මල්වර මල් සර -19

දුල්නෙත් අලගියවන්න පොත කියවීමට උත්සාහයක් හෝ නො ගත්තේ ය. ඒ තරමට ඔහු ගේ හිත වියවුල් වී තිබි බැවිනි. තුනී හිසරදයක් ද හිසේ ඈත කොනකින් මතුව ආයේ ය. ඔහු අතැඟිලි වලින් නළල දෙපස තද කර ගත්තේ ය. 

කවුන්ටරයේ සිට අයානා බලා ගෙන ය සිටියේ. තවත් බලා සිටිත නො හැකි තැන ඇය අසුනෙන් නැගිට දුල්නෙත් උන් මේසය වෙත ආවා ය.

“දැං ලේක්චර් එකක් නැද්ද…”

ඇගේ කරුණාවත් තැන්පත් හඬින් නෙතු නගා බැලු ඔහු හිස සැලීමෙන් පමණක් තිබෙන බව හැඟවූයේ ය.

“මොකක් හරි ප්‍රශ්නයක්ද…”

ඔව් කියන්නද නෑ කියන්නද කියා නො දැන තරුණයා මුහුණ මඳක් ඔසවා ඇදෙස බැලුවේ ය. ඒ ඇස් කොනක මඳ රතක් විය. නළල තරමක් රැලි නැංවී තිබිණ. අයානා ඔහු ළඟ වූ පුටුව ඇද එතනින් හිඳ ගත්තා ය.

“මොනා හරි කියන්න තියනවද දුල්නෙත්…”

ඒ වාක්‍යයේ අන්තිම හරියට එන විට ඇයට හැඬෙන්නට එන තරමට හඬ බිඳී ගියේ ය. අයානා එහෙම ම දෙතොල් තද කොට ගත්තා ය. 

මොනවා කියන්න ද ඇගෙන් මොනවා අසන්න ද කියා ඔහු ට වැටහුණේ නැත. ඇය විවාහකයි කියා මංජරී කීවා ය. එය ඇත්තක් ද කියා අසන්නට ඔහු ට වන අයිතිය කුමක් ද? කෙනෙකු ගේ පෞද්ගලිකත්වය ඒ විදිහට ප්‍රශ්න කරන්නට නම් හේතුවක් තිබිය යුතු ය. ඇය කිසි දා ඔහු තුළ බලාපොරොත්තු දැල්වෙන සේ හැසිරී නැති බව සහතික ය. ඉතින් තමන් විවාහක බව ඇය නිර්වාණයට එන අයට කිය කියා සිටිත යුතු ද?

දුල්නෙත් ගේ පපුව සුසුමකින් පිරී ගියේ ය. මහත් පරාජිත හැඟීමක් ඔහු ට දැනෙමින් තිබිණ. ඔහු ගේ යටි හිත කාලයක් තිස්සේ ම ඇය සොයමින් සිටි බව ඇත්ත ය. නමුත් මේ වතාවේ හමු වන්නටත් පෙර ම ඇය ඔහු ට අහිමි වී තිබේ. පපුවේ පුරවා ගත් සුසුම ඉතා හෙමිහිට පිටත් කොට හරිනා ගමන් ඔහු ඇගේ සුදු සිනිඳු අතැඟිලි දෙස හොරෙන් බැලුවේ ය. මැද ඇඟිලි දෙකෙහි පමණක් සුදු ගල් ඇල්ලූ සිහින් රන් මුදු දෙකක් වේ. මුදු ඇඟිල්ල නම් හිස් ය. පපුවට මඳ සැනසීමක් නො දැනුණා ම නොවේ. නමුත් විවාහක ස්ත්‍රියක් මංගල මුදුව පළඳා ගෙන ම සිටිනවා යයි නියමයක් නැත. දුල්නෙත් ට සිහි වූයේ අම්මා ය. ඇය මුදු පැළැන්දේ ගෙදරින් පිට යත්දී පමණකි. ගෙදර වැඩ කරනා විට මුදුව කඩතොලු වී දීප්තියේ අඩුවක් ද විය හැකි බව ඇය විශ්වාස කළා ය. අයානාත් මංගල මුදුව නො පැළඳ සිටිනවා වන්නට බැරිද?

“පොඩි හෙඩ් ඒක් එකක් ආව. ඒකයි ආවෙ”

පිළිතුරු නොදුන් “මොනා හරි කියන්න තියනවද දුල්නෙත්” යන අයානා ගේ පැනය තවමත් හිතේ පිළිරැව් දෙමින් තිබි නිසා මඳ වෙලාවකට පස්සේ ඔහු මිමිණුවේ ය.

“මං පේන් කිලර්ස් ගේන්නං”

කියාගෙන ඇය නැගිටින්නට හදන කොට ම දුල්නෙත් “අයානා” කියා කතා කළේ ය. 

අයානා තුළ ඇති වූයේ කැළඹීමකි. එය ඇගේ දිවියේ සුවිශේෂ මොහොතකි. දැන හැඳින ගෙන මෙතුවක් කලකට ඔහු ඇය නමින් ඇමතු ප්‍රථම වතාව මේ ය. අද දුල්නෙත් ගේ හැසිරීමත් අමුතු ය. ඉතා හෙමිහිට ඇය යළිත් අසුනෙහි බර වූවා ය.

“සයුරංගව දන්නවද….සයුරංග ඒකනායක…”

ඒ තරම් අමාරු ප්‍රශ්නයක් මීට පෙර කවදාවත් කිසිවෙකුගෙන් විමසා නැති බවට මතකයක් දුල්නෙත් ට විය. ඒ වචන ටික මුවින් පිට වූ ගමන් ඔහු ට දැනුණේ සැනසිල්ලකි. නමුත් ඊළඟ මොහොතේ වහා ඔහු පසුතැවිණ.

“සයුරංග…”

අයානා ගේ මුහුණේ වූයේ නුහුරු බවක කතාවකි. දුල්නෙත් මහා සැනසිල්ලක් අත්වින්දේ ය. උදේ ඔහු සෝරත මාවත දිග ඇවිද එමින් සිටියදී සයුරංග ඒකනායක නිර්වාණයෙන් පිට වෙනුත්, අයානා වීදුරු දොර හැර ගෙන යමක් පවසනුත් දුල්නෙත් දුටුවේ ය. ඔහු ඇවිද ආවේ පාරේ අනිත් පැත්තේ ය. එද කොල්ලන් රෑනක් සමගිනි. ඒ නිසා අයානා ඔහු නො දකින්නට ඇත. සයුරංග නිර්වාණයට යාම සාමාන්‍ය දෙයකි. නමුත් මංජරී උදේ ම ඔහු සොයා විත් දුන් ආරංචිය නිසා දුල්නෙත් ට ඒ සිදුවීම යළි සිහි විය. අයානා වීදුරු දොර ළඟටත් ඇවිත් කතා කළේ මංජරී පැවසූ ලෙසට ඔවුන් හිතවත් නිසා නො විය හැකි ද යන පැනය නිර්වාණයට එත්දී  දුල්නෙත් තුළ විය. අයානා ඔහු ව හඳුනන්නේ නෑ කියන්නේ ම මංජරී කියා ඇත්තේ බොරුවකැයි නිගමනය කළ හැක.

“ඒක…නා…ආ…විදුරද ඔය කියන්නෙ…ඔව්නෙ..විදුර සයුරංග ඒකනායක”

ඇසිල්ලකින් පොළොවේ වළක් හෑරී ඔහු ව ඒ තුළට ගිලා බසින්නට ගත්තා සේ දුල්නෙත් ට දැනෙන්නට ගති. ඔහු ගේ මූණ අඳුරු වූයේ ය. කම්මුලක පේශියක් වෙව්ලා ගියේ ය. 

එහෙම කියත්දී අයානා හිටියේත් ගැඹුරු අගාධයක ගිලී යමිනි. විදුර ඔවුන් ගේ අතීතය ගැන සියලු පුවත් දුල්නෙත් සමග පවසන්නට ඇති බව ඇය වහා නිගමනය කළා ය. දුල්නෙත් ඇය ගැන කොහොම හිතන්නට ඇත්ද? විදුර කියන්නට ඇත්තේ ඇත්ත ම ඇත්ත ද? 

“ඔයා…මැරි කරල කියල මං දැනං හිටියෙ නෑ”

දුල්නෙත් ආයාසයෙන් කියා ගත්තේ ය. ඒ කියන ගමන් මුහුණේ සිනහවක් රඳවා ගන්න ද ඔහු උත්සාහ කළේ ය. නමුත් ඒ සිනහව ඉකිබිඳුමක් වාගේය අයානා ට දැනුණේ. ඔහු ඉදිරියේ මේසය මත හිස හොවා ගෙන ඉකි බිඳ හඬන්නට පුළුවන් කමක් අයානා ට විය. නමුත් හඬා දොඩා ජීවිතය අයැද සිටීම ඇගේ විදිහ නොවේ. 

“අනේ දුල්නෙත්…”

ඇයට කියවිණ.

“ඒක අමුතු කතාවක්…ඒක ටිකක් දිග කතාවක්…මං ඔයාට වෙලාවක කියන්නං…”

දුල්නෙත් හෙමිහිට අසුනෙන් නැගිට ගත්තේ ය. ‘අනේ දුල්නෙත් ඉන්න’ කියා කියන්නට තිබුණා නම්…නමුත් අයානා සිටියේ එහෙම කිව හැකි තත්වයක නොවේ. තරුණයා දෙපා අද්ද අද්දා නිර්වාණයෙන් පිට වූයේ ය. ඔහු ට පෙති දෙකක් දෙන්නට පවා නො හැකි වූ බව අයානා ට මතක් වී යළි අමතක වී ගියේ ය. ඇගේ ඇස් කෙවෙනි පුපුරා ගොස් කඳුළු ගඟ ගලන්නට විය. අයානා ගේ ඇස් වලින් මේ කඳුළක් වැටෙන්නේ බෝ කලකට පස්සේ ය. ඇය මේසයෙහි මූණ ඔබා ගෙන ඉකි බිඳ හඬන්නට වූවා ය.

දුල්නෙත් පිට ව ගියේ සාමාන්‍ය තත්වයෙන් නොවන බව දුරාශා ට දැනිණ. ඇතුළේ සිටි පාරිභෝගිකයා පිටත් කොට හැරි ඇය වහා මිතුරිය වෙතට ගියා ය.

“මොකද්ද වුණේ…”

අයානා හඬනු දැක දුරාශා විශ්මිත වූවා ය. ගැහැනුන් සිය කඳුළු වල වටිනාකම නො දන්නා මිනිසුන් ඉදිරියේ කිසි දා නො හැඬිය යුතු ය යන්න අයානා ගේ අදහසයි. සහන් සමගින් දුරාශා ඇති කර ගන්නා ප්‍රශ්න වලදීත් ඇය නිතර ම එය කීවා ය. දරා ගත නො හැකි ම මොහොතක් උදා නොවිණි නම් ඇගේ ඇස් වලින් කඳුළක් ගිලිහෙන්නට විදිහක් නැති බව දුරාශා මැනවින් දැන සිටියා ය.

“විදුර දුල්නෙත්ට මොනා හරි කියල මං හිතන්නෙ…”

අයානා ඉකිබිඳුමක කෙළවර කීවා ය.

“ඒ කියන්නෙ…”

“දුල්නෙත් ඇහුව සයුරංග ඒකනායකව දන්නවද කියල…පස්සෙ මට මතක් වුණේ විදුර කියල…”

“ඉතිං…”

“ඊට පස්සෙ කිව්ව ඔයා බැඳලයි කියල මං දැනං හිටියෙ නෑ කියල”

“ඒක මාර කතාවක්නෙ…තමුසෙ කොහොමත් බැඳල හිටියෙ නෑනෙ ඒ හිපාටුවව..”

“දුල්නෙත්ට එහෙම කියල ඇති”

“ඉතිං තමුසෙ ඒක හරිගැස්සුවෙ නැද්ද…”

“දැං මුකුත් හරිගස්සන්න බැරුව ඇති දුශ්…දුල්නෙත් හිටියෙ අවුලෙං වගේ…මන් දන්නෑ විදුර මොනා කියලද කියල”

“ඊයා මේ යකානං…සංසාරෙම තමුසෙ පස්සෙං ආපු කරුමයක්ද ඌ…මං දුල්නෙත්ට කතා කරන්නංකො”

නමුත් එදා යළිත් ඔහු නිර්වාණයට ආවේ නැත. දුරාශා මග බලා සිටියා ය. දුල්නෙත් රෑ වන තුරු ම කොල්ලන් සමග ක්‍රිකට් ගැසුවේ ය. හදවතට දරා ගත නො හැකි දුකකින් ඔහු හෙම්බත් ව සිටියේ ය. නමුත් ඒ දුක වූ කලී සිය මිතුරු නඩය ඉදිරියේ හෝ විවෘත කළ නො හැකි රහස් පොදියකි. අයානා සිය හදවතේ හැම තැන ම ඉන්නා බව දැන් ඔහු දනී. නමුත් දැනටමත් ඇය අන් සතුයි කියා දැන ගත් පසු පිරිමි පපුවකට රිදිය හැකි ගැඹුර තවමත් ඔහු ට අදහා ගත නො හැකි ය. 

අන්තිම හිරු රැස් කැදැල්ලත් බටහිර අහසේ සැඟව යන තුරු අයානා කහ අරලියා ගහ ළඟට වී බලා සිටියා ය. නමුත් දුල්නෙත් සෝරත මාවත දිග ගෙදර ගියේ නැත. අන්තිමට ඇය නිර්වාණ ද්වාර ය වසා දැමුවා ය. රිදෙනා උගුරෙන් යුතු ව යහනේ වැතිර සිටියදී, නිර්වාණය දෙස බලමින් ඒ ඉදිරියෙන් ඇවිද යන දුල්නෙත් ගේ දසුන සීසීටීවී දර්ශන ඔස්සේ ඇසෙහි ගැටුණේ අහම්බෙනි. අයානා වහා යහනෙහි හිඳ ගත්තා ය. ඉක්මනට දුරකතනය අතට ගෙන ඔහු ට ඇමතුමක් ගත්තා ය. නමුත් ඒ කරන්නට යන දේ කෙතරම් වැරදිද යන සිතිවිල්ල හිතට ආ ගමන් ඕ වහා ඇමතුම බිඳ දැමුවා ය.

සාක්කුවෙන් දුරකතනය අතට ගත්දී තිරයෙහි අයානා යන නම දිස්වනු දුල්නෙත් දුටුවේ ය. එකවර සියොළඟ පැතිර ගියේ ගින්දරකි. ඔහු පිළිතුරු දෙන්නට හැදුවා පමණකි. ඇමතුම බිඳ වැටිණ.

දුරකතනය සාක්කුවේ දමා ගන්නට ගියත් ඊට හිත හදා ගන්නට ඔහු සමත් වූයේ නැත. එහෙයින් ඇවිදින ගමන් ම අයානා ගේ දුරකතනය අංකනය කළේ ය. ඇය අසීමිත ව ගැහෙනා හදවතක් දරා ගෙන “හෙලෝ” කීවා ය. ඒ තනි වචනය වුව පිට නොවූ තරම ය. නමුත් අයානා හුස්ම ගන්නා හඬ දුල්නෙත් ට දැනිණ.

“කියන්න”

සියුම් අංශු බවට ඔහු කඩා වැටෙමින් සිටියේ ය. එක ම රිදුමක් එක ම වෙලාවක එක සිදුවීමක් නිමිති කොට ගෙන හිත් දෙකක විණි. දෙන්නා ගේ ම උගුරු රිදුණේ ය. ඇස් කෙවෙනි දැවුණේ ය.

“මෙච්චර රෑ වෙනකල්…කැම්පස් එකේ…හිටියෙ ඇයි දුල්නෙත්…”

අයානා අසීරුවෙන් වචන එකතු කර ගත්තා ය. දුල්නෙත් දිග ම දිග හුස්මකින් පෙනහලු පුරවා ගත්තේ ය. දෙන්නට නිශ්චිත පිළිතුරක් ඔහු සතු වූයේ නැත.

“රෑ වෙලා ගෙදර යන්න ඕන නිසා”

ඒ වචන පිහි තුඩු සේ ඇගේ පපුවේ ඇනී තුවාල සිදු විණි. අයානා ඇස් දෙක තද කොට පියා ගත්තා ය.

“එතකොට වැටිල නිදියන්න විතරනෙ තියෙන්නෙ”

ඇවිද ගන්නට බැරිවා වාගේ දුල්නෙත් ට දැනෙමින් තිබුණි. ඔහු නතර වී මඳක් ඉදිරියට නැවී දණහිස් පිරිමැද ගත්තේ ය. 

“ඔයා මාත් එක්ක තරහෙන්ද ඉන්නෙ…”

“තරහ වෙන්න මට තියන අයිතිය මොකද්ද …”

විජේරාම අහසට සුසුමක් මුහු වූයේ ය. ඒ සුසුමෙන් මං සන්ධියෙහි වන බෝ ගසෙහි පත් සැලී ගියා සේ සෙලැවිණි.

“අනේ ඔහොම කතා කරන්නෙපා දුල්නෙත්”

‘මට අඬන්නවත් අයිතියක් නෑ අයානා…ඔයා නැති වෙලා ගිහිං කියල අඬන්නවත් මට අයිතියක් නෑ. ඒත් මං අඬනව අයානා…ජීවිත කාලයක් ම මං අඬයි’

දුල්නෙත් මුවින් එසේ කීවා නොවේ. නමුත් ඔහු ගේ හිත කෑ ගසා එසේ කියමින් හැඬුවේ ය. නෙතගින් ගිලිහුණු කඳුළක් රැවුල් කොට වැවුණු කම්මුල දිගේ රූරා විත් විජේරාම හන්දියේ බිම වැටී තෙත උරා ගත්තේ ය.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles