සඳ ගංතෙර -66

“මං ආවේ විහස් ගාව ඉන්න අයියේ”

දුලාජ් පිටතට පැමිණ චාන්දනීගේ ඉල්ලීම කියද්දී සඳරැස් හැඟීමක් නැති කටහඬකින් පැවසී ය. දුලාජ් ඔබමොබ බැලී ය. මේ හිතුවක්කාරයා පාලනය කරන්නට අසීරු බව ඔහු දනියි. ඔහු කරන්නට ඕනෑ දේ සිතමින් නැවත කාමරයට ගියේ ය.

“පුතා මාව හම්බ වෙන්න බෑ කියනවද දුලාජ් පුතේ?”

චාන්දනී ඇසී ය. මල්වැන්නගේ නොවුණාට මල්වැන්නගේ අහංකාරකමත් අභිමානයත් එහෙමම රැගෙන ආ කොලුවා අම්මාට සමාව නොදෙන බව ඇයට සහතික ය. ඇගේ නෙත් අගින් කඳුළක් රූරා කොට්ටයට වැටිණ.

“මල්ලි විහස් මල්ලිව කන්න එළියට එක්කන් ගිහින් අම්මා. ආවම බලමු අපි.”

දුලාජ් එසේ පැවසුවේ මොහොතකට පෙර කළ කාර්යයේ ප්‍රතිඵල ලැබෙන්නට ඉඩ ඇතැයි සිතමිනි.

සඳරැස් ඔබමොබ සක්මන් කළේ ය. ඔහු ඇත්තටම ආවේ විහස් හා රැඳෙන්නට ය. ඔහුට අම්මා බලන්නට ඕනෑ නැත. ඕනෑම නැත. දුරකථනය නාද වූයේ ඒ මොහොතේ ය.

“අම්මට කොහොමද අයියා”

දුලන්‍යාට සමහර මොහොතක හිත නිවා සනහන කටහඬක් තිබේ. මේ ඒ කටහඬ ය. දැවෙමින් සිටි සඳරැස් නිවෙන්නට පටන් ගෙන තිබිණ.

“දන් නෑ දුලා. මං ඇත්තටම දන් නෑ. ජීවිත අවදානමක් නෑ කියනවා. ටිකක් අමාරුයි.”

ඔහු වේගයෙන් කතා කරන්නේ කලබලයට පත් වූ විට ය. ඒ ගැන දුලන්‍යා දනියි. දැන් ඇත්තේ අයියා පැවරූ රාජකාරිය ඉතා සීරුවෙන් කරන්නට ය.

“සුදු අයියේ, ගිහින් අම්මට කතා කරන්න.”

ඇය අයැදුවා ය.

“මගෙන් එහෙම ඉල්ලීම් කරන්න ඔයාට අයිතියක් නෑ. අපි ආදරේ කරනවා තමයි. එහෙමයි කියලා අනිත් කෙනාගේ පෞද්ගලික තීරණවලට බලපෑම් කරන්න බෑ හරිද?”

අහංකාරයා මතුව එන බව ඇත්තකි. එහෙත් වෙනදා මෙන් මේවාට කෝප ගැනීම ඈ අත් හැර දැමුවා ය.

“අයියේ, සමහර අවස්ථා එනව අපිට සදහටම පසු තැවෙන්න වෙන. චාන්දනී ආන්ටි ඉන්නේ එහෙම කෙළවරක් නැති පසුතැවීමක. ඒ එයාගේ තෝරාගැනීම. ඒත් ඔයාලා එහෙම පසුතැවීම් ඉතුරු කරගන්න එපා.”

ඕනෑම දෙයක් සිදු වන්නට ඉඩ තිබේ. සඳරැස් බලන්නට ඕනෑ යැයි ඉල්ලීම චාන්දනීගේ අවසාන ඉල්ලීම වුවහොත් එතැනින් එහා ජීවිතය බොහෝ අසීරු වන්නට ඉඩ ඇතැයි දුලන්‍යා පැහැදිලි කළා ය.

“සමාව දීලා අත් අරින එක තමයි අයියෙ පහසුම. මේ ඔයාගේ ඊගෝ එක නෙවෙයි කියලා කවුරු නැතත් මං දන්නවා. ඒත් ඔයාට දුකයි. ඒ දුක තවත් වැඩි කරගන්න එපා.”

සඳරැස් හොඳටෝම පැටලී ගියේ ය. මේ ළපටි කෙල්ලගේ වචන සත පහකට මායිම් නොකර ඉන්නට පුලුවන. එහෙත් ඇය කියන අන්දමටම මේ අම්මාගේ අවසන් ඉල්ලීම නම්!!

“ඔයාට ඔතන යුතුකමක් ඉෂ්ට කරන්නයි තියෙන්නෙ. ආදරේ කරන්න අම්මෙක් මේ ගෙදර ඇතුළේ ඉන්නවනෙ.”

දුලන්‍යා අවසානයේ දී එසේ පැවසුවා ය. සඳරැස්ට දැන් එක් දෙයක් පැහැදිලි ය. ඉටු කරන්නට යුතුකමක් තිබේ.

“මිනිස්සුන්ගේ හැඟීම්වලට වැටවල් බඳින්න බෑ අයියේ.මොකක්ම හරි කියා ගන්න නොතේරෙන හේතුවකට අම්මා ඔයාලගෙන් ඈත් වෙලා කමල් අංකල්ට ළං වෙන්න ඇති.එතනදි අම්මා හරි වෙන්නත් පුලුවන්.ආදරේට නිර්වචන නෑනෙ. සීමාත් නෑ. ඒ වුණාට  ඔයා තිසරු අම්මට වෛර කරන්න එපා.ඒ මනුස්සයා නිදහස් කරන්න..”

කුඩා කෙල්ලක සතුව එතරම් පණ්ඩිත වචන ඇත්තේ කොහොමදැයි සඳරැස් සිතී ය. නමුත් ඇය ඔහුව මෘදු කරමින් හිඳියි. සත්‍ය වටහා දෙමින් හිඳියි.

“මනුෂ්‍ය සම්බන්ධතා කියන්නේ මහා පුදුම දෙයක්.මම හිතුවා අම්මා අපි එක්ක හිටියේආදරෙන් කියල .ආදරයක් නොතිබ්බානම් අපිත් එක්ක ඉන්න කියලා මම එයාට බල කරන්නේ නෑ.මම ආදරේ කරා කියලා එයා මාව කසාද බැඳ ගත්තේ මට ආදරේ කරන බව පෙන්නුවෙ ඇයි කියලයි මම තවමත් හිතන්නේ.

සමහරවිට චන්දි මට ආදරේ කරන්න ඇති. කමල් ලඟදි ඒ ආදරේ වාෂ්ප වෙලා යන්න ඇති.”

තාත්තා අම්මා ගැන එසේ පැවසුවේ ඔහුගේ මරණයට ටික දිනක් තබාගෙන ය. ඔහු අම්මාට සමාව දී තිබිණ. දැඩි සත්කාර ඒකකයේ සිටින කාලයේ අම්මා ඔහුගේ මළගමට පැමිණියහොත් ඇයව පලවා නොහරින්නට පවා ඔහු දුලාජ්ව ගිවිස්වාගෙන තිබිණ.

“ඔයාට එච්චර ලොකු හිතක් තිබුණට මට එහෙම ලොකු හිතක් නෑ තාත්තේ”

සඳරැස් සිතුවේ අගුළු වැටෙන කකුල් ඔසවමිනි. මේ මොහොතට මුහුණ දෙන්නටම ඕනෑ ය.

“ආදරේ ඔන්නොහෙ තිබ්බදෙන් කියල හිත හදාගන්න ගෑනුන්ට බෑ .ඒක හරි අමාරුයි.ඒ උනාට කරන්නම දෙයක් නැත්නම් එහෙම ඉන්නත් වෙනව..”

එහෙම පැවසුවේ ඔහුගේ පරණ ප්‍රේමවන්තියකි. ඒ සැබෑවකි. අම්මා හැකිතාක් කාලයක් එහෙම ඉන්නට තීරණය කරන්නට ඇත. නමුත් තවදුරටත් එහෙම ඉන්නට නොහැකි බව ඇයට තේරුම් ගොස් තිබේ.

“මගේ පුතා”

චාන්දනී සඳරැස්ගේ අත අල්ලාගෙන ඉකි බිඳින්නට ගත්තා ය. එය බලන්නට අසීරු දර්ශනයකි. දුලාජ් පවා ඉවතට හැරිණ. එහෙත් සඳරැස් ගහක් ගලක් වී බලා සිටියේ ය. තාත්තාගේ හෘද සැත්කම අසාර්ථක බව වෛද්‍යවරයෙක් දැන්වූ මොහොතේ තමන් වැළඳ විලාප නැඟූ කොලුවා ඉන්නා වියළි ස්වරූපය දුලාජ් බලා සිටියේ වේදනාවෙනි.නමුත් දුලාජ්ගේ අම්මා යන්තම් කොන්ද කැක්කුමක් හෝ පැවසුවහොත් ඒ වකුගඩු අමාරුවක් පවා වන්නට ඉඩ ඇතැයි කියමින් ඉහළම වෛද්‍ය විශේෂඥයන් හොයන්නේ ද සඳරැස් ය.

“මේ කොල්ලට ඕන අපිව අමරණීය කරන්න”

එවැනි මොහොතක දුලාජ්ගේ අම්මා සඳරැස්ව තුරුළු කරගන්නේ සරදම් කරමිනි. ඔහු දෙමාපියන් ගැන එපමණ ළතෙත් කොලුවෙකි.

නමුත් මෙතැන ඉන්නේ ගල් පිළිමයකි.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles