අකල් වැහි -25

“මං මේ මොහොතේ ජීවත් වෙන්නේ සති කීපයක් වයස මගේ නූපන් දරුවා වෙනුවෙන් සිතිජ.එයා එයාගේ තාත්තා වගේ නොවී හොඳ මනුස්සයෙක් වෙනවට මම කැමතියි.මට එයාව හොඳ ළමයෙක් විදියට හදන්න ඕන.එයා ලොකු මනුස්සයෙක් නූනට කමක් නෑ.”

පාසල් අධ්‍යාපනය අහවර කර වැඩි කාලයක් ගෙවී ඇතැයි නොපෙනෙන යුවතිය කුස ඔත් බිළිඳෙකු ගැන කියද්දී සිතිජ තිගැස්සිණ.ඈ අම්මා කෙනෙකි.නොකියූ ප්‍රේමයක සෙවණැල්ලක් ඔහුගේ සිතේ ඇඳී මැකී ගියේ ය.පුරුදුකාරියක සේ සටන් බිම කටයුතු වලට ආ ඇය ගැන හදවතේ ඇති කරගත් සිතුවිලි සම්බන්ධයෙන් ඔහුට ලැජ්ජාවක් ඉපදිණ.ඔහු කිසිත් නොකියාම ඈ අත වූ ඇට මැස්සා දෙස බැලී ය.එහි මතකයේ ඇති වාක්‍යයක් මතකයේ ඇති වාක්‍යයක් ඔහුගේ සිහියට නැඟිණ.

“මෙසේ දෙවරක්ම මම ඔබ සිපගෙන ඇත.දෙවර ම අනවසරයෙනි.

එපමණයි ආදරණීය ප්‍රියාදරිය”

නොදන්නා යුවතියව දෑසින් සිප ගත් වාර ගිණිය නොහැකි තරම් වග සිතිජට සිහි විණ.කුඩා කෙල්ලක වග සිතූ ඈ මවක් වන්නට සැරසෙමින් සිටින්නියකි.දෛවය ඇතැම් වැරදීම් කරන්නේ සිතාබලා නොවන වග සිතූ සිතිජ යුවතිය වෙත කාරුණික බැල්මක් හෙළුවේ ය.

“ඔයා එහෙම තත්වෙක ඉන්නවා නම් මෙතනට නිතරෝම එන්න එපා නංගි.මෙතන ඕනෑම දෙයක් වෙන්න පුලුවන් තැනක්.ගෙදරට වෙලා ඔහේ බලන් ඉන්න බෑ තමයි.ඒත් එහෙමයි කියලා නූපන් දරුවෙක්ව අනතුරේ දාන්නත් බෑනේ.පරිස්සං වෙන්න.”

සිතිජගේ දෑස් මත ඇදී ඇති ආදරය හිරුදි නෙත් පුරා විඳ ගත්තා ය. ඒ බැල්ම පිරිසිදු ය.චේතනගේ දෑසට ජීවිතයේ කිසිම මොහොතක එතරම් පිරිසිදු බැල්මක් නැඟී නැතැයි සහතික කරන්නට හැකි වග ඇයට දැනුණේ සුසුමක් ද සමඟිනි.මුහුදු සුළඟට මුසු වූ ඇගේ සුසුම අහසට ඉගිල ගියේ ය.අහස අනන්තාපරිමාණ වේදනාවේ රත් පැහැයකින් සිතුවම් අඳිමින් සිටී.

“මට තාම විසි දෙකයි.මං කැමැත්තෙන් නෙවේ මැරි කළේ.අම්මලා තාත්තලාට එයාලගේ ටාගට්ස් වෙනුවෙන් මාව පාවිච්චි කරන්න ඕන වුණා.”

හිරුදි එසේ කියන්නට වචන සොයා ගත්තා ය.නමුත් තමන් භාග්‍යා සමරවික්‍රම වග කියන්නට ඇයට දිරියක් නොවේ.මේ කතා කරමින් හිඳින්නේ රටේ දැඩි අප්‍රසාදයට බඳුන් වෙමින් හිඳින තරුණ ඇමතිවරයෙකුගේ බිරිඳ වග සිතිජ කෙසේවත් නොසිතන වග ඇය දන්නී ය.ඇයට ඒ කතාව කියන්නට ලෝබ සිතිණ.ඒ පුවත හෙළි කළහොත් මේ පිරිසිදු මිත්‍රත්වයට ආයුෂ අල්ප වනු ඇත.

“ජීවිතේ කියන්නේ අපිට ඕන දේම නෙවේ නංගි.අපිට ලැබෙන දේ.ඒත් සමහර වෙලාවට ලැබෙන දේ අන්තිම අසාධාරණ නම් අපිට ලැබෙන්න තියෙන දේත් අසාධාරණ නම් අපිට පුලුවන් වෙන්නෝන හරි දේ ලබා ගන්න සටන් කරන්න.ඔයාගේ මැරේජ් එක ගැන මම මොකුත් දන්නේ නෑ.ඒත් ඒ මැරේජ් එක ඇතුළේ ඔයා සතුටින් නෙවේ නම් ඔයා සටන් කරන්න.ඔය බබා වෙනුවෙන් හරි.දුකින් ඉන්න එපා.දුකින් ඉන්න ඕන නෑ අපි කවුරුත්ම.වෙන මිනිස්සු කරන වැරදි වලට ඉරණම හරි දෛවය හරි කිය කියා අපි අපටම දඬුවම් දීගන්න එක නවත්තන්න ඕන.නැත්නම් කවදාවත්ම ඔලුව උස්සාගන්න වෙන්නේ නෑ.”

ඒ නැඟෙන්නේ විප්ලවවාදියාගේ හඬ ය.ඔහු ඒ කතා කරන අතරම තේ සකසන ස්ථානයට ගොස් උණු තේ දැමූ ප්ලාස්ටික් බඳුනක් ගෙනැවිත් හිරුදි අත තැබී ‍ය.හිරුදි එය අතට ගත්තේ ස්තූතිපූර්වක බැල්මකිනි.ඇයට මහත් පිපාසාවක් නැඟෙමින් තිබිණ.

“ෆයිට් කරන්න.ඔයා ඔයාලා දෙන්නා වෙනුවෙන් ෆයිට් කරන්න..”

සිතිජ එසේ පැවසුවේ දිදුලන දෙනෙතිනි.තමා වෙනුවෙන් සටන් කරන්නට හිරුදිට මහත් ආත්ම ශක්තියක් දැනෙන්නට විය.ජාතික ධජයක් අතින් ගත් කුඩා බටු ඇට කෙල්ලක ඇගේ ඇස් මායිමේ එහෙ මෙහෙ දුවන්නී ය.ඈ ඒ දෙස බලා හිඳ කුස මත අතක් තබා ගත්තා ය.

“චේතනට රාජ යෝගයක් තියෙන්නෙ ඔයාට පුතෙක් ලැබුණොත්..”

මේ දරුවා දුවක නම් එයම තමන්ගේ දික්කසාදය පිණිස හේතු වන වග හිරුදිට සිහි විණ.ඇයට ලා සිනාවක් නැගිණ.

“ඔයාගේ බබා එනකොට මේක මීට වඩා හොඳ රටක් වෙලා තියෙයි.මාස අටක් නවයක් යනකොට ගොඩක් දේවල් වෙන්න පුලුවන්.දවස්ම කොච්චරක්ද.ඒ ගැන සැකයක් තියා ගන්න එපා.”

සිතිජ එසේ පැවසුවේ හිරුදි අත වූ හිස් ප්ලාස්ටික් කෝප්පය ඔහු අතට ගන්නා අතර ය.ඉනික්බිතිව ඔහු ඇගේ හිස මත අතක් තැබුවේ ය.ඒ මොහොත හින්දි චිත්‍රපටියක ජවනිකාවක් තරමට ප්‍රේමණීය යැයි හිරුදිට සිතිණ.ඇයට දැනුණේ නිවුණු හැඟීමකි.ඈ නිවෙමින් හුන්නා ය.

“පරිස්සමින් ගෙදර යන්න.ආයේ යාලුවා එක්ක මිසක් එන්න එපා.මෙතන ඕනෑම දෙයක් වෙන්න පුලුවන්.අනාගත ලෝකේ වෙනුවෙන් උපදින කෙනාව පරිස්සම් කරගන්න.”

තරු හෝටල මැදින් වැටුණු මාර්ගයේ පොලිස් භටයන් අතරින් හිරුදි ඇවිද ආවේ දෙතොල් මත සැනසිලිදායක මඳහසක් තවරාගෙන ය. මුව ආවරණය නිසා ඒ සිනාව කිසිවෙකුත් නොදුටුවාට කම් නොවේ. ඈ හිඳින්නේ සතුටිනි.ඇයට ප්‍රේම කරන්නට ඔහුට අයිතියක් නොවේ.ඇමතිවරයෙකුට නීත්‍යානුකූලව අයත් වූ ගැහැනියක ජීවිතයට අලවා ගන්නට යාම සිතිජට ඔහුව ද අහිමි කරන්නකි.ඔහු රටට අහිමි විය යුතු මිනිසෙකු නොවේ.

නමුත් ඈට සිතිජට ප්‍රේම කරන්නට අයිතියක් තිබේ.ආදරය කිරීමේ අවසන් ඵලය හිමි කර ගැනීම වන්නේ කෙසේදැයි හිරුදි සිතුවා ය.

ඔහුට ද නොදැනෙනා පරිදි ඔහුට ආදරය කරන්නට ඇය තීරණයක් ගත්තා ය.ගිලිහෙමින් පවතින ජීවිතය තදින් අල්ලා ගන්නට ඒ තාරකාමය බැල්ම හේතුවක්.වන වග හිරුදි විශ්වාස කළා ය.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles