සඳ ගංතෙර – 69

“දුලාජ්ට විසිටර් කෙනෙක්”

ඒ පණිවිඩයට දුලාජ් අමුත්තන්ගේ ලොබියට පැමිණියේ ය. පැමිණ සිටින්නේ කවුදැයි ඔහුට වූයේ සැකයකි. හිත මිතුරන් ඔහු බලන්නට එන්නේ නිවසට ය. හිත මිතුරු කතාබහේ සිට මධුසාද දක්වාම නිවසේ පවත්වන්නට තාරුකාගෙන් බාධාවක් නැත.

“අපේ තාත්තා යාලුවෝ එක්ක ගෙදර බොන එක අත් ඇරියේ මං නිසා. පව්.”

ඇය එහෙම පැවසූ දවසක් ඔහුට මතක ය. දරුවෙක් වෙනුවෙන් කාලය කැප කරන්නට දැන් මූල්‍යමය අතින් සහ මානසික අතින් ශක්තිමත් නොවේදැයි දුලාජ් අසද්දී තාරුකාට අසන්නට තිබුණේ එක් ප්‍රශ්නයකි.

“මොනම හේතුවකටවත් අපි ඩිවෝස් වෙන එකක් නෑ නේද?”

ඔහු ඇය තුරුලට ගත්තේම ළමා වියේ බිඳීම් ජීවිතය මොනතරමට අපහසු කරනවාදැයි සිතමිනි.

“මැණික, මං දන් නෑ මට ලෙඩක් හැදෙයිද ඇක්සිඩන්ට් වෙයිද වගේ දේවල් ගැන. ඒ ඇරෙන්න මං ඔයාව කවදාවත් දාලා යන්නේ නෑ.”

දුලාජ් ඒ පොරොන්දුව ඕනෑවටත් වඩා රකියි. අහිමිවීමක වේදනාව තාරුකා හඳුනන්නී ය. ඇය ඒ අහිමි වීමේ වේදනාව නැවත වාරයක් විඳින්නට බියක් නැත. නමුත් දරුවෙකුට අම්මා හෝ තාත්තා අහිමිවීම ගැන ඇය බිය වේ. ඒ මරණීය වේදනාවකි.

දුලාජ්ට පහත මාලයට එන අතර ඒ කතාන්දර සිහිව ආවේ ය. අමුත්තා දුටු ඔහු තිගැස්සිණ! ඒ බලාපොරොත්තු වූ අමුත්තෙකු නොවේ.

“අංකල්!”

කමල් විජේවර්ධන ඔහු පිළි ගත්තේ සිනාවකිනි. සරසවි අධ්‍යාපනය ලබන කාලයේ දුලාජ්ට හුරු වූ සිරිතක් තිබේ. ඒ මිතුරන්ගේ දෙමාපියන්ට ද අම්මා සහ තාත්තා ලෙස ඇමතීම ය. නමුත් මෙතැන එහෙම කරන්නට අසීරු ය. නෑකමට මේ බිරිඳගේ සුළු පියා ය. ඔහුට තාරුකා ද කියන්නේ අංකල් ය. විජිත මල්වැන්න මහතාගේ ආදරය උතුරන කාරුණික නෙත් සිහි වෙද්දී විජේවර්ධනට තාත්තා යැයි ඇමතීමේ අපහසුවක් දුලාජ්ට දැනේ.

“මට දුලාජ්වම මුණ ගැහෙන්න ඕනෑ වුණා.”

කමල් කතා කරන්නේ සෘජු හඬකිනි. දුලාජ් අසා හුන්නේ ය.

“මට ඇත්තටම ඕනෑ වුණා චාන්දනී කිසිම දවසක තාරුකාට සඳරැස්ට ළං නොවී ඉන්න. ඒත් තාරුකා අම්මා කෙනෙක් වුණාම මටම හිතුණා තාරුකාට තෑගි එවන්න.”

ඔහු මල් පොකුරත් දියණියට එවූ රන් භාණ්ඩත් ගැන සත්‍ය පැවසී ය.

“තාරුකාට ඕනෑ වුණානම් එතැනින් එහා අම්මට ළං වෙන්න ඒ ගැන පුතා එක්ක කතා කරන්නයි මම හිටියේ “

නමුත් තාරුකා සහස්ව පවා ප්‍රතික්ෂේප කළා ය. විහස්ට ළං වීම දෛවය කළ සැලැස්මකි.

“අම්මා කෙනෙක් ලෙඩ ඇඳේ ඉන්නකොට දුවෙක්ගෙ හිත කොහොමත් උණු වෙනවා. එහෙමයි කියලා සඳරැස්ටත් ඒක පොදු වෙන්නේ නෑ.”

කමල් කියන්නේ හැඟීම්බරව ය. දුලාජ් හිස වනා එය පිළි ගත්තේ ය. සඳරැස් වෙනස් කරන්නට අසීරු ය.

“දුලාජ්. මං අද ආවේ දුලාජ් එක්ක දෙයක් බෙදා ගන්න. ඒක චන්දිගෙ අතින් දුලාජ්ලට කියවුණොත් ඔයාලා ඒක අමතක කරයි. ඒත් සඳරැස් ඒක දැන ගත්තොත් එයා තවත් අපිට වෛර බඳිනවා.”

කමල් එසේ කියමින් දුලාජ් ගෙන්වූ කිරි කෝපි කෝප්පයෙන් උගුරක් පානය කළේ ය. ඔහු තවම තරුණ ය. කමල් අම්මාට වඩා අවුරුදු දහයකටත් වඩා බාල වග තාරුකා හෙළි කළ හැටි දුලාජ්ට මතක ය. මේ වයසේ උදවියට ඔහු කියන්නේ අයියා ය.

“දුලාජ්, සඳරැස් මල්වැන්න මහත්තයගෙ නෙවෙයි. මගේ.”

දුලාජ් සසලව බලා හුන්නේ ය. මල්වැන්න මහතා සහ සඳරැස් අතර වූ ආදරය ඔහු සෑම මොහොතකම සංවේගයට පත් කළ එකකි. තාරුකාගේ විවාහය දා සඳරැස් මල්වැන්න මහතා තුරුළු කරගෙන යුවල පිටත් වන අන්දම බලා සිටි අන්දම දුලාජ්ට සිහි විය. තාත්තා අසනීප වූ විට සඳරැස් සිටියේ උමතුවෙනි. හෘද සැත්කම අසාර්ථක වූ බව වෛද්‍යවරු දැන්වූ මොහොතේ රෝහල දෙදරන්නට වැළපුණේ ඉලන්දාරියෙකි.  තාත්තාගේ මළගම අවසන් වනතුරු සඳරැස්ට වතුර උගුරක් හෝ පොවාගන්නට දුලාජ්ට මහත් වෙහෙසක් දරන්නට සිදු විය. හත් දොහේ දානයෙන් ද අනතුරුව කබීර් සිංට ද වඩා බේබදුකමට වැටුණු කොලුවා දුලාජ්ගෙන් එක් වතාවක් කම්මුල් පහරක් ද කෑවේ ය.

ඔහු එපමණකට තාත්තාට ආදරය කළේ ය. අදට ද ඔහු මහ ගෙදර යන්නේ නැත. තාත්තා ගැන ගීතයක් ඇසුණ ද දෑස් රතු කරගන්නා කොලුවෙකු ගීතය නෑසෙන මට්ටමේ දුරකට අතුරුදහන් වේ.

“අංකල්, සඳරැස් තාරුට ආදරෙයි. අපිටත් ආදරෙයි. මං දන්න බව ඇඟෙව්වේ නැතුවට එයාගේ ගෑනු ළමයා ගැනත් මං දන්නවා.”

එසේ පැවසූ දුලාජ් දිගු සුසුමක් හෙළී ය.

“ඒත් මල්ලිට තාත්තා තරම් වීරයෙක් නෑ. එයා ඉගෙන ගත්තේ කැම්පස් එකේ පවා හොඳ රිසල්ට්ස් ගන්න ට්‍රයි කරේ, හොඳ කම්පැනි වල ජොබ්ස්වලට ඇප්ලයි කරේ ඔක්කොම කරේ තාත්තා වෙනුවෙන්. කොලුකමට කරන විකාර වලට තාත්තා එකපාරක් කෑගැහුවම මිනිහා දවසක් අඬනවා කියලා තාරු අදටත් කියනවා.”

කමල් නිහඬවම අසා හුන්නේ ය.

“සඳරැස්ගේ ජීවිතේ ඇත්තම ආදරේ මල්වැන්න මහත්තයා තමයි පුතා. සඳරැස් මැරෙනකම්ම එයාගේ ඇඟේ දුවන ලේ මල්වැන්න මහත්තයගෙ බව එයා හිතන්න ඕන. එයාට කමල්ගෙ පුතෙක් වෙන්න උවමනාවක් නෑ. එයා ඒකට කැමති වෙන්නෙත් නෑ.”

කමල් ඉන්පසුව පැවසී ය. ඔහු සඳරැස් දරුවෙකු බවට පිලි නොගන්නේ දේපල බෙදීම් සම්බන්ධ කාරණාවකට හෝ කිසිම තරහකින් නොවේ. අතිශය මානුෂිය හේතුවක් නිසා බව දුලාජ්ට වැටහිණ.

“අංකල් හිතන්නේ අපි මොනවා කරන්න ඕන කියලද?”

ඔහු ඇසුවේ ඒ නිසා ය.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles