මා හද මට නැති විට – 29

“මිසිස් ප්‍රතාපසිංහ පුදුම තරම් සතුටකින් ඉන්නේ”

ඒ කොටස රැකියාවට අයත් නැතත් අනුත්තරා තේජට පැවසුවේ හිනැහෙමිනි. “දරුවන්ට ආදරෙන්” වැඩසටහන් මාලාව සමාජ ජාලා කළඹවන්නට පටන් ගෙන තිබූ අතර ඒ හන්දා ආයතනයට දැඩි ජනප්‍රිය බවක් ලැබෙමින් තිබිණ. දරුවන්ට හඬක් නැති තැනක හඬ නැඟිය යුත්තේ වැඩිහිටියන් බවට ලාවන්‍යා ප්‍රචලිත කළ මතය අත්තටු ලබා පියඹා යමින් තිබිණ. වීදි දරුවන්, ගෘහ සේවයේ යෙදෙන දරුවන්, අපයෝජනය වන දරුවන් ගැන දුරකථන ඇමතුම්වලට පිළිතුරු දී ලක්මිණි හති වැටී සිටියා ය. 

“ලාවන්‍යා ඕනෑම වැඩක් පුදුමතරම් කැපවීමකින් කරන ළමයෙක්. එයාගේ බොරු හුරතල් නෑනේ. ඒ ළමයා මේ වැඩේට හරියයි කියලා මං හිතපු එක හරියටම හරි ගියා.”

තේජ එසේ කියද්දී අනුත්තරා ඔහු දෙස මුදු මන්දහාසයක් ඇතිව බලා හුන්නා ය. ඔහු ලාවන්‍යා කෙරෙහි මෘදු වන තැන් ද තිබේ. ඒ මෘදු බව ප්‍රේමයක් නොවීම ම ගැටළුවකි.

මම හිතුණොත් ලාවන්‍යාට කියනවා මං ගැන බලාපොරොත්තු තියා ගන්න එපා කියලා. ඒ ළමයා මං ගැන හිත හිතා ඉන්න එකෙන් එයාටම හානියක් කරගන්නවා කියලයි මට හිතෙන්නේ.”

තේජගේ ඒ වචන අනුත්තරා තිගැස්මට ලක් කරන්නට සමත් විය. ලාවන්‍යාට ඒ ප්‍රතික්ෂේප කිරීම දරා ගන්නට අපහසු බව ඇය දනියි. ඇය එක ප්‍රතික්ෂේප කිරීමකින් සුව වෙන්නට පටන් ගත්තා විතර ය. අහම්බයකින් ආදරයක් හට ගත් ඇගේ හදවත සන්තෝසයෙන් ඉපිලෙමින් තිබූ බව අනුත්තරා තරම් දන්නා කෙනෙකු නොවූවා ය. අනුත්තරාට වේදනාවක් දැනෙන්නේ ඒ නිසා ය.නමුත් තේජට බලපෑම් කරන්නට තමන්ට ඇති අයිතිය කුමක්දැයි ඇය නැවත නැවතත් සිතන්නට ගත්තා ය. ප්‍රේමයක බීජයක් බලයෙන් රෝපණය කරන්නට අපහසු ය.

“එයා අවුල් වෙයි හැබැයි. මොන හේතුවකට එයා ඔයාට බැඳුණද කියන එක මට අදටත් අබිරහසක්.”

ඇය එපමණක් පවසා මිතුරා දෙස බලා හුන්නා ය.නමුත් තේජ සිටියේ දරදඬු කරගත් සිතකිනි.ඔහු නොගැළපෙන තැනක් හන්දා බොහෝ විඳවූයේ ය.දැන් සූදානම් නැති ප්‍රේමයකට ළං වී වේදනා විඳින්නට ඔහුට නොහැකි ය. ආදරය කරන්නට කිසිම සූදානමක් නැති ඔහු වෙතින් ලාවන්‍යා පීඩාවට පත් වෙන්නට ඇති ඉඩ හොඳටෝම වැඩි ය.

“සාමාන්‍යයෙන් කොල්ලෙක් කෙල්ලෙක්ගෙන් යාලු වෙන්න ඇහුවම සමහර