මා හද මට නැති විට -21

රෑ අහස තාරකා එළි දසදහසක දීප්තියකින් බබළමින් තිබිණ.සඳ නැති අඩුව නොදැනෙන්නේ ඒ හන්දා ය.තේජගේ නිවසේ එකම විදුලි බුබුලක්වත් නොදැල්වේ. ඒ හන්දා දැනෙන හැඟීමට “හද්දා පාළුව” යැයි නමක් දෙන්නට ලාවන්‍යාට සිතේ. අද ඇගේ නිවාඩු දවස ය. අඩුම තරමේ රාත්‍රී ගුවන්විදුලි වැඩසටහන ඇති දවසවත් වූවානම් ඔහු නොමැති වීම මේ තරමට හිත රිදෙන දෙයක් නොවන්නට තිබිණ.

“යාළුවෙක්ගෙ ගෙදර පාටි එකක්. ගිහින් එන්නම්.”

එහෙම කියන අතර “ලාවි ආන්ටිට” බායි කියන්නැයි ලියෝන්ට ඉල්ලීමක් කරන්නට ද තේජ අමතක නොකළේ ය. යන සාදයකට මේ රාත්‍රියේ දරුවා රැගෙන නොයන්නැයි කියන්නට ලාවන්‍යාට සිතිණ. ලියෝන්ට ඔය වයසට රාත්‍රී සාදයක මිහිරියාවක් නැත. ඔහුව නවත්වා ගන්නට තරම් ආවේගයක් පැමිණිය ද ලාවන්‍යා හිත වාවා ගත්තා ය.

මිදුලේ ඇති සිමෙන්ති බංකුවකට වී නොපෙනෙන ඈත අහසට නෙත් යොමා හුන් ලාවන්‍යා සිටියේ ගීයකට සවන් යොමාගෙන ය. අද වැඩසටහන අසන්නට හිතක් නැත.මාෂි හිත නිවන ගීත තෝරන්නට දන්නා කෙල්ලක නොවේ. ඒ හන්දා ලාවන්‍යා වැරදීමකින්වත් ඇගේ නාලිකාව සුසර නොකළා ය. ගීයේ දැහැන බිඳිමින් පොඩි අක්කාගේ ඇමතුමක් ආවේ ඒ මොහොතේ ය. ලාවන්‍යා ඇමතුමට සම්බන්ධ වූවා ය. කරන්නේ කුමක්දැයි අසද්දී මිදුලට වී තරු බලන වග කියන්නට සිතුණේ ඇයිදැයි ඇය දන්නේ නැත. නමුත් ඈ අක්කාට එහෙම කීවා ය.අක්කලාත් සමඟ කුඩා කාලයේ තරු රටා සෙවූ අතීතය ලාවන්‍යාට සිහි විණ.කෑගසා දඟලන කුඩා දැරියක කර තබා ගත් තාත්තා ද තාත්තාගේ ඇඟේ එල්ලෙන වැඩිමලියන් ද එකල සිටියේ සන්තෝසයෙනි.

“ඉස්සර තාත්තා කියන්නේ අහසේ ඈත තාරකා වල ලස්සන ලස්සන සුරංගනා ලෝක තියනවා.ඒ ලෝකෙකින් කුමාරයෝ තුන්දෙනෙක් ඇවිල්ලා මේ කෙල්ලො අරන් යනකංනෙ මේ සේරම කියලා..අක්කට මතකද?”

තාත්තාගේ ඒ කතාව ලිහිණිට හොඳින් මතක ය. ඇගේ හදවත පෑරුණේ අකල්හි සමුගත් තාත්තා සිහි වී නොවේ. නංගී ඒ කතාව අල්ලා ගන්නා තැන දන්නා නිසා ය.

“ඒ වුණාට අක්කේ,තාත්තට රාස්සයෝ ගැන කියන්න අමතක වුණා. ඔයාලට අරන් යන්න කුමාරයෝ ආවට මාව අරන් යන්න ආවේ රාස්සයෙක්. එක අතකට ඒ රාස්සයාව තාත්ත නොදැක්ක එකම ඇති.”

ලාවන්‍යා පැවසුවේ එපමණකි. ලිහිණිට නංගිගේ අතකින් අල්ලාගෙන ඇය සනසන්නට ඕනෑ විය. නමුත් ඇය සැබෑවටම ලිහිණියක නොවේ.ඉගිල එන්නට අසීරු ය.

“රාස්සයොත් හම්බෙන්න ඕන චූටි.දැන් ඔයා දන්නවා ජීවිතේ සතුට දුක දෙකම ගැන.මට හිතෙන්නෙ අක්කටයි මටයි වඩා ලස්සනට ප්‍රශ්නවලට මූණ දෙන්න දැන් ඔයාට පුලුවං වෙයි. ජීවිතේ එහෙම එකක් චූටි.”

ලිහිණි කියන්නට පටන් ගත්තා ය. නැගණිය ගැන විවාහයක් ගැන කතා කරන්නට කාලය පැමිණ ඇති බව අම්මා පවසන්නී ය. නමුත් හිතක් හැදෙන්නට සෑහෙන කාලයක් ගතවෙන බව විශ්වාස කරන ලිහිණි එවැනි දේ කියන්නට හදිසි නොවන්නී ය.

ලාවන්‍යා අක්කා සමඟ බොහෝ වෙලාවක් කියවමින් සිටියේ කම්මැලිකම හන්දාම නොවේ. තේජ කිසියම් මොහොතක පැමිණෙන්නට ඉඩ ඇති බව සිතමිනි. ඔහු නොදැක ඔහුගේ මන්දස්මිතයක් දෑසේ තවරා නොගෙන නින්දට යන්නට ඇයට ලෝබකමක් දැනේ. ඒ හන්දා ඇය අක්කාගේ ඇමතුම අවසන් වූ පසු මිතුරියන්ගේ වට්ස් ඇප් සාකච්ඡා මණ්ඩපයට යන්නට තීරණය කළා ය. සෙනුරිගේ මංගල්ලය ළඟ ළඟම එන හන්දා කෙල්ලන් කාර්යබහුල ය. ලාවන්‍යාට දෙවැනි මනාලියක වන්නට නොහැකිනම් නිර්වාන් දෙවැනි මනමාලයා නොවන වගට කළ ප්‍රකාශයක් හන්දා සාකච්ඡාව උණුසුම් වී තියේ.

“මං සාස්තරයක් කියන්නං..”

පාරමී ලියා එවා තිබිණ. ඉන් නොනැවතී ඇය සාස්තරය ප්‍රකාශයට පත් කළා ය.

“නඩුව ඉවර වෙලා ලාවි හිත හදාගන්නකම් නිර්වාන් බලා ඉන්න ඇත්තේ. මේ ඒකට හොඳම වෙලාව කියලා නිර්වාන් දන්නවා. ඔන්න ඔය බ්‍රයිඩ්ස්මේඩ් යෝජනාව පිළි ගන්නව හලෝ. අනිත් යෝජනාව පස්සෙ පිළි ගන්න බැරිය.නැත්තං උෂාන් අයියට ඔෆිස් එකේ හොඳම යාලුවා බෙස්ට්මන්ට ගන්න බැරුව යයි”

එය සැබෑවටම මට අදාළ කාරණාවක් නොවේයැයි කියන්නට ලාවන්‍යාට සිතිණ..ඇයට එයට දෙන්නට ඇත්තේ සරල පැහැදිලි පිළිතුරකි.ප්‍රේමය සමඟ මේ කාරණාව පටලාගෙන ඉන් ඇයට බලපෑම් කරන්නට තරම් නිර්වාන් නූගතෙකු නොවනු ඇතැයි සිතන්නට ඇය කැමති ය. 

“සාස්තරේ ඊළඟ අදියර..”

පාරමී නැවත ලියා එව්වා ය. විවාහ මංගලෝත්සවයේ කතාව ලාවන්‍යා සමඟ පැටලී අවසන් ය.

“ඔයා ඔය හිතේ තියන් ඉන්න කාරණාව තේජනම් ජීවිතේට ඔයාගෙන් අහන් නෑ. මං ඔයාව එක උගුලකින් නිදහස් කරා. තව උගුලක පැටලෙන් නැතුව පරිස්සම් වුණොත් හොඳයි. බලාපොරොත්තු ඇති කරලා නිස්සද්දව ඉන්න මිනිස්සු හරි බයානකයි හොඳද?”

පාරමී ඒ වග පැවසුවේ පටිගත කරන ලද හඬ පටයකිනි. ඇය එ වග කියන්නේ තද හඬකිනි..ලාවන්‍යාගේ හදවත කැබලි ගණනාවකට කැඩී යන හඬ ඇයටම ඇසිණ.දෙනෙතට උපන් කඳුළු සඟවා ගනිමින් ඇය කිසිම එළියක් නැති තේජගේ නිවස දෙස බලා සිටියා ය. එහි කිසිම සජීවී ගතියක් නොවේ.අඳුරේ ගිලී තිබේ.

“එයා මගෙන් එහෙම දෙයක් නෑහුවොත් මං එයාගෙන් අහනවා..”

ලාවන්‍යා ක්ෂණික හිතුවක්කාර තීරණයක් ගෙන එය ඉතා වේගයෙන් ලියා යැව්වා ය. එය ආවේගයටම පැවසූ කතාවක් නොවේ. ඇයට ආදරයක් මඟ හැර ගන්නට ඕනෑ නැත. ආවේගය ගැන ලැජ්ජා සිතෙද්දී ඇය කතාවට අනුත්තරා ඇද ගන්නට ඇගේ නම මෙන්ෂන් කළා ය.

අපි එයාට ඒක කියමුද අනූ?”

තනිව කියන්නට තිබූ ධෛර්යය සෘණ අගයකට සිඳී ගොස් අවසන් ය. අනුත්තරාගේ උදව් සහ ශක්තිය නැතිව මේ ප්‍රේමය ජය ගන්නට අසීරු ය. ලාවන්‍යාට එහෙම හිතෙන්නට පටන්ගෙන තිබිණ.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles