සිහින අසපුව – 29 කොටස

සුහර්ෂාගෙන් ලද පණිවුඩය අනුව හසිත් ඇගේ කාර්යාලයට ගියේ තරමක චකිතයකින් යුතුවය. ආයතනයේ සේවක සේවිකාවන් සියලු දෙනාම සුහර්ෂාගේ කැඳවීමක් අනුව එහි යන්නේ බියෙන් ගැහෙමින් බව හසිත් දැන සිටියේය. තමා අතින් වරදක් සිදු නොවුවද, වරදක් සිදු වූවාක් මෙන් කාර්යාලයට පිවිසෙන සේවක සේවිකාවන් ඔහු බොහෝ අවස්ථා වලදී දැක තිබිණ.

“හසිත්… එන්න.”

සුහර්ෂා කතා කළාය. ඇය හිඳගන්නා ලෙස හසිත්ට අතින් සන් කළාය.

“දැන් කොහොමද අපේ ටුවර් එකේ කටයුතු?”

අසුන මත සෘජුව හිඳ ගත් සුහර්ෂා ඇසුවාය.

“හැමදේම හරි මැඩම්.”

“චන්දනලා දේවකලාගෙන් ඊටපස්සෙ ප්‍රශ්න ආවෙ නැද්ද?”

“නෑ මැඩම්.”

“මේ ආයතනය පටන් ගන්නකොට මාව බිමට දාන්න කොච්චර මිනිස්සු කටයුතු කළාද හසිත්? ඒකට හේතුවක් වුනේ මගේ ගෑනුකම. ගෑනියෙක් බාධක මැදින් ඉස්සරහට එනවට බොහොමයක් පිරිමි කැමති නෑ.”

සුහර්ෂා පැවසුවේ හසිත්ගේ මුහුණෙහි ඉරියව් දෙස පරීක්ෂාවෙන් බලමිනි.

“ඒත් කවුරු මොන කතා කිව්වත් මගේ හස්බන්ඩ් හැමතිස්සේම මා එක්ක හිටියා. ඒ දිරි ගැන්වීම නොවුනනම් හසිත් අද මං මෙතන නෑ.”

“ඔව් මැඩම්.”

හසිත් පැවසුවේය.

“අද හවස තුනට ටුවර් එකට සහභාගි වෙන හැමකෙනෙක්ටම මීටින් එකක් ගන්න ඕන. ෆස්ට් ටයිම් පිටරටකට යන හැමකෙනෙක්ම දැනුවත් වෙලා යන්න ඕන දේවල් තියෙනවා. දන්නවනේ අපේ මිනිස්සු? ගිය තැන පහරන උදවිය ඉන්නවනේ.”

“මම ඒ අයට තුනට කොන්ෆරන්ස් හෝල් එකට එන්න කියලා දැනුවත් කරන්නම්.”

“ඒ යන ගමනෙදි අපට තියෙනවා ෆැක්ටරි එකක් බලන්න යන්න. ඒක ඇත්තටම බලන්නම ඕන තැනක්. අපිත් ඒ වගේ දෙයක් පටන් ගන්න ඕන කියන තැන මම ඉන්නෙ හසිත්. දැනටමත් ලංකාවෙ ළමයි කීපදෙනෙක් මං ඒ ෆැක්ටරි එකේ පුහුණුවකට දාලා තියෙන්නෙ. දැන් ඒගොල්ලන්ගෙ පුහුණු වීම් කාලයත් ඉවර වෙන්න ළඟයි. අපට ඒ ළමයි ලබපු පුහුණුව ගොඩක් වැදගත් වේවි. හසිත් තේ බීලද ඉන්නෙ?”

හසිත් කිසිවක් නොපවසා හිස සැලුවේය.

“අද බ්‍රෙක්ෆස්ට් වලට අපේ ගෙදර යන්න ඕන නෑ හසිත්. කැෆටේරියා එකෙන් ගන්න. අද විතරක් නෙමෙයි. ටුවර් එක යනකම්ම කෑම්බීම් මෙහෙන් ගන්න.”

“ඇයි මැඩම්?”

පිළිතුරක් නොදුන් සුහර්ෂා මේසය මත වූ ජංගම දුරකතනය අතට ගත්තාය.

“මම වුනත් ටුවර් එක යනතුරු ගෙදර යන්නෙ නෑ. හරි. හසිත්ට දැන් යන්න පුලුවන්.”

සුහර්ෂා දුරකතන ඇමතුමක් ගැනීමට උත්සාහ කරන අයුරු දුටු බැවින් හසිත් සුහර්ෂාගේ කාර්යාල කාමරයෙන් පිට විය. 

“ඇයි මැඩම් එහෙම කිව්වෙ?”

සිය කාර්යාලයට යන අතරේ හසිත් කල්පනා කළේය.

“මං දන්නවා. මාවයි ආරාධ්‍යවයි ඈත් කරන්න මැඩම් හදන සැලසුමක් වෙන්න ඇති. කමක් නෑ. එක අතකට මං දැන ගන්න ඕන මං කවුද කියලා.”

ඔහු සිතිවිල්ලේම සිය කාර්යාලයට පැමිණ සිටියේය. ඒවනවිට වරුණ පැමිණ නොසිටියෙන් ඔහුගේ සිතට පහසුවක් දැනිණ.

                    *

ආරාධ්‍යා දැඩි උණෙන් පීඩා වින්දාය. හිසරදය නිසාම හිස ඔසවා ගත නොහැකි වූ ඇයට රංජනී විසින් ලබා දෙන ලද වේදනා නාශක පෙති පවා වමනය විය. රංජනී මවක මෙන් ආරාධ්‍යා අසළම රැඳී  සිටියාය.

“දැන් බලාගෙන හිටියා හොඳටම ඇති බේබි. අනේ අපි යමු ඩොක්ට ළඟට. සර් ඩොක්ටට කෝල්  කළා කියලත් කිව්වා.”

“තව ටිකක් බලමු රංජනී…”

“බල බල ඉඳලා හරි යන්නෙ නෑනෙ බේබි.”

ඕඩිකොලොන් දියරයෙන් පොඟවන ලද රෙදි කැබැල්ලක් රංජනී ආරාධ්‍යාගේ නළළත එලුවාය.

“බේබි ලෑස්ති වුනාට පස්සෙ මම සර්ට කතා කරන්නම්. සර් කැබ් එකක් එවාවි ඩොක්ට ළඟට යන්න.”

“යමු එහෙනම්…”

“ඒක හොඳයි. නැත්නම් සර් උසාවි ගියාම කෝල් කරන්නත් බැරිව යනවනේ. මං ගිහින් කෝල් එකක් දීලා එන්නම්.”

රංජනී කාමරයෙන් පිටව ගියාය. යහනෙන් නැගී සිට නාන කාමරයට යාමේ අවශ්‍යතාවය ඇති වුව ද හිස මත ගලක් තැබුවාක් මෙන් බරක් දැනේ. ආරාධ්‍යා අපහසුවෙන් නැගී සිටිත්ම ඇගේ ජංගම දුරකතනය නාද වන්නට පටන් ගත්තේය. දුරකතන තිරයෙහි ආයුගේ අංකය සටහන් වී ඇති බව දුටු ඇගේ සිතට සතුටක් දැනිණ.

“ආයු…”

ආරාධ්‍යා අපහසුවෙන් වදන් ගලපා ගත්තාය.

“මොකක්ද ඔයාට වුනේ ආරා? මං අංකල්ට කතා කරා. අංකල් කිව්වා ඔයාට හොඳටම අසනීපයි කියලා. මං එන්නද?”

“එපා. එපා.”

කලබලයට පත් ආරාධ්‍යා පැවසුවාය.

“ඔයා ඔය වැඩ ටික කරගන්න. මං දැන් රංජනී එක්ක ඩොක්ට ගාවට යන්න හදන්නෙ.”

“ඇයි ආන්ටි?”

ආයුෂ්ගේ විස්මයට පත් කටහඬ ඇසිණ.

“අම්මට විවේකයක් නෑනෙ ආයු. අම්මා වගේම මා ළඟ රංජනී ඉන්නවා.”

“හරි. අද වැඩ කීපයක් දාගෙන තියෙනවා. මට ඒකට යාලුවෙක් උදව් කරනවා. අපේ මැෂින් ඔපරේටර්ටත් පණිවුඩයක් යවලා තියෙන්නෙ. එයත් උදෙන්ම පිටත් වුනා කියලා කිව්වා. අපි අද එයත් එක්ක ගිහින් මැෂින් එක බලලා පේමන්ට්ස් කරනවා. ඊටපස්සෙ ඔයාව බලන්න එනවා.”

“එපා. එපා.”

කලබලයට පත් ආරාධ්‍යා පැවසුවාය.

“වැඩ ගොඩක් කරගන්න තියෙද්දි ඔයා උණ බෝ කරගන්න එපා.”

“මට ආදරෙත් තියෙනවා එහෙනම්.”

ආයුෂ් සිනාසෙන හඬ ඇසිණ.

“මේක වෛරල් ෆ්ලූ එකක්. දවස් තුනක් විතර උණ තියේවි. සනීප වෙනතුරු ඔයා වැඩ කරගන්න. ”

“හරි මැඩම්.”

ආයුෂ් සරදම් කළේය.

“එහෙමනම් බෙහෙත් අරගෙන බෙහෙත් බීලා සනීප වෙලා ඉන්න. අපට ගොඩක් වැඩ තියෙනවා කරන්න. මං නවතිනවා ආරා. බායි…”

ආයුෂ් දුරකතනය විසන්ධි කලේය. ආරාධ්‍යා ද සිනාමුසු මුහුණින් යුතුව දුරකතනය තැබුවාය. 

“සර්ට කතා කළා බේබි. තව පැය භාගෙකින් කැබ් එකක් එවන්නම් කිව්වා. එහෙම නම් අපි ලෑස්ති වෙමු. නේද?”

රංජනී පැවසුවාය. ආරාධ්‍යා එකඟතාවය පළ කරමින් හිස සැලුවාය. 

                    *

අමර් ටයිප් කර නිමා කරන ලද ලියකියවිලි සියල්ලම ලිපි ගොනුවක් තුළට දමා කවීන් වෙත ගෙන ආවේ විඩාපත් ලෙසිනි. කාර්යාලයට පැමිණි මොහොතේ සිටම මේ දක්වාම විවේකයක් නොලත් ඔහුට කවීන් සමග වදනක් හෝ කතා කිරීමට පවා විවේකයක් නොවීය.

“සර් එක්ක අද වචනයක්වත් කතා කරන්න බැරි වුනා. උදේ පටන් ගත්ත වැඩ ටික ඉවර කරේ දැන් තමයි.”

“කල් ඇතිව වැඩ ඉවර කරගන්න කියලා මං අමර්ට හැමදාම කියන්නෙ ඒක තමයි.”

කවීන් ලිපි ගොනුව හරවා ගත්තේය. ඔහුගේ මුහුණෙහි වූ කනස්සලු ස්වභාවය මොනාලි නොමැති වීම නිසා ඇති වූවක් යයි සිතූ අමර්ගේ මුවග සිනාවක් මතු විය.

“ඊයෙ සර් මොනාලි මැඩම් ඇවිත් ගියා.”

කවීන් අමර්ගේ මුහුණ දෙස උනන්දුවෙන් බැලුවේය. මොනාලිගේ කාර්යාලය අසළින් පැමිණෙද්දී ඇය එහි නොසිටි බවත්, ජීනා පමණක් කල්පනා කරමින් එහි හිඳගෙන සිටි බවත් ඔහුට මතකයට නැගිණ. 

“මොනාලි මැඩම් වෙඩින් එකට ලෑස්ති වෙනවලුනෙ සර්. මැඩම්ගෙ අතේ තියෙනව නඩු දේවිකා මැඩම්ට භාර දෙන කතාවක් නම් කිව්වා. මං හිතන්නෙ වෙඩින් එකෙන් පස්සෙ මැඩම් මහත්තයා එක්ක ඉන්දියාවෙ යාවි.”

“ඒක හොඳයි.”

කවීන්ට ඉබේටම කියවිණ.

“දන්නවද සර්? අර අංගනාව ඊයෙ මොනාලි මැඩම් ඉස්සරහ වැලහින්නියක් වගේ ඇඬුවනෙ.”

අමර් පැවසූ විලාශයට කවීන්ට සිනා පහළ වූයේ නිතැතිනි.

“අර අංගනාව කිව්වෙ?”

“මං කිව්වෙ ජීනා ගැන.”

“ජීනට වෙන තැනක වැඩ කරන්න පුලුවන්නෙ.”

“ඒකතමයි සර්. හැබැයි සර් වෙන තැනක වැඩ කරන්න වෙන්නෙ ක්ලාක් විදියටනේ. මෙතන වැඩ කරේ මොනාලි මැඩම් එයාගෙ ක්ලාක් විදියටනෙ.”

කවීන්ගේ ජංගම දුරකතනයට නිවසින් ඇමතුමක් ලැබෙමින් තිබිණ. කවීන් වහා ඇමතුම හා සම්බන්ධ විය.

“කැබ් එක දාලා තියෙන්නෙ රංජනී. තව විනාඩි දහයක් යන්න කලින් ඒවි. පරෙස්සමෙන් ගිහින් බේබිට බෙහෙත් ටික අරන් දෙන්න.” යි ඔහු ඇමතුම විසන්ධි කළේය.

“දුවට සනීප නැතිව අමර්. අද උදේ හොඳටම උණ.”

“මේ දවස් වල වෛරල් ෆ්ලූ එකක් තියෙනවා. ඒකනෙමෙයි සර්… මං මේ කියන්නම හිටියෙ.”

අමර් මේසය අසළට වඩාත් ළං විය.

“මොකක්ද අමර්?”

“මොනාලි මැඩම් මෙහෙන් යන එක හොඳයි. සර්ට කිව්වම මොකද මං හරිම බයකින් හිටියෙ.”

“ඇයි?+

කවීන් කුතුහලයෙන් ප්‍රශ්න කළේය. අමර් හිස කැසුවේය.

“මොනාලි මැඩම් කිට්ටු වෙන එක සර්ගෙ ජීවිතේට ප්‍රශ්නයක් වේවි කියලා මං බයෙන් හිටියෙ සර්. සත්තයි.”

“ඒක යාලුකමක් විතරයි අමර්.” යනුවෙන් පැවසුවද, ඇතැම් අවස්ථා වල ඇති වන චිත්ත පීඩාවන්ට ඇය සමග කතා බහ කිරීම පවා ඔසුවක් වී යයි ඔහු ලජ්ජාවෙන් යුතුව සිහිපත් කළේය.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles