සඳ ගංතෙර – අවසන් කොටස

චාන්දනී අසනීපයෙන් පසු ඇඳ විවේකය අත හැරියේ අද ය. හරියටම සති තුනක් ඉක්මවීමෙන් පසුව ය. ඇය මුළුතැන්ගෙයට ආවේ ද කාලයකිනි. ගෘහ සේවිකාවන්ට දවසේ උයමන් ගැන උපදෙස් පමණක් දෙමින් සිටි ඇය අද ඉතා කාර්යබහුල වී හිඳී. කන්මනීටත් ලීලාටත් ඇත්තේ කපන්නට කොටන්නට ය. භාජන සෝදන්නට ය. උයමන් චාන්දනීගේ ය.සති තුනකට ඉහත දිනයක දුලන්‍යා සහ සඳරැස් පැමිණි දිනයේ ඔවුන්ට උයා දෙන්නට නොහැකි වීම ගැන චාන්දනී සිටියේ දුකිනි. කමල් නගරයේ ඇති ඉහළම අවන්හලෙන් ආහාර ඇණවුම් කළ ද චාන්දනීගේ මව්වත්කම අවදිව තිබිණ. ඇය බලා සිටියේ දරුවන්ට උයා කන්නට දෙන්නට ය.

රාත්‍රී භෝජන සංග්‍රහයේ ආරාධනාව තාරුකා ආදරයෙන් පිළි ගත්‍තා ය. චාන්දනීට සැනසෙන්නට එය ප්‍රමාණවත් ය.

“අද රෑ අපි ඩිනර් එකක් දෙනවා. අයියටයි අක්කයි එයාලගෙ ෆැමිලි එකේ අයටයි. ලොකු පුතා ගෙදර ඉන්නවද?”

කමල් විජේවර්ධන උදෑසන සහස්ගෙන් සෘජුව විමසී ය. සහස් උරහිස් ගස්සා හිනැහිණ.

“එයාලට මොකද හදිසියේ නෑකම් පවත්වන්න හිතුණේ?”

ඔහු සිතන්නේ හැම කෙනෙකුම ඔහු මෙන් ආත්මාර්ථකාමී බව ය. මේ ජාන කාගේදැයි සිතන්නට කමල් නොවෙහෙසේ. විහස් කියන්නේ ඕනෑවටත් වඩා හොඳ කොලුවෙකි. ලෙයෙහි අයිතිය පිළි ගන්නට නොහැකි වූවාට සඳරැස් ද ඔහුට නොපරදී. හොඳ පුතුන් දෙදෙනෙකු ජීවිතයට සිතීම ප්‍රමාණවත් බව කමල් සිතා අවසන් ය.

“එයාලට නෑකම් පවත්තන්න හිතුණා නෙවෙයි. අම්මා අන්තිමට හිත හදා ගත්තා. උඹට ඒ මිනිස්සු දිරවන්නේ නෑ නම් උඹ ඒ මිනිස්සු එක්ක කතාබහ කරන්න මුණ ගැහෙන්න ඕනෑ නෑ.”

කමල් අවසාන තීන්දුව දුන්නේ ය. ඒ අවසාන තීන්දුව බව සහස් දනියි. ඔහුට ඕවායේ වගක් නොවේ.

සඳරැස්, දුලන්‍යා, තාරුකා සහ දුලාජ් චාන්දනී පිළි ගත්තේ උණුසුම් අන්දමිනි. තාරුකාගේ කුඩා දියණිය අම්මාට හැකිතාක් පුළුල් සිනාවක් නැඟුවේ ලෙය හඳුනා ගැනීම හන්දා වන්නට ඇතැයි තාරුකා සිතුවා ය.

“මැණිකගේ අම්මම්මා. යනවද එයා ගාවට?”

තාරුකා අසද්දී දියණිය කිසිම කෝල බවකින් තොරව අම්මම්මා අතට මාරු වූවා ය. අනතුරුව ඇගේ මුහුණ අත ගා බැලුවා ය.

“අපේ අම්මත් ගෙදර ගියානෙ. මල්ලිට එක්සෑම් ළඟ නිසා. මෙයා කොහොමටත් තාත්තම්මා නැති සෝකෙන් හිටියේ. දැන් ෂෝක්. “

දුලාජ් සතුට පළ කළේ අවංකව ය. චාන්දනීගේ ඇඟ මත ඉනිමං නගිමින් හිනැහෙන දැරියට කමල් සොෆ්ට් ටෝයි කිහිපයක් ගෙනැවිත් දුන්නේ ය. දැරිය ඒවා වෙත ගියේ අම්මම්මා අමතකම කර දමමිනි.

“සීයා තාත්තා මුළු කඩයක්ම උස්සන් එන්න හැදුවේ. මං කෑගහලා තමයි ඔච්චර ගාණකට අඩු කරගත්තේ.”

චාන්දනී කියන්නේ හිනැහෙමිනි. සඳරැස් ඒ හිනාව දෙස බලා සිටියේ ය.

“ඔයාට තියෙන්නේ මහා මනමාල හිනාවක්. ඒ හිනාවට කියන හරි නම හිනාව පිපෙනවා”

දෙතොල් පෙති ලෙහෙමින් මතු වෙන සඳරැස්ගේ සිනාව ගැන එහෙම කියන්නට දුලන්‍යා හුරුව උන්නා ය. ඇය සැබෑවටම වැඩිපුරම ආදරය කළේ ද ඔහුගේ හිනාවට ය. සඳරැස් අම්මාගේ සිනාව දෙස බලමින් ඒ වචන සිහි කළේ ය.

“මට තියෙන්නේ අම්මාගේ හිනාව.”

ඔහුට එසේ දැනෙයි. එය හඬන්නට කාරණාවක් ද හිනැහෙන්නට කාරණාවක් ද නොදන්නා නමුත් ඔහුට කුමක්දෝ හැඟීමක් දැනේ. ඒ නෙල්ලි රසක හැඟීමකි. සතුට දුක මෙන්ම අම්මාගේ අතැර යාම ගැන කෝපයකින් ද ඔහු දැවෙයි. මේ හැඟීම් ජීවිතය පුරා පවතින බව ද ඔහුට සහතික ය. ඉන් මිදීමක් නොවේ.

“අම්මා ගෙදර ගියානම් දූ වැඩ කරගන්නෙ කොහොමද?”

කමල්ට ගැටළුවක් මතු විණ. දැන් දියණිය මුළුතැන්ගෙය තුළ හෝ ඇස මානයේ තබා වැඩ කර ගන්නට හැකියාව තිබේ. ඇරත් ගෙදර කරන්නට මහ ලොකු වැඩ ද නොවේ. දුලාජ් හැකි සෑම මොහොතකම උපරිමයෙන් සහය වේ.අම්මා ඉන්නා කාලයේ හැකිතාක් අයිස් ගසන්නට වග බලා ගත්ත ද පොඩි ජෝඩුව ද දැන් උපරිම සහයෝගය ලබා දෙති. තාරුකා ඒ විස්තරය පැවසුවේ සැනසීමෙනි.

චාන්දනී අතීතයට ගියා ය. ඇය උදෑසන අවදි වෙද්දී විජිත උයමන් අරඹා තිබේ. ගෙවල් මිදුල් අතුගෑම්, රෙදි සෝදන යන්ත්‍ර නැති කාලයක රෙදි සේදීම්,කඩේ පොළේ යාම් ඔහුට අලුත් දෙයක් වූයේ නැත. දියණිය තාත්තා වාගේම සහකරුවෙකු සොයාගෙන තිබේ.

“අපේ කන්මනීගේ නංගි රස්සාවක් හොයනව කිව්වා නේද චන්දි? මං ඒ කෙල්ලව පුතාලගෙ උදව්වට එවන්නං. කන්මනීට දෙන ගාණම මට ඒ කෙල්ලටත් දෙන්න පුලුවං”

කමල් පැවසුවේ ය. ඔහු ක්ෂණික විසඳුම් සොයන්නෙකි. මුදල් වැය කර ගෘහ සේවිකාවක එවන්නට ඕනෑ නැති බව කියන්නට දුලාජ්ට නොසිතිණ. තාරුකා තාත්තාගේ වියෝව නිසා දැඩි ලෙස මානසිකව ඇද වැටුණු කෙල්ලකි. ඇයට ඇගේ අම්මාගේ දෙවැනි සැමියා පියෙකු වන්නේනම් ඒවාට අධි මාන්නයෙන් විරුද්ධ වීම තරම් නොවේ.

විහස් සමඟ සඳැල්ලට වී කෑමට පෙර කළ හැකි දේ කරමින් සිටි සහෝදරයන් තිදෙනා දකින්නට යළිත් කමල් පැමිණියේ ය.

“ලොකු එකත් ඉන්න තිබ්බා.”

විහස් කියන්නේ කල්පනාකාරීව ය.

“සමහර මිනිස්සු කිසිම දවසක වෙනස් කරන්න බෑ. කිසිම දවසක වෙනස් වෙන්නෙත් නෑ. අම්මා වගේ සංසාරයක් කල්පනා කරලා තමන් අතින් වැරදි වුණා කියලා තේරුම් ගන්න අයත් ඉන්නවා. අපි බලමු. මිනිස්සුන්ටනෙ වරදින්නෙ. මිනිස්සුම තමයි හැදෙන්නෙත්.”

එසේ කියූ කමල් අනතුරුව සඳරැස්ගේ කර වටා අතක් දමා ගත්තේ ය. ලෙයෙහි සුවඳ දැනෙයි. නමුත් තම මරණ මංචකයේදීවත් සඳරැස්ට ඇත්ත කියන්නට ඔහුගේ අදහසක් නැත. නෑකමට බාප්පා වීම සැනසීමකි. කොලුවාට එය සදා සැනසීමක් වන්නට ඉඩ තිබේ.

“අනික උඹේ ලොකු අයියා මේකා. උඹලා දෙන්නම අක්කයි දුලාජ් අයියයි කියන දේ අහගෙන ඉඳහල්ලා. අපිට උඹව කොහොමත් හදන්න බෑනේ”

සඳැල්ලෙන් එබී ගෙඋද්‍යානය දෙස බැලූ කමල්ගේ ඊළඟ ප්‍රශ්නය යොමු වූයේ දුලාජ්ගේ මෝටර් රථය ගැන ය. එය අඩු පහසුකම් සහිත රියකි. ප්‍රසිද්ධම වාහන අලෙවිකරුවෙකුගේ දියණියක එවැනි වාහනයක් පදින්නට ඕනෑ නැත.

“පුතා ෆ්‍රී වෙලාවක අපේ කාර් සේල් එකට එන්න. හොඳ වාහනයක් අරන් යන්න පුලුවන්නෙ.”

ඔහුට පිළිතුරු දුන්නේ සඳරැස්‍ ය. 

“අක්කා කැමති වෙන එකක් නෑ. ඒ තාත්තා අක්කට දුන්නු දෑවැද්ද. සල්ලි තියන කාලෙක පවා අක්කා වාහනේ මාරු කරන්න කැමති වුණේ නෑ.”

කමල් මඳ සිනාවක් හෙළී ය. ඔහු ජීවිතය ජය ගත්තේ අසීරුවෙනි. කෙටි මාර්ග ද හමු නොවුණා නොවේ. නමුත් මෙලෝ වැඩකට නැති රස්තියාදුකාරයා චාන්දනී හන්දා කෝටිපතියෙකු බවට පත් විය. නමුත් විජිත මල්වැන්නගේ අයිතීන් නැති කළ යුතු නොවේ.

“අපි ඒක අක්කට තියාගන්න දෙමු. පොඩි දරුවෙකුත් ගෙදර ඉන්න නිසා දුලාජ් පුතා ටිකක් හොඳ වාහනයක් බලලා අරන් යන්න. “

කමල් එහෙම කියන්නට තීරණය කළේ ය.

දියණියක රනින් සරසන්නට චාන්දනීට කිසිම දවසක හැකි වූයේ නැත. තාරුකා වැඩිවියට එළඹෙද්දී ඇය සහ කමල් ගොඩ නැඟෙමින් සිටි බව චාන්දනීට මතක ය.

“මට දූට මාලයක් එවන්න ඕන”

ඇය තමන්ගේ නැගණියට පැවසුවා ය.

“මාලේ අරන් උඹේ හොර මිනිහට නාස් ලණුවක් දාගනින්. මගෙන් කුණුහරප අහගන්න එපා අක්කෙ. කෙල්ල පැල්ලම පෙන්නලා තිබ්බෙත් අයියට”

නංගි දුරකථනය විසන්ධි කරේ එහෙම ය. ඒ මතකය හිත දරමින් ම ඇය තාරුකාගේ කරට පවුම් ගාණක රන් මාලයක් දැමුවා ය. පොඩිත්තියට ලැබුණේ ඇයට සරිලන වර්ගයේ ‍රන් මාලයකි.

“කවමදා හරි දූ හොයාගෙන දූට මේක දෙන්න මං හිටියේ. සඳරැස්ගේ ගෑනු ළමයට.”

අලුත්ම රන් ආභරණ පෙට්ටි වසා දැමූ චාන්දනී පිටතට ගත්තේ පරණ පැහැ පෙට්ටියකි. දුලන්‍යා පුදුමයෙන් බලා සිටියා ය. 

“සඳරැස්ගේ නෝනා වෙන දරුවාවත් මට කතා කරයි කියලා විශ්වාසයක් මට තියෙන්න ඇති. ඒකයි මං මේක පරිස්සම් කළේ”

එහෙම කියන අතර ඇය පැරණි එහෙත් සුන්දර රන් මාලය දුලන්‍යාගේ කරට දැමුවා ය. අක්කාත් දුලන්‍යාත් කොහේදැයි බලන්නට සඳරැස් කාමරයට එබුණේ ඒ මොහොතේ ය.

“මේ ඔයාලගේ තාත්තා පෝරුවෙදි මට දැම්මේ මාලේ. පුතාලගෙ තාත්තා වෙනුවෙන් මං ඕක පරිස්සං කරා. මටයි කමල්ටයි අමාරු කාලවලත් මං ඕක උකස් කරේ නෑ. දැන් ඉඳන් ඕක දුලන්‍යා පුතාගේ.”

දෑසට ඉනූ කඳුළු නොපෙනෙන්නට තාරුකා ඉවත බැලී ය. සඳරැස් ඇස් පිහිමින් යන්නට යන අන්දම ඇයට පෙනිණ. නමුත් චාන්දනීට ඉවසා ගන්නට අසීරු ය. විසි හය වසරක කඳුළු ඔහේ ගලා යන්නට හරිමින් ඇය ඉකි ගසමින්ම දුලන්‍යා වැළඳ ගත්තා ය.

මේ කවදා හෝ දවසක දුලන්‍යා මල්වැන්න මහත්මිය ය!

ඇය කමල් විජේවර්ධනගේ ලේලිය නොවේ. විජිත මල්වැන්නගේ එකම ලේලිය ය. 

විජිත සුර ලෝකයට වී ඉන්නා අතර තමන්ට සමාව දෙන්නට ඇතැයි චාන්දනීට සිතිණ. ඇය දුලන්‍යාවත් තාරුකාවත් වැළඳ ගත්තා ය.

ප්‍රේමය බිඳෙමින් ගොඩ නැගීම මිස අන් කිසිවක් නොවේ. බිඳෙමින් රිදෙමින් හෝ සමාව පිරිනැමීම සැනසීම ය. අතීතයට වෛර කරන කිසිවෙකුටත් ප්‍රේමය හඳුනා ගන්නට ඉඩ නොලැබේ.

සමාප්තයි!

(සඳ ගංතෙරෙහි ඇවිද ගිය ඔබේ දිගම අදහස් ලියා තබන්න. අලුත් කතාවකින් ඉක්මනින් හමු වෙමු.)

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles