මේකටම ඉන්වෙස්ට් කරන්න .. මට මේක මගෙ දෙයක් … “

ශයිනි බාධා නොකර සවන් දීගෙනම සිටියදී  චරිත් තව ධෛර්යමත් වුයේය. ඔහු දිගින් දිගටම ඉතා පැහැදිලි ස්වරයෙන් තම වරද සාධාරිණීකරණය කලේය. අවැසි වූයේ ලාබය උපරිම කිරීම පමණක් බව ඒත්තු ගන්වන්නට උත්සාහ කලේය. වරදක් කලා නම්, ඒ කලේ හෝටලය සහ ශයිනි වෙනුවෙන් පමණක්ම බව  ඉතා පහත් හඬින් කීවේය. ඒ වෙනුවෙන් ලැබෙන දඬුවම කුමක් වුවත් එය වෙනුවෙන් තමා සූදානම් වගද පැවසුයේය. 

“මට තනියෙන් ඉන්න ඕනි… “

ශයිනි දෙදෙනාටම යන්නට කීවේ එලෙසිනි. ඉන් පසුව කැබිනය පිරිසිදු කරන්නට අතැර ඕ කාමරයට වැදුණාය.ටෙලියේ රූගත කිරීම් නිසා ඉදිරිපස පිළිගැනීමේ කවුන්ටරය අසල වූ කාර්‍යබහුලකම නිසා ඇයට ඒ වෙනුවෙන් ද විනාඩි කිහිපයක් බලා සිටින්නට සිදු විය. ඇයට නිකමටවත් අකලංක නම් සිහිවූයේ නැත. 

ශයිනි කාමරය තුළ ඇවිදිමින්, යහනේ වැතිරෙමින්,ජනේලයෙන් පිටත බලා සිටිමින් සිදුවීම විශ්ලේෂණය කරගන්නට උත්සාහ කලාය. චරිත් පැවසූ සියල්ල සත්‍ය ලෙස පිළිගන්නට ඇයට කොහොමටත් සිතක් නැත. එහෙත්,ඔහු පැවසූ ඇතැම් දෑ සත්‍යම විය හැකි ය යන සැකයද සිතෙහි විය. එනිසාම සිත ඇත්තේ අතිශය කලබලයක් එක්කය. චරිත් සහ තිළිණි අතැර දමා මේ ගමන යන්නට කෙලෙසකවත් සිතක්ද නැත. එහෙත්, මේ වංචාව කොටස් ලෙස  හෝ අතැර දැමිය හැකි නොවේය. 

ශයිනි ජංගම දුරකතනය කුස මත තබාගෙන උන්නාය. කිහිප වතාවක්ම අමයුරුට පණිවිඩයක් තබන්නට උත්සාහ කරා වුවද එය කරගන්නට තරම් ශක්තියක් නැති වග ඇයට දැනුණි.

 ඔහු ඉදිරියේ තමා මෝඩියක වී අවසන් ය. තමා විශිෂ්ටතම ව්‍යවසායිකාව වූවාය යන වැකිය පවා වදයක්ව දැනෙන බව ඇයට හැඟෙන්නේය. එතරම් විශිෂ්ට වූවානම් , මෙතරම් විනාශයක් වනතුරු තමා ඇස් කන් පියා උන්නේ කෙලෙසද ? අඩුම තරමේ මේ ගැන ගිණි නැගෙද්දී පවා තමා විශ්වාස කලේ චරිත් පැවසූ දේ පමණක්මය. 

අමයුරු ඉතා තදින් මේ සියල්ල පිළිබඳව නොපවසන්නට  අද දිනයේ සිදුවූ කිසිවක් සිදුවන්නේ නැත. චරිත් ගේ ඒ පාපොච්චාරණය සිදු වන්නේද නැත. 

ශයිනි එලෙසම නින්ද ට වැටුණාය. තිළිණි කිහිප වතාවක්ම දොරට ගසනු ඇසුනද, ඕ නෑසුණා සේ උන්නාය. අවැසි වන්නේ කුමක්දැයි ඇයටද පැහැදිලි නැත. 

පසුදින උදෑසන ශයිනි කිසිවක් සිදුනොවූවා සේ සූදානම් වී පෝරුව සකසා තිබු ස්ථානයට ගියාය. ඇය ජංගම දුරකතනයෙන් අන්තර්ජාලය ට සම්බන්ධ වූයේ ඒ යමින් ගමනේය 

“සුබ උදෑසනක් වේවා … ඔයා ඊයේ නිහඬවම හිටපු නිසා මොකක්ම හරි වෙන්න ඇති කියලා හිතෙනවා ..”

අමයුරු දිසානායක එලෙස පවසා තිබුණි. ශයිනි එය කියෙව්වේ, කියවූ බව ඔහුට නොපෙනෙන්නටය. ඉන් පසුව ඕ ජංගම දුරකතනය යළි ඩෙනිමේ සාක්කුවට ඔබා ගත්තාය. අමයුරු දිසානායක ඉදිරියේ තමා ක්ෂය ව ගියාය යන හැඟීම තවම අඩු නැත.  ඔහු උත්සාහ කලේ තමා ආරක්ශා කිරීමටයැයි සිතනවාට වඩා, ඇයට සිතෙන්නේ ඔහු තම ආධිපත්‍ය පැතිරුන තැනකට රිංගා එය බිඳ දැම්මාය යන හැඟීමය. ඔහුට සැබැවින්ම තමා ආරක්ශා කිරීමට උවමනාවක් වූයේද ?

පෝරුව අසල සියල්ල එලෙසම විය. චරිත් එතැනට පැමිණියේ ශයිනි පැමිනි බව ආරංචි වීමෙන් පසුවය. ඇය ඔහුට කිසිත් කීවේ නැත. 

තිළිණි උන්නේ පසෙකටම වීගෙනෙය.

“ටොප් ජොබ් එකේ අර්ජන්ට් වේකන්සි එකක් දාන්න, එන්වයර්මන්ට් ඔෆිසර් කෙනෙක්… හොටෙල් ෆීල්ඩ් එකේ එක්ස්පීරියන්ස් ගන්න. එන පලවෙනි මේල් එකෙ ඉඳලම මට දාන්න…”

“හරි…”

“හොටෙල් එක සති දෙකකට රිනෝවේශන් වලට ක්ලෝස් කරන්න. ඉන්න අයට පොඩ්ඩක් පැහැදිලි කරන්න. “

“අනිද්දා වෙනකල් විතරයි බුකින් තියෙන්නේ…”

“හා එහෙනම්. ඒ අයට එහෙමම ඉන්න දෙන්න…”

“හා…”

“ඩ්‍රාමා  කෲ එකේ රූම්ස් රිඇරේන්ජ් කරන්න.. වොශ් රූම් මෙහෙට දාලා තියෙන්ස් රූම්ස් වල අයව …”

“හා…”

“තැන්ක් යු…  චරිත් , ඔයා ළඟ තියෙන ඔක්කොම සල්ලි එක්ක, ඇත්තම එක්ස්පෙන්සස් මට ලැබෙන්න සලස්වන්න … ඒ ගැන මට පැහැදිලි කිරිම් ඕනි නැහැ. වැඩේ උනාම ඇති… කොච්චරක් කල් ඕනිද ?”

“ශයි……….”

“සතියක් දෙන්නම්, කල්පනා කරලා බලලා ඇත්තටම වෙච්ච දේ මට රිපෝර්ට් එකක් ඕනි… අහ්, තිළිණි අර එන්වයර්මන්ටල් ඔෆිසර් ට රෙසිග්නේශන් නෝටිස් යවන්න… මාස දෙකක සැලරි දෙන්න. මං එවන්නම් ඩියුටි ලෙටර් එකට ඇටෑච් කරන්න ඩොකියුමන්ට් එකක්, ඒකත් දාන්න..”

“හරි… හා…”

| අපේක්ෂා ගුණරත්න | 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here