සඳ ගංතෙර – 58

පවුලක සතුට ඇත්තේ එකිනෙකා එක් එක් ලෝකවල අතරමං වී සිටින තාක් නොවන බව විහස්ට සිතේ. ඔහු ඒ වග ඉගෙන ගත්තේ සඳරැස්ගේ නිවසට ආ පසු ය. 

“මේ ගෙදර වයිබ් එක මාරයි. මං මාරම ආසයි.”

විහස් එසේ කියන්නේ කල්පනාකාරීව ය. සැබෑවටම ඔහුට මේ නිවසේ ඇති ආදරණීය බව දරා ගන්නට නොහැකි තරම් ය.

“උඹව අපේ ගෙදර මිනිස්සුන්ටත් මාරම විදියට සෙට් වෙලා. ඇත්තටම කිව්වොත් අපේ අක්කා චූටි දූව එහෙම කාටවත් වඩාගන්න එහෙම දෙන් නෑ..ලෝකේ මහ කුණු තැනක් වෙලානෙ බං. ඒත් දරුවව කිසි ගාණක් නැතුව උඹ අතට දෙනවා. දුලා වුණත් කාටවත් ලොකුවට ෆිට් වෙන්නේ නෑ. ඒත් උඹට හරිම එකතුයිනෙ.”

සඳරැස් කියන්නට වූයේ ය. තාරුකා කිසිම සැකයක් නැතිව දියණිය තමන් අත තබන්නේ ඇයිදැයි කියන්නට විහස්ට සිතේ. ඔහු ඇගේ චූටි මාමා ය. පොතේ හැටියටනම් දැරිය උස්මහත් වෙද්දී කාටත් වඩා සමීප විය යුත්තේ තමන්ට ය. අම්මා හෝ තාත්තා ලබා නොදෙන හැම දෙයක්ම කෙල්ලන් ලබා ගන්නේ චූටි මාමාගේ කනෙන් රිංගා ගොස් ය. ඒ හන්දා මේ පොඩි කෙල්ල ද දිනයක එසේ වනවාට ඔහු මනාප ය.

“අපේ අක්කට එයා ප්‍රාර්ථනා කරපු ලෝකෙම ලැබුණා. එයාට හැමදාම ඕනෑ වුණේ හොඳ පවුලක්. මාත් ඒකෙ කොටස්කාරයෙක් වුණානෙ.”

සඳරැස්ගේ හඬ සැනසීමෙන් පිරී තිබේ. ඇත්තටම ඔහු හිඳින්නේ සැනසීමෙනි. දුලාජ් අයියාගේ අම්මාට අංක එක වී ඇත්තේ අක්කා ය. ඇය එපමණකට අක්කාට ආදරය කරන්නී ය. ඒ ගැන ඔහුට දැනුණේ සතුටක්ම නොවේ. සැනසීමකි. සතුට සහ සැනසීම යන වචනවලට විශාල බරක් ඇති බව දැන් ඔහුට වැටහේ.

“මොන දේවල් කොහොම තිබ්බත් පවුලක් කියන්නේ ජීවිතේ හොඳම දේට. මට වැඩියෙන්ම මිස් වෙන්නේ ඒක.”

විහස් එසේ කියද්දී සඳරැස් ඔහුගේ උරහිසකින් අල්ලා ගත්තේ ය. කොල්ලන් බොනවාදැයි බලන්නට දුලන්‍යා එතැනින් එහා මෙහා යන්නී ය. ඒ හැරෙන්නට කිසිම බාධාවක් නැත.

“උඹට අපේ ගෙදර තියනවා.”

පාසල් කාලයේ දී අම්මා තදබල ලෙස මඟහැරුණු දවස් සඳරැස්ට සිහි වේ. අක්කා අම්මා කෙනෙකු වූ බව ඇත්තකි. තාත්තම්මා පමණක් නොවේ, අම්මම්මා පවා ඔවුන් සමඟ විය. එහෙත් අම්මා මඟ හැරී තිබිණ. මලිත් ඔහුගේ අම්මාට සඳරැස්ගේ අම්මා ද වන්නට ඉඩ හැරියේ ඒ හන්දා ය. සෑම මොහොතකම මලිත්ගේ අම්මා ආදරය කරන්නේ මලිත්‍ට වඩා තමන්ට බව විශ්වාස කිරීම සඳරැස්ගේ එකල ප්‍රියතම කටයුත්ත විය. ඔහු ඒ සතුටින් ජීවත් විය.

දැන් විහස්ට ද එවැනි සතුටක් දෙන්නට ඔහුට උවමනා ය.

“උඹ දන්නවද විජේවර්ධන ට්‍රේඩර්ස් එක?”

ඒ ප්‍රශ්නයට සඳරැස් ගැස්සී ගියේ ය. විහස්ට මේ හදිසියේ එතැන සිහි වූයේ ඇයි?

“මං විජේවර්ධන පවුලේ බාල පුතා. මට ට්වින් කෙනෙක් ඉන්නවා. ඉන්නේ කොහෙද නොදන්න අයියෙකුයි අක්කෙකුයි ඉන්නවා. හැබැයි මං තනිවෙලා.”

