මල් තුහින – 20

උත්පලාට අවශ්‍ය වූයේ ඇය කියන සෑම දෙයක් අනුමත කරන රසික ප්‍රජාවකි. ඇගේ අදහසට ප්‍රතිවිරුද්ධ අදහස් දක්වන්නන් ව මර්දනය කිරීම සඳහා ඇය ඇයට වඩාත් සමීප රසික පිරිසක් එකතු කර ගෘප් චැට් එකක් පවා සකසා තිබිණ. ලෝකයට වඩාත් ආදරය බෙදන්නියක බව පෙන්නුවාට ඇයට අනන්‍ය වූ ඇතැම් දේවල් ද නොතිබුණා නොවේ.

“කවුද මේ ගෑනි?”

මලිතිගේ ප්‍රතිචාරය ස්ක්‍රීන් ෂොට් එකක් බවට පත් වී උත්පලාගේ ගෘප් චැට් එක වෙත පැමිණියේ එසේ ය. කොහොමටත් උත්පලාට මේ මුහුණේ හැඩහුරුකම මතකයේ තිබේ. ඇය මලිති ගැන වඩාත් හොඳින් පරීක්ෂා කළා ය.මලිති සහ තුහින එකම නගරයක ජීවත් වූ පුද්ගලයන් ය.ඔවුන් දෙදෙනා සමවයස් ය. ඇතැම් විට පාසල් කාලයේ මිතුරන් විය හැකිය. සියල්ලටම වඩා උත්පලාගේ ඇස ගැටුණේ මලිතිගේ සේවා ස්ථානය ය. ඇය සේවය කරන්නේ කොතැනදැයි දැන ගත් පසු මහා සැකයකින් උත්පලා දැවෙන්නට විය.

“ඒත් මේ මිනිහට වෙන සම්බන්ධකම් නම් තිබ්බෙ නෑ. කොහොමටත් ඒ addict වෙලා හිටපු විදියට ඩ්‍රග්ස් ඇරෙන්න ගෑනු ගැන තුහිනට අදහසක්වත් තියෙන්න විදිහක් නෑ. “

දේවල් බෙදාගන්නට මිතුරියක නොසිටීම හේතුවෙන් උත්පලා තමන්ටම කියා ගත්තා ය. ජීවිතයේ සන්තෝෂය කෙසේ වුවත් වේදනාව බෙදාගන්නට හොඳ යහළුවෙකු සිටීම අත්‍යවශ්‍ය දෙයක් බව ඇය දනී. නමුත් ඇයට එවැනි කිසිවෙකුත් නැත.

“මගේ හොඳම යාලුවා මගෙ හස්බන්ඩ්”

උත්පලා එසේ කියන්නට  පුරුදු වී සිටියාය.

ලෝකයේ ජීවත්වන සන්තෝෂ දායකම ගැහැනිය බවට රඟපාන්නට පුරුදු වී සිටි උත්පලාට තමන් විඳින කටුක වේදනා කා සමඟවත් බෙදා ගැනීමට උවමනා වූයේ නැත. දුක කියන්නේ කුමක්දැයි නොහඳුනන ගැහැනියක ලෙස ඇය සමාජ මාධ්‍ය වල හැසිරුණා ය. දුක බෙදාගන්න  කෙනෙකු වූවා නම් එය මෙසේ නරක ලෙස පුපුරා නො යන්නට ද ඉඩ තිබිණි.

දුක බෙදාගන්නට එක් හොඳ යහළුවෙකු නොසිටීම හන්දා ඇය ලෝකයටම තමන්ගේ වේදනාව කියා හමාර ය.

“මේ කමෙන්ට් එක දාන්නේ අපේ ගෙදර ළඟම තියෙන කම්පැනි එකක එක ගෑනු ළමයෙක්.මම දැකලා තියෙනවා ඔය කම්පැනි එකේ ගෑනු ළමයි අපේ ගේ දිහාට ඇහැ දාගෙන ඉන්නව. මම තුහින ගැන ලියලා තිබුණු දේවල් නිසා තුහිනගෙයි මගෙයි ආදරේ ගැන ඉරිසියාවක් ඇති වෙන එක සාමාන්‍යයි තමා. එහෙමයි කියලා මම එයාට බැනපු වෙලාවේ එයාගේ හොඳ කියලා ඔයාට එයාව දිනාගන්න පුළුවන් වෙයි කියලා නම් මම හිතන්නේ නෑ.”

උත්පලා ඒ සටහන ලිව්වේ මලිතිගේ කමෙන්ටුව උපුටා දක්වමිනි. බුද්ධ භාෂිතයටත් ජේසුතුමාගේ වදන් වලටත් වඩා උත්පලා කියන දේ පිළිගන්නට කැමැති ඇගේ අනුගාමිකයින් සිනා මුහුණු වගුරවන්නට පටන් ගෙන තිබිණි. මලිතිට තුහින ගැන ඇතිවී ඇති තෘෂ්ණාව ගැන නොයෙකුත් අසංවර කතා ගලා යමින් තිබිණ.

“තියෙන ප්‍රශ්න මදිවට කරගන්න මල විකාර නේද මේ? තමන්ට තියෙන ප්‍රශ්න මදිවට අනුන්ගෙ  ප්‍රශ්න වලට මැදිහත් වෙන්න ගිහින් ෆේස්බුක් එකේ එකේ ඉන්න මෝඩ ගෑනුන්ගේ අපහාස විඳින්න වෙලා. ඔය අක්කිලා වටේ වට වෙලා ඉන්න ගෑණුන්ට ඇත්ත පැහැදිලි කරනවාට වඩා ලේසි මී හරකුන්ට අවකලන කියලා දෙනවා.”

රුවිනි ඉමහත් කෝපයෙන් කෑගසන්නට පටන් ගත්තා ය. මලිති තුහින වෙනුවෙන් පෙනී සිටියේ සාධාරණය හන්දාම නොවේ. ඇය ඔහුට උමතුවෙන් මෙන් ප්‍රේම කරන හන්දා ය. නමුත් දැන් ප්‍රේමය  ආකර්ශනයක් බවට  උත්පලාගේ අනුගාමිකයන් හරවාගෙන තිබේ.

“අඩෝ මේ! අපේ එකෙකුට එහෙම නින්දා විඳින්න දෙන්න බෑනෙ අපි මෙතන ගිහිල්ලා මේ ගෑණුන්ට හොඳවයින් අමතමු. කොහොමටත් තුහිනයත් අපේ එකා.”

පසන්ගේ හඬ කාර්යාලයේ තැනකින් මතු වෙද්දී සියල්ලන්ම එය ස්ථිර කරන්නට විය.

“අනික මම ඔය වගේ ත්‍රෙඩ් වල දැකලා තියෙන දෙයක් තමයි  කවුරුම හරි ලියලා තියෙන අදහසට විරුද්ධ අදහසක් කිව්වට පස්සේ දිගටම වැටෙන්නේ ඒ විරුද්ධ අදහසට සපෝට් කරන කමෙන්ට්ස්. සාක්ෂි නැතුව තුහින ට අපහාස කරන එක වගේම එයා වෙනුවෙන් කතා කරපු මලීට තුහින ජෝඩු කරන එක වුණත් අපිට සයිබර් ක්‍රයිම් කම්ප්ලේන් කරන්න පුළුවන් කියලා අපි උත්පලා ගෑණිට කියමු.”

පාරමී පවා එතරමට කෝප ගෙන තිබිණ. කාර්යාලයේ සියළු වැඩ නැවතිණ. වැරදි සිංහලෙන් අකුරු ලියන ගැහැනු වඩාත් හොඳින් මෙල්ල කළ හැක්කේ ඉංග්‍රීසි භාෂාවට බව කවුරුන් ඔහු පැවසූ නිසා සමහරු අදහස් ලියන්නට වූයේ ඉංග්‍රීසි භාෂාවෙනි. තමන්ට වන්දනා කරන අනුගාමිකයින් මිස තමන්ගේ අදහස් විවේචනය කරන්නන් ඉදිරිපත් නොවීම නිසා උත්පලාට මේ තත්ත්වය හුරු නැත.ඇය දිගින් දිගටම  මලිති මර්ධනය කළ හැකි ක්‍රමයක් සොයන්නට වූවා ය.

විශ්වාස කරන්නටත් නොහැකි දේ සිදු  වූයේ ඉන් පසුවය”

(මල් තුහින කතාවේ හැම ගැටයක්ම ලිහී ඇති නිසා කතාව සැහැල්ලුවෙන් කියවන ඔබට ස්තූතියි. ඔබ ප්‍රතිචාර දක්වන තරමට කතාව ලියන්නට උත්තේජනයක් ලැබෙන හන්දා කමෙන්ට් එකක් තබා යන්නේ නම් ස්තූතිවන්ත වෙනවා.)

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles