උණුවතුර  මල් තුහීන

රේනු මේ ෆයිල් එකේ ……හ් ………

එකපාරටම මගේ කටින් එහෙම කිය වෙච්ච හින්දා රේණුක මං දිහා බැලුවේ තමුසෙට මැනස් නැද්ද වගේ මූනකින් …..

අහ්… සොරි ….. මිස්ට පෙරේරා ඉන්නවා මං දැක්කේ නෑ…මං කිව්වේ හිනාවෙලා .

මං ඇත්තටම උන්නේ රේනුක වරද්දලා තිබුනු ෆයිල් එකේ විස්තර වල පැටලිලා.
රේනු  මෙදාපාරත් මොකක් හරි ගෙදර ප්‍රශ්නයක් දාගෙන වගේ …ඒකනෙ මේ ෆයිල් එකේ වැඩ සේරම වරද්දල තියෙන්නේ… මේක බොහොම සුපුරුදු දෙයක්. මම හැමදාම රේනුකගේ වැඩ අග ඉඳන් මුලට ම බලලයි ඩිපාර්ට්මන්ට් එකට අරින්නේ.. මට රේණුක බැනුම් අහනවා බලාගෙන ඉන්න බැහැ.

මිස්ට පෙරේරා ඉස්සරහ මං රේනුක සර්ට… රේනු කියලා කතාකලහම…. ඉතිං … ආයි මොනවා කතාකරන්න ද…..

එදා හවස රේණු මට හොඳටම දොස් කිව්වා.  මගේ මැනස් නැති කමයි පාලනයක් නැති කට ගැනයි කියලා හොඳටම දොස් කිව්වා.මට දුක හිතුනා තමයි .ඒ උනාට මට අඬන්න හිතුනෙ නෑ ..

ජිනා   ….ඔයා මීට වැඩිය පරිස්සම් වෙන්න ඕනේ…. ඒ මනුස්සයාට අපි දෙන්නා ගැන සැක හිතුණා නම් මොකද වෙන්නේ….. ඔයා තේරුම් ගන්න ප්ලීස් ජිනා …
මම කසාද බැඳපු මනුස්සයෙක්….
මට මගේ පවුල වටිනවා .එහෙම කියලා කියන්නේ මම …..මට ඔයාව
නො වටිනවා කියලා කියන්න නෙමෙයි. ප්ලීස් ඔයා මේ දේ තේරුම් ගන්න ඕනේ …

මම රේණු දිහා බලලා හිනා උනා. 
ඇත්ත මේ සම්බන්ධය පටන් ගත්තෙ මම. මම රේණුකට  ඇත්තටම ආදරේ  කලා. මගේ හිතේ රේණු ගැන තිබුණේ පුදුමාකාර සෙනෙහසක්. ඒ ඇයි කියන්න මම දැනගෙන හිටියෙ නෑ .සම්මත වුණත් අසම්මත උනත් මිනිස්සු ආදරය කරන තැන නවතින්නේ තමන්ට ආදරය දැනෙන තැනදී .සමහර දේවල් වලට මෙන්න මේකයි කියලා නිශ්චිතවම හේතුවක් පෙන්නන්න බැහැනේ …අව්ව තියෙන වෙලාවට වහින්නෙ ….කතා කරකර ඉන්න මිනිස්සු මැරිල වැටෙන්නේ …….

රේණු ගේ ජීවිතේ මුල් කාලෙදි එයාගේ ගෙදර ගොඩක් ප්‍රශ්න තිබුනා. එයා ඒවා ඇවිල්ලා මාත් එක්ක කිව්වා. කියල හිත හදාගන්න උත්සාහ කළා .ඒ හැම වෙලාවකම මම එයාට හිත හදාගන්න උදව් කළා .එයා මගේ කතාව අහල හිත හදාගෙන එයාගේ පවුල් ජීවිතේ ආපහු ලස්සනට ගෙනියන්න පුළුවන් තැනකට අරගෙන ආවා. කතා කරලා හිස් වෙච්ච මගේ හිතේ සම්පූර්ණ ඉඩම අරගෙන රේණු පැලපදියම් වුණා . මට ඊට පස්සේ රේණු අමතක කරන්න බැරි වුණා. සම්පූර්ණයෙන්ම වැරැද්ද මගේ .ඒත් ඒ වැරැද්ද මට හදාගන්න බැරි වුණා .මම කවදාවත් රේණු ට වත්සලා ව දාලා එන්න කියලා කිව්වේ නෑ .වත්සලාගෙයි රේණුගෙයි  ජීවිතයට ආශිර්වාද කරන කෙනෙක් මං තරම් තවත් ඉන්නවද …ඒත් රේණු කියන්නේ මගේ මුළු ජීවිතේම ….සමහර දවස් වලට රේණු අපේ ගෙදරින් රෑ කෑම ගත්තේ. ගෙදර හිටියේ මම විතරයි. ඒක පුංචි ප්ලැට් එකක් ..එහෙම දවස්  වලට රේණු ගෙදරට කිව්වේ එයා යාලුවොත් එක්ක පාටි එකට යනවා  කියලයි .රේණු ආසම ෆරයිඩ් රයිස් කන්න.. මට ඒක රසට හදන්නත් පුළුවන්.
එදා එයා කන ගමන් මට කිව්වේ
ජිනා…. ඔයා දන්නවද මම ඉන්නේ නිවසක ……දැන් මම මේ ඉන්නේ ඉන්නෙ ගෙදරක…… නිවසකයි  ගෙදරකයි තියෙන වෙනස ජිනාට තේරෙනවද … කියලයි.
මම සාලෙට දාලා තිබුණේ පුංචි සුදු පාට නියොන් එළි හතරක් …ඒ එලි හතරෙන්  රේනුගේ  ප්‍රතාපවත් මුණ දිලිසෙනවා මම කම්මුලට අතක් තියාගෙන බලාගෙන හිටියේ ඇත්තටම ආදරෙන්…

ජිනා…. වත්සලා ළඟ මට දැනෙන්නේ නැති උණුහුමත් ඇයි මට ඔයාගෙන් දැනෙන්නෙ …..වත්සලා මට ආදරෙයි. මම ඔයාට ආදරෙයි ……ඒ උනාට මොකක්ද එතන තියෙන බැඳීම…. මොකක්ද ඒ බැඳීමට කියන නම ……
මම රේණු දිහා බලලා හිනා උනා වුනා.
ඒ බැඳීමට කියන නම තමයි කසාදය …..
මේ බැඳීමට කියන නම තමයි අනියම් සම්බන්ධ ය…..
එහෙම කියලා මම හයියෙන් හිනාවුණා….

හිනා වෙන්න එපා ජිනා  අනියම් සම්බන්ධයක් මිනිස්සු ඇති කරගන්නේ තනිකරම ජරා හිතකින් ….මෙතන තියෙන්නේ එහෙම දෙයක් ද ….වත්සලා  මගේ ගෑනි උනාට මට වත්සලා  එක්ක ජීවිතේ බෙදා ගන්න බෑ …මං එයාට අඩුවක් කරන්නේ නැහැ …හැබැයි මං ඔයාට වරදක් කරනවා. මට ඒ වරදෙන් මිදිලා ඔයාව අත හරින්න බෑ …
ඇයි  ඇයි ජිනා වත්සිට  මාව තේරුම් ගන්න බැරි …..

දැන් කියන්න බලන්න මහත්තයෝ….. ඔයා එයාව තේරුම් අරගෙනද  ඉන්නේ … නෑනේ…… අඩුම තරමේ ඔයා ඔයාව වත් තේරුම් අරගෙන නෑනේ …එහෙම තේරුම් ගත්ත නං ඔයා වත්සලා ව කසාද බඳින්න කලින් නේ තේරුම් ගන්නේ ඔයාට හරි යන ගෑනු කෙනා එයා නෙමෙයි කියලා ..

ඉතින් ඔයා මට කියන්නේ වත්සලා අතහැරලා ඔයා ගාවට එන්න කියලාද …….

අනේ නෑ රේණු …කවදාවත් මම ඔයාගෙන් එහෙම ඉල්ලන්නෙ නෑ..ඔයා වත්සලාට ආදරේ නිසයි එයාව කසාද බැන්දේ …..මම ඔයාට  ආදරෙයි කියන්නෙ ඔයා ආදරේ කරන හැම දේකටම මමත් ආදරේ කරන්න ඕනේ කියන කියමනයි.ඒක එහෙම නොවුණොත් එතන ආදරයක් නැහැ නේ……

ඔයා මොනාද කියන්නේ ජිනා මට තේරෙන්නෑ ..

ඉතින් බලන්න ,ඔයා කියනවා මං ළඟට එන්නේ මම ඔයාව තේරුම් ගන්නවා කියලා ඔයාට තේරෙන හින්දලු .
ඒ උනාට ඔයාට මම කියන දේ තේරෙන්නෙ නෑනෙ …රේණු අහන්න …  මම ඔයාට ආදරෙයි .ඔයා වත්සලාට ආදරේ හින්දා මම වත්සලා ටත් ආදරෙයි. ඔයා ආදරේ කරන හැම දේකටම මම ආදරෙයි. ඔයාව වත්සලාගෙන් ගලවගෙන මගේ ලඟට ගෙන්න ගත්තහම ඔයා ඉන්නේ මානසික පීඩනයකින්. මම කැමති නෑ ඒකට .
මං ආස ඔයා සන්තෝසෙන් ඉන්නවා දකින්න ..එතනයි මගේ ආදරේ තියෙන්නෙ …….

ඒ කියන්නේ ඔයාට මාව අයිති කරගන්න ඕන නැද්ද ජිනා…

අපි අයිති කරගන්න හදන හැමදේම අපෙන් ඈත් වෙලා යනවා. දැන් අඩුම තරමේ බලන්න ඔයා ඔය දාගෙන ඉන්න ඔරලෝසුව  කාගේද …

මගේ..

හරි තව අවුරුද්දකින් ඔයාගේ ඔරලෝසු ට මොකද වෙන්නේ …..

ඒක පරණ වෙනවා.. මට හිතුනොත් මම වෙන එකක් ගන්නවා .

ඉතිං ඔරලෝසුව  ඔයාගේ නම් ඇයි එක පරණ වෙන්නේ …..ඔයාට ඒක නවත්තගන්න පුළුවන් නේ……

රේණු මගේ දිහා බලලා ඔලොක්කුවට වගේ හිනාවුණා ..

හරි වෙන මොකුත් නෑ …….. රේණු මට කියන්න ඔයා කාගේද……

රේනු ටිකක් වෙලා මන් දිහා බලලා
මම නම් මගේ …..කිව්වා.

රේණු …ඔයාට ඔයා වයසට යන එක නවත්තන්න පුලුවන්ද… ඔයාට ඔයා කිලුටු වෙන එක නවත්තන්න පුලුවන්ද….ඔයා ඔයාගේ නම් ඔයාට ඒ දේවල් නවත්තන්න පුළුවන් වෙන්න
එපා යෑ…..

පුංචි කුනු හරපයක්  කියාගෙන රේණු පුටුවෙන් නැගිට්ටේ මගේ දිහා තරහින් බලල .
තමුසෙගෙ මොලේ  අවුල් වෙලා තියෙන්නෙ …. තමුසෙට මාව ලබාගන්න බැහැයි කියලා තේරුනහම දැන් එනවා බණ කියන්න ….

මම රේණු දිහා බලාගෙන හිටියේ හිනාවෙවී..
මට ඔයාව අයිති කරගන්න ඕනෙ නැහැ. ඔයා මාව දාලා ගියත් මම ඔයාට ආදරය කරන එක ඔයාට නවත්තන්න බැහැ.
මං ඔයාගෙන් හුස්මක තරම් වත් දෙයක් බලාපොරොත්තු වෙන්නේ නැහැ .
ඒ උනාට මම ඔයාට ආදරේ කරනවා. ඔයාට ඒක නවත්වන්න බැහැ ….

තමුසෙට බාගෙට පිස්සු … තමුසෙට හරි යන මිනිහෙක් මේ ලෝකෙ නැත්තෙ ඒකයි ….අනුන්ගේ මිනිස්සුන්ට ආදරය කරන්නේ  නැතුව  දැන්වත් තමුසේ තමුසෙට හරි යන මිනිහෙක් හොයාගන්න වා..
එහෙම කියපු රේණු වාහනයේ යතුර අරගෙන ආපහු මන් දිහා බලන්නෙවත් නැතුව දොර ඇරගෙන එළියට යන්න ගියා.සමහරවිට රේණු බලාපොරොත්තු වෙන්න ඇත්තේ වත්සලා ගෙන් මිදිලා මං ලඟට එන්න …වත්සලා ගාවට යන්න එපා ….වගේ සාම්ප්‍රදායික දෙබස් කියන ගෑනියෙක් වෙන්න ඇති .එයාට මම කියන දේ තේරුම් යන්න නැත්තෙත් ඒකයි .මනුස්සයෙකුට ආදරයක් ඇති වෙන්න පුළුවන් එක පාරයි .ඊට පස්සෙත් ඕනතරම් හැඟීම් ඇතිවෙන්න පුළුවන්. හැබැයි ඒ හැඟීම් ඇතුලේ ඇත්ත ආදරය කියන එක නැහැ .අවාසනාවකට හෝ වාසනාවකට රේණු කියන මනුස්සයා ගැන විතරයි මගේ හිතේ ආදරේ කියන එක ඇති උනේ .හොඳට හෝ නරකට මට රේණු ගේ වැළඳ ගැනීමේ දී විතරයි… මට රේනුගේ සිපගැනීමේ දී විතරයි මාව උනුහුම්  වෙනවා කියලා තේරුණේ .

ඊළඟ දවසේ උදේ ඔෆිස් එකේදි මට රේනුව  හම්බුනා .රේනු මං දිහා බැලුවේ හරිම අමාරුවෙන්… ඒක මට තේරුණා .
ඊයෙ එයා කතා කරපු විදිහ වැරදියි කියලා එයාට හිතෙන්න ඇති. එයාට  මට සමා වෙන්න කියලා කියන්න තරම් හයියක් තිබුනෙ නෑ .තමන් වැරැද්දක් කළා නං ඒකට සමාව ඉල්ලන්න කොයි තරම් හිතේ ශක්තියක් තියෙන්න ඕන ද. හිතේ ශක්තියක් නැති මිනිස්සුන්ට තමයි සමාව ඉල්ලන්න බැරි .තමන්  කුඩුපට්ටම් වෙලා යන්න වචනවලින්  දමල ගහපු මනුස්සයෙකුට ආපහු සැරයක් ආදරය කරන්න පුළුවන් නම් එතන තමයි ඇත්තම ආදරේ තියෙන්නේ .

එදා දවසම රේණු මගේ මූන.. ඇස් මගඇරියා. .මම දවල් එයා ළඟට ගිහිල්ලා කිව්වා …

ඒ… මහත්තයෝ …බිම බලාගෙන හිටියට කමක් නෑ.. අද වත්සලාගෙ උපන්දිනය. අමතක උනාද ..නැත්නම් උදේ එනකොට විෂ් කරල ද ආවේ … කියලා ඇහුවා .

රේණු මගේ  මූණ දිහා බැලුවේ හරියට නිකම් පොල් හොරකම් කරපු හොරෙක් අහු උනහම බලන විදිහට …

රේණු ඔය විදිහට මං දිහා බලන්න එපා… ඔයාට ඒක අමතක උනා කියන්න මම දන්නවා .මට ඕනේ ඔයාලා දෙන්නා සන්තෝෂෙන් තියන්න .
ප්ලීස් මට රිද්දන්න කියලා හිතාගෙන වත්සලාගෙ උපන්දිනය අමතක කරන්න එපා .හවසට ගෙදර යනකොට මල් පොකුරකුයි ප්‍රසන්ට් එහෙකුයි අරගෙන යන්න ……මම හිනාවෙලා රේණු ට කිව්වා .සමහරවිට එයා ඒක කරන්න ඇති .
මං දැක්කා වත්සලා ලස්සනට හිනාවෙලා thank you my loving hubby කියලා එයාගෙ මූනුපොතේ ලස්සන මල් පොකුරකුයි  මුද්ද කුයි එක්ක දාපු ෆොටෝ එකක් ..ඒකට කමෙන්ට් කරන්න මට හරිම ආස හිතුනා. ඒත් මම කවුද කියලා දන්නේ නැතුව ඇති නේ…

ඊට පහුවෙනිදා උදේ රේණු හිටියේ ලස්සනට හිනාවෙලා. සමහරක් විට  ගෙදර පරිසරය ඊයෙ බොහොම සාමකාමී සතුටුදායක එකක් වෙන්න ඇති .

ජිනා  ඔයාට තැන්කියු ඒක මතක් කලාට……
එහෙම කියලා රේණු කිව්වේ එයාගේ ටයි එක දිහා බලන ගමන්. සමාව ගන්න ශක්තියක් නැති පිරිමි හිතේ ස්තුතියි කරන්න ශක්තියක් තිබුණා නේ ඒක ලොකු දෙයක් කියලා මට හිතුණා .

අපෝ මහා මෝඩයෙක් ….ඕක කියන්න බැරිද මගේ ඇස් දෙක දිහා බලලා…. එතකොට නේ මට ගොඩක් සන්තෝස හිතෙන්නේ …
මම එහෙම කියල හිනා උනා.

ඇස් දෙක දිහා විතරක් බලලා කිවුවහම ඇද්ද නෝනා …
කියලා රේණු ඇහුවේ  මට ලං වෙලා කුටු  කුටුවෙන්  වගේ …

පුන්චි ආදර බැල්මකින් මම
උනුව වැගිරෙමි ඉටි පහන වී….
නිවි නිවී නොව දැල්විලා ඉමි
නිවී යන තුරු ජීවිතේ …..

ඉස්සර මගේ පොතක ලියවිච්ච පරණ කවි පදයක් මතක් උනා .මම ඒ කවි පදය රේණු ට එවෙලෙ කිව්වා .

කවුද හලෝ දැන් ඉටිපන්දම් ගහන්නේ දාගන්නකෝ ලයිට් එකක් …
එහෙම කියපු රේණු මගේ කන් පෙත්ත හිමිට මිරිකලා එයාගෙ කැබින් එකට ගියා.
මමයි රේනුයි ඒ විදිහට ආශ්‍රය කරන්න අරං  දැන් අවුරුදු පහකටත් වැඩියි .රේණු මට කිව්වේ …
තමුසේ නම් නියම හාකබොන්ඩ් එකක් කියලයි …
මම එතකොට එයාට කිව්වේ ඔයා ආදරේ ප්‍රකාශ කරන විදිය රලු  වැඩියි කියලයි …

සමහර දවස් වලට රේනු එයා ආසම බීම වෙච්ච  ලෙමන් ජින් එකත් අරගෙන එන්නේ අපේ ගෙදරට. ලෙමන් ජින් එකෙන් එන සුවඳයි රේණු ගේ සුවඳ විලවුන් එකෙන් එන  සුවඳයි දෙකම එකට එකතු උනහම දැනෙන  සුවඳට මම හැමදාමත් ආස කළා .

තමුසේ නම් මහ පුදුම ගෑනියෙක් …..අනිත් ගෑනු කැමති නෑ තමන්ගේ මිනිහා බොනවට…..
ඒකට තමුසෙ ලෙමන් ජින් එක ගේනවා පේනකොට බිත්තර ඔම්ලට් එක දාලත් ඉවරයි …….

මම හිනා උනා…… ඇයි රේණු ඔයා ලෙමන් ජින් එක අරගෙන ගෙදර යන්නේ නැත්තෙ ……

වත්සලා මට බනිනව නේ ….කනක් ඇහිලා නිදහසේ මේක බොන්න පුළුවන් ද එතැන…….

ඉතිං එහෙනම් ඔයාට ඕක රෙස්ටුරන්ට් එකකට ගෙනිච්ච්නම් බොන්න තිබුනනෙ…….
මං කිව්වා .

දැන් එහෙනම් මම මේක අරගෙන ආපහු යන්න ද …..රේනු ඇහුවෙ තරහෙන්…..

මේ අහන්න රේණු …..ඔයා අරක්කු බොනවට  මම උල්පන්දම් දෙනව නෙමෙයි ……සාම්ප්‍රදායිකව බැලුවහම නම් ගෑනියෙක් අකමැති වෙනවා ඇති …ඒත් ඔයා ගෙදර නොයන්නේ ඔයාට ජින් එකෙන් සැනසෙන්න ගෙදර හරියන්නේ නැති  හින්දා …..ඒ ජින් එක ඔයාට  බොන්න ඕනේ සැනසීමක් ඇති තැනක හින්දා …ඒකනේ ඔයා ජින් එක අරගෙන මෙහාට එන්නේ …….. ඉතින් මමත් ඒකට විරුද්ධව කතා කරන්න ගියොත් ඔයාට මෙතනිනුත් සැනසීමක් හම්බ වෙන්නේ නෑනේ ….මං ආස ඔයාට වදයක් වෙන්න නෙමෙයි මම ආස ඔයාට සැනසීමක් වෙන්න ඔයා ආස දේට මමත් ආසයි …..

ඒ කියන්නේ ඔයාට මම බීල මැරුනත් කමක් නෑ …..

ඔයා මැරෙනවට මම කැමතියි කියලා කියන්නේ නැහැ …ඒ උනාට ඔයාගේ සතුට තියෙන්නේ බීලා මැරෙන තැන නං ඒක තමයි මගෙත්  සතුට …….

බෝතල් පහක් ගැහුවත් තමුසෙගෙ බණ තේරුම් ගන්න බෑ… රේනු  කිව්වා. …..

රේනු හරිම උනුහුම් විදිහට බැල්කනියේදි මාව තුරුල් කරං උන්නා . ඒ උනුහුම තමයි ලෝකේ තියෙන හොදම සීතකබාය.

අපි දෙන්නා ගැන කවුරුහරි වත්සලාට කියලා තිබුණා. එතනින් තමයි ඒ හැම වේදනාවක්ම පටන් ගත්තේ .මම දන්නවා කොයිතරම් රේණු ට මාව ඕනේ වුනත්, රේණුට වත්සලා  අත ඇරලා එන්න බැරි බව . වත්සලා  තදින්ම කිව්වා රේණු ට වෙන බ්‍රාන්ච් එකකට  මාරුවීමක් හදා ගන්න කියලා …. එයාට ඒකට එකගවෙන්න කියලා මං බලකලා. එතකොට එයා මාත් එක්ක තර්ක කලා එයාගේ සතුට තියෙන්නේ එතන නෙමෙයි කියලා .
එහෙමනම් ඔයා …කෙලින් තීරණයක් අරගෙන ඔයාගේ සතුට තියෙන තැනට එන්න …..
මම දැනගෙන හිටිය රේණු ට කවදාවත් ඒ වගේ තීරණයක් ගන්න බැරි බව …

අනේ ජිනා.. මට.. මට ..සමාව දෙන්න කියලා මං ඔයාගෙන් ඉල්ලන්නෙ  නැහැ. මං දන්නවා ඔයා මට වැඩිය ගොඩක් ඉහලින් හිතන කෙනෙක් කියලා.ඔයාගේ හිතුවිලි ඉස්සරහ .. මම පොඩි ළමයෙක් . මම ඔයාගේ ආදරේ ලඟ කූබියෙක් වගේ…. මට සමාවෙන්න ජිනා….මට මේ තීරණය ගන්න වෙනවා. මේ මේ ප්‍රශ්නෙට මට වෙන විසඳුමක් හිතාගන්න බැහැ.  එකක් මතක තියාගන්න ජිනා… වෙන බ්‍රාන්ච් එකක් නෙමෙයි මම ලෝකෙ කොහේ කෙළවරට ගියත්   මං ආපහු ඔයාව හොයාගෙන එනවා .මට ඔයාගේ ආදරය මහමෙරක් වගේ…
එදා එහෙම කියලා රේණු මගේ අත් දෙක අල්ලගෙන ඔෆිස් එකේ කැබින් එකේ දි ඇඬුවා ..
රේණු අඬන්න එපා… මමයි අඬන්න ඕනේ …මේ බලන්න මිනිසුන්ට පය ගහන්න බැරි කඳු මුදුන්වල  තමයි ලස්සන මල් පිපුනේ…
මිනිස්සුන්ට කිමිදෙන්න බැරි මුහුදු පතුලේ තමයි ලස්සන මාළු ඉන්නේ …
අතින් අල්ලන්න බැරි.., හදවතින් අයින් කරන්න බැරි ,නොපෙනෙන බැඳීමට තමයි ආදරය කියන්නේ .. ප්‍රශ්නේ ප්‍රශ්නයක්ව තියෙනකම් හරිම ලස්සනයි. ඒකට උත්තර හොයන්න ගියාම සමහර වෙලාවට ප්‍රශ්නෙට වඩා උත්තරයට හිත රිදෙනවා …ඒ හින්දා අපි දෙන්නගේ ප්‍රශ්නෙට උත්තර හොයන්න යන්න එපා. රේණු …ඒ උත්තරවලට ගොඩාක් හිත රිදෙනවා. මේ ප්‍රශ්නය ප්‍රශ්නයක් විදිහටම ඉතුරු කරන්න ඒක හැමදාම රසවත් ..
මම එහෙම කිව්වහම රේණු මගේ මූන දිහා බලාගෙන හිටියා .මං එයාගෙ ඇස් දෙකෙන් මගේ මුළු ලෝකයම දැක්කා …ඒ ඇස් දෙකේ කෙලවරේ වත්සලා බංකුවක් උඩ   වාඩි වෙලා මගේ දිහා බලාගෙන ඉන්නවා මම දැක්කා ……

ඔබේ කඳුලට හිනාවක් දී
ඔබේ ගමනට වාරුවක් වී
අඳුර මැද  තාරුකාවක් වී
ඉන්න පතනෙමි පතිනි වී…….

සෙවන දුන් ඔබ මගෙම වෙන්නට
දොහොත් මුදුනත තබන්නේ….
නිවි නිවී නොව දැල්විලා ඉමි
නිවී යන තුරු ජීවිතේ …..

මම එහෙම කොලයක ලියලා තිබුනා.. 

More Stories

Don't Miss


Latest Articles