ඔබ දකින තුරා 45

උදෑසනට කාර්යාල පරිශ්‍රය අතිශය කැළඹිලි සහගත ය. දහස් ගණනක සේවක සේවිකාවන් පිරිසක් කම්හල වෙත එති. අලුත් දවසක් වෙනුවෙන් හැම මුහුණක ම වන්නේ බලාපොරොත්තු සහගත උද්‍යෝගයකි. හැම හිතක ම වාගේ වන්නේ කාර්යක්ෂමතාව ගැන සිතිවිල්ලකි. ඔවුන් ට ඉලක්ක තිබේ. දවසේ නිම කළ යුතු ඇඟළුම් ප්‍රමාණය ගැන ඉලක්ක! ජීවිතයේ හීන හිස මත දරා ගෙන කුහුඹුවන් සේ කඩිසර ව ඒ මේ අත දිව යන සේවක සේවිකාවන් ගේ හැඟීම්බර හෝ හිස් හෝ මුහුණු දෙස බලා ගෙන අමාරසී ගිනුම් අංශයට යන පිය ගැට පෙළ නැගුණා ය. ඇගේ දෙතොලතර මඳහසක් විය.

අමාරසී  වෙත දැල්වී ගෙන තිබි තරුණ ඇස් යුග කිහිපය නොයෙක් විදිහේ කතා කියන බව ඇය ට දැනිණ. ඒ නිසා ම ඇගේ සිනහව පුළුල් වූයේ නිරායාසයෙනි.

“මාරයිනෙ ඔයා…දැන් ඔෆිස් එකේ දොරකඩටම එයත් එක්ක එනව වගේ ආ..”

තරුණයෙකු, තව දුරටත් සිය ඊර්ෂ්‍යාව, කුහක කම හෝ අනුන්ට ගැරහීමේ මනෙසිකත්වය වහං කර ගෙන ඉන්නට බැරි ව කීවේ ය. අමාරසී මුහුණ යන්තම් ඉහළට ඔසවා ගෙන සිනහ වූවා ය.

“ඇයි ඉතිං අවුල් වගේද…”

තරුණයෝ උනුන් ගේ මුහුණු දෙස බලා ගත්හ.

“මිනිස්සු කතා හදනව කියලවත් උඹට ගාණක් නැද්ද බං…ලැජ්ජ නැද්ද..”

ඒ නිරෝෂන් ය. ඔහු ඕපාදූප හොයන්නේත් පද හදන්නේත් අදාල පුද්ගලයා කෙරේ පතල මහා කරුණාවෙන් සේ ය.

“කතා හැදීම ජොබ් එක කර ගත්ත අයව බඩගින්නෙ තියන්නත් හොඳ නෑනෙ අයියෙ”

දික්කසාදය ගැන වචනයක් හෝ නො කියා ඉන්නට ඇය ප්‍රවේසම් වූවා ය. නඩුව යන අතරේ ඇය මේ විදිහට ප්‍රසිද්ධියේ දිසත් සමගින් හැසිරෙනවා කියා සිතමින් ඔවුන් කුපිත වෙන එක ගැන ඇය වඩාත් සතුටු වූවා ය.

ගීතානි සිටියේ හඬමිනි. කාන්තාවන් කිහිප දෙනෙක් ඇය වට කර ගෙන සිටියහ. ඔවුන් ආසන්නයේ සිටි දිලිනි හා තරුෂි, අමා පැමිණෙනු දැක සිය අසුන් වෙත පැමිණියහ.

“ඇයි අර…”

“මාර අවුලක්”

“ඇයි…”

“මිස් ගීතානි ගෙ ලොකු දුව කොල්ලෙක් එක්ක යාළු වෙලාලු”

“ඒ ළමය ඕලෙවල්ස් කරල නේද හිටියෙ…”

“ඒ කොල්ල ආ ගිය අතක් නෑලු. කෙල්ල ප්‍රෙග්නන්ට්ලු. මිස් ගීතානි අඬන්නෙ ඒ පොඩි කෙල්ල දරුවෙක් හදන්නෙ කොහොමද කිය කිය…”

අමාරසී ට අසුනේ ඉන්දවිණ. ගීතානි කළේ හැමදාමත් කාර්යාලයේ ගෑනු ළමයින්ට කතන්දර කියන එක ය. තරුණ කමට ඔවුන් කරන විහිළුවක් පවා ලොකුවට ගෙන ඇය ඔවුන්ට අපහාස උපහාස කළා ය. ඔවුන්ගේ හැසිරීම් වලට හේතුව නිසි කල විවාහ නොවීම ය යන්න ඈ නිතර කියූ කතාවකි. අමාරසී ද දිසත් සමගින් ඇසුර ඇරඹු පසු ද ඊට පෙර ද ඇගේ දෝෂ දර්ශනයට ලක් වූවා ය.

තමන්ට ගැහැනු දරුවන් තිදෙනෙකු ම හිඳිනා බව, එසේ අපහාස උපහාස කරත්දී ගීතානි ට කිසි විට සිහි වූයේ නැත. නමුත් දැරියක ට අත් වූ ඉරණම ට ‘අනේ දෙවියනේ’ කියනු මිස අමාරසී ලා ‘හොඳ වැඩේ’ කීවේ නැත.

“අතවරයක් වෙලා හරි නොදැනුවත් කම නිසා හරි ඔය වයසෙ දරුවෙක්ගෙ බඩට එන කළලයක් වුණත් අයින් කරන නීතියක් අපේ රටේ නෑ. ඒකෙං වෙන්නෙ ඒ හුඟක් ළමයින්ගෙ අනාගතේ විනාශ වෙලා යන එක. දැන් මිස් ගීතානි වුණත් මූණ දෙන්නෙ ඒ ප්‍රශ්නෙටනෙ. තාත්තෙකුත් නැති දරුවෙක් කර පින්නගෙන ඒ දරුව ජීවිතේ ඉස්සරහට යන්නෙ කොහොමද…මෙන්න මේ වගේ දුර්වතැන් අපේ නීති වල හරියට”

තරුෂි කතා කළේ සානුකම්පිතව ය.

“නූපන් දරුවෙක් පව් කියල කියන සමාජය අවුරුදු පහළොවක් දාසයක් ජීවත් වෙච්ච ගෑනු දරුවෙක් දිහා කවදාවත් ඒ අනුකම්පාවෙන් බලන්නෙ නැති එකයි කරුමෙ”

නීති කියනා දේ සකසා තිබෙන්නේ මිනිසුන් ය. ඒ නීති, මිනිසුන් ගේ යහපතට මිස ඔවුන් ගේ අසරණ වීම පිණිස නො විය යුතු ය. අඩුපාඩු තිබුණේ වී නම් මිනිසා ගේ ම හිත සුව පිණිස ඒ නීති නැවත සම්පාදනය කර ගැන්මට තරම් මිනිසුන් මානවවාදී විය යුතු ය.

ගීතානි වන් කාන්තාවන් මේ සමාජයේ විරල නැත. නිතර ම අනුන්ගේ අඩුපාඩු හා දුර්වලතා ගැන සොයමින් ද කතා කරමින් ද කාලය වැය කරන ඔවුන්ට තමන් ගැන සොයා බැලීමට කාල වෙලාව නැති වී යයි. නැත්නම් තමන් ව අමතක වී යයි. නැත්නම් තරුණ වියට එළඹ සිටින දියණියක ගේ මවක වශයෙන් ඇය මීට වඩා අවදියෙන් සිටිය යුතු ව තිබිණ. යොවුන් වියට එළඹීමේ දී ස්වභාවිකව ම ශාරීරික හා මානසික වශයෙන් විපර්යාසයන්ට ලක් වීම ඒ වයසේ දියණියකට පොදු ධර්මතාවයක් බව දැන, ඇය ට ඒ ගැන අවබෝධයක් ලබා දීම මවක ගේ කාර්ය භාරය විය යුතු ය. දෑස් පෑදු විට, බලහත්කාරයක් නොවිණි නම් දරුවන් වැරදි මාවත් වලට පිළිපන්නේ කලාතුරකිනි. බොහෝ මව් පිය වරුන්ට සිය යොවුන් දරුවන්ගේ හැඟීම් වටහා ගන්නට තබා ඔවුන් හා රැඳෙන්නට වුව කාලයක් නොමැති වීම අවාසනාවකි.

ගීතානි ගේ දියණිය ගේ ප්‍රශ්නය තමන් ගේ ප්‍රශ්නයක් නොවේ කියා ඉවත බලා ගන්නට සමාජයක් වශයෙන් අපට නො හැකි ය. ඒ ඊයේ වෙනත් කෙනෙකුට වූ, අද ගීතානි ගේ දියණියට වී ඇති දේ හෙට අපේ දරුවෙකුට වුව සිදු විය හැකි බැවිනි.

“මේ වෙලාවෙ වැදගත් ම දේ ඒ ගෑනු ළමයගෙ හිත බිඳෙන්නැතුව තියා ගන්න එකයි මිස් ගීතානි. එයාගෙ හිතට ඩැමේජ් එකක් වුණොත්  ඒක එයාගෙ ජීවිත කාලෙටම බලපායි. එහෙම නැතුව…නොදැනුවත්කම නිසා මෙහෙම දෙයක් වෙච්ච එක එයාගෙ ජීවිතේ කාලකන්නි කරන හේතුව වෙනව කියල එයාට ඒත්තු යන්න තියන්න එපා”

අමාරසී ගීතානි ගේ මේසයට බර වී කෙඳිරුවා ය. ඇය සිය ලේන්සුවෙන් ඇස් හා නාසය පිස දැමුවා මිස කිසිත් කීවේ නැත. නමුත් වදන් බවට නො පෙරළුණ හැඟීම් බොහොමයක් ඇගේ හිත තුළ පෙරලි කරමින් තිබිණ.

“අපරාදෙ…මිස් ගීතානි ගෙ ප්‍රශ්නෙ නිසා අමාරසී දිසත් එක්ක මෙතනට ම ආපු එකේ නියම සතුට සෙලිබ්‍රේට් කරන්න නැතුව ගියා”

හැන්දෑවේ තරුෂි මවා ගත් ශෝකයකින් කීවා ය. ඔවුන් ඒ ගැන සිනහ වෙමින් සිටියදී නිරෝෂන් ඔවුන් වෙතට ආවේ ය.

“උඹලටත් ඕව හොඳ පාඩං”

‘උඹලටත්’ යන බහු වචන නාම පදය භාවිතා කළා ට ඔහු ගේ ඇස් යොමු වී තිබුණේ අමාරසී වෙතට ය. ‘ඕව’ යන්නෙන් අදහස් දැක්වීම සඳහා ඔහු ගීතානි ව මුහුණෙන් පෙන්වූවා ය.

“මොකද්ද අයිය පාඩම…”

“පිරිමිංව පරිස්සමට ආස්සරේ කරපල්ල. හුඟක් අයියල මුලදි ඩ්‍රොප් කරන්න පික් කරන්න ආවට පස්සෙ ආවෙ කොහෙන්ද ගියේ කොහෙන්ද කියල හොයා ගන්නවත් නැති වෙනව”

යුවතියෝ මුහුණෙන් මුහුණ බලා ගත්හ. ඔහු අදහස් කළ දේ ඔවුන් ට නො තේරුණා නොවේ.

“අපි නං හැම අයියෙක් අක්කෙක් ගැන ම දැනගෙන තමයි නිරෝෂන් ඉන්නෙ. ඒකනෙ තාම මෙහෙම ඔළුව උස්සගෙන ජීවත් වෙන්න පුළුවන් වෙලා තියෙන්නෙ”

එසේ කීවේ දිලිනි ය. දිසත් කීවා සේ ඒ ප්‍රශ්න වලට උත්තර දිය යුතු දවස වෙනුවෙන් සන්සුන් ව ඉන්නට අමාරසී තදින් සිතා ගත්තා ය.

නිර්මලා සහ අජිත් ගේ හදවත් වල කම්පන සංඛ්‍යාත වෙනස් වී තිබිණ. දුවෙක්, දෑහෙ මූණේ තියා ගෙන හැදු දුවෙක් දීග දෙනවා කියන්නේ මව් පියන්ට සැහැල්ලුවක් වාගේ ම බරකි. සතුටක් වාගේ ම දුකකි. පවුලේ ළමයින් ගෙන් අමාරසී ඔවුන් දෙදෙනාට ම වැඩියෙන් සමීප වූ දැරිය වූවා ය. යොවුන් හා තරුණ අවධි වලට එළඹෙත්දීත් ඇය නොවෙනස් ව කුඩා දැරියක සේ අම්මා ළඟ සේ ම තාත්තා ළඳ ද දැවටී සිටියා ය. අනිත් දෙදෙනා ම ඉක්මනින් ඔවුන් ගෙන් දුරස් වූහ. අමාරසී වැඩි වැඩියෙන් කල් ඔවුන් හා රැඳුණා ය. එහි දී, අනිත් ළමයින් දෙදෙනා වෙනුවෙන් හදවත් වල රැස්වී තිබූ සෙනෙහස ද ඇය විසින් සොරා ගන්නා එක වැළැක්විය හැකි වූයේ නැත.

“මොනා වුණත්…රසී ව බන්දල දෙන්න මගුල් හෙව්වත් රසී යන දවසක් ගැන හිතන්න හිත හරියට පස්ස ගැහුව අජී…එයා අපිව අත්ඇරල යනව කියල හිතා ගන්න බෑ දැන්…”

දවසක් නිදි යහනේ දී නිර්මලා දැඩි කර ගෙන උන් හිත බිඳී ගියේ ය.

“ඔය කිව්වෙ කතාවක්…එ් කෙල්ල අපිව අත් ඇරල යනවයැ”

අහක බලා ගෙන එසේ කීවාට අජිත් ගේ හඬේ ද බිඳීමක් විය. නමුත් මේ වෙලාවේ බිරිඳ හිත දුර්වල කර ගන්නා එක වැළැක්විය යුතු ය කියා ඔහු දැන සිටියේ ය.

“අත් ඇරල නොගියට ඉතිං..”

ඇගේ උගුරේ ඉකියක් හිර විය. දිගට දුරට කල්පනා කරත්දී අජිත් ට ද වාවා ගත නො හැකි මොහොතවල් උදා වේ. නමුත් ඔහු තව දුරටත් හැඟීම් වලට ඉඩ නොදී හිඳී.

“නිර්මලා…අපිට අපේ පුතා නැති වුණා. ඒක මගේ වරදක්ද එයාගෙ වරදක්ද කියල කතා කරන්න දැන් මං කැමති නෑ. කොහොම වුණත් අපිට පුතෙක් නැති වුණා. පොඩි එකී ඉක්මනට බැන්දා. නරක බෑණා කෙනෙක් ලැබෙනව කියන්නෙ පවුලකට දුවෙක් නැති වෙන එකයි කියල කතාවක් තියනව. මං කියන්නෑ ඒ හාදයා නරක බෑණා කෙනෙක් කියල. ඒ වුණාට ඔයත් පිළිගන්නව ඇතිනෙ අපිට පොඩි එකී නැති වුණා කියල…නිර්මලා…හොඳ බෑණා කෙනෙක් ලැබෙනව කියන්නෙ පවුලට පුතෙක් ලැබෙනව කියන එකටයි කියනවනෙ. දිසත් හොඳ බෑණෙක් වුණොත් අපිට රසී නැති වෙන්නෙ නෑ වගේම පුතෙකුත් ලැබෙයි. නැති වෙලා ගිය පවුල අපිට ආයෙ ලැබෙයි. ඒක එහෙම වෙන්න කියල ප්‍රාර්ථනා කරගෙන ඉමු අපි”

නිර්මලා ගේ ඇසින් පිටමං වූ කඳුළක් හිස කේ අතරින් රිංගා ගොස් කොට්ටයට තෙත උරා ගත්තේ ය. ඕ තොමෝ අජිත් ගේ අත් ගොබයක් තදින් අල්ලා ගත්තා ය.

අනෙක් කොටස්

More Stories

Don't Miss



Latest Articles

(අ)හිමි සිහින -226

හත් දවසේ දානය නිමවූ පසු මගේ කල්පනාවේ තිබුණේ එක දෙයයි. ඒ තුන්මාසේ දානය මීටත් වඩා හොඳින් කළ යුතු බව සහ ඒ සඳහා...

නිබ්බුත ගීත -21

ඒ මින් පෙර කිසි දාක නො සිදු වූ දෙයකි. අපේ ගෙදර එහෙම රණ්ඩුවක් තබා උස් හඬින් කතා කිරීමක් හෝ සිදු වන්නේ නොවේ....

යෝනි මාර්ග දෙකක් සහ ගර්භාෂ දෙකක් සහිත එව්ලින්ගේ කතාව

Adult content creator කෙනෙකු වන Evelyn Miller වයස අවුරුදු 20 වන තෙක් ඇය යෝනි දෙකක් සහ ගර්භාෂ දෙකක් සහිතව උපත ලබා ඇති...

සුහදිනී -71

"මමයි අම්මයි ඔයාට බෝධි පූජා තියන්න යන්නේ" සකී එක්තරා උදෑසනක අහස්ව අවදි කළේ එසේ කියමිනි.තරගාවලිය ඇරඹෙන්නට වැඩි දවස් නොවේ.අහස්ගේ...

නිබ්බුත ගීත -20

ප්‍රේමයේ වියෝගය පිළිබඳ කල්පනා මා ආතුර කොට තිබිණ. මධාරා අක්කා ගේ විවාහ මංගල්ලයෙන් පස්සේ දෙතුන් දිනක් ගෙවී ගියේ ඒ ඔත්පල වීම තුළ...