රිදුණු තටු පිරිමදිමි – 06

ඒ වෙලාවේ දුහුවිලි නගරය විඩාපත් ව තිබිණි. වෙහෙසත් එක්ක කැදලි කරා ඇදෙන මිනිසුන් ගේ මුහුණු වල වූයේ ඉක්මන් නිවීමක අවශ්‍යතාවයකි. සන්තුෂී කෙරේ ද එසේ ය. වෙන මොනවා නැතත් කල්ප වෙනුවෙන් බතක් ව්‍යාංජනයක් උයා තැබිය යුතු යයි හිත ඇයට කරදර කරයි. පෙර දා කොත්තු පිඟාන යන්තම් අත පත ගා ඔහු මේසයෙන් නැගිටිත්දී ඇගේ කුස දැවිල්ල ගත්තේ ය. වචන වලින් මොනවා කීවත් ඔහු කුස ගින්නේ තබා ඇය ට කුස පුරවා ගත නො හැකි ය. ඔහු කොයි තරම් අසාධාරණ ලෙස ඇය ට සැලකී ද තවමත් සිය නීත්‍යාකූල සැමියා වන ඔහුගේ කුස රැයක් පුරා හිස් කොට තැබිය නොහැක. කෑව ද පිටතින් කෑම ගෙන විත් නොකා සිටිය ද සිය යුතුකම හිතට වදයක් නොවනු වස් බතක් මාළුවක් පිස තබන්නට ඇය තදින් හිතට ගත්තේ එදා කොත්තු සිදුවීමෙන් පස්සේ ය. නන්නාඳුනන කාර් කාරයා සිය ගමන තවත් පමා කරන්නට වීම එක වර  සන්තුෂී තුළ ඇති කළේ නො රිස්සුමක් වී ද ඔහු ට සවන් නොදී සිටිය නො හැකි කුහුලක් ද ඇය වෙත විය.

“මිස්ලගෙ සැලෝන් එකට එනවද සදෙව්මා කියල ගර්ල් කෙනෙක්…”

සන්තුෂී ගේ හිත තුළ උපන් කේන්තිය මෙතෙකැයි කිව නො හැකි තරම් ය. සැලෝන් එකට එන කාන්තාවන් ගේ නම් ලකුණු කරන්නේ නෑ කියා කියන්නට සිත් වී ද ඇය තමන් ව පාලනය කර ගත්තා ය.

“අනේ ඉතිං එහෙම කස්ටමර්ස්ලගෙ නම් නං මතක තියා ගන්නෙ නෑ. හුඟක්ම පුරුදු ටික දෙනෙක්ගෙ ඇර ගොඩක් අයගෙ නම් ගම් දන්නෙම නෑ. ඇයි දන්නෑ නේද…”

“නෑ…කමන්නෑ එහෙනං”

කියූ තරුණයා එසැනෙන් හැරී රිය වෙත ගියේ ය. සන්තුෂී රිය හරවා ගැනීමටත් පෙර ම ඔහු ගේ රිය වේගයෙන් නික්ම යනු පෙනිණ.

“හරියට නිකං මං වැරැද්දක් කළා වගේනෙ ගස්සගෙන ගියේ”

ඇය නෝක්කාඩු මූණක් හදා ගෙන තමන්ට ම මුමුණා ගත්තා ය.

රිය පදවා ගෙන යන ගමන් නොයෙකුත් දේවල් සන්තුෂී ට සිතිණි.  අංජලී හා ලයංගි කියනවා සේ ම ඔහු වෙතින් අශ්ලීල පෙනුමක් දිස් නොවේ. නමුත් බාහිර පෙනුම මත මිනිසුන් ගැන නිගමන වලට එළඹිය නො හැකි බව ඉතා තදින් ඇය විශ්වාස කරන්නී ය. ගෑනු ළමයෙක් එන තුරු රූපලාවන්‍යාගාරයක් ඉදිරියේ කල් මරන්නට තරම් ඔහු උමතුවෙන් ද? තරුණයාගේ ඇඳුම් පැළඳුම් කිරීමත් හැසිරීමත් සම්මත නරක මිනිසෙකු ගේ මෙන් නොවේ. ඔහු තැන්පත් පාට ය. නමුත් බාහිරයෙන් තැන්පත් මිනිසුන් අභ්‍යන්තර වශයෙන් චණ්ඩ සයුරක් සේ විය හැකි බව සන්තුෂී කොතැනක හෝ කියවා තිබේ. මොහුත් එවන් අයෙකු විය නො හැකි ද? 

“කවුද දන්නෙ මෙතන රැකල ඉන්නෙ කෙල්ලෙක්ට පිහි යෙන් ඇනල ම ර ල දාන්නද කියල…අනේ දෙයියනේ සැලෝන් එක ඉස්සරහ මි ණී මැ රු ම ක් වෙයිද තප්ති…”

ගෙදර ගොස් උයන ගමන් ද ඒ සිතිවිල්ල හිතේ හොල්මන් කරන්නට ගත්තෙන් සන්තුෂී තප්ති ට කතා කළා ය. කාලයක් තිස්සේ ජීවිතයේ ඕනෑ ම දෙයක් කතා කළ හැකි බෝධියක් වගේ මිතුරියක ලෙස ඇය සන්තුෂී ගේ ජීවිතය පසෙකින් සිටී. බෝධියට ද අපමණ මිනිසුන් ගණනක් දින පතා සිය දුක් ගැනවිලි පවසති. ඔවුන් ට හැකි උපරිමයෙන් සහනය සලසනවා සේ ම තමන්ට ඇසුණු කිසිවක් වෙනකෙකුගේ සවන් මත පතිත නොකිරීමට තරම් බෝධිය විශ්වාසවන්ත ය. කෙනෙකු ගේ ජීවිතයෙහි එවන් විශ්වාසවන්ත මිතුරෙකු සිටිනවා කියන්නේ ම වාසනාවකි.

“ය…කෝ…මේකි ඒ මිනිහව මි ණී ම රු වෙ කුත් කළානෙ ඒ ටිකට”

එසේ පැවසීමෙන් අනතුරුව තප්ති හඬ නගා සිනහ වෙන්නට ගත්තා ය. දුරකතනය සවනත් උරහිසත් අතරේ රඳවා ගෙන කතා කරන ගමන් ම සන්තුෂී හාල් හෝදමින් සිටියා ය.

“කියන්න බෑනෙ…අනේ තප්ති..දෙයියනේ කියල සැලෝන් එක ගොඩ යාගෙන ආව විතරයි. මේ මිනිහ එතන එහෙම අපරාදයක් කළොත් එහෙම පොලීසියෙන් අපේ සීසීටීවී චෙක් කරන්න ඕන කියයි. මාත් ඔය මනුස්සය එක්ක දවස් දෙක තුනක් ම කතා කළානෙ අප්ප…මටත් සාක්කි දෙන්න වෙයිද…අනේ දෙයියනේ…මට බයයි…”

“පිස්සුදෝයි…මූද හත් ගව්වක් තියා ගෙන අමුඩ ගහන්නෙ හදනවද…”

“ඔයානං කියයි. මන්නෙ එතන ඉන්නෙ…එහෙම දේකට නෙවේනං මේ මනුස්සය නොකා නොබී දැන් දවස් තුන හතරක් තිස්සෙ මෙතන ලගා ගහං ඉන්නෙ මොකටද…මේ සදෙව්මා කියන කෙල්ලව දන්නවනං මං කෝල් එකක් හරි දීල කියනව මේ විස්තරේ. මේ යකා මාත් එක්ක මළ පැනල මාවත් එලොව යවන්න බැරි නෑ අප්ප”

“පොඩි සැකයක්නං ඇති වෙනව තමයි. ඒ කවුරු වුණත්…ඒ ගර්ල්ව හම්බ වෙන්න සැලෝන් එක ළඟටම වෙලා ඉන්නෙ ඇයි…”

“ඒකනෙ…මටනං දැනෙන්නෙම මෙතන ලොකු අපරාදයක් වෙන්නයි යන්නෙ කියලයි. අපි පොලීසියට කෝල් එකක් දෙමු නේද..”

ඒ කතා බහ අවසාන වූයේ අවිනිශ්චිත ලෙස ය. නමුත් ගැස්මක් ලෙස මැදියම් රැයෙහිත් ඔහු ඇය තිගස්සවා අවදි කරවන්නට සමත් විය.

“අනේ දෙයියනේ මට බයයි. මට මහ අමුත්තක් දැනෙනව වගේ”

සන්තුෂී කොට්ටය තුරුලු කොට ගෙන තනිව මිමිණුවා ය.

පසු දා ඔහු එතැන නොමැති වීම ඇයට සැනසිල්ලක් විය. නමුත් කෙල්ලන් දෙදෙනා ඒ ගැන කණගාටු වෙමින් ඉන් ද විනෝදයක් ලදහ.

“බල බලා ඉන්න මේ පැත්ත පලාතකට කියල තිබුණ එකම වස්තුව. මොකද මේ ලේඩීස් සැලෝන් එකට ලේඩි කෙනෙක්ගෙ හස්බන් නෙනෙක්වත් ඇවිත් එක පැයක් වාඩි වෙලා ඉන්නවද අපිට නිකමට බලන්න කියල. මිස් බැනල ඒ අහිංසක කොල්ලව එලෝලද කොහෙද…”

අංජලී ගේ කතාවට සන්තුෂී ට සිනහ නැගිණි. නමුත් ඇය සිනහවෙන් ම විහිළුවකට තරම් නොවන කතාවක් ද කීවා ය.

“එයා මෙතන තැග්ගැහෙන එක ඔහොමම නතර කරපු එක හොඳයි. නැත්තං මගෙන් බැණුං අහගෙන තමයි ඕක නතර කරන්න වෙන්නෙ”

“ඒ වුණාට මිස්…සීසීටීවී එකට පින් සිද්ද වෙන්න හරි බලන්න හිටිය එකම කොල්ලනෙ…කෙල්ල බූට් එක තියලම කියමු…මොකෝ මුහුදෙ ඉන්නෙ එක මාළුවද…නේද මිස්…මොකද අපි කළුයි කියලද…”

“කෙල්ල නෙවේ ඒ වයිෆ් වුණොත්…නේද මිස්…”

“කමන්නෑ ඉතිං…සලකා බලන්න බැරි කමක් නෑ පෙර වැරදි අමතක කරල”

නාඳුනන රියදුරු ඒ තරම්  සිනහ ගෙන එන හේතුවක් වූවායි සිතන්නේ වුව කොහොමද කියා සන්තුෂී ට සිතා ගත හැකි වූයේ නැත. නමුත් එය එසේ වී තිබිණ. ඔහු ගැන අංජලී කරනා විහිළු විහිළු ම වූවත් ඔවුන් ට ඒ මොහොත සතුටෙන් ගත කරන්නට ඒ විහිළු ලොකු පිටිවහලක් වූයේ ය.

එදා සන්තුෂී ගේ වෘත්තීය ජීවිතයේ විශාල සන්ධිස්ථානයක් සලකුණු කළා වූ දිනක් විය. ඒ, ඇගේ විශේෂ පාරිභෝගිකයෙකු උදා කර දුන් අවස්ථාවක් නිසා ය. ඇය පුවත්පත් ආයතනයක සේවය කරන ඡායාරූප ශිල්පියෙකු ගේ බිරිය වූ අතර, සන්තුෂී ගේ රූපලාවන්‍ය කටයුතු ගැන විශාල පැහැදීමකට ලක් ව සිටියා ය. ඒ නිසා ම පුවත් පතක් සඳහා ඔහු කළා වූ කවරයේ ඡායාරූපයක නිරූපිකාවගේ හැඩගැන්වීම් කටයුතු සන්තුෂී ට ලැබිණි. ඇය මේ අවස්ථාව දැඩි ගෞරවයකින් හා වටිනාකමකින් යුතු ව පිළි ගෙන ඉතා උනන්දුවෙන් හැඩ ගැන්වීම්  සිදු කළා ය. ඡායාරූප ශිල්පියා කෙතරම් ඒ ගැන තෘප්තිමත් වූයේ ද යත් එකී ආයතනයෙන් නිකුත් කරනා කාන්තා පුවත් පතෙහි රූපලාවන්‍ය විෂයට අදාල ලිපියක් සැපයීමේ වගකීම, කරතෘ ගේ අවසරය ඇතිව ඇය ට ලබා දුන්නේ ය.

සන්තුෂී ට පාටියක් නොදී එදා කෙල්ලන් ගෙන් බේරිය හැකි වූයේ නැත. ඒ සතුට සමරනු වස් තප්ති ද වැඩ නිම වී යන ගමන් රූපලාවන්‍යාගාරය ට ආවා ය.

“දේවල් සිද්ද වෙන්න ටිකක් ප්‍රමාද වුණා තමයි. ඒත් වෙන්න ඕන දේවල් සිද්ද වෙන්න පටන් අරගෙන වගේ”

ඇය සිය පාසල් කාලයේ පටන් මිතුරිය වෙනුවෙන් අවංක සතුට පළ කළා ය.

“ඒ මොඩ්ල් කල්පගෙ අලුත් ප්‍රඩක්ශන් එකේ කැරැක්ටර් එකක් කරන කෙනෙක්. මාත් එක්ක විස්තර කිව්ව. මං ඇඟෙව්වෙවත් නෑ මං කල්පගෙ කව්ද කියන එක”

“කල්පගෙ නම ඉස්සරහට දාගන්නෙ නැතුව ඔයා ඔයාගෙම ගමනක් යන එක හොඳයි සන්තු. ඒක ඔයාගෙම මහන්සියයි උනන්දුවයි නිසා ආව ගමනක්. කාගෙවත් උදව් නැතුව. ඒ ආඩම්බරේ ඔයා තනියම අයිති කරගෙන තනියම විඳින්න. ඒකට ඔයාට අයිතියක් තියනව”

ඒ දින කිහිපය සන්තුෂී ගත කළේ ඒ ආඩම්බරයත් සතුටත් එක්ක ය. වදයක් වී සිටි නන්නාඳුනන කාර් කරු ඒ දින කිහිපයෙහි දැකිය නො හැකි වීම ඒ සතුට නිදහසේ විඳ ගන්නට ඇය ට හේතු හදා දුන්නේ ය.  දින කිහිපයකට පසු පුවත් පත වෙළෙඳ පොළට නිකුත් වී එහි කවරයේ ඡායාරූපයෙහි හැඩ ගැන්වීමේ ශිල්පිනිය ලෙස සන්තුෂී සිරිවර්ධන යන නම සනිටුහන් ව ද ඇතුළත රූපලාවන්‍ය පිටුවක උපදේශනය ලෙස ඒ නම සනිටුහන් ව ද තිබෙන තුරු ම ඇය ඒ සතුට තුළ නිමග්න ව සිටියා ය.

“ලැජ්ජ නැද්ද ආ..මොනාද මේ කරල තියන ලැජ්ජ නැති වැඩ…”

ඒ රාත්‍රියේ එකී කාන්තා පුවත් පත සිය බිරිය ඉදිරියේ දමා ගසමින් කල්ප බණ්ඩාරතිලක ගුගුළේ ය. සන්තුෂී වික්ෂිප්ත ව ඔහු දෙස බැලුවා ය.

“ලැජ්ජ නැති වැඩ…”

“ලැජ්ජ නැති තමයි. මේවට සම්බන්ද ගෑනුංව කවුද ගණං ගන්නෙ…ආ…”

එවර නම් සන්තුෂී ගේ මුහුණ ට ආවේ අවඥා සහගත සිනහවකි.

“මට වෙන කවුරුත් මාව ගණං ගන්න ඕන නෑ කල්ප. මේවට සම්බන්ද වෙන්නෙ නැතුව ගේ ඇතුළෙ බත් තම්බ තම්බ හිටිය අවුරුදු විස්සක් මගෙ ජීවිතේ තියෙනවනෙ. ඒත් ඔයා මාව ගණං ගත්තද…වෙන කිසි දෙයක් නැතත් මං ඔයාගෙ වයිෆ් කියලවත් ගණං ගත්තද…දැන් ඔයා කියනව මේවට සම්බන්ද ගෑනුංව කවුරුත් ගණං ගන්නෑ කියල. එ් දවස් වල ඔයා කිව්වෙ මං ගෙයි ගෙම්බියෙක් කියලනෙ. එළියෙ වැඩ කරන ගෑනු තමයි මේ ලෝකෙ ඉන්න වටිනාකමක් තියන ගෑනු කියලනෙ”

“තමුං කවුද..ආ…තමුං මගෙ වයිෆ්. මේ ෆීල්ඩ් එකේ මට තියෙන්නෙ කොහොම තැනක්ද කියල තමුන් නොදන්නව නෙවේනෙ”

සන්තුෂී සිනහවකට ඇද වෙන්නට ආ දෙතොල් තද කර ගත්තා ය. ඇගේ ඒ සෝපාහාසය දුටුවත් නොදුටුවා සේ හැසිරෙන්නට කල්ප ට සිදු විය.

“මගෙ ප්‍රඩක්ශන්ස් වල ඇක්ට් කරන කෙල්ලන්ට තමුන් මේක් අප් දානව. බලනව මොන තරං නින්දාවක්ද කියල. අදම ඔය විකාර නවත්තනව. අදම…”

“කවදාවත් මං ඔයාගෙ එළියෙන් බැබළුවෙ නෑනෙ කල්ප. ඒත් දැන් මං බබළනව. මගෙ එළියෙන්. ඔයාට බලන් ඉන්න වෙයි”

ඇය හති දමමින් සිටියා ය. ඉතා සන්සුන් ව කතා කළත් ඒ හැඟීම් අතිශය ආවේගශීලී වූයේ ය. පසු දා අවදි වන විට ද ඒ ආවේගය එසේ ම පැවති අතර සෙනසුරාදා වැඩ බහුල දිනයක් නිසාවෙන් ඇය වේලාසනින් ම රූපලාවන්‍යාගාරය වෙත ගියා ය. එතැන වූ ටික දවසක් නොදුටු මුත් පුරුදු රිය දුටු විට ඇගේ ආවේගය ඉහ වහා ගියෙන් සන්තුෂී ඉක්මන් අඩි තබා රිය වෙත සමීප වූවා ය.

“හොයන කෙනාව තාමත් හම්බ වුණෙ නැද්ද…”

ඇය ප්‍රශ්න කළේ ආවේගය මුළුමනින් නාඳුනන ඔහු මතින් යවමිනි.

“හම්බ වුණානං එන්නෙ නෑනෙ”

අංජන නීලවතුර අතිශය  නුරුස්නා සෙයියාවකින් ඉවත බලා ගත්තේ ය. 

“මේක මහ විකාරයක් වුණානෙ. නරකද ඔය කෙනාව වෙන තැනකදි බලාපොරොත්තු වුණානං. මං හිතන විදිහට ඔය මෙතනට එයි කියල බලං ඉන්නව ඇත්තෙ ගර්ල් ෆ්‍රෙන්ඩ් හරි වයිෆ් හරි වෙන්න ඇතිනෙ…”

“නෑ දුව”

ඔහු ගේ මුවෙන් ඒ වචන දෙක පිට වූයේ වෙඩි උණ්ඩ දෙකක් සේ ය. සන්තුෂී මොහොතකට ඒ වෙඩි ප්‍රහාරයට හසු ව හුස්ම හිර කර ගත්තා ය.

අනෙක් කොටස්

More Stories

Don't Miss



Latest Articles