රිදුණු තටු පිරිමදිමි – 03

සන්තුෂී සිරිවර්ධන පිරිසිඳු, පිළිවෙල හා පියකරු වූවා ය. ඇගේ ඇවතුම් පැවතුම් වල කඩිසර කමක් දැකිය හැකි විය. සියලු පාරිභෝගිකයන් වෙත ඇය සමාන වූ සිනහවකින් සුහදත්වය පළ කළා ය. කෙතරම් කාර්ය බහුලත්වයන් අතරේ වී ද ඇගේ මුව මඳහස වියැකී ගියේ නැත. 

ඇගේ සේවය විශ්වාසවන්ත විය. රූපලාවන්‍ය ශිල්පියෙකු වෙත තිබිය යුතු වැදගත් ම ලක්ෂණයක් සේ විශ්වාසවන්ත බව සැලකිය යුතු ය. පාරිභෝගිකයෙකු රූපලාවන්‍යාගාරයක් තුළට විත් සිය පංචස්කන්ධය ම එහි ශිල්පියා හෝ ශිල්පිනිය වෙත භාර කරන්නේ ඔවුන් කෙරේ දැඩි විශ්වාසයක් ඇතිව ය. කාලයක් පාරිභෝගිකයෙකු වශයෙන් එතැනට යමේ ඊම් කළ සන්තුෂී ඒ බව මැනවින් දැන සිටියා ය. රූපලාවන්‍යාගාරය තුළට පැමිණෙනා කෙනෙකු නැවත ඉන් පිටත් කොට හැරිය යුත්තේ සම්පූර්ණයෙන් තෘප්තිමත් පාරිභෝගිකයෙකු ලෙස ය. එය එසේ නො වන්නේ නම් ඒ සේවයෙන් ඇති ඵලක් නැත.

ඉක්මනට ම ‘සැලෝන් සන්තු’ වෙත ඇදී එන පාරිභෝගික පිරිස වැඩි විය. තනිව ඒ කටයුතු වල නියැලිය නො හැකි බව දැනෙත්දී සන්තුෂී තවත් පුහුණු සේවිකාවක සේවයට බඳවා ගත්තා ය. වැඩ පුහුණු කරවමින් සහාය ලබා ගැනීම සඳහා නුපුහුණු සේවිකාවක ද බඳවා ගත්තා ය. උදේ සිට අඳුරු වැටෙන තුරු ම ඇය සිය සිහින ලෝකය තුළ ගත කළේ ප්‍රීතිමත් දවසකි. ඒ දවස පුරා කරන්නට ඕනෑ තරම් වැඩ තිබිණි. කිසිදු කටයුත්තකට ඇය නො වැදගත් වැඩක් සේ සලකා අත ගැසුවේ නැත. ඇහි බැම සැකසීම වැනි ඉතා කුඩා සේවයක් පවා සිය පාරිභෝගිකයා උපරිම සතුටු වන සේ ලබා දීම ඇගේ ඒකායන අරමුණ විය. ඊට අමතරව සියලු ම හැඩ ගැන්වීමේ කටයුතු කිරීම මගින් ඇය ආත්ම තෘප්තියක් ලැබුවා ය. රූපලාවන්‍ය ශිල්පිනියක කියන්නේ තමන් වෙත එන ඕනෑ ම කෙනෙකු උපරිමයෙන් හැඩ කොට පිටත් කර අරිනා කෙනෙකි. ඇය හැඩ කිරීමෙන් මුලින් ම සතුටක් ලබත හැක්කේ එසේ හැඩ කරන්නාට බව අත්දැකීමෙන් ම සන්තුෂී ඉගෙන ගනිමින් සිටියා ය.

පාරිභෝගිකයන් වැඩි වෙන්නට වෙන්නට රූපලාවන්‍යාගාරය වෙනුවෙන් වෙන් කරන්නට සිදු වූ කාලය ද වැඩි විය. උදේ පාන්දරින් ම විත් රෑ වී ගෙදර යාම නිසා තමන් ගැන තැවෙමින් ඉන්නට කාලයක් සන්තුෂී ට තිබුණේ ම නැත. කල්ප ගේ ඥාතිවරයෙකු ගෙන් විවාහ මංගල උත්සවයක් සඳහා ඇරයුමක් ලැබු ණේ ඔය අතරේ ය.

“මට යන්න වෙන්නෙ නෑ. ඔයා ගිහින් එන්න සන්තුෂී”

කල්ප පෙර පරිදි ම කීවේ ය. නමුත් වෙනදා සේ නොව ඉතා පහසුවෙන් ඇයට ඒ ඉල්ලීම ඉවත ලිය හැකි විය.

“මට යන්න වෙලාවක් නෑ”

එවර ඔහු ඇදෙස බැලුවේ ගිනි පිට වෙන්නා වූ දෑසකිනි.

“මොකද්ද කියන්නෙ…”

“ඔයාට ඇහුණ දේ තමයි කිව්වෙ. මට යන්න වෙලාවක් නෑ”

“සැලොන් එක වහනව එදාට. වහල යනව”

ඔහු සිය කෝපය හැකි තාක් පාලනය කර ගෙන සිටිය ද මුළුමනින් එසේ කරන්නට තරම් හික්මීමක් තිබුණේ ද නැත.

“සැලෝන් එක වහන්න බෑ කල්ප. කොහොමත් නැකත් දවසක් නිසා එදාට මට ඩ්‍රෙසින්ස් සෑහෙන්න ඇවිත් තියෙන්නෙ. බ්‍රයිඩ්ල් ඩ්‍රෙසින් එකකුත් තියන නිසා පාන්දර දෙකටවත් මං සැලෝන් එකට යන්න ඕන. එතන ලොකු ගෲප් එකක් ඉන්නව. ඊට අමතරව ඩ්‍රෙසින්ස් දහයක් දොළහක් විතර තියනව. පණ යන දවසක්”

“මං ඔයාට කියල නෑනෙ ඕව බදා ගෙන පණ ඇරගන්න කියල..හරියට මේ ගෙදර කන්න බොන්න අඳින්න නෑ වගේ ඔච්චර ඕවට දඟලන්න දෙයක් නෑනෙ. ගෙදර වැඩක් බලා ගෙන ගෙදරට වෙලා ඉන්න. ඔය කෙහෙල්මල වහලම දාල”

එය වනාහි ආත්මාර්ථකාමී ලෙස පුරුෂාධිපත්‍යය පෙන්වීමේ කුරිරු අවස්ථාවකි. සන්තුෂී ගේ දෙතොල් අතරට මඳහසක් ආවේ ය. වෙනදා සේ තමන් ගැන ආත්ම වේදනාවෙන් හා බොඳ කඳුළු දෑසින් නොව පැහැදිලි හිතකින් සිදුවීම විනිවිද දකින්නට ඇය සමත් වූවා ය. 

“ගෙදරට වෙලා මට බලා ගන්න කියන්නෙ මොන වගේ වැඩද…ඔයා ආවොත් කන්න නැත්තං විසි කරල භාජන හෝදල තියන්න උයන්නයි…ඔයාගෙ රෙදි හෝදල මැදල නවල තියන්නයි…ඔයාගෙ නෑදෑයන්ගෙ මගුල් දාන බණ මළ ගෙවල් වල ඔයාව නියෝජනය කරන්න තනියම යන්නයි…එතකොට ඒ ටිකද මගෙ ජීවිතේ…ඔයා එහෙමද හිතන් ඉන්නෙ…ඔයා එහෙම හිතන් ඉන්නව ඇති. ඒත් තව දුරටත් මං මගෙ ගැන එහෙම හිතන්නෑ. මිනිස්සු මාව බලාපොරොත්තුවෙන් ඉන්නව. කියන ගාණක් ගෙවල මගෙ සර්විස් එක ගන්න ඕන තරං කස්ටමර්ස්ල ඉන්නව. ඒ මිනිස්සු මට වටිනාකමක් දෙනව. මගෙ සර්විස් එක ට්‍රස්ට් කරනව. එච්චර මාව පිළිගන්න ජීවිතේකට පයින් ගහල ඔයා වෙනුවෙන් ඔයාගෙ අය ළඟට ගිහින් අනේ එයාට හුස්ම ගන්න බැරි තරං වැඩ අනේ…එයාගෙ වැඩ කර ගන්න කන්න බොන්න දීල තියං ඉන්න ගෑනිනෙ මං. ඒක නිසා එයා වෙනුවෙන් ගිෆ්ට් එකක් දීල යන්න ආව කියල බොරුවට හිනා වෙලා එන්න යන්න කියලද ඔය කියන්නෙ…නෑ කල්ප. නෝ මෝ. තව දුරටත් එහෙම වෙයි කියල බලාපොරොත්තු වෙන්න එපා”

“වයිෆ් කෙනෙක් වුණාම එහෙම තමයි. හස්බන් වෙනුවෙන් කරන්න ඕන දේවල් කරන්න ඕන. නැත්තං මගුලටයැ ගෑනියෙක් ගන්නෙ…”

“ආ එහෙමද…ඔයා ගෑනියෙක් ගත්තෙ ඒ වැඩ ටික කර ගන්නද…එහෙනං මං ඉල්ලා අස් වෙන්න ලෑස්තියි  මහත්තයො. පිරිමියෙක්ට ගෙදර තියන වැඩ ටික කර ගන්න එක ගෑනියෙකුයි අනිත් වැඩ වලට රටේ ඉන්න තව ගෑනු කීප දෙනෙකුයි තියා ගන්න පුළුවන් කියල හිතං ඉන්න ඔයා වගේ පොම්ප කරල වගේ සල්ලි හම්බ කරන පිරිමි ළඟ ඇඹරෙන්න කැමති ගෑනු ඇති. ඒත් මං එහෙම ගෑනියෙක් නෙවෙයි. මං ඉවසුව තමයි. අවුරුදු විස්සක්ම ඉවසුව අද හැදෙයි හෙට හැදෙයි කියල. හැබැයි ඔයාගෙ අන්තඃපුරේ අග බිසව වෙලා හිටියෙ හරි ආඩම්බරේකින් කියල හිතන්න එපා. ඒක පුදුම ලැජ්ජාවක්. දැන් මං ඊට වඩා සතුටෙන්. මොකද මහන්සි වෙලා වැඩ කරල දෙයක් අර්න් කරන ගෑනියෙක් හැටියට නිදහස් හැඟීමක් මට තියනව. අවුරුදු ගාණක් තිස්සෙ ඔයා මට දීපු නැති ගෞරවය ඒ. බොහොම අමාරුවෙන් මහන්සි වෙලා මං වෙනුවෙන් මං ම හොයා ගත්ත ගෞරවය ඒ. ආයෙමත් ඒක නැගි කර ගන්න මං ලෑස්ති නෑ. ඔයාගෙ ඔය පාටි වලට වෙඩින් වලට ෆියුනරල් වලට යවන අග බිසවගෙ ජොබ් එකට කැමති වෙන කෙනෙක්ව බඳව ගන්න”

වෙනදා සේ කේන්තියෙන් නොව සන්තුෂී ඒ පැහැදිලි කිරීම කළේ වඩාත් සන්සුන් ඉවසිලිවත් බවකිනි. තිගැස්සී වාගේ ඇදෙස බලා උන් කල්ප බණ්ඩාරතිලක, සන්තුෂී පිටු පා යත්දී සමච්චල් සිනහවක් නගා ගත්තේ ය.

“පිච්චියක් අතේ නැතුව හිටිය ගෑනු කීයක් හරි හම්බ කරන්න ගත්තහම යන උඩ කිව්වලු”

ඒ ස්වරයේ ද වූයේ ද්වේශ සහගත සමච්චලයකි. නමුත් දැන් ඒ වාගේ ද්වේශී වදන් වලින් සන්තුෂී හිත රිදවා ගන්නේ නැත. 

රිය පදවන අතරේත් ඇයට ඉසිහින් සතුටක් දැනිණ. මුල් ම වතාවට කල්ප ගේ කම්මුල හරහා අතුල් පහරක් තදින් වැදුණ සෙයක් ඇය ට දැනේ. ඉස්සර ඇය හඬමින් ඔහු සමග රණ්ඩු අල්ලත්දී වුව කල්ප ඒ පයට පෑගෙන දුහුවිල්ලක් තරමට හෝ නො සලකා හැරියේ ය. කෑ ගසා ඇය ඔහු ට තර්ජනය කරත්දී සැහැල්ලුවෙන් සිනහ වූයේ ය. ඒ අවස්ථා වල සන්තුෂී ට දැනුණා වූ රිදුම් වේදනා මේ දැන් දැනෙන්නා සේ ඇය ට මතක ය. එදා ඔහු ට නො දැනුණ රිදුමක් අද දැනුණ බව ද ඇය ට විශ්වාස ය. 

“ඒ වුණාට මෙච්චර කල් හැම දේම ඉවසං හිටපු එකේ දැන් අනවශ්‍ය ප්‍රශ්න ඇති කර ගන්න එපා”

දුරකතනයෙන් සිදුවීම ගැන තප්තිට විස්තර කළ පසු ඇය කීවා ය. හැමදාමත් යෙහෙළිය වශයෙන් ඇය  කළේ කෙසේ හෝ සන්තුෂී ගේ පවුල රැක ගැනීමට උත්සාහ කිරීම මිස බිඳ දැමීමට තැතනීම නොවේ.

“ප්‍රශ්න ඇති කරනව නෙවේ. හැබැයි තව දුරටත් මං එයාගෙ සුවච කීකරු යටහත් පහත් සේවිකාව නෙවෙයි කියල කල්ප දැන ගන්න ඕන”

කෙසේ වතුදු එදා රූපලාවන්‍යාගාරයේදීත් කිසියම් බරක් හිස මත පැටවූවා සේ සන්තුෂී ට දැනෙමින් තිබිණ. ඇයට කල්පනා කරන්නට ඕනා නොවුණත් හිත අතීතයට දුවන එක නවතා ගන්නට පහසු වූයේ නැත. ඒ කාලේ කල්ප විසින් සන්තුෂී ව අවඥාවට ලක් කරනා ලද්දේ ‘ගෙයි ගෙම්බී’ කියා ය. ඔහු සරණා අහස ගැන ඔහු උදම් ඇනුවේ ය. ඒ අහසේ සරණා සරණා කිරිල්ලියන් සමග වන ඇසුර සන්තුෂී ගෙන් සඟවා ගන්නට තැත් කළ ද ඔවුන් ගේ රුව ගුණ ගැන ඇය සමග පවසමින් ම තලු මැරුවේ ඇගේ අභිමානය පයට පාගා දමමිනි. නළු නිළියන් ඇසුරු කරන්නට ගත්තාට පස්සේ කොහොමත් ඔහු ට ඇය මදි විය. දරුවන් දෙදෙනෙකු බිහි කොට ඔවුන් උස් මහත් කිරීමට හා සැමියා ගේ අවශ්‍යතා ඉටු කරමින් ඔහු තුටු පහටු කරන්නට යෞවනය කැප කළ බිරිඳ ගේ ස්වභාවික රූපය ලැජ්ජාවට හේතුවක් සේ දැනුණ අවස්ථා ද කල්ප ට නොවූවා නොවේ. රංගන ක්ෂේත්‍රය හා සම්බන්ධ කිසිදු උත්සවයකට ඔහු සිය බිරිය කැටිව නොගියේ ය. ඒ වාගේ කෘතිම ජීවිතයක් ගැන කිසිදු රුචියක් සන්තුෂී තුළ නැති වී ද එවැනි ප්‍රතික්ෂේප කිරීම් තුළ ඇයට නොරිදුණා නොවේ.

“ඒවට එන ගෑනු එක්ක හැරෙන්නවත් ඔයාට බෑ සන්තු. උන් තනිකර බෝනික්කියො. නිකං පල් වෙන්න ඔයා ඕවට යන්න ඕන නෑ”

ඔහු ඒ නො කියා කීවේ එකී නිළියන් සමග උරෙනුර ගැටී සමසුන් දරන්නට ඇයට සුදුසුකම් නැති බව නොවේ ද? ඇය ඔහු හා ඔහු ගේ ලෙයින් උපන් දරු දෙදෙනා වෙනුවෙන් ඇගේ මුළු දිවිය ම කැප කරමින් ද ඇය ව අමතක කර දමමින් ද සිටි බවක් කල්ප ට කල්පනා වූයේ නැත. අද ඇය ඔහු ලස්සනට දකිනා නිළියන් ලස්සන කොට පිටතට යවන, ඔහු නො දකිනා ඔවුන් ගේ අවලස්සන තැන් සඟවා තබා ලෝකය ඉදිරියට යවන රූපලාවන්‍ය ශිල්පිනිය වී හිඳී. ඇගේ දක්ෂතාවය හා නිර්මාණශීලීත්වය ගැන තොරතුරු තටු ලැබ දස දෙස පැතිර යන්නේ ය. චිත්‍රපට හා ටෙලි නාට්‍ය නිශ්පාදක කල්ප බණ්ඩාරතිලක ගේ සුරූපී බිරිඳ ලෙස බොහෝ දෙනෙකු ඇය හඳුනා ගන්නේ දැන් ය. නමුත් ඒ කිසිවෙකුට සන්තුෂී විසින් ඇගේ සැමියා ගැන පවසනා හින්දා නොවේ. ඔවුන් විමසිලිමත් වී සොයා ගන්නා තොරතුරු හින්දා ය.

තමන් ආර්ථික විද්‍යා දේශක කල්ප බණ්ඩාරතිලක ගේ බිරිය ලෙස සන්තුෂී ආශාවෙන් ඇය ව හඳුන්වා දුන්නේ විවාහයේ පළමු වසර පහ තුළ පමණකි. ඉන් පසු උදා වූයේ ඇය ඔහු ගේ කවුරුන්ද යන වග කියන්නට ඇය පසු බාන්නට ගත් යුගයයි. කල්ප ගේ නම ට විවිධ නිළියන් ගේ නම් ඈඳමින් ඉගිල ගිය ආරංචි නිසාවෙන් ඔහු ඇය ගේ කවුරුන්වත් නොවන සේ ජීවත් වන්නට සන්තුෂී වැඩිපුර කැමති වූවා ය. ඇතැම් වෙලාවක දැනුණ ලැජ්ජාව හින්දා පොළොවේ වළක් හාරා ගෙන හැංගෙන්නට ඇත්නම් කියා ඇය ට සිතුණ වාරයන් ද හිඟ නැත.

“මිස් අද හරියට කල්පනා කරනව..අර රීබොන්ඩින් එක වෙලාවෙ අයන් එක ඉවර වෙනකල් මිස් හිටියෙ කල්පනා ලෝකෙක”

රූපලාවන්‍යාගාරයේ සේවය කරන යුවතියන් දෙදෙනා ගෙන් පුහුණුව ලබමින් සිටිනා අංජලී එසේ කීවේ කවදාවත් නැතිව සන්තුෂී අතින් පාරිභෝගිකයෙකු ගේ ඉතිරි මුදල් ලෙස වැඩි මුදලක් අංජලී අතට පත් වූ නිසා ය. 

“එහෙම තමයි අංජලී බිස්නස් කරනකොට…ලාබ වගේම පොඩි පොඩි පාඩුත් දරා ගන්න වෙනව”

“මිස්ට ටිකක් සනීප නෑ වගේද…”

“හ්ම්. හිතට”

යුවතිය තව දුරටත් කිසිවක් නො අසා නිහඬ වූයේ එය සන්තුෂී ගේ පෞද්ගලික ජීවිතයට අදාල ගැටළුවක් සේ දැනුණ නිසා ය. සන්තුෂී ඉක්මන් සිනහවකින් යුවතිය දෙස බැලුවේ අලුත් හුස්මක් ගනිමිනි.

“කාටවත් අපේ හිතේ සාමය නැති කරල දාන්න දෙන්න හොඳ නෑ. හිත කෑලි කෑලි වලට කැඩිල බිඳිල ගියත් ඒ හැම කෑල්ලකම සාමය සැනසීම පරිස්සං කර ගන්න ඕන අංජලී”

“මිස් අද හරි වෙනස්”

සන්තුෂී රියෙහි යතුර අතට ගනිමින් නැගී සිටියේ හදිසියේ ඇති වූ සිතිවිල්ලකට නතුව ය. හිතේ ඇති ව තිබෙන කලබලය තුනී වී යන තුරු අධිවේගී මාර්ගයෙහි රිය පදවා ගෙන යන්නට ඇය ට ඕනා විය. එය හිත සන්සුන් කොට ඒකාග්‍රතාව වර්ධනය කරනා භාවනාවක් සේ බව ඇය අත්දැක තිබේ.

රූපලාවන්‍යාගාරය ඉදිරියේ ඇගේ ඇක්වා රිය පාරට ගැනීම අවහිර වන සේ නවතා තිබූ මෝටර් රථය වෙතට සන්තුෂී නලා හැඬවූවා ය. නමුත් එහි රියදුරු සිටියේ ඒ නලා හඬ නෑසෙන සෙයින් ස්ටියරින් වීල් එක මත හිස හොවා ගෙන ය. සන්තුෂී කිහිප වරක් එක දිගට නලාව හැඬවූවා ය. රියදුරු හිස නගා බැලුවේ හෝ නැත. උදේ සිට හිතේ එක්කාසු වෙමින් පැවති නොසන්සුන් බව එක් වී රළක් සේ ඇය යට කර ගත්දී හදිසි තීරණයක් ගනිමින් ඕ රියෙන් බැස ගත්තා ය. ඉදිරියේ නවතා ඇති රිය වෙත වන අඩි කිහිපයක දුර ඇය පිය තැබුවේ පාලනයක් නැති වේගයකිනි.

“ඒයි මිස්ටර්…හෙලෝ…එක්ස්කියුස් මී…මේ විදිහට පාර මැද්දෙ නිදියගෙන හරියනවද මනුස්සයො”

ඇය කෑ ගෑවේ රතු වී ගෙන ය. පිරිමින් හැම විට ම ඔල මොට්ටල විදිහට වැඩ කරන්නේ ඇයි කියනා ප්‍රශ්නයෙන් ඕ නො සන්සුන් ව සිටියා ය. රියදුරු ගේ ප්‍රතිචාරයක් නොවන තැන සන්තුෂී වේගයෙන් වීදුරුවට ගසන්නට පටන් ගත්තා ය. යන්තම් හිස එසවී රත් පැහැති දෑසක් ඇය වෙතට එල්ල විය. කටට පැමිණි දේවල් නො කියා පාලනය කර ගත් ඕ,

“අපිටත් මෙතන නිදියන්නද කියන්නෙ…”

යනුවෙන් සැර දමා ඇසුවා ය. තත්පර කිහිපයක් ඇදෙස බලා උන් නාඳුනන මිනිසා,

“ඉතින් නිදියන එකනෙ ඇත්තෙ. මට මොකද…”

යනුවෙන් ඉතා නො සැලකිලිමත් සෙයකින් කීවේ සන්තුෂී කෝපයෙන් අවුළුවා ලමිනි. 

“පිස්සුද ආ…එහෙනං යන්න ඕන සයිකෑට්‍රිස්ට් කෙනෙක්  ළඟට. වැරදි තැනට මේ ඇවිත් තියෙන්නෙ. මෙතන තියෙන්නෙ සැලෝන් එකක්”

සන්තුෂී හිස මඳක් ඔසවා ‘සැලෝන් සන්තු’ ලෙස ඉංග්‍රීසි අකුරෙන් ලියවුණු ආලෝක පුවරුව දෙස බැලුවා ය. එදෙස බලනා හැම වතාවක සේ ම ඇගේ හිත නිවී පහන් වී ගෙන ගියේ ය. ඒ නිවීමත් එක්ක සිනහවක් නැගී ආවේ නිරායාසයෙනි.

“ප්ලීස් පොඩ්ඩක් ඕක ඉස්සරහට අරං මට ඉඩ දෙන්න”

කියමින් ඇය යළි කඩිසර ලෙස විත් රියට නැග ගත්තා ය. නාඳුනන රියදුරු නොසතුටෙන් මෙන් මොනවාද මුමුණමින් රිය පෙරට ගත්තේ ය. ටික වෙලාවකදී සන්තුෂී ට ඔහු අමතකව ම ගියේ ය. ඇය තරමක විමතියකට පත් වූයේ දෙහෝරාවකට පමණ පසු නැවත එන විටත් එකී රිය එතැන එහෙම ම නැවතී තිබූ නිසා ය.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles