සහකරු දිගින් දිගට ම ලිංගික එක්වීම් මග හරිනවානම් ඔබ නොසිතන හේතුවක් විය හැකියි!

සමහර අය ඉන්නවා ලිංගික සබඳතාවලින් තොරව සම්බන්ධතාවය පවත්වා ගෙන යන්න කැමති. දෙන්නම කතා වෙලා, ලිංගික සබඳතාවලින් තොර සම්බන්ධතාවයකට එකඟ වීමයි එතනදී සිදු වෙන්නේ. නමුත් ඔයාලා දෙන්නාගේ ලිංගික එකතුවීම් ඉතාම අඩු නම්, ඒකෙන් එක්කෙනෙක් හෝ දෙන්නාම පීඩාවට පත් වෙනවා නම්  විසඳුමක් හොයාගන්න ම වෙනවා. මොකද ඕනෑම සබඳතාවක අවසාන අපේක්ෂාව අපි කවුරුත් සතුටින් ඉන්න එක නිසා. අපි අද ඒ ගැන කතා කරමු.

මොකක්ද ඇත්තට ම මේ තත්ත්වය ?

ඔයාගෙ partner එක්ක කිසිම ලිංගික ක්‍රියාවක ඔයා යෙදෙන්නෙ නැති ද? Dead bedroom කියලා අපි සාමාන්‍ය ව්‍යවහාරයේදි හඳුන්වන්නේ ඔයාගෙ සහකරුවා සහ ඔයා කිසිම වෙලාවක ලිංගික ක්‍රියාකාරකමක් සිදු කරන්නේ නැති අවස්ථාවල. එහෙම නැත්නම්  ඉතාම කලාතුරකින් ලිංගික ක්‍රියාකාරකම්වල යෙදෙන අවස්ථාවල. මේක එක්තරා තත්ත්වයක් විදියට මිසක රෝගයක් විදියට වෛද්‍යවරු හඳුන්වන්නේ නෑ. ලිංගික සෞඛ්‍ය පිළිබඳ විශේෂඥවරු කියන්නේ dead bedroom කියන වචනේ එක්ක පවා අදාළ පාර්ශවයන්ට ලැජ්ජාවක් ඇති වෙන්න පුලුවන් නිසා ඒ වචනේ පාවිච්චි කරන්නවත් එපා කියලායි. 

ඇත්තට ම  නවීන ජීව විද්‍යාවට අනුව යුවලක් අතර සිද්ද වෙන්න ඕනෙ ලිංගික ක්‍රියාකාරකම් ගැන නිශ්චිත වාර ගණනක් හෝ කාලයක් නැහැ. ඒ කියන්නෙ දවසක එක පාරක් ලිංගික ව එකතු වෙන එක සාමාන්‍යයි, මාසයක් ලිංගික ව එකතු නොවෙන එක අසාමාන්‍යයි කියලා අපිට කියන්න බැහැ. නමුත් යුවලක එක පාට්නර් කෙනෙක්ට ලිංගික ක්‍රියාකාරකම් නිතර ඕනෙ වෙනවා නම්, අනිත් කෙනාට එහෙම ඕනෙ නැත්නම් ඒක ප්‍රශ්නයක් වෙන්න තියෙන ඉඩ වැඩී. අනිවාර්යයෙන් ඒකට විසඳුම් හොයාගන්න ඕනෙ. 

එහෙම වුණාම මොකද වෙන්නේ?

සම්බන්ධතාවයක් පවතින්න ලිංගික ක්‍රියාකාරකම් ඕනෙමයි කියලා  නැහැ. එහෙම සිදු වෙන්නේ දෙන්නාම එකඟ වීමෙන් නම් එහි කිසිම ප්‍රශ්නයක් නැහැ. නමුත් එක්කෙනෙක් ලිංගික ක්‍රියකාරකම්වලට ඇති ආශාව අඩු වුණාම අනිත් කෙනාට ඕනෙ නම් ඒක ඉතාම නරක විදියට ඔයාලගෙ සම්බන්ධතාවට බලපාන්න පුලුවන්. 

ඇත්තට ම මේ තත්ත්වයේ බරපතලකම තීරණය වෙන්නෙ ඔයාලා දෙන්නාට ලිංගික ක්‍රියාකාරකම් කරන්න ඕනෙ වෙන කාලය සහ ඔයාලා ඒ දිහා බලන කෝණය අනුව තමයි.

එයාට ඕනෙ වෙලා ඔයාට එපා වුණොත් එයා ඒකෙන් අනිවාර්යයෙන් වේදනාවට පත් වෙනවා. එයාව reject වෙලා කියලා හිතෙන්න ගන්නවා. තරහ එන්න වුණත් පුලුවන්. සතුටින් ඉන්න වෙලාවල් ඉතාම අඩු වෙලා තනියම ඉන්න උත්සාහ කරන්න පුලුවන්. ඇත්තට ම එයාට සෙක්ස් කරන්න බැරිව ඇති වෙන පීඩාවට වඩා පීඩාවක් වෙන්නෙ ඔයාට සෙක්ස් කරන්න නොහිතෙන්නේ එයාගෙ වරදක් නිසාද කියන සැකය එයාගෙ ඔලුවෙ කැරකෙන්න ගන්න නිසායි. 

මෙහෙම වෙන්න හේතු මොනවද? 

ඔයාලා දෙන්නා අතරේ සෙක්ස් සිදු නොවෙන්න බොහොමයක් හේතු බලපාන්න පුලුවන්. අපි නොහිතන ගොඩක් හේතු කාරණා මේ කාරණාව අස්සේ තියෙන්නෙ පුලුවන්.

  • ✔️ලිංගික ආශාව (Sexual desire) – ඔයාට කොච්චර ලිංගික ව හැසිරෙන්න ඕනෙද 

✔️ලිංගික උද්දීපනය(Arouse) සහ උත්තේජනයට(Stimulation) ශරීරය දක්වන භෞතික ප්‍රතිචාරය – ඔයාගේ ආශාවේ තරමට ම ශරීරය ක්‍රියාත්මක වෙනවා ද?

✔️ලිංගික එක්වීම්වලට ඇති අවස්ථා – ලිංගික ව එකතු වෙන්න ඔයාට තියෙන අවස්ථා මොනවද?

ලිංගික ආශාව සහ ලිංගික උද්දීපනය කියන කාරණා දෙක සම්බන්ධයි. නමුත් එකකට එකක් ගැළපෙන්නේ නැති වෙන්න පුලුවන්. මෙහෙම හිතන්න. ඔයාට සෙක්ස් කරන්න ඕනෙ. හැබැයි මොකක් හරි නිසා ඔයාව උත්තේජනය වෙන්නේ නෑ. 

ඒ වගේ ම ලිංගික ව එකතු වෙන්නට ඔයාට කාලය, දැනුම, අවකාශය නැති නම් හෝ අඩු නම් ඔයාට මේ ප්‍රශ්නය එන්න පුලුවන්. 

✔️මානසික ආතතිය

ඔයා මානසික ආතතියක ඉන්නවා නම් ඔයාට ලිංගික කටයුතු වලට තියෙන ආශාව අඩු වෙන්න පුලුවන්. ගොඩක් දෙනා මානසික ආතතිය ඉහළ කාලවලදී මේ තත්ත්වය අත් විඳිනවා. අධ්‍යනවලට අනුව ඔයාගෙ ආර්ථික ප්‍රශ්න වැඩී නම් ඔයා ඒකෙන් ආතතියට පත් වෙලා නම් ඔයාට ලිංගික ආශාවල් දැනෙන ප්‍රමාණය අඩුවෙන්න පුලුවන්. ගොඩක් ම පුරුෂ පාර්ශවයට මේ නිසා ලිංගික ආශාව අඩු වෙන එක වැඩී. 

✔️වෙහෙස

ගොඩක් අය පුරුදු වෙලා ඉන්නේ නිදාගන්න ඇඳට ගියාම සෙක්ස් කරන්නනෙ. ඉතින් ඔයාගෙ දවසේ වැඩ ටික කරලා ඉවර වෙලා ඇඳට ආවාම ඔයාට ඇඟේ පතේ මහන්සිය වැඩී නම් ඔයාට ඕනෙ වෙන්නෙ නිදාගන්න. ගෙදර ඉන්න වයිෆ් කෙනෙක් නම් ගෙදර වැඩ, බබාලගෙ වැඩ එක්ක මේ දේ සිදුවීම ඉතා ම වැඩී. නැත්නම් වැඩට යන පාට්නර් කෙනෙක් නම් ඒත් රැකියාවෙ වෙහෙස එක්ක ඇඳට ආව ගමන් වැටිල නිදාගන්න එක මිසක් සෙක්ස් කරන්න හිතෙන්නෙ නැති වෙන්න පුලුවන්.

✔️ජීවිතය පිළිබඳ තෘප්තිමත්බව

ඔයා ඉන්නෙ හරි ම අතෘප්තිමත් ජීවිතයක නම්, ඔයාට ලිංගික ආශාව ඇති වෙන්නේ අඩුවෙන් වෙන්න පුලුවන්. මේ අතෘප්තිමත්බව රැකියාව නිසා, සම්බන්ධතා නිසා, ඔයා ගැන ම අතෘප්තිමත් වීම නිසා වගේ ගොඩක් දේවල් මත ඇති වෙන්න පුලුවන්. ගෙදර ඉන්න වයිෆ් කෙනෙක්ට නම් බබාල බලල, ගෙදර වැඩත් කරල වැඩවලදි කිසිම සහයෝගයක් දැනෙන්නෙ නැති නම් එයාට මේ අතෘප්තිමත් බව දැනෙන්න පුලුවන් හැකියාව වැඩියි. ඔයා ගෙදරින් එළියට ගිහින් ජොබ් එක කරලා ආවාම ඔයාට පොඩි මානසික සහනයක්වත් ඔයාගෙ පාට්නර්ගෙන් ලැබෙන්නෙ නැත්නම් ඔයාටත් ඒක දැනෙන්න පුලුවන්.

✔️සංස්කෘතික ගැටලු

කාන්තාවක් ලිංගික ආශාවන් වැඩියෙන් පෙන්නුම් කරනකොට පිරිමි අය ගොඩක් වෙලාවට ඒක ගැන දකින්නෙ හොඳ ඇහැකින් නෙවෙයි. සමහර විටක පිරිමි කෙනාටත් මේ ගැටලුව එන්න පුලුවන්. ඒ වගේම සමලිංගික සම්බන්ධතා ඇතුලෙදි පවා මේ ගැටලුව නිරන්තරයෙන් ම ඇතිවෙන්න පුලුවන්. අපි එකිනෙකා ලිංගිකත්වය ගැන දකින කෝණය වෙනස් නිසා මේක සාමාන්‍ය දෙයක් වුණත් පාට්නර්ට මේ වගේ දේකින් ලැජ්ජාවක් ඇති වුණොත් එයාගෙ ලිංගික ආශාව අඩු වෙන්න පුලුවන්.

✔️සබඳතාවයේ ගැටලු

ලිංගික ක්‍රියාවලිය සබඳතාවයක් පවත්වාගෙන යාමේදී මූලික එකක් වෙනවා ද නොවෙනවාද කියන එක පෞද්ගලික තීරණයක්. නමුත් වෙනත් සබඳතාමය ගැටලු නිසා ලිංගික ක්‍රියාවලියට ඇති ආශාවන් අඩු වෙන්න හෝ නැති වෙන්න පුලුවන්. විශ්වාසවන්තභාවය, කතාබහ කිරීම අඩු වීම වැනි වෙනත් හේතු නිසා ඇතිවන අකමැත්ත මත ඔයා එයාගෙන් ලිංගික ව උද්දීපනය වෙන්නෙ නැති වෙන්න පුලුවන්. ඒමගින් එයා ඔයාව කොච්චර උත්තේජනය කළත්, එයාගෙ ඇඟේ ලිංගික ව කිසිම වෙනසක් ඇති නොවෙන්න පවා පුලුවන්. කොයියම්ම වෙලාවක ඔයාගෙ අතින් එයා මහත වැඩියි – කෙට්ටු වැඩියි වගේ දෙයක් වැරදිලා හරි කියවුණා නම් ඒ හේතුව නිසා එයාත් නොදැනීම ඔයාගැන එයාගෙ හිතේ විරෝධයක් එන්න පුලුවන්. ඒ වගේ ම පැරණි සබඳතාවල අඳුරු මතක නිසාත් කෙනෙක්ට ලිංගික් ආශාව අඩු වෙන්න හැකියාවක් තියෙනවා.

✔️ලිංගික තෘප්තිමත්බව

ඔයාලා දෙන්නාගෙ ලිංගික සම්බන්ධතාව තුළින් ඔයාලා දෙන්නම තෘප්තිමත් වෙනවා නම් ගොඩක් වෙලාවට ඔයාලට නිතර ලිංගික ක්‍රියාකාරකම් කරන්න ඕනෙ වෙනවා. තෘප්තිමත් බව අඩු නම්, සාපේක්ෂව ඔයාගෙ ලිංගික ආශාව අඩු වෙලා හෝ නැති ම වෙලා යන්න පුලුවන්. ලිංගික තෘප්තිමත්බව ඉතා ම සංකීර්ණ වගේ ම එකිනෙකාට ඉතා ම වෙනස් දෙයක්. ඉතින් සන්නිවේදනය අඩු නම්, ඔයා එයාගෙ ආශාවල් දන්නෙ නැත්නම්, එයා ඔයාගෙ ආශාවල් දන්නෙ නැත්නම් මේ ගැටලුව අනිවාර්යයෙන් ම එන්න පුලුවන් එකක්.

✔️මානසික ගැටලු

කෙනෙක් මානසික ගැටලුවක ඉන්නවා නම් එයාට ලිංගික ආශාව අඩු වෙන්න පුලුවන්. විශාදය, සාංකාව, ආත්ම අභිමානය බිඳ වැටීම, තම ශරීරය පිළිබඳ ඇති අපේක්ෂාභංගත්වය වගේ දේවල් එක්ක ගනුදෙනු කරනවා නම් ඔයාට ලිංගික ආශාව අඩු වීමේ අවස්ථාව වැඩී. 

✔️ශාරීරික ගැටලු

හෝමෝන් ප්‍රශ්න, ශාරීරික ආබාධ, ලිංගික ආබාධ, දියවැඩියාව වැනි රෝග නිසා ඔයාගෙ ලිංගික ආශාව අඩු වෙන්න පුලුවන්. බෙහෙත් නිසා ඇති වෙන අතුරු ආබාධයක් විදිහටත් ලිංගික ආශාව අඩු වෙන අවස්ථා අපිට හඳුනාගන්න පුලුවන්.

මේකෙන් ගැලවෙන්නේ කොහොමද?

සන්නිවේදනය සහ ප්‍රතිකාර ලබා ගැනීම තමයි මේ ප්‍රශ්නයෙන් පීඩා විඳින ඔයාට මේකෙන් ගැලවෙන්නට තියෙන එක ම මාර්ගය.

✔️කතා කරන්න හොඳ ම වෙලාව තෝරගන්න. 

ඔයාලා දෙන්නම නිදහසේ ඉන්න, වැඩ අඩු වෙලාවක් තෝරගන්න. අනිත් කෙනා මොකක් හරි ලොකු වැඩක ඉද්දි එහෙම නැත්නම් රණ්ඩුවක් මැද්දෙ මේ වගේ දෙයක් කතා කරන එක නම් පොඩ්ඩක්වත් සුදුසු නෑ. කතාව දිගට අරන් යන්න පුලුවන් වෙලාවක – සුදුසු වටපිටාවක මේ ගැන කතා කරන්න පටන් ගන්න.

✔️ආවේගශීලී වීමෙන් සහ විනිශ්චයන් ලබා දීමෙන් වළකින්න.

ඔයාගෙ හිතට ඇත්තට ම දැනෙන දේ කතා කරන්න. කේන්ති ගන්න හෝ විනිශ්චයන් ලබා දෙන්න එපා. හැකිතාක් සන්සුන් ව ප්‍රශ්නෙට උත්තරයක් හොයාගන්න ම කතා කරන්න.

✔️ඇහුම්කන් දෙන්න. 

එයාගෙ පැත්තෙනුත් අනිවාර්යයෙන් කතාවක් ඇති. ඉතාම සාවධාන ව ඒකට ඇහුම්කන් දෙන්න. විනිශ්චයන් නම් ලබා දෙන්න එපා. හොඳ යාලුවෙක් වගේ කියන්න තියෙන ඔක්කොම දේවල් අහගෙන ඉන්න.

✔️අවශ්‍යතාවය හඳුනා ගන්න.

ඔයාලට මේ සම්බන්ධතාවය ඇතුලේ සෙක්ස් කියන දේ ඕනෙද එපාද කියලා කතා කරන්න.

✔️සෙක්ස් ගැන ධනාත්මක දේවල් කතා කරන්න.

එයාට මේ ගැන තියෙන ප්‍රශ්න, ඔයාට තියෙන ප්‍රශ්න කතා කරලා, ඔයාලා දෙන්නට ම සෙක්ස් ඕනෙ නම් ඒක පවත්වාගෙන යන්න මොනවද කරන්න ඕනෙ කියලා කතා කරන්න. සෙක්ස් කරාම ඔයාලට ලැබෙන දේවල් සහ තෘප්තිමත් බව ගැන ෆෝකස් කරන්න. මට දැන් ඔයාව දැනෙන්නෙ නැහැ කියනවට වඩා ඇයි එහෙම වෙන්නෙ,මට ඔයා එක්ක ඉස්සර වගේ ළඟින් ඉන්න ඕනෙ කියලා එයාට කියන්න. 

✔️තනියම විසඳගන්න බැරි මට්ටමක නම් වෘත්තීය සහය ගන්න.

කායික අසනීපයක් නම් බෙහෙත් ගන්න. මානසික තත්ත්වයක් නම් මනෝ වෛද්‍යවරයා හමුවෙන්න.

මේ ලෝකේ හරි ම පුදුමයි. ගැටලු ඇති වෙන එක සාමාන්‍ය දෙයක්. නමුත් ඒවාට විසඳුම් හොයනවාද දුකේ ම ඉන්නවා ද කියන එක ඔයාගෙ තීරණයක්. සම්බන්ධතාවයක් ඇතුළෙදි දෙන්නා ම තෘප්තිමත් වෙන්න ඕනෙ. නිවැරදි සන්නිවේදනය කියන්නෙ හැම ප්‍රශ්නයකම විසඳුමට තියෙන යතුර. ඉතින් කතා කරලා බැරි නම් වෛද්‍ය සහය අරගෙන ඔයාලා දෙන්නගෙ ජීවිතේ ආයෙමත් තෘප්තිමත් එකක් කරන්න. 

Related Articles

Don't Miss


Latest Articles