නත්තල් ගහේ කතාව


සීතල නත්තල් කාලේ කීවම අපිට මතක් වෙන දේවල් වලින් නත්තල් ගහ ප්‍රධානයිනෙ. 

ඉතිං මේ නත්තල් ගහ සහ නත්තල අතර සම්බන්ධය මොකක්ද කියල ඔබ දැනන් හිටියද? 

ඔන්න එහෙනම් දැනන් ඉන්නම වටින නත්තල් ගහේ අතීත කතාව ඔබත් එක්ක බෙදාගන්නයි අපේ මේ සූදානම

කොළ පාට අතීතය

ඉර දෙවියෙක්ට සමාන කරල වන්දනා මාන කරාපු අතීත කාලයක් අපිට තිබුණනේ. 

ඉතිං, දෙසැම්බර් මාසෙ අපිට දැනෙන සීතල සහ අඳුරු ස්වභාවය නිසා ආදී මුතුන් මිත්තො විශ්වාස කලේ දෙසැම්බර් කාලයට හිරු දෙවියන් දුර්වල වෙලා විවේක ගන්න නිසා මේම පරිසරය අඳුරු ස්වභාවයක් ගන්නව කියලයි.

සීත සෘතුව අවසන් වෙලා වසන්ත සෘතුව එනවත් එක්කම ගස් කොළන් වල දළු ඇවිත් ඉර එළිය සෞම්‍යව දකින්න ලැබෙන නිසා ඉර දෙවියෝ තමන්ගෙ විවේක කාලය අවසන් වෙලා පුරුදු ශක්තියෙන්ම ලෝකයට සේවය කරන්න අරඹනව කියලත් ඔවුන් විශ්වාස කරා. 

ඔවුන් ජීවත් වුන පරිසරයේ තිබුණ Evergreen කියන ශාකය මේ වෙනස ඔවුන්ට දකින්න සහ දැනෙන්න සැලැස්වුව නිසාත් තමන්ගේ ඉහළම දෙවියන් නැවත නැගී සිටිනවා යන්න ඔවුන්ට සිහිපත් කල නිසාත් evergreen ශාකයේ අතු ගෙනල්ල තමන්ගෙ වාසස්ථාන අසල සහ නිවාසවල එල්ලල තියන්නත් ඔවුන් කටයුතු කරා. 

විශේෂයෙන්ම රෝමානු ජාතිකයන් සහ වයිකින්වරු අතර මේ විශ්වාසය දැඩිව පැවති බවටයි සාක්ෂි හමුවෙන්නෙ.

ජර්මනියේ නත්තල් ගස

නැවුම් ආරම්භයක බලාපොරොත්තුව  විදිහට ටිකෙන් ටික මේ විශ්වාසය ඉදිරියට පැමිණියා. 

නත්තල් කාලයට නත්තල් ගස එහෙමත් නැත්නම් Evergreen ගස නිවාස තුළට ගෙනවිත් සැරසීමේ සම්ප්‍රදායක් දක්වා ගෙන ඒමේ ගෞරවය හිමිවෙන්නෙ ජර්මානු ජාතිකයන්ටයි. 

ඒ වගේම නත්තල් ගසට ආලෝකය දීමේ ගෞරවය හිමිවෙන්නෙ මාටින් ලූතර් කින්ටයි. 

වරක් ඔහු වීදියක ඇවිද යමින් සිටියදී evergreen ශාකයේ පත්‍ර අතරින් සඳ එළිය දිස්වූ බවත් සඳ එළියෙන් evergreen ශාකය දීප්තිමත්ව දිස්වෙන බවත් ඔහු දැක තිබෙනව.

මේ දර්ශනය තමන්ගෙ ගෙදර අයටත් පෙන්වන්න ඔහු නිවසේ නත්තල් ගසේ ඉටිපන්දමක් දැල්වූ බව පැවසෙනවා. 

රැජිණක් කළ වෙනසක්

1747 සහ ඊට ආසන්න වර්ෂවලදී නත්තල් ගසක හැඩය ගත් ලී ආකෘති වල ඉටිපන්දම් දැල්වූ ජර්මානු ජාතිකයන්, 1820 දී පමණ සිට evergreen ගසේ කොටස් නිවාස තුළට ගෙනවිත් සරසා නත්තල් ගස පිළිබඳ සම්ප්‍රදාය පවත්වා ගෙන ආවත් මුලදී ඇමෙරිකානුවන් එය මිත්‍යා දෘෂ්ටික විශ්වාසයක් ලෙස සිතා විහිලුවෙන් බැහැර කරනු ලැබූවා.

සමහරුන් එය අශුද්ධ වූ දෙයක් යැයි කියමින් දැඩිව ප්‍රතික්ෂේප කරන්නත් කටයුතු කළා. 

ඒ නිසා මේ ගස් සැරසීම සහ ගස් වල විවිධ සැරසිලි එල්ලීම දඬුවම් ලැබිය හැකි වරදක් නව සඳහන් කරමින් නීතිත් ඇමෙරිකාවේ සම්මත වුණා.

නමුත් මේ සියල්ල උඩු යටිකුරු කරමින් 1848 දී එංගලන්තයේ වික්ටෝරියා මහ රැජිණ ඇගේ ජර්මානු ජාතික ස්වාමිපුරුෂයා සහ තම දරුවන් සමඟ එක්ව ඉතා අලංකාර නත්‍තල් ගසක් සරසනු ලැබුවා.

ඒ අවස්ථාව චිත්‍රයට නඟා එවක London News සඟරාව වාර්තා කලේ මෙලෙසිනුයි.

මේත් සමඟම එංගලන්තයේත් ඉන් පසුව ඇමෙරිකාවේත් නත්තල් ගස් සැරසීමේ සම්ප්‍රදාය බොහොම උද්‍යෝගමත්ව ආරම්භ වුණා.

ලෝකෙ වටේ වෙනස් සැරසිලි

ඔන්න ඉතිං මේ විදිහට ආරම්භ වුණ නත්තල් ගස සැරසීම තමන්ගෙ රටේ තමන්ගෙ විදිහට කරන්න සමහර රටවල් කටයුතු කරා. 

ඒ අනුව,

ඇමෙරිකාව නූල් වල ඇමිණූ පොප්කෝන්,

යුක්‍රේනය දිළිසෙන මකුළුවන්,

ජර්මනිය සැබෑ ඉටිපන්දම්,

ඕස්ට්‍රේලියාව සිප්පි කටු,

ෆින්ලන්තය සිහින් යකඩ බට,

ප්‍රංශය ඇපල්,

බ්‍රසීලය පුළුන් බෝල,

නෙදර්ලන්තය බිස්කට් සහ

ජපානය ඔරීගාමී කුරුල්ලන් භාවිතා කරල නත්තල් ගස් සැරසීමේ තමන්ටම ආවේණික සම්ප්‍රදායන් ඇතිකර ගත්තා. 

ලෝකෙ ලොකුම නත්තල් ගහ

ගිනස් වාර්තා පොතට අනුව එදාමෙදා තුර නිර්මාණය කරපු ලොකුම නත්තල් ගස ප්‍රදර්ශනය වුනේ ඇමෙරිකාවෙ, වොෂින්ටන් නුවර නෝත්ගේට් සාප්පු සංකීර්ණයේයි.

එහි උස මීටර් 67.36 ක් ලෙස දැක්වුණා. 

සුර දූතියන් ගීත ගායනා කරද්දී අහසේ දීප්තිමත් තරුවක් පායද්දි සාමයේ පණිවිඩය අරන් අපරිමිත දයාව සහ කරුණාව අරන් ජේසු බිළින්දා මෙලොවට බිහිවුණා.

නැවුම් ආරම්භයක පණිවිඩය අරන් අලුත් ඉර එළිය ලැබෙන බව විශ්වාස කරන් evergreen ගහත් හිම අතරින් පේන්න තියෙනව. 

ඉතිං ජීවිතේ අලුතින්ම විශ්වාසයෙන්ම පටන් ගන්න මේ හොඳ කාලෙ නේද ?

සටහන – දුලානි නවෝද්‍යා 

Related Articles

Don't Miss


Latest Articles