කොල්ලන් ගේ සිනහ හඬින් ආපන ශාලාව පිරීතිරී යන්නට විය. ඔවුන් මේ වෙලාවට කැන්ටිමට ආවේ ම මංජරී සිය අලුත් සහකරු සමගින් කැන්ටිමේ දී මුණගැසීමේ බලාපොරොත්තුවෙනි. නමුත් උඩහමුල්ලේ ඇනෙක්ස් එකෙහි පදිංචි වීමෙන් පසු ඔවුන් උදේ කෑම වෙනුවෙන් කැන්ටිමට යනවා වෙනුවට ගෙදරදී කෑම කා එන්නට පුරුදු වූහ. දිවා ආහාරය සඳහා බත් මුල් දෙක බැඳීමෙන් පසු ඉතිරි වන කෑම එක පිඟනකට බෙදා ගෙන සයුරංග ට කවන අතරේ මංජරීත් කෑවා ය.
“ඒ කියන්නෙ අයානා කිරිබත් උයල දුන්න ඈ…යකෝ නිර්වාණෙට යන උන්ට කිරිබත් බෙදනවනං මේ අපිටත් දෙන්න එපැයි…උඹට විශේෂයෙන් දුන්නෙ…ඇත්ත කියපං මචෝ…මේක ආදර කිරිබත වෙන්න බැරිද…”
කොල්ලෝ වදේ ගැසූහ. දුල්නෙත් කළේ සිනහ වෙවී බලා ඉන්නා එක ය.
“පිස්සුද බං…ඕව අයානාට එහෙමනං කියන්නෙපා හරිද..”
“අයානාගෙන් නෙවෙයිනෙ මේ අහන්නෙ…උඹෙන්. ඕකනෙ අඩෝ එකට කෑවත් බොක්ක වෙනස් කියන්නෙ…මූ අපිට හංගනව..ආ හරි හරි අපි ජෙලස් වෙයි කියල වෙන්න ඇතිනෙ”
“පිස්සුද බං…උඹල මට ජෙලස් වෙන්නෙ…ඔල්මාදෙද…පහුගිය කාලෙ වෙච්ච දේවල් එක්ක මං ඔළුව උස්සගත්තෙ උඹලයි අයානයි…”
“අන්න පැන්න බළලා මල්ලෙං එළියට”
දුල්නෙත් ට කියන්න ගිය දේ නිම කරන්නට හෝ ලැබුණේ නැත. කොල්ලෝ මේසයට තඩි බාමින් ඝෝෂා කරන්නට පටන් ගත්හ.
“හරි හරි ඉතිං…මං කිව්වෙ…අයානා…”
“හරි වටේ යන්න ඕන නෑ. මං කෙළිං අහන්නංකො. අයානාත් එක්ක උඹේ…”
“අඩෝ සුමීරය..”
“හරි ඒක මෙහෙම වෙනස් කළොත්…උඹ අයානාට කැමැත්තෙං ඉන්නව….”
“සහ අයානාත් උඹට කැමැත්තෙං ඉන්නව”
“අන්න ඒ වගේ…”
දුල්නෙත් හතර අතින් කොටු වී සිටියේ ය. ඔහු ගේ දෙතොලතර වූයේ මිතුරන්ට එකඟ වෙනවා හැර වෙන කරන්නට දෙයක් නෑ වාගේ සිනහවකි. මිතුරෝ ඔහු ගෙන් වාචික පිළිතුරක් ලැබෙනා තෙක් මුව අයා බලා සිටිති.
“හරි ඉතිං..ඊයෙ රෑ අපි ෆෝන් එකෙන් ටිකක් වෙලා කතා කළා”
“ඊයෙ උඹ කැම්පස් එකෙන් ගියෙත් අස්සය මැරිච්ච කව් බෝයි වගේනෙ බං. කොයි වෙලේද අයානා කතා කළේ…”
“යනකොට. සෝරත මාවතේදි”
“හ්ම් ඉතිං…කොතනට යනකල් කතා කළාද…”
“කො…ත..නට වෙනකල්…ද…කියන්නෙ…නිදියන්න යනකල්…”
“ඒ කියන්නෙ මග දිගටම මූ ෆෝන් එකෙන් මල් කඩල”
“හරි උඹ නිදා ගත්තෙ කීයටද කියාංකො”
“නිදියන..කො..ට…දොළහට විතර ඇති”
“කොහොමද ඒක…එච්චර වෙලා තෝ අයානා එක්ක කතා කළේ ෆොටෝ කොපි මැශින් එක හදල තියෙන හැටි ගැන කියලද දැං අපි හිතා ගන්න ඕනෙ…”
“මේ අයානාටනං අනං මනං කියන්න යන්නෙපා බං ප්ලීස්…දන්නවනෙ එයාගෙ හැටි…බය වෙයි උඹලගෙ කටවල් වලට”
“අනේ…මූ චූටි බබෙක්වනෙ හොයං තියෙන්නෙ ලව් කරන්න…අපිට බය වෙයිලු. ඇයි අපි යක්කුද බොලව්…”
“බලමු නේ අයානා අපිට බය වෙයිද කියල”
අයානා නොව දුල්නෙත් පවා හිටියේ බිය වී ය. කොල්ලන් වූ කලී තඹ සතයකට විශ්වාස කළ නො හැකි ජාතියක් බව ඔහු දනී. ඒ නිසා ම සත්‍ය පවසා ඔවුන් තරමක් සන්සුන් කරන්නට දුල්නෙත් සිතුවේ ය. ඒ සඳහා ඊයේ දවසේ සිදු වූ හා මිතුරන් නො දැන සිටි, සයුරංග මංජරී ට කියා තිබූ අයානා පිළිබඳ කතාව කියන්නට සිදු විය.
“එහෙනං ඒකත් එහෙමයි. දංවැලක් වගේ ඔක්කොම එකට පැටලිලා තියෙන්නෙ නේ. හැබැයි කොල්ලො උඹට කොයි පැත්තෙංවත් ලේසි වෙන්නෑ. අන්න ඒක මතක තියා ගනිං. අපි මංජරීවයි සයුරංගයවයි හලලම දාමු. ඒත් මෙහෙම හිතපං. උඹ හැම තිස්සෙම කියනවනෙ අම්ම ගැන…අම්ම කැමති වෙයිද බං මෙහෙම දේකට…අයානා හොඳ කෙල්ලෙක් වෙන්න ඇති. එඩියුකේටඩ් කෙල්ලෙක් වෙන්නත් ඇති. ඒත් ඒකි උඹට වඩා ටිකක් හරි වැඩිමල් එකේ…දන්නැද්ද ඉතිං…අම්මල ඕව හරියට හිතනවනෙ….අවුලක් ඇති වෙන එකක් නැද්ද ඉස්සරහට…එහෙම වුණොත් ඒකට ෆේස් කරන්න උඹට පුළුවන්ද…අයානා එක සැරේකුත් හිත රිද්දගෙන අම්බානක අමාරුවෙන් වෙන්නැති ඔය ගාණට හිත හදං ඉන්නෙ…ආයෙත් එකිට වෙන්නෙ ඒකමනං…උඹ දවසක අම්මල කියන විදිහට උඹේ ජීවිතේ හදා ගන්නනං ඉන්නෙ…ඒකිට කරන්නෙ අසාධාරණයක් නේද…දැන දැන ම…උඹ ටිකක් ඒ ගැන හිතල බලපං”
ඒ අවවාදය විහිළු තහළු වලින් තොර වූවකි. මුළු අනාගතයක් පිළිබඳ කතාවක් එහි ගැබ් වී තිබිණ. පෙර දා රාත්‍රියේ අයානා එක්ක දිගු වෙලාවක් කතා කරමින් සිටියදී දුල්නෙත් ගේ සිතේ ද ඔය කාරණා පෙළ නො ගැහුණා නොවේ. අයානා ඔහු වෙනුවෙන් බලා හිඳීම ගැන දුල්නෙත් ස්තූති කළේ ඒ සිතිවිලි අතරේ කිමිදී සිය තීරණය සොයා ගැනීමෙන් ද අනතුරුව ය.
“මං අයානාට ආයෙමත් හිත් රිදීමක් වෙන්න ඉඩ තියන්නෑ මචං”
සුසුමක අවසානයේ දුල්නෙත් එසේ කීවේ ස්ථිරසාර හඬකිනි. ඔහු ගේ ඇස් වල ද ඒ තිර අධිෂ්ඨානය මැනවින් ලියැවී තිබිණ. සුමීර මිතුරා ගේ උරහිසකට තට්ටුවක් දැමුවේ ය.
“එච්චරයි එහෙනං. ඕන දේකදි අපි උඹත් එක්ක ඉන්නව දුලා”
අයානා ගේ වෙනසක් එදා නාලිනී දුටුවා ය. විහාරයක් වගේ සන්සුන් වී සිටි දියණිය, මීට වසර කිහිපයකට පෙර උන් දඟකාර දැරිය බවට උන් හිටි ගමන් පරිවර්තනය වූ සෙයක් ඇයට දැනිණ.
“ඇයි ඔයා එහෙම කියන්නෙ…මටනං දුවගෙ එහෙම වෙනසක් දැනිල නෑ”
මේ ගැන සිය සැමියා සමග කතා කළ විට නාලිනී ට ලැබුණේ එහෙම පිළිතුරකි.
“ඒත් මට දැනෙනව. එයා අද උදේ ඉඳලම ඉස්සර වගේ…මං කියන්නෙ…අර විදුරත් එක්ක කසාදෙ කැන්සල් කරන්න කලින් හිටිය වගේ. මට ඒක එයාගෙ හිනාවකික් බැල්මකින් වුණත් දැනුණා”
“ඔයා කියන්නෙ දුව ආයෙ සතුටෙං ඉන්නව කියලනං…අපි ඒ ගැන කලබල වෙන්න ඕන නෑනෙ..”
“කලබල වෙන්න ඕන නෑ. එයා ආයෙමත් සතුටෙන් ඉන්න හේතුවක් තියනවනං…ඒ හේතුව තමයි වැදගත්. ඇත්තටම එයා සතුටෙන්නං අපි දෙන්නට ජීවිතේ ඉතුරු කොටස සැනසීමෙන් ගෙවල මැරිල යන්න පුළුවන්නෙ රෝහණ”
“දැන් ඉතින් එයා පොඩි දරුවෙක් නෙවෙයිනෙ. අනික එයා තමන් ගැන හරි තීරණයක් ගන්න පුළුවන් ළමයෙක් කියල අපිට ඔප්පු කරල පෙන්නපු කෙනෙක්. දුව ගැන අපි බය වෙන්න ඕන නෑ නාලි”
විදුර විවාහයෙන් දික්කසාද වූ වග ඔවුන් දැන ගත්තේ දහම් ගෙනි. අයානා එක්ක ඒ බව කියන්නට නො ගියත්, එදා ඇය ඔවුන් ගේ විවාහය අවලංගු නොකළේ වී නම් අයානාගේ ඉරණම ද එසේ විසඳෙන්නට තිබුණායි ජයසුන්දර යුවළ සිතුවේ සන්තාපය ද අනිත් අතට සැනසීම ද මුසු වූ හදකිනි. අයානා ගේ හිත කවුරුන් වෙත හෝ ඇදී ගොස් ඇත්නම් ඒ කවුද මොනවා කරන කෙනෙකු ද කියන වග ඔවුන්ට අදාල ම නැත. වැදගත් වන්නේ අයානා ගේ සතුට පමණකි. ඇය කිසිවෙකුට කැමති නම් ඔහු කවර තත්වයක සිටිය ද ඉත සිතින් පිළිගන්නටත්, තමන් සතු වන සියල්ල ඔවුන් දෙදෙනා නමින් පවරා දී ජීවිතයේ සැඳෑ සමය හිත් සුවයෙන් ගෙවන්නටත් ඔවුන් සූදානම් ය.
“ඔයා නිකමට දුරාශා දුවගෙන් අහල බලන්න. අපේ එක්කෙනා ලැජ්ජාවට නොකියා හිටියත් දුරාශා කියයිනෙ”
රෝහණ එසේ කීවේ පොඩි දරුවෙක් වාගේ සිනහ වෙන ගමන් ය. නාලිනී ද එවන් ම වූ සිනහවකින් එකඟ වූවා ය.
නිර්වාණ ද්වාර යේ කලබලකාරී බව අඩු වූ ගමන් දුරාශා අයානා ව කතාවට අල්ලා ගත්තේ ඇය බලාපොරොත්තු වූ පිළිතුර ලබා ගන්නට ය.
“එහෙම දෙයක් කිව්වෙ නෑ අනේ”
කී වෙනි වතාවට ද මන්දා අයානා මූණ රතු කර ගෙන කීවා ය.
“හරි එහෙනං කොහොම දෙයක්ද කිව්වෙ…”
“මුකුත් නෑ අනේ…මං වෙනුවෙන් හිටියට තෑන්කූ කිව්ව”
“ඉතිං බං ඔය කියල තියෙන්නෙ ආත්ම හතකටම ඇති වෙන්න…ඌ තමුසෙට ලව් කියල මට තේරුණේ මුලදිමයි අයා…මන් දන්නව ඔයාව සතුටෙන් තියනව ඒකා. එච්චරයි වෙන්න ඕනෙ. මේ ලෝකෙ එක එක විදිහෙ පිරිමි ඉන්නව. දැන් අපි අත්දැකීම් වලින් මෝරල හින්ද තේරෙනවනෙ. දුල්නෙත් කියන්නෙ ඔයාට ගැලපෙන කොල්ලෙක්. ඔයාට පණ වගේ ආදරේ කරන්න දන්න කොල්ලෙක්. ඔයාව ඇස් දෙක වගේ බලාගනී කියල විශ්වාස කරන්න පුළුවන් කොල්ලෙක්…අපිට ඕනෙ එහෙම කොල්ලෙක්ව තමයි. සහන් වගේ කෙනෙක් බැඳල ජීවිතේ අපායක් කරගෙන ඉන්න මට වුණත් ඕනෙ දුල්නෙත් වගේ මස්සිනෙක්. අපේ යාළුකම් පවා නැති කරල දාන්න හදන සහන් වගේ කෙනෙක්නං නෙවෙයි”
මහා සිනහ හඬක් සමග නිර්වාණයේ දොර තල්ලු වූයේ එතකොට ම ය. විවර වූ දොරෙන් දුල්නෙත් ගේ මිතුරු කැළ ගොඩ වූහ. දුල්නෙත් පසුබාමින් පසුපසට වී සිටියේ ය. දුරාශා සිනහවකින් ඔවුන් ඉදිරියට ගියා ය.
“අපි බැලුව කවුද මේ පොලිස්සියෙන් පැන්න වගේ කඩං පැන්නෙ කියල…මොකද දුල්නෙත් එළියෙ…එන්න එන්න”
“මේකයි…අපි කෙලින්ම කතාවට බහින්නංකො”
දුල්නෙත් ගේ මිතුරෙකු කතාව ඇරඹුවේ ය.
“සිරිත් විරිත් කියල දේවල් තියනවනෙ නේ…සාමාන්‍යයෙන් කැම්පස් එක ඇතුළෙ ඉන්න කෙනෙක් වගේ වුණානං අපි නාවල භෞතීස්ම කරල කාරිය තමයි මේව පටන් ගන්නෙ. ඒත් ඉතිං කැම්පස් එකෙන් පිට නිසා ඒව කරන්නත් බෑනෙ. ඒව කරන්න බෑ කියල හැම දේම නොකර ඉන්නත් බෑනෙ. ඒක කොච්චර වුණත් අපිට මදිකමක්නෙ. මොකද යාළුවො කියන වචනෙට අර්ථයක් දෙන්න ඕන නේ…නැද්ද මං අහන්නෙ…”
“හරි දැං මොකද්ද කරන්න යන්නෙ ඉතිං…”
දුරාශා හිස පසෙකට ඇල කර ගෙන අයානා ට සමීප වූයේ ඇය සිටින්නේ බය බිරාන්තව බව ඒ බැල්මෙන් ම දැනුණ නිසා ය.
“මේකනෙ ඉතිං…අපේ කියල පිලිගන්න අපිටත් සිරිත් විදි තියෙනවනෙ. අපේ එකා වෙනුවෙන් කරන්න තියන යුතුකම මේ…මේක ඇවිල්ල කැරට් විසි දෙකේ මාලයක්…”
බෑග් මල්ලක තිබී ඔහු පිටතට ගත්තේ කැරට් අල විසි දෙකක් එකට අමුණා තැනූ මාලයකි. ඒ සිහින් කැරට් ලාබෙට ගන්නට එළවළු කඩ කිහිපයකම රස්තියාදු වන්නට ඔවුන් ට සිදු විය. දුරාශා අතින් මුව වසා ගත්තා ය. අයානා මූණ රතු කර ගෙන ඇස් බිමට බර කර ගෙන සිටියදී සුමීර දුල්නෙත් ව ඇද අයානා වෙත ගෙන ආවේ ය.
“දාපං දාපං”
මිතුරෝ ඔහු ට බල කළහ. දුල්නෙත් පසුබාමින් සිටියේ ය.
“මචං එපා බං”
ඔහු පුළුවන් තරමින් බැගෑපත් වූයේ ය. නමුත් මිතුරන් ගෙන් ගැලවිය හැකි නොවිණ. අවසන අයානා වෙතට ගොස් කැරට් විසි දෙකේ මාලය ගෙල පළඳවන්නට දුල්නෙත් ට සිදු විය. අනිත් මිතුරෝ ද දුරාශා ද අත්පුඩි ගසමින් ප්‍රීති ඝෝෂා නැගූහ. වඩ වඩාත් ලැජ්ජාවෙන් රතු වී මලක් සේ බිම බලා උන් අයානා දෙස දුල්නෙත් බලා සිටියේ කවදාවත් වචන කොට කිව නොහැකි ස්නේහයකිනි.