ඉතා ගැළපෙන බව සිතූ යාළුකම ඒ ක්ෂණයකින් සඳරැස්ගෙන් මැකී ගියේ ය. ඒ අවසාන වාක්‍ය දෙක නිසා ය. මේ සහස් නොවේ. බාල මල්ලී ය. ඔහු ඉන්නේ කොහේදැයි නොදන්නා අයියා කෙනෙකු ගැනත් අක්කා කෙනෙකු ගැනත් විස්සෝප වේ. නමුත් ඔහු තනිවම ය.

අම්මාගේ පෙර විවාහය ගැනත් ඇගේ ඒ විවාහයේ දරුවන් ගැනත් සඳරැස්ට විහස් විස්තර කළේ ය.ඔහුට ඒ සහෝදරයන් දකින්නට ඕනෑ ය.

“උඹ හොයන්නේ අපිව.”

එසේ කියා තදින් සහෝදරයා වැළඳ ගන්නට සඳරැස්ට ඕනෑ විය. නමුත් ඔහු එසේ කරන්නට උත්සාහ නොගත්තේ ය. ඔහු ඒ වෙනුවට අසා සිටියේ ය.

“උඹේ සහෝදරකම ඇත්තක් නම් දවසක ඒ දෙන්නා උඹට ලැබෙයි.”

එහෙම කියන්නට ඔහු වග බලා ගත්තේ ය. දැන් ඔහුගේ ඇස් දැවිල්ල ය. ඔහුට මෙතැනින් ටිකකට යන්නට ඕනෑ ය.

“මේ විහස් අයියා කතා කරනවා.”

ඔහු දුලන්‍යාට ඇමතී ය. සඳරැස් ඉන්නේ මොකක්ම හෝ ගැටළුවකිනි. ඔහු යන්නට ඉඩ හැර දුලන්‍යා විහස් දෙස බැලී ය.

“මං විජේවර්ධන ෆැමිලි එකේ කියලා මං අයියට කිව්වා.”

විහස් කරන්නේම ඕනෑ නැති වැඩ බව දුලන්‍යා පැවසී ය. දැන් සඳරැස් යකා නටන්නට ඉඩ තිබේ. නමුත් විහස්ගේ මුහුණ එළිය වැටී ඇත්තේ කිසිම ප්‍රශ්නයක් නැති ගාණට ය.

“උඹේ සහෝදරකම ඇත්තක් නම් දවසක ඒ දෙන්නා උඹට ලැබෙයි.”

ඔහු එහෙම පැවසී ය. දැන් විහස්ට බයක් ඇත්තේ ම නැත. දැන් ඔහුට සහෝදරයා ලැබී අවසන් ය. 

“සහස් ගැන දැනගත්තම අයියා තොවිල් නටපු නැති එක විතරනෙ. එයා ඔයාට ආදරෙයි. ඒ ආදරේ වැඩි වෙනවා මිසක් අඩු වෙන එකක් නෑ.”

දුලන්‍යා කියන්නේ විශ්වාසයෙනි. ඇයට එහෙම විශ්වාස කරන්නට හේතු තිබිණ.සඳරැස්ගේ කෝපය ඇය හොඳින් දනියි.මුහුණ අඳුරු වී තිබුණාට ඔහු කෝපයෙන් නොවේ. ඔහුට වේදනාවක් ඇති බව ඇයට සිතේ.

“එයාට ඔයාව මල්ලි විදියට පිළිගන්න කාලයක් යයි.අපි ඒ කාලෙට ඉඩ දෙමු. ඉඩ දීලා බලන් ඉමු.”

දුලන්‍යා එහෙම කියන්නට වූයේ ද බලාපොරොත්තු සහගතව ය. සඳරැස් ඇයට සමීප වන්නට පවා කාලයක් ගිය බව අමතක කරන්නට අසීරු ය. තාරුකා අක්කාගේ ලස්සන මල්ලි මහා ලොකුකමක් ඇති කොල්ලෙකු බව සිතූ අතීතයක් ඇයට ද වේ.

සඳරැස් අක්කාගේ කාමරයට එබී බැලී ය. දුලාජ් අයියා දියණිය අසල විය. ඔහුට අයියා සමඟ සේරම කියන්නට පවා සිතේ. විහස් සමඟ කතා කරමින් සිටි අයියා නිවස තුළට ආවේ ද අක්කා හඬ ගෑ නිසා ය.

“යාළුවා ගියාද මල්ලි?”

අයියා අසයි. සඳරැස් ඔහු අසලින් හිඳ ගත්තේ ය.

“කෙල්ලව නිදි කරෙත් ඌ.පොඩ්ඩිත් උපන්දා ඉඳන් දන්නවා වගේ හොඳට යාළු වෙලා.”

කිසිවක්ම නොදන්නා ගාණට දුලාජ් කියයි. සඳරැස් දිග හුස්මක් හෙළී ය. 

“එහෙම නොවී කොහොමද අයියේ”

කතාව පසුවට තබා ඔහු යන්නට ගියේ ය. ඔහු මොනවා හෝ දන්නා වගක් දුලාජ්ට වැටහේ. කොහොමටත් සඳරැස් දැන් ඉස්සර වාගේ කිසිම දෙයක් ගැන කේන්ති ගන්නේ නැත. ඔහු සියල්ලම බොහෝ ඉවසීමෙන් දරයි. ඒ ඉවසීම ම පුදුමයකි. නමුත් එයට හේතුවක් ගැන ද දුලාජ්ට සැකයක් විය. ඔහුට එය ගැටළුවක් නොවේ. නමුත් සැකය ස්ථිර කරගන්නට උවමනා ය.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles