මල්වර මල් සර – 12

දුල්නෙත් ගේ රතු වූ දෑසත්, අවුල් වූ හිස කේත්, මැලවී ගිය මුහුණත් දුටු අයානා ගේ හෘත් පේශි වල වෙනස් විදිහේ සංකෝචනයක් සිදු විය. දින දෙක තුනකින් ඔහු රැවුල කපා නැති බව, කටු තුඩු වන් ව වැවෙනා රැවුල් කොට නිහඬ ව මුමුණා කියමින් තිබිණ. ඒ ඉරියව් වල ශෝකී විලාශය දෙස බලා සිටියදී අයානා ට කෝපි එක මේසය මතින් තබන්නට ද අමතක වූයේ ය. 

“සනීප නැද්ද ඔයාට…”

ඇය අවංක ගැස්මකින් විචාලා ය. දුල්නෙත් නිහඬව ම අයානා අතින් කෝපි එක ගන්නට අත පෑවේ ය. සැබවින් ඔහු ට තද පිපාසයක් දැනෙමින් තිබිණ. අයානා විගස කෝපි කෝප්පය මේසය මත තැබුවා ය. 

හිස පුපුරන්නට එන වේදනාවකින් ඔහු පෙළෙමින් සිටිනා බවක් දුල්නෙත් ට දැනුණේත් ඒ වෙලාවේ ය.

“ඔහොම අමාරුවෙන් කොහොමද යන්නෙ දැන්…පේන් කිලර්ස් දෙන්නද…”

දුල්නෙත් ගෙන් පිළිතුරක් ලැබෙන්නට ද පෙර අයානා ෆිල්ටරයෙන් වතුර වීදුරුවක් සමග වේදනා නාශක පෙති දෙකක් ගෙනැවිත් ඔහු ඉදිරියේ තැබුවා ය. දුල්නෙත් පපුව පුරා හුස්මක් ගත්තේ ය. ඔහු ගේ නළලත පිටි අත්ල තබා උණ දැයි බලන්නටත්, ඔහු ගේ හිස කේ අතරින් අතැඟිලි යවා හිස පිරිමදින්නටත් අයානා ට නො සිතුණා ම නොවේ. නමුත් ඇය එහෙ මෙහෙ දුවන්නට හදන හිතිවිලි වලට යටි හිතින් සිනහ වී ගෙන හෙමිහිට පුස්තකාල කොටසෙන් ඉවත් වූවා ය. අඳුර ගොඩ වැදී ඇති මේ වගේ වෙලාවක තනිව ඔහු අස රැඳී සිටීම මංජරී ගේ පැත්තෙන් බලත්දී තමන් කරන වරදක් විය හැකි බව අයානා දැන සිටියා ය.

කෝපි එක බොන්නට දුල්නෙත් සැලකිය යුතු වෙලාවක් ගත්තේ ය. එක එක ආකාර වල සිතිවිලි තරංග හිත් සයුරේ සරැලි නගයි. ඔහු ගේ සිරුරේ හැම සෛලයක් ගානේ ම නන්නාඳුනන රිදුමකින් පෙළෙයි. සැබවින් ඔහු ට උණ වැළඳෙන්නට එනවා දැයි දුල්නෙත් නො දත්තේ ය.

ටික වෙලාවකට පස්සේ ඔහු නිර්වාණයේ ඉදිරියට එන විට අයානා කවුන්ටරයෙහි හිඳ පරිගණක තිරය වෙත මුහුණ ඔබා ගෙන සිටියා ය.

“මං යන්නං”

ඔහු මුදල් ගෙවන්නට සූදානම් නොවීම අයානා ට සැනසිල්ලක් විය.

“පරිස්සමට යන්න. ඔයාට හුඟක් සනීප නෑ වගේ”

ඇය මිමිණුවා ය. එක මොහොතකට ඔවුන් ගේ ඇස් එක මත පතිත විය. අයානා දෙතොල් තද කොට හුස්ම අල්ලා ගත්තා ය. ඒ සිහින් තියුණු රාජාලි දෑස් පත්ලේ නලියන සන්තාපයක සලකුණක් ඇය ට දකිත හැකි විය.

දුල්නෙත් නිර්වාණය මානයෙන් නො පෙනී ගිය පසු අයානා එය වසා දැමුවා ය. පුස්තකාල කොටසේ විදුලි පහන නිවන්නට සැරසෙත්දී, දුල්නෙත් හිඳ උන් මේසය මත කඩදාසි කැබැල්ලක් ඇයට පෙනිණ. අයානා  ඒ වෙත ගොස් එය අතට ගත්තේ කුණු බාල්දියට දමන්නට හිතා ගෙන යස.

“තෑන්ක් යූ ෆෝ යුවර් කයින්ඩ්නස්”

යනුවෙන් එහි ඉංග්‍රීසි අකුරෙන් ලියැවී තිබිණ. අයානා ගේ දෙතොල් තද වී ඒ අතරේ සිනහ රේඛාවක් ඇඳී ගියේ ය. ඇය ඒ කඩදාසි තීරය අතේ ගුලි කර ගෙන මතු මහලට ආවා ය.

“මං ඒත් බලන්න එන්න හැදුවෙ..පරක්කු ඇයි කියල…”

අයානා ගේ දසුනෙන් සැනසී නාලිනී කීවා ය. අයානා සිනහ වූයේ අතේ ගුලි වී තිබි කඩදාසි කැබැල්ල ගැන ය. කණ්ණාඩි මේස ලාච්චුවේ ඉස්සරහින් ම තැන්පත් කරන්නට කලින් යළිත් වතාවක් ඇය ඒ කියවූවා ය.

ගෙදර ගිහින් දිය නා ගත්තාට පස්සේ ඇඟට දැනුණ කෙඩෙත්තුව මඳක් අඩු වී ගිය ද හිසේ බර ගතිය දුල්නෙත් ට දිගට ම දැනුණේ ය. ගෙදර ආ බව අයානා ට ඇමතුමක් දී කියන්නට සිතීත් ඔහු එසේ නොකර සිටියේ ය. දුල්නෙත් ගෙදර ගිය බවට කෙටි පණිවිඩයක් හෝ එවාවිදැයි අයානා නින්ද යන තුරු ම වරින් වර දුරකතනයට එබී බැලුවා ය. දුල්නෙත් ඈ ගැන වැරදි කෝණයකින් සිතනවාට කැමති නැති නිසා ඇය ඔහු අමතන්නට නො ගියා ය. ඔහු  තදින් අසනීප වේවිද යන අනියත ගැස්ම නම් නින්ද යන තුරුත් ඈ සිත් හි විය.

එදා විශ්ව විද්‍යාලයේ සිට යන ගමන් දෙල්කඳ දී මංජරී ව බස්වනු වෙනුවට සයුරංග ඒකනායක නුගේගොඩ දක්වා ම රිය පැදවූයේ ය.

“මොනා හරි බොන ගමන් ටිකක් කතා කරමු”

අටේ කණුවේ දී ඔහු එහෙම කී නිසා දෙල්කඳ පහු වීම ගැන මංජරී ප්‍රශ්න කරන්නට ගියේ නැත. දුල්නෙත් ට පේන්නට ම සයුරංග ගේ රියෙහි නැගී එන්නට හැකි වීමේ කුරිරු සතුට ඇය විඳිමින් සිටියා ය.

“ඉතිං…ඔයාටත් බැරුවද ඉන්නෙ…පරණ බෝයි ෆ්‍රෙන්ඩ්ව අමතක කරන්න…”

සයුරංග කතාවට ප්‍රවේශය ගත්තේ එහෙම ය.

“අපෝ නෑ”

මංජරී වහා එහෙම කීවා ය. සයුරංග ගේ මුහුණ මත ලොකු සිනහවක් ඇඳිණ.

“ගුඩ්..”

“මං කොහොමත් මගෙ ගමන යනව. දුල්නෙත්ට බෑ ඒක නවත්තන්න. අනිත් එක එයාට බෑ පිරිමියෙක් වගේ කෙළින් තීරණ ගන්න. එයා තාම අම්මගෙ චූටි පුතා”

එවර නම් සයුරංග ගේ සිනහව උස් ව නැගුණේ ය. මංජරී නෙතු පිය නො සලා බලා සිටියා ය. දුල්නෙත් වෙතින් දැකිය නො හැකි පරිනත පිරිමි රුවක් ඇයට සයුරංග ගෙන් පෙනේ. මූණ පුරා රැවුල වැවූ පිරිමින් ගේ අමුතු කඩවසම් බවක් අඅතැයි ඇය සිතින් සිතුවා ය.

සයුරංග එදා නික්ම ගියේ මංජරී ට රාත්‍රියට කන්නට ‘මොංගෝලියන් සී ෆුඩ් රයිස්’ එකක් ද මිල දී ගෙන දී ඇයව යළිත් දෙල්කඳින් බස්වා ය. ඇය සතුටෙන් සිටියා ය.

විඩාපත් ව රාත්‍රියේ ඇඳට වැටුණාට, උදේ පිබිදෙන විට දුල්නෙත් යම් තරමකට සාමාන්‍ය තත්වයට පත් ව සිටියේ ය. ඔහු යහනේ සිට ම ජීවිතයේ ඒ පරිච්ඡේදය දෙස ආපසු හැරී බැලීමක් කළේ ය.

එය ඉතා කෙටි වූත් තීරණාත්මක වූත් පරිච්ඡේදයකි. කිසි දාක සිය ජීවිත කතා පොතෙහි එවන් අවසානයක් සනිටුහන් කරාවියි නො සිතූ පරිච්ඡේදයකි. මංජරී ස්ව කැමැත්තෙන් ඔහු ගේ ජීවිතයෙන් ඈත් වෙන්නට ගත් තීරණය එක අතකට දුල්නෙත් ට පහසුවක් දනවයි. නමුත් ඊට යටින් ආත්ම අභිමානයට වූ කැළලක් ඉකි බිඳ හඬයි. සයුරංග ඔහු දෙස බලා නැගූ සමච්චල් සිනහව දුල්නෙත් තුල පරාජයේ ගිනි දලු නංවයි. ඊටත් වඩා දේශකවරුන්ට ලං වූ විශ්ව විද්‍යාල සිසුවියන් ට උරුම වූ ඉරණම් කතා ගැන ඔහු ඕනෑ තරම් අසා තිබේ. මංජරී ට එහෙම වෙන්න කියනා පැතුම ඔහු ගේ තුන් හිතකවත් නැත්තේ ය. නමුත් කාලයක් තමන්ගේ වී සිටි ඇය වෙනකෙකු අතින් අවභාවිත වෙන්නට යන එක ගැන ශෝකයට ළඟ හැඟීමක් ඔහු රිදවයි. එය ඊර්ශ්‍යාව සේ දකින්නට දුල්නෙත් කැමති නැත.

මහත් හිස් කමක් ඉතිරි වී තියේ. හරියට සුදු කඩදාසියක් මෙනි. එක අතකට එසේ හිස් වූ එක හොඳ යයි සිතන්නට ඔහු උත්සාහ කළේ ය. අලුත් පරිච්ඡේදයක් අරඹන්නට තරම් තවමත් ඔහු නිරවුල් නැත. මංජරී එක්වන ම හොරු අරගෙන ගියා සේ ය. කුණාටුව තව ම පහව ගොස් නැත. ශේෂ වී ඇත්තේ මොනවා දැයි දකින්නට තව කල් සිටිය යුතු වනු ඇත.

උදේ දුල්නෙත් නිර්වාණ ද්වාර ඉදිරියෙන් ගියේ අයානා දුම් කබලට සුවඳ කුඩු ඉස වීදුරු දොරෙන් පිටතට එනකොට ම ය. පහළට නැමී එක මලක් හා පොහොට්ටු පොකුරක් දරා ගත් කහ අරලිය අත්ත යටින් දුල්නෙත් දුටු දර්ශනය සුවිශේෂී ය. සුදු දුම් වලාව අතරින් අයානා ගේ මුහුණ සඳක් සේ දැක ගත හැකි විය. එය සිත්තරෙකුට හෝ ඡායාරූප ශිල්පියෙකුට හෝ සිනමා වේදියෙකුට හෝ කිසි දා හසු නොවූ දර්ශනයකැයි ඔහු ට සිතිණ.

දුම් වලාකුළ ඈත් මෑත් වී දුල්නෙත් නිරාවරණය වෙත්දී අයානා දෙතොල් තද කර ගෙන සිනහ වූවා ය. ඔහු ඇදෙස බලාගෙන ම නො නැවතී එතැනින් ගියේ ය. සිනහ වෙන්නට දුල්නෙත් ට අමතක වී තිබිණ.

උදේට මංජරී එක්ක කැන්ටිමට ගිය පුරුද්ද සිහි වී දුල්නෙත් ගේ සිත සංකා හැඟුම් පොදියකින් බර වූයේ ය. දවාලට කන්න කියා අම්මා බැඳ දෙන බත් මුල ඔහු දෙවසරකට කිට්ටු කාලයක් ඇයත් සමග දෙකට බෙදා ගෙන කෑවේ ය. නො ගැලපීම් කොයි තරම් තිබුණේ වී ද එසේ කල් ගත වූ පුරුදු වලින් එක්වර මිදෙනා එක පහසු නැත. මැළියම් ගල්වා අලවා තිබි යමක් ගලවා ඉවත් කිරීමේදී වන් ඉරීම්, ඇදීම්, බිඳීම්, රිදීම් එතකොට සිදු වේ.  නමුත් මේ රිදුම් ඉවසා ගත යුතු බව ඉකුත් රැය ඔහු ට අවධාරණය කොට සිටියේ ය. 

ඉන්පසු දුල්නෙත් දවල් බත් එක කෑවේ සුමීර ඇතුලු මිතුරන් සමග ය. ඒ කැන්ටිමේදී ම ඇතැම් දින වල මංජරී සහ සයුරංග ව හමු විය. ඒ වෙලාවට මංජරී සයුරංග සමගින් පානා කොමළ වැඩි වේ. ඇය අවශ්‍ය පමණටත් වඩා සිනහ වේ. දුල්නෙත් රිදවීම ඒ සියල්ලෙන් මංජරී අපේක්ෂා කළ දේ ය. ඇත්තට ම ඔහු ට රිදුණේ ය. විටෙක ඊර්ෂ්‍යාව ඔහු ව යට කර ගන්නට හැදුවේ ය.

“ගණං ගන්නැතුව හිටාං. ඔය වගේ එකියන්ට පුළුවන් රෑකට එකා ගානෙ පිරිමි මාරු කරන්න වුණත්. එහෙම තැනකින් ගැලවෙන්න ලැබුණෙ උඹේ පෙර පිනකට”

දුල්නෙත් හිතෙන් ගරා වැටෙනවා සේ දැනෙන වෙලාවට සුමීර ඔහු සවිමත් කරනු වස් කියයි. ඒ වෙලාවට දුල්නෙත් සිනහ වන්නේ ය. නමුත් ඇතුලාන්තයේ දැවුමක් ඔහු අත් විඳී. 

මංජරී නිර්වාණයට යාම සම්පූර්ණයෙන් ම නවතා දැමුවා ය. ඒ එදා සිදු වූ කම්මුල් පහරේ සිදුවීම නිසා යයි අයානා හිතුවා ය. දුල්නෙත් වුව නිතර ම එහි ආවේ ගියේ නැත. අත්‍යවශ්‍ය දේකදී ඔහු ආවේ ය. නමුත් අත්‍යවශ්‍ය හේතුවක් නොමැති නම් නෑවිත් හිටියේ ය.

“ඒ දෙන්නා හොඳින් ඉන්නවනං එච්චරයි”

මේ ගැන දුරාශා කතා කළ වෙලාවේ අයානා සුසුමකින් කීවේ එසේ ය.

“මදැයි..අපි ගහකට නගින්න හැදුවොත් දෙබලක්”

දුරාශා ඇස් කරකවා කට ඇද කළා ය. 

“අපිනං අනුන්ගෙ ගස් වලට නගින්න හිතුවෙ නෑ”

අයානා සන්සුන් මඳහසකින් කීවා ය.

“අර හිපාටුව දැං මොනා කරනව ඇද්ද දන්නෑ. මට ඕකව අහු වුණොත්නං…ෆොටෝ කොපි මැශින් එකට දාල වහනව”

“කවුද…දුල්නෙත්ද…”

“දුල්නෙත්…දුල්නෙත්මයි හිතේ ඉන්නෙ නේද…අනුංගෙ අනුංගෙ කිව්වට මොකද…මං කිව්වෙ අර තමුසෙව බැඳං කෙල්ලගෙං බේරිල රට පනින්න හදපු බුවා…මට නමත් මතක නෑ. අන්න ඒකා ගැන”

“විදුර”

අයානා ගේ දෙතොල් මත්තට සිනහවක් ආවේ ය. විදුර කියන්නේ ඇගේ ජීවිතයෙන් ඇය මකා ඉවත් කොට දැමූ පරිච්ඡේදයකි. ඔහු ගැන දැන් කේන්තියක් හෝ දුකක් හෝ වෛරයක් හෝ වෙනත් කිසිදු හැඟීමක් හෝ ශේෂ ව නැත්තේ ය. ඒ නිසා ඔහු මොනවා කරනවාද කොහේ ඉන්නවාද කියා හෝ විමසා බැලීමේ උවමනාවක්වත් ඇති වන්නේ නැත.

“ඊට පස්සෙ බැඳල තිබුණා. අයියටවත් වෙඩින් එක කියල නෑ. අයිය එක්කත් ඊට පස්සෙ කිසිම කනෙක්ශන් එකක් නැතුව ගිහිං. ඒ මනුස්සයටත් තරහ ඇති. මං කරපු දේ ගැන…වෙඩින් කාඩ්ස් බෙදලත් ඉවර වෙලා තිබුණ නිසා…”

ඉන් පසු ඔහු ට කුමක් වී දැයි අයානා දැන සිටියේ නැත. ඔහු විවාහ වූයේ අයානා සොයා ආ පෙම්වතිය සමගින් නොවේ. පශ්චාද් උපාධිය ලබන්නට එංගන්තයට ගිය විට හමු වූ ව්‍යාපාරිකයෙකු ගේ දියණිය සමග ය. ඒ විවාහය වසරකටත් අඩු කාලයක දී බිඳ වැටිණ. පශ්චාද් උපාධිය ලැබීමෙන් පසු ද තවත් ටික කාලයක් එංගලන්තයේ ගත කළ විදුර ලංකාවට පැමිණියේ පෞද්ගලික විශ්ව විද්‍යාලයක් පවත්වාගෙන යන මිතුරෙකු ඊට සම්බන්ධ වන ලෙස කළ ආරාධනයක් නිසා ය. ඒ අතරේ ම ඔහු ට ජපුරෙහි ආරාධිත දේශකවරයෙකු ලෙස තාවකාලික පත්වීමක් ද ලැබිණ. විදුර සයුරංග ඒකනායක ට මංජරී මුණ ගැහෙන්නේ එහිදී ය.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles