“අපේ වසුන්දරා මැණිකෙ එනකම් ඔහොම ඉඳගෙන හිටපං”
අනුත්තරාගෙන් එහෙම අණ ලැබුණේ ලාවන්‍යා ඇගේ කාර්යාලයට ගිය මොහොතේ ය. වසුන්දරා ප්‍රතාපසිංහ මහත්මිය අතින් ලෝක ළමා දිනය සම්බන්ධ වැඩසටහන් ප්‍රතික්ෂේප වී යන්නේ නම් අපූරු බව අනුත්තරාට සිතෙයි. ඒ ඇයිදැයි අපහැදිලි වුවත් ඇයට එහෙම සිතෙන්නට පටන් ගෙන තිබේ.
“මට එන්න කිව්වේ තේජ.”
ලාවන්‍යා මිතුරියට එරෙහි වූවා ය. මිතුරිය මෙතැන ගණකාධිකාරිනිය මිස පරිපාලන නිලධාරිනිය නොවේ. නමුත් අනුත්තරා කට උල් කර ලාවන්‍යා දෙස බැලුවේ “හොඳ දෙකක්” කියන අදහසකිනි.
“අනේ මේ! මේ එයාගෙ අම්මා අප්පගෙ බූදලෙයැ. මේ බිල්ඩින් එක පවා ප්‍රතාපසිංහ පරම්පරාවේ සල්ලි. උඹ මෙතන මොකක් හරි ප්‍රෝග්‍රෑම් එකක් බාර ගත්තනම් හුස්ම ගන්න එක පවා අපේ වසුන්දරා මැණිකේ මහත්මියට ඕනෑ හැටියට කරන්න වෙනවා.”
මේ රාජ්‍ය නොවන සංවිධානය අයත් වන්නේ වසුන්දරා ප්‍රතාපසිංහට බව ලාවන්‍යා දන්නේ තේජ නිසා නොවේ. අනුත්තරා හන්දා ය. ගිණුම්කරණය සම්බන්ධයෙන් උපාධිධාරිනියක වන ඇය මොනතරමේ විකාරකාරියක වුවත් ඉගෙනුමට හපනියකි. ඒ හන්දා මීට වඩා ඉහළ වැටුපකට රැකියා ඇති බවත් මොළයෙන් ප්‍රයෝජන ගෙන තවදුරටත් ඉගෙන ගන්නා ලෙසත් පාරමී පවසන්නේ ඒ හන්දා ය. නමුත් අනුත්තරා රැකියාවට ඇලුම් කරන්නී ය.
“දරුවන්ට හඬක් නැති තරම්. අසරණ වෙච්ච දරුවන්ට කොහොමත් නෑ. ඒ හින්දා දරුවො වෙනුවෙන් මෙහෙම රස්සාවක් කරන එක මට සනීපයක්.”
ඇය එහෙම කියන්නට හුරුව සිටියි. කොහොමටත් ළමා දිනය සහ තවත් වැදගත් දිනවලදී ඇය මෙතැන ගණකාධිකාරිනිය වග අනුත්තරා අමතක කරන්නී ය. ළමා නිවාසවලට ත්‍යාග ඔතන්නට ද අවශ්‍ය නම් කෑම සකසන්නට ද තවත් ඕනෑම කුදු මහත් කටයුත්තක් කරන්නට ද ඇය කැප වෙන්නී ය.
“අපි කලින් වතාවේ සූරියවැව ගියේ. ඔයා ආවේ නෑනෙ.”
අනුත්තරාගේ සමහර කාර්යාල ගමන්වලට ඇය මිතුරියන්ට ද ආරාධනා කරන්නී ය. සෙනුරි ඒ සෑම ගමනකටම එක් වූවා ය. පාරමීට පාඩම් කරන්නට ද බරපතල නඩුවකට පෙනී සිටින්නට ද නැති නම් ඇය ද ඒ ගමන් මග නොහැරියා ය. එහෙත් ලාවන්‍යා එකම ගමනක්වත් ආවේ නැත. ඇය කියන්නේ නාලිකාවෙන් නිවාඩු ගන්නට අපහසු වග ය. නමුත් සත්‍යය එය වූයේ ද නැත.
“කොච්චර උගත් උනත් කෙල්ලො තමන්ගෙ පාට්නර්ට බය වෙන හැටියි, එතනින් එහා ජීවිතයක් නෑ කියලා හිතන හැටියි මහ විහිලුවක්.නෑ විහිලුවක් නෙවෙයි ඒක තදබල ඛේදවාචකයක්. මුලින්ම අම්මලා තාත්තල තමන් ගැන තිබ්බ බලාපොරොත්තු අතාරිනවා. ඊටපස්සෙ තමන් තමන්වම අතාරිනවා.කොහෙන්හරි මීට් උනු කොල්ලෙක්ගෙ අත් උඩින් තමන්ගෙ මුළු ජීවිතේම තියනවා.. අපි නොදන්නව වගේ හිටියට අපේ මෝඩි කරන්නෙත් ආං ඒක”
කොහෙවත්ම යන්නට නොදී ලාවන්‍යාව රැකියාවට සහ නිවසට සීමා කරගෙන හිඳින භවන්ත ගැන මිතුරියන් අප්‍රසාදයෙන් කතා කරන්නට ගත්තේ ඒ සූරියවැව ගමනට පසු ය. මිතුරියන් සමඟ චාරිකා පවා මඟ හැරීම සාමාන්‍ය වන්නට හැකි ය. නමුත් ඈත ගම්මානයක දරුවන් සමඟ ගෙවන සුන්දර දින දෙකකට ලාවන්‍යා ආශාවෙන් සිටියා ය. ඇය ඒ ගමන මඟ හැර ගත්තා නොව ඇය සිර කරගත් බව මුලින්ම ඉව වැටුණේ පාරමීට ය.
“මේකිට ඉවෙන් වාගේ නඩුවල සුවඳ එනවද කොහෙද?”
සෙනුරි එහෙම කීවාට පාරමී ඒ පහසුවෙන් සිනාසිය හැකි විහිළුවක් සේ නොදැක්කා ය. ඇයට ඕනෑ වූයේ මේ උගුලෙන් මිතුරිය ගලවා ගන්නට ය.
“ඩිවෝස් වෙන්නෙත් කොන්දක් තියන කෙල්ලො.තමන්ව රැවටෙනවා හරි තමන්ව යූස් වෙනවා හරි කියලා තේරෙන අය.බහුතරයක් ඩිවෝස් වෙන්න හිතන්නෙවත් නෑ.ඔක්කොම දරාගෙන ජීවත් වෙනවා.මැරෙනකම්ම දුක් විඳිනවා.එක්කෝ සේරම එපා වෙලා ජීවිතේ නැති කරගන්නවා..”
පාරමී එහෙම කියද්දී අනුත්තරාට දැනුණේ පිටකොන්ද දිගේ සර්පයෙකු ගමන් කරන්නාක් බඳු භීතියකි. ඇය වහා පාරමීව අල්ලා සෙලවූවා ය.
“මොකවත් බැරි වුණොත් භවන්තයව මං යාළු කරගන්නවා. අන්නෙහෙම කරලා හරි ඔය මඟුල කඩන්නෝන”
මඟුලක් කැඩීම කිසිම අයුරකින් යහපතක් නොවේ.නමුත් මිතුරියව බේරා ගැනීම ආත්ම කිහිපයකට පින් අයත් වන කටයුත්තක් බව පාරමී පවසද්දී අනුත්තරා හිනැහුණා ය. ඇයට පින්පව් අදාළ නැත. නමුත් සුන්දරව ගෙවන්නට ඕනෑ ජීවිතයක් කටුකොහොලක සිරවිය යුතු නොවේ!
“ඇත්තටම ලාවි, ඔයා ඒ කාලේ හිටියේ මොනතරම් උමතුවකින්ද?”
අනුත්තරා එහෙම කියද්දී තේජ කාර්යාලයේ ඉදිරි දොරෙන් මතු විණ. ලාවන්‍යාගේ මුහුණ පිපී එන අන්දම අනුත්තරාට හොඳින් පෙනිණ. තේජගේ කිසිම විශේෂත්වයක් නැත. නමුත් ලාවන්‍යාට එහෙම නැති හැඩකි.ප්‍රේමයක් ඇති කළ නොහැකි බවත් ඇති විය යුතු බවත් ලාවන්‍යා විශ්වාස කළා ය.එය සත්‍යයක් වුව ද උමතුවක සහ ප්‍රේමයක වෙනස තෝරා ගන්නා තරමට ඇයට තවම නැණස පහළව තිබුණේ ද නැත.අන්ධකාරය තරම් මිහිරියාව උපදවන්නක් නැති බව සිතමින් ඇය භවන්ත ඉදි කළ අඳුරු ගුහාව ප්‍රීතිය මවන එකම ස්ථානය යැයි සිතමින් සිටි අතීත දවස් වේ. ඒ අඳුරු ගුහාවෙන් පිටතට එන්නට ඇයට නීතිමය අවසරයම ලැබී තිබේ. ගුහාවෙන් පිටතට පැමිණි ඇය ඉරක් තබා හඳක්වත් දුටුවේ නැත.
නමුත්, තාරකා එළියක්ව තේජ දැල්වෙමින් හිඳියි. ඔහු තරුවක් ද කණාමැදිරියෙක්දැයි ඇය සිතන්නට උත්සාහ නොකළා ය. ඇයට සිතන්නට ඕනෑ ද නැත!