නුවණැති විලාසිතා

” මේ ඔයා මම අර කිව්ව ඇඳුම් කබඩ් එක බැලුවද? අපි හෙට එකක් ගන්න ඉන්නෙ, ඇඳුම් දාන්න ඉඩක් නෑ අනේ අපේ ගෙදර..” මේනකා තමන්ගෙ මිතුරියට කිව්වා.” ආ.. මං ඒක අපේ එක්කෙනාට පෙන්නුවා. ලබන මාසෙ ගන්න යමු කියල ඉන්නෙ අපි දෙන්නා.. මගෙ සාරි දාන්නත් හරි හමන් තැනක් නෑ අනේ ගෙදර”.. තමාලි අලුත් සාරි කීපයක පින්තූර බලන ගමන් මේනකාට කිව්වා..

” ඒයි අර බලන්නකො, අදත් අමායා අලුතින්ම ගත්ත ලස්සන සාරියක් ඇඳල.. එයා කොහෙන් ඕව ගන්නවද දන්නෙ නෑ නේද ?” තමාලි තමන්ගෙ කාර්යාලීය මිතුරියගේ කණට ළං කරල කිව්වේ උදේ පැමිණීම සඳහා පැමිණීම් පොතේ අත්සන් කරමින් ඉන්න අමායාව ඇහින් පෙන්නලා.

” ඒක තමයි, එයා වැඩට ඇවිල්ලත් තාම මාස තුනක් වත් නෑනෙ නේද ? මෙච්චර සාරි ගොඩක් කොහෙන්ද මන්ද.. සමහරවිට එයා හොඳ සල්ලිකාර පවුලක වෙන්න ඇති. නැත්නම් මහත්තයා සෑහෙන්න හම්බ කරනව ඇති නේද ? බලන්නකො එයාව වෙනමම කැපිල පේනව. ගානට ඇඟ මේන්ටේන් කරගෙන එහෙමත් නෙ ඉන්නෙ.. ” තමන්ගෙ මිතුරියව අනුමත කරන ගමන් මේනකා කිව්වා.

” මම අද නිකමට අහල බලන්න ඉන්නෙ කොහෙන්ද ඔයතරම් සාරි ගත්තෙ කියල. ඇත්ත කියයිද දන්නෙත් නෑ ඒ උනාට.. ඒත් කෝකටත් අහල බලමු
නේද ? ” මිතුරියන් දෙදෙනා විවේක කාලයේදී අමායාව කතාවට හවුල් කරගන්න කතා උනා.

තමාලි, මේනකා ඇතුළු එම කාර්‍යාලයේ හිටපු බහුතරයක් දෙනා අමායා වැඩට ආපු දිනයේ පටන්ම ඇය ගැන අවදානයක් දී තිබුනා. ඊට හේතුව උනේ අමායාගේ තමන්ටම අනන්‍ය වූ විලාසිතාවන් . කිසිම දිනක විවිධ වර්ණ වල ආභරණ , ඔරලෝසු නොපැළැන්දූ අමායා වර්ණ දෙකක පාවහන් ජෝඩු දෙකකුත්, බෑග් දෙකකුත් සමඟ ඉතා සරල රන් මාලයකුත්, මුදුවකුත්, රන් පැහැ අත් ඔරලෝසුවකුත් පමනක් භාවිතා කරන බව නිරීක්ෂණය කර තිබුණත්, නිතිපතා අළුත් වන අමායාගේ අමුතුම සාරි එකතුව නම් කාර්‍යාලයේ අනෙක් කාන්තාවන් රහසින්ම අගය කළා.

” අමායා අද එනවද අපිත් එක්ක කෑම කන්න? තමාලිගේ ලොකු බත් මුලක් තියෙනවා. මම කැන්ටිමෙන් රෝල්ස් වගයක් ගත්තා,මොකද කියන්නේ? ” මේනකා ඇහුවේ විවේකාගාරයේ අමාලි සිටි තැනට ආසන්නව තමාලිත් සඟ වාඩි වෙන ගමන්. කාර්‍යාලයේ සියලුම දෙනා සමග හිත්වත් වුවත් හැමදාමත් ඕනෑම කෙනෙක් ළඟ තමන් නිවසින් ගෙනෙන කෑම පෙට්ටියේ ආහාර ගන්න අමායා ඒ ආරාධනාව ඉතා කාරුණිකව ප්‍රතික්ෂේප කළා.

” අනේ තෑන්ක්ස් තමාලි. ඔයාල කන්නකො. මම වැඩිය පිටි ජාති කන්න ආස නෑ. ඔයාලට මගෙ කෑම වලින් ටිකක් දෙන්නද?” තමාලිත් මේනකත් තමන්ගෙ බත් මුලට අමායාගේ සලාද ටිකකුත් බිත්තර කෑල්ලකුත් එකතු කරගත්තා.

“මේ ඒක නෙමෙයි. ඔයාගෙ සාරි කලෙක්ෂන් එක හරිම ලස්සනයි. කොහෙන්ද අනේ ඔච්චර සාරි ගන්නෙ? අපිටත් කියන්නකො. අපිට ඒ වගේ අමුතු සාරි කොහෙන් වත් හම්බෙලා නෑ..” තමාලි කතාවට් මුල පිරුවා. ” ඒක තමයි අපි දෙන්න හැමදාම කතා වෙනව ඔයාගෙ ෆැෂන් ගැන. හරිම ලස්සනයි. අපිටත් කියන්න පුළුවන්ද කොහෙන්ද ඕව ගන්නෙ කියලා?” මේනකා ත් කතාවට හවුල් උනා.

“ආ, මේක මන් කලිනුත් ඇඳපු සාරියක් අනේ. මට සාරි ගොඩක් නෑ ඒ උනාට. ඔක්කොම ගත්තොත් සාරි 20ක් තමයි හරියටම තියෙන්නෙ..” අමායා මෙහෙම කිව්වම තමාලිටයි මේනකාටයි අදහ ගන්න බැරි වුණා.

” වෙන්න නම් බෑ.. අපිට මතක් නෑනෙ ඔයා මෙක කලින් ඇඳපු බවක්. ඇයි අනේ… ඔයාගෙ රහස අපි දැනගන්නවට කැමති නැද්ද ඔයා? ඔයාගෙ මහත්තයා හොඳ ජොබ් එකක් එහෙම කරනව ඇතිනේද නෝනට මෙච්චර සාරි ගොඩක් අරන් දෙන්න?..” මේනකාට කොහොම හරි අමායාගෙ සාරි රහස ගැන දැනගන්න ඕන වුණා.

” ම්… එහෙම නෑ.එයාට හොඳ රස්සාවක් තිබුනට මම කැමති නෑ ඇඳුම් ගොඩක් තියෙනවට. පුළුවන් තරම් සරලව , අඩුවෙන් දේවල් පාවිච්චි කරන්නයි මම කැමති. මේ ඔක්කොම මම කලින් රැකියාව කරද්දි මට තිබුණ දේවල්. අලුතින් එකක් වත් ගත්තෙ නෑ.”

“එච්චර කාලයක් සාරි 20 ක් විතරක් අඳින්නෙ කොහොමද? හෝදනකොට පාට වෙනස් වෙනවනෙ?..” තමාලිටත් ඒ කතාව පිළිගන්න බැහැ.
” ම්ම්.. මෙහෙමයි.. මම සාරි ගන්නකොට බැලුවේ සාරියේ දෙපැත්ත පාට දෙකකින් හරි, හැඩයන් දෙකකින් හරි වෙනස්ව තියෙනවද කියන එක. ඊට පස්සෙ ඒ දෙකට ගැලපෙන්න හැට්ට මැහුවා. එතකොට එක සාරියකට මට හැට්ට දෙකක් තියෙනවා. ඒ වගේම මම පුළුවන් තරම් බැලුව හොඳ තත්වයේ සාරි ගන්න ටිකක් ගණන් උනත්. කල් පැවැත්ම වැඩිකරගන්න මම සාරිය හෝදන වාර ගණන නම් අඩු කලා. මට ඒක ගැටලුවක් උනේ නැත්තෙ මම යන්න එන්නන් කාර්‍යාලයේ වාගනය යොදාගත්ත නිසා. එතකොට කුණු ගෑවුන ප්‍රමාණය අඩුයි. පොදු වාහන වල එන අයට නම් එහෙම කරන්න බැරිවෙයි. වරක් ඇඳපු සාරිය මම අව්වට දාලහොඳින් වේලනවා හැට්ටය නම් එදාම සෝදනවා. හැබැයි අතින්. තව මම අවුරුද්දකට සැරයක් සාරි වලට කැඳ දානවා.. එතකොට මම සාරියයි ඔසරියයි දෙකමත් අඳින නිසා, එක සාරි රෙද්දක් මම විදි 4කට අඳින්වා.. හැබැයි එක ළඟ දවස් වල නම් නෙමෙයි.

Two angry women friends talking seriously on the street

” මේ වතාවේ අමාලි මෙහෙම කියද්දි නම් තමාලිටත් මේනකාටත් අමතරව තවත් කීප දෙනෙක්ගෙ අවදානය මේ අමුතු කතාවට යොමු වෙලා තිබුණා
” අයියෝ ඉතින් මහත්තයා හොඳ රස්සාවක් කරද්දි ඔයා මෙහෙම වියදම් නොකර සාරි 20ක් කරකව කරකව මහන්සි වෙන්නෙ ඇයි? අනික මට නම් අද අඳින සාරිය අදම හොඳට සෝදන්න ඕන. නැත්නම් අපිරිසිදුයි වගේනෙ.” කතාවට අලුතින් එකතු උන නයෝමි කිව්වා.

” දැන් මම මගේ විදිය කිව්වෙ නැති නම් ඔයාල කවුරුවත් දන්නෙ නෑනෙ මට තියෙන සාරි ගණන, මම ඒව පාවිච්චි කරන විදිය, නඩත්තු කරන විදිය වත්. සමහරු දැන් හිතන්න ගනියි හැමදාම සාරි හෝදන්නෙ නෑ කියපු කතාව නිසා මම අපිරිසිදුයි කියලත්.. ඒක ඉතින් මම කැමති සහ මට ආවේනික ක්‍රමයි. ඒක මට ගැලපුනාට තව කෙනෙකුට ගැලපෙන්නෙ නැති වෙන්න පුළුවන්. මම ගොඩක් උත්සහ ගන්නවා අවමවාදියෙක් වෙන්න. ඒ වෙනුවෙන් මම හදාගත්ත ක්‍රමය ඕකයි. මම ඒකෙන් සෑහෙන්න සැහැල්ලුවක් අත්විඳිනවා. “

Two friends talking in a park drinking coffee

“මගේ ගෙදර අනවශ්‍ය ඇඳුම් කිසිම දෙයක් නෑ. ඒ නිසා ඇඳුම් අල්මාරි ගොඩ ගැහිලත් නෑ. මහත්තයයි මායි මේ ක්‍රමයට හුරු වෙලා ඉන්නෙ දැන් කාලයක ඉඳන්ම. අලුතින් ඇඳුමක් ගන්නවා නම් අනිවාර්යයෙන් තියෙන ඇඳුමක් ඉවත් වෙනවා.. ජීවිතේ සරල වෙන තරමට හරිම පහසුවක් දැනෙනවා.. අනික ඒ ක්‍රමය අසාර්ථක නෑ නේද ? ඔයාල මට සාරි ගොඩාරියක් තියෙනව කියල විස්වාස කරන තරමට ඒක සාර්තක උනා නේ.. ” අමායා සිනාසෙමින් පැහැදිලි කළා.

ඒ කතාව අහන් හිටපු අනෙක් අයට තමන්ගෙ ගෙවල් වල පිරිල තියෙන අවුරුදු ගානකින් අඳින්න තියා දැකල වත් නැති ඇඳුම් , අල්මාරි වල ඉන්න ඉඩ නැතිව තැන් තැන්වල ගොඩ ගැහිල තියෙන හැටි මැවි මැවී පේන්න පටන් ගත්තා..

උත්තරා සඳමාලි

More Stories

Don't Miss



Latest Articles

ශරදාකාසේ -33

පංචලී පුතෙකු බිහි කළා ය. පෞද්ගලික රෝහලක සුව පහසු ලෙස ඒ අත්දැකීම විඳ ගන්නට ශාරද ඇය ට අවස්ථාව උදා කර දී තිබුණේ...

කුඩුකේඩුකම්

"අම්මේ,මම දැක්කනෙ දෙව්මි පිරිමි ළමයෙක් එක්ක බස් ස්ටෑන්ඩ් එකේ ඉන්නවා." චතුරි ගෙට ගොඩ වුණේ එහෙම කියාගෙන.විශ්ව විද්‍යාලයේ ඉඳලා කාලෙකට...

වැටකොළු පොතු අපතේ නොදා සැකසිය හැකි ආහාර

මේ බොහොම අසීරු කාල පරිච්ඡේදයක්.ගෘහණියන් හැටියට අපිට කිසිවක්ම අපතේ යවන්නට මේ කාලයේ බැහැ.එළවළු පිරිමසාගෙන ඉවුම් පිහුම් කරන්න අපි හුරු වෙන්න ඕනෑ.ඒ නිසාම...

හිමගිරි අරණ -18

"මම හිතුණොත් පාරමීට කියනවා මං ගැන බලාපොරොත්තු තියා ගන්න එපා කියලා." රවිඳුගේ ඒ වචන හිමාෂා තිගැස්මට ලක් කරන්නට සමත්...

(අ)හිමි සිහින -122

දින කිහිපයක්ම ඔබට අහිමි සිහින ගෙන එන්නට නොහැකි වීම ගැන මුලින්ම අපි ඔබෙන් සමාව ඉල්ලා සිටිනවා.යම් අපහසුතා කිහිපයක් නිසා තමයි ඔබ මඟ...