මා හද මට නැතිවිට – 25

රමාලි හදවත මැද අත් හළ බෝම්බය පිපිරී හෘත් කුටීරවලින් ලේ ගලා යන්නට තේජ ඉඩ හැරියේ ය. නමුත් ඔහුට ඒ හදවත සිදුරු වී ගිය දවස සිහිපත් විණ.

“මට ඇත්තටම මෙන්න මේ ප්‍රශ්නෙට උත්තර දෙනවද?”

බොහෝ ඉවසීමකින් යුතුව ඔහු කෞෂිගෙන් එදා එසේ ඇසුවේ  ඉවසීමෙනි. ඒ ඔහු සතුව කිසිම ඉවසීමක් ඉතිරිව නැතැයි සිතුණු මොහොතක ය.

“මං ඔයාට හරි ආදරේකින් හිටියා.ඇත්තටම ඔයත් එහෙම හිටියා. අපි එකට ජීවත් වුණා. දරුවා ලැබෙන්න එනකොට කසාද බඳිමු කියලා පවා මම ඔයාට යෝජනා කළා. කමක් නෑ. ඔයාට ගැළපෙන දේ තෝරා ගන්න ඔයාට අයිතිය තියනවා.ඔයාට කැමති කියලා හිතෙන කෙනෙකුට ආදරේ කරන්න ඔයාට අයිතිය තියනවා.ඒ නිසා ඔයා මාව ප්‍රතික්ෂේප කරාට මගේ තරහක් නෑ..”

ඒ වචනවලට සාමාන්‍ය යුවතියක ලෙස කෞෂි සසැලුණේ නැත. ඇය ගහක් ගලක් වී බලා සිටියා ය.

“අපි එකට ජීවත් වුණා. දරුවෙක් හැදුවා. එහෙමයි කියලා මං ඔයාට ආදරේ කර කර හැමදාම ඔයා ගැන හිත හිත ඉන්න ඕනෙද? මට ආදරේ කෙනෙකුට මං ලංවෙනකොට ඇයි ඔයාට කේන්ති යන්නේ?”

ලියෝන් නම් කුඩා ජීවියා බලහත්කාරයෙන් මේ ලෝකයට නොපැමිණි බවත් ඔහු රැගෙන ආ වගකීම දෙදෙනාටම ඇති බවත් තේජ කෞෂිට පැහැදිලි කළේ ය. නමුත් ඇය එය එතරමට ගණනකට නොගත්තා ය. එමතු නොව ඇය ඇගේ පෙම්වතා සමඟ මව්බිමෙන් පිට වී දැන් වසර කිහිපයකි.

“ආපහු කෞෂි බලාපොරොත්තු වෙලා වැඩක් නෑ. ඩිවෝස් නඩු දාන්න ඕන නැති බව ඇත්ත. ඒත් ඔයා ලියෝන්ව ඔයාගේ තනි අයිතියට ගන්න බව එයාට දැනුම් දීලා ඔන්න ඔය බැඳීම ඉවරයක් කරනවා අයියේ”

නවීන් එහෙම කියන්නේ අයියා එසේ කරන බවට විශ්වාසයෙන් නොවේ. නමුත් නොකියා ඉන්නට බැරිකමට ය.

ලාවන්‍යා ඒ කිසිවක්ම නොදැන තත්පර කටු ද ගනිමින් හුන්නා ය.අද කාලය ගත වන්නේ ඉතා සෙමින් වග ඇයට සිතේ.එය දරන්නට අපහසු හැඟීමකි. ඇය ඔරලෝසු කටු ගනිමින් නොඉවසිලිමත් හැඟීමකින් පිරී ගියා ය.ඇයට අද වැඩසටහන කරන්නට ඇත්තේ තදබල නොඉවසිල්ලකි. බොහෝ දවස්වල විරහව ගැන පවසමින් ඒ සම්බන්ධ ගී තෝරමින් සිටි ඇය අද ආදර ගීත ද ආදරය සම්බන්ධ නවකතා කොටස් ද තෝරා ගත්තා ය. ඒ සියල්ල තේජට ඇසෙන්නට ය.මේ නොඉවසිල්ලෙන් පිරී ගිය ඇය භාතිය කෝප ගන්වන තරමට තනිව හිනැහෙමින් සිටියා ය.

“අරයට මොකද අර වෙලා තියෙන්නේ?”

භාතිය තවත් නිවේදිකාවක වූ චාපාගෙන් ඇසුවේ ඉවසීම සිඳී යන තැනදී ය. චාපා දෙවුර ගස්සා නොදන්නා බව හැඟවූවා ය.සැබෑවටම දැන් ලාවන්‍යා චාපා සමඟ කිසිවක්ම බෙදා නොගන්නා තරම් ය. ඇය මෙතැන කිසිවෙක්ම විශ්වාස නොකරන්නේ දික්කසාදය සිදු වෙමින් පැවති දවස්වල පැතිරී ගිය නින්දිත කටකතා හන්දා ය. ඉන් අනතුරුව ඇය භාතියගේ යහනට යා යුතු බව භාතියට ඇති විශ්වාසය හන්දා ය. ප්‍රේමය සහ රාගය එකට පැවතෙන බව සත්‍යයකි. නමුත් රාගයෙන් ඔද්දල් වූ භාතිය දන්නා ප්‍රේමයක් නොවේ. ඔහු ද භවන්තගේම කාබන් කොපියක බව ලාවන්‍යා සිතයි.

“ලාවි ප්ලීස්! ඔහොම තනියම හිනා වෙවී ඉන්න එපා.බලන අයට ඔයාව විහිළුවක් වෙලා පේනවා.”

මුව වසා සිටීම ඇතිවූ මොහොතේ චාපා එසේ පැවසුවා ය.ලාවන්‍යා උස් හඬින් හිනැහෙන්නට වූවා ය. චාපා වැන්නියන් මට්ටු කරන්නට ඕනෑ කඳුලකින් නොව නොනවතින සිනාවකින් වග ඇයට කියා දුන්නේ පාරමීත් අනුත්තරාත් ය. ඒ දරා ගන්නට අසීරු වූ දුෂ්කර දවස්වල ය.

“මිනිස්සු හිනාවෙනකොට විහිළුවක් වෙන්නේ නෑ.මිනිස්සු අඬනකොට විහිළුවක් වෙන්නෙත් නෑ.හිනාවෙන එක අඬන එක මිනිස්සුන්ගෙ හැඟීම් ප්‍රකාශ කරන විදියක්.ඒක කොහොමද විහිළුවක් වෙන්නේ? වචනවලින් ගනුදෙනු කරන රස්සාවක් කරන අපි එහෙම වැරදි අවබෝධවල ඉන්න එක සෑහෙන නරකයි.”

ලාවන්‍යා අසන සමහර ප්‍රශ්නවලට පිළිතුරු දීමට අසීරු හෙයින් චාපා කිසිවක් නොකියා සිටින්නට උත්සාහ කළා ය.එහෙත් ලාවන්‍යා දිගින් දිගටම කතා කරන්නට පටන් ගත්තා ය.ඒ චාපාට පමණක් නොවේ. භාතියට ද ඇසෙන්නට ය.

“සතුට, දුක වගේම ආදරේ කියන දේ වුණත් උපද්දවන්න බෑ චාපා. ඒ ඔක්කොම ඇති වෙන්න ඕන හැඟීම් අම්මා තාත්තා කිව්වට යාලුවෝ කිව්වට කෙනෙකුට ආදරය කරන්න හරි අමාරුයි. සමහර වෙලාවට මිනිස්සු පස් කාගෙන අනිත් අයව හිනස්සන්න හැදුවට හිනා යන්නේ නෑ. දුර්වලම තැන් පෙන්නලා ඇහැට ඇඟිල්ලෙන් ඇන්නට ඇඬෙන්නෙත් නෑ. කාවත් බලෙන් අඬවන්නත් එපා.කාවවත් බලෙන් හිනස්සන්නත් එපා. ඒ වගේම කෙනෙක් හිනා වෙලා ඉන්නකොට එයත් එක්ක හිනා වෙනවා මිසක හේතු අහන්නත් එපා.”

ලාවන්‍යා එසේ කියද්දී ඇය තමන්ට සරදම් කරන බව භාතිය වටහා ගත්තේ ය. ඇය අහිමි වී යාමෙන් ඇති වෙමින් තිබූ ශෝකය ක්ෂණික කෝපයකට හරවා ගත් ඔහු ලාවන්‍යාට අපහාස කරන්නට සිතුවේ ය.නොලැබෙන ආදරයකට සිනාසී සමුදීම වෙනුවට බොහෝ තරුණයන් තෝරා ගන්නා පහසු මාර්ගය තෝරා ගන්නට භාතිය දෙවරක් නොසිතී ය.හදවත ක්‍රමයෙන් සකස් කරගැනීම කියන්නේ පහසු ක්‍රියාවක් නොවේ. රිදුණු හදවතක් පිළිසකර වන්නට යම් කාලයක් ගත වේ .නමුත් ආදරයක් ප්‍රතික්ෂේප කරන තරුණියකට අපහාස කිරීම හිත හදා ගන්නට පහසුම මඟ යැයි සිතන තරුණයන් හිඟ නොවේ. අනෙක් අතට භාතියට ඕනෑ ස්ථිර ආදරයක් ද නොවේ. ඔහුගේ කෙටිකාලීන ප්‍රේමයක් වන්නට බැරිතරමට ගණන් උස්සන ලාවන්‍යා ගැන භාතිය කෝපයෙන් උමතු වූයේ ය.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles