නිවසින් ලැබුණු අසීමිත නිදහස නිසා මානසික රෝගයකට ගොදුරු වූ යුවතිය

(මනෝ උපදේශක කේ.එන්. මධුසංක මහතාගේ වෘත්තිය අත්දැකීම් ඇසුරිනි. වෘත්තිය සදාචාරය වෙනුවෙන් නම් ගම් මනඃකල්පිත වේ)

හේලි  අගනුවරට සමීප නගරයක හැදුණු දරුවෙක්. ඇගේ දෙමාපියන් යහමින් මුදල් හදල් තිබූ අය. ඒ නිසා අවශ්‍ය කරන ඕනෑම දෙයක් ඇයට ඉල්ලන සැනින් ලැබුණා. ඇය අධ්‍යාපනය හැදෑරුවේ ද ජාත්‍යන්තර පාසලක. හේලිගේ අම්මා බොහොම තද ගති ඇති සැර පරුෂ කාන්තාවක් වුණා. ඒ නිසාම ඇය හේලි ව හැදුවේ දැඩි රැකවල් මැද. හේලිට නිවසින් එළියට බැසීම හෝ කිසිවකුත් ආශ්‍රය කිරීම තහනම් වී තිබුණා. එයට සාධාරණ හේතුවක් ද තිබුණා. ඔවුන් ජීවත් වූ පළාත අර්ධ නාගරික පළාතක්. එහි විෂමාචාර බහුලව තිබුණා. ගැහැනු ළමයෙක් එළියට දැමීමට හේලිගේ අම්මා වූ වසන්ති අකමැති වුණේ ඒ නිසා

උසස්පෙළ අවසන් වූ පසු ඇය පෞද්ගලික විශ්ව විද්‍යාලයකට අධ්‍යාපනය වෙනුවෙන් යනවා. ඒ පරිසරය තුළ ඇය නිදහස් කරන්නට අම්මා සහ තාත්තා තීරණය කරනවා. ඒ පරිසරයේ සිටින ළමයින් ඇගේ අසල්වැසියන්ට වඩා වෙනස් නිසා හේලිට රිසිසේ සරසවිය තුළ ජීවත් වන්නට ඉඩ හරින්නට දෙමාපියන් තීරණය කරනවා.

“මං හිර වෙලා හිටිය ලෝකෙට වඩා ලෝකෙ මොනතරම් වෙනස් ද?

හේලි ඊටපස්සෙ හිතන්නට පටන් ගන්නවා. නොනවත්වාම සාදවලට සහභාගී වීම්, සංගීත ප්‍රසංග,චිත්‍රපටි, චාරිකා වගේ දේවල් ඇය අත් හරින්නේ නෑ.නිදහස හැකිතාක් උපරිමයෙන් භුක්ති විඳින්නට උවමනා බව ඇය තීරණය කරනවා. සමහර අවස්ථාවල මත්ද්‍රව්‍ය පවා අත්හදා බලන්නට ඇය පසුබට වෙන්නේ නෑ. අධ්‍යාපනය ලැබීමට වඩා විශ්ව විද්‍යාල පරිසරය ඇගේ නිදහස් කලාපය කරගන්නටයි හේලිට ඕනෑ වන්නේ.

ෂෙරෝන්, ඔවුන්ට අධ්‍යාපනය ලබා දෙන තරුණ ගුරුවරයෙක්. හේලි ඔහු ඇයට කැමැත්තක් ඇති බව මවා ගන්නවා.නමුත් ෂෙරෝන්ගෙන් එයට අනුබලයක් ලැබෙන්නේ නෑ. ඇයට කැමැත්තක් ඇතත් ඔහු ඇයට කතා කරන්නේ නැත්තේ ඇගේ තාත්තා සහ අයියා ෂෙරෝන්ට චැට් කර ඇය ගැන වැරදි කියන්නට ඇති බව ඇය මවා ගන්නවා. තමන් කැමති දේ සිදු නොවන ඕනෑම මොහොතක එයට හේතුවක් මවා ගන්නා හේලි ඒ සම්බන්ධයෙන් කෝප ගන්නට පුරුදු වෙනවා.මේ කාලයේම ඇය රාජන් නම් තරුණයෙක්ට ද චැට් කරන්නට පටන් ගන්නවා. රාජන් දමිළ තරුණයෙක්. දෛනික තොරතුරු සියල්ලම ඉංග්‍රීසි භාෂාවෙන් පවසන මේ තරුණිය කවුදැයි ඔහුට සිතා ගන්නට බෑ. ඔහු පුදුමයට පත් වෙනවා.

“ඔයා මාව දන්නවද?”

එහෙම ඇහුවත් ඇත්තටම හේලිට උත්තරයක් නෑ.ඇය කියන්නට ඕනෑ දේ සහ නැති දේ සියල්ලම රාජන්ට පවසනවා. ඇය ඇගේ නිදහස අනිසි ලෙස ඔහේ පාවිච්චි කරනවා.

ඒ අතර තමන්ට දැඩි පාළුවක් දැනෙන බවත් පපුව රිදෙන බවත් ඇය පවසන්නට පටන් ගන්නවා. තවත් ගැටළුවක් මතු වෙන්නේ ඔය අතර.

“මේ අම්මයි තාත්තයි මගෙ ඇත්ත අම්මල නෙවෙ. මෙයාලා මාව හදා ගන්න අරන්. මට DNA ටෙස්ට් එකක් කරන්න ඕන.”

ඇය එහෙම කියනවා. නමුත් සමහර වෙලාවට ඇයට ඒ කතාව ගැන මතකයක්වත් නෑ. නමුත් ඇය කලබලයට පත් වූ සමහර වෙලාවට හේලි ඒ කතාව නිතරම කියන්නට පටන් ගන්නවා.

හේලිව ප්‍රතිකාරවලට නිවසේ අය රැගෙන එන්නේ ඉන්පසුව.

ඇයට ඇති ගැටළුව මේ ආකාරයේ එකක්. ඇය අවුරුදු දහනවයකටත් වඩා දැඩිව නීති රීතිවලට යටත් ඇතිදැඩි වූ දැරියක්. නමුත් ඇයව සමාජයට මුදා හැරිය පසු ඇයට සමාජයට අනුගත වෙන්නට ගැටළු ඇති වුණා. ඇය ලෝකය ගැන සිද්ධි මවා ගන්නට පටන් ගෙන තිබුණා. ඇයට ඒ තත්ත්වයට උපදේශනය අවශ්‍ය බව අපි තේරුම් ගත්තා.

මේ කතාව වර්තමානයේ අසන දකින කතා සමඟත් අපිට සමපාත කරන්න පුලුවන්. දෙමාපියන් හැටියට ඔබ දරුවන් ගැන ඇස ගසාගෙන සිටිය යුතුමයි. නමුත් යම්තාක් නිදහසක් ඔබේ පාලනය යටතේ ලබා දෙන්න. ඔබ ඇස ගසාගෙන සිටියදී ලෝකය සහ මිනිසුන්  ගැන තේරුම් ගන්නට දරුවාට ඉඩ හරින්න. මත්ද්‍රව්‍ය සහ සමාජ විරෝධි දේවල් ගැන පවා ඔබ දරුවාට කියා දෙන්න.එසේ නොමැතිව අවුරුදු දහ අට පිරුණු පසු සමාජයට හෝ වෙනත් රටකට මුදා හරින්නට එපා. එවිට මත්ද්‍රව්‍ය, ලිංගික ක්‍රියා ගැන කිසිම අවබෝධයක් නැතුව දරුවන් අමාරුවේ වැටෙන්නට පුලුවන්. නැතිනම් හේලි මෙන් පිටස්තර පුද්ගලයන් සමඟ බලහත්කාරයෙන් සම්බන්ධතා ගොඩ නගා ගන්නට උත්සාහ කරමින් පවුලේ අය ප්‍රතික්ෂේප කරන්නට පෙළඹෙන්නට පුලුවන්.

ලෝකයට නිරාවරණය වූ පසු අනවශ්‍ය තරම් නිදහස සොයා ගන්නට උත්සාහ කිරීම,බලහත්කාරයෙන් සබඳතා ඇති කරගැනීම, සිද්ධි මවා ගැනීම වැනි දේ නිසා හේලිට මනෝ වෛද්‍ය ප්‍රතිකාර සහ මනෝ උපදේශන ප්‍රතිකාර අවශ්‍ය වුණා. ඇය මේ වනවිටත් ඒ ප්‍රතිකාර ලබා ගනිමින් සිටිනවා.

දරුවන් ඇති කරන්නට උත්සාහ කරන්න එපා.ඔවුන්ට ඔබේ ආරක්ෂාව යටතේ වැඩෙන්නට දෙන්න. ගිරවුන්,ලේනුන් මෙන් කූඩු කරගෙන සිට සමාජයට මුදා හැරීම අතිශය භයානක ප්‍රතිපල ලබා දෙන්නක්.

(ඔබට Online උපදේශනය ගාස්තු සහිතව ලබා ගන්නට 077 9077094 අංකයෙන් කේ.එන් මදුසංක මහතා සම්බන්ධ කර ගත හැකියි)

Related Articles

Don't Miss


Latest Articles