මා හද මට නැති විට – 11

“කොහොමත් උඹලගෙ ඔෆිස් එකට යන එන වෙලාවට මටනම් තේරුණු දෙයක් තියනව. අනුත්තරා ඉන්නෙ උඹ ගැන කැමැත්තෙන්. උඹ එකපාරටම එයාගෙ යාලුවගෙ ගෙදර ගාව පදිංචියට ගිහින් ඒ ළමයා ගැන උනන්දු වෙනවට අනුත්තරා කැමති නෑ.”

පසන්ගේ ඒ කතාව ගැන තේජට ආවේ අමනාපයකි. ඔහු කාර්යාලයේ ළඟින්ම ඇසුරු කරන ගැහැනු ළමයා අනුත්තරා ය. අනුත්තරාට ගැහැනු ගති ඇත්තේ අඩුවෙන් වග සිතීම ඒ ආශ්‍රයට හේතු විය. ඇය ටොම් බෝයි පන්නයේ කෙල්ලකි. ඒ කතාව අසා සිටි පසන් තවත් හිනැහෙන්නට පටන් ගත්තේ ය.

“ඔය ගර්ල්ස් කොලේජ්වල වෙන වෙන දේවලුත් තියනවනෙ. එහෙනම් අනුත්තරා කැමති උඹට නෙවෙයි. ලාවන්‍යාට. “

වහින වෙලාවට පිටතට නොයන්නැයි තේජ පසන්ට පැවසුවේ සැරෙනි. හැමදෙයක්ම විහිළුවට ගන්නා ඔහු සමඟ සමහර මොහොතක ගනුදෙනුව මහත් අපහසු ය.

“පේනව නේද? දැන් උඹට මං මේ කියන කිසි දෙයක් තේරුම් ගන්න බෑ. හිතින් විකාර හදාගෙන කුණුහරප කියනවා. මං අනූව ආස්සරේ කරන්නේ ඔන්න ඕකයි.”

තේජ පැවසුවේ සරදම් හඬකිනි. පසන් කාලාන්තරයක් තිස්සේ මිතුරෙකු බව සැබෑවකි. නමුත් ඔහුට මෙවැනි විකාර ගති ලක්ෂණ ද වේ. එවැනි මොහොතක පවා අසා හිඳින්නට කෙනෙකු ඕනෑ වේ.

“අනුත්තරා හැම කෙනෙකුටම සලකන්නේ මනුස්සයෙක් හැටියට. එයා ගෑනු පිරිමි කියලා බේද හදා ගන් නෑ. එහෙම මනුස්සයෙක් එක්ක යාළුකමක් තියා ගන්න එක පුදුමාකාර ලේසි දෙයක්.”

තේජ එය විස්තර කළේ එහෙම ය. අනුත්තරා තමන් කෙරෙහි ප්‍රේමයකින් නොවන බව ඔහු දනියි. ඔහුට එය මොනවා නැතත් විශ්වාස ය. ඇය මනුෂ්‍ය සම්බන්ධතා ගැන සැලකිලිමත් ය. ප්‍රේමය නොව කිසිම බැඳීමක් හන්දා කිසිවෙකුත් සිත රිද්දා ගන්නට ඕනෑ නැති බව අනුත්තරා බොහෝ වාරයක් කියා ඇති අන්දම තේජ සිහි කළේ ය. ඇය ලාවන්‍යාව තමන්ගෙන් ඈත් කරන්නේ ඒ හන්දා ද? ලියෝන්ව දිවා සුරැකුම් මධ්‍යස්ථානයෙන් රැගෙන තමන් එනතුරු තබා ගන්නැයි ඔහු ඉල්ලා සිටියේ එකම නෑනා වූ රමාලිගෙනි. තේජගේ මල්ලී වූ නවීන් ද ඔහුගේ බිරිඳ වූ රමාලි ද ඔවුන්ගේ දියණියට වඩා ආදරයෙන් ලියෝන්ව රැක ගන්නා බව තේජ දනියි. සැනසීම ද එය මිස කිසිවක්ම නොවේ.

“මට ලියෝන්ව මුළු ජීවිතේම බලා ගන්න පුලුවන්. මේලිට වඩා ආදරෙන් මං එයාව බලා ගන්න බවත් මම දන්නවා. හැබැයි ඉතින් දැන් ලියෝන්ට අම්මෙක් ගේන්න කාලේ හරි.”

ලියෝන්ව රැගෙන එන්නට යද්දී අදත් රමාලි ඔය මන්තරයම මතුරන්නට ඉඩ තිබේ. නමුත් තේජ ඒවාට කිසිවක්ම නොකියන්නට ප්‍රවේසම් ය.

“රමී කියන එක හරි අයියේ. කොල්ලව අපි බලාගන්න එක වෙනයි. එයාට පවුලක් ලැබෙන එක වෙනයි.”

නවීන් ද ඒ කතාවට පොහොර දමන්නට ඉඩ තිබේ. නමුත් ඔහු යථාර්ථය කතා කරන මොහොතකට තේජ අකමැති ය.

“රමී කියන එක හරි. ඒත් එයාවත් නොදන්න ඇත්තක් ඔය කතාවේ තියනවනෙ. අන්න ඒ හන්දා මුලින්ම ඒ ගැටේ ලිහන් ඉන්නවා. නැත්තම් ඔයාව විතරක් ඔය ගැටවල පැටලිලා නිකම් ඉන් නෑ අයියේ. ලියෝන් පවා පැටලෙන්න ගන්නවා. කෞෂිටයි ඔයාටයි මුලින්ම ගැට ටික ලිහාගන්න කොන්ද පණ තියෙන්න ඕන.”

නවීන් ඒ කතාව පැවසූ දවසේ සිට ඔහු සමඟ කතාබහ ප්‍රවේසමෙන් කරන්නට තේජ ප්‍රවේසම් ය. ගැට ලිහා ගත යුතු වේ. නමුත් එයට හිස නිරවුල්ව තබා ගන්නට ඕනෑ බව ඔහු සිතී ය.

ලියෝන්ව රැගෙන නිවසට එන අතරමඟ තේජ මෝටර් රථයේ ගුවන් විදුලි යන්ත්‍රය ක්‍රියාත්මක කළේ ය. ඉන්පසු ඔහු කළේ ලාවන්‍යාගේ නාලිකාව සුසර කිරීම ය. මේ ඇගේ වැඩසටහන විකාශය වන වෙලාව ය.

“අද ලාවන්‍යා නැති නිසා මගේ කන්කරච්චලේ බොහොම අමරුවෙන් හරි අහගෙන ඉන්න වෙනවා ඔයාලට. ලාවිට සනීප නෑ.”

රාත්‍රිය වඩා සුන්දර කරමින් අඳුර ඉරා මතු වෙන ලාවන්‍යාගේ ගැඹුරු කටහඬ වෙනුවට ගිරා පෝතක නිවේදිකාවක් කිචිබිචි ගාන්නට ගත්තා ය. තේජ වහා ගුවන්විදුලි නාලිකාව වෙනස් කළේ ය. ඇය පැවසුවේ ඇත්තකි. ඇය මහා කන්කරච්චලයකි. ලාවන්‍යා එසේ නොවේ. ඇය කතා කරන්නේ බොහෝ බරැති කතන්දර ය. ඒවා අසා හිඳීම පවා ප්‍රිය උපදවයි.

“උඹට ලාවන්‍යාට ළං වෙන්න අනුත්තරා කිසිම චාන්ස් එකක් දෙයි කියලා හිතන්න එපා පුතේ.”

පසන්ගේ මෝඩ හිනාව සවන් තුළ නින්නාද දෙන සෙයක් තේජට දැනිණ. ඔහු කල්පනාවට වැටිණ. අනුත්තරා එයට ඉඩකඩ නොදෙන්නේනම් ඒ සම්බන්ධයෙන් ක්‍රියාත්මක වන්නට ඕනෑ තමන්ම ය. 

“අපි ළමා දිනේට කරන ප්‍රෝග්‍රෑම්ස්වලට මීඩියා ස්පොන්සර්ෂිප් එකක් බැලුවද ලක්මිණි?”

ඔහු ආයතනයේ යුවතියක ඇමතුවේ ඒ හන්දා ය. කාර්යාල කටයුතු අවසන් කර නිවසට පැමිණ රෑ උයමනෙහි යෙදී සිටි ලක්මිණිට කෝපයක් ද හට ගැනිණ. වෙලාවක් අවේලාවක් නැති ලොක්කන් සමඟ ගනුදෙනුව අපහසු ය. වෙනත් රැකියාවක් හොයන්නට සිතෙන්නේ මෙවැනි වෙලාවට ය.

“බබ් බබ් ගාන්න නෙවෙයිනෙ ලක්මිණි මම කියන්නේ. වැඩක් ගැන ඇහුවම ඔව් හරි නෑ හරි කෙලින් උත්තරයක් දෙන්න.”

ඊළඟට මතු වෙන්නේ ඒ බැනීම බව දන්නා ලක්මිණි වේගයෙන් ළූණු කපන්නට වූවා ය.නමුත් තේජ දුන්නේ සිතන්නටවත් අමාරු පිළිතුරකි.

“ලක්මිණි, ඒ වැඩේ කතා කරගෙන නැත්නම් පොඩ්ඩක් ඒක හෝල්ඩ් කරන්න. මං ඒක බලන්නං.”

ඒ වන්නට ඇත්තේ කුමක්දැයි ලක්මිණි පුදුම වෙද්දී තේජ ඇමතුම විසන්ධි කර අවසන් ය. සමහර සැලසුම් හිතට එන වේගය ගැන සිතෙද්දී ඔහුටම පුදුම ය.

නමුත් මේවා කල් හරින්නට ඕනෑ කාර්යයන් නොවේ!

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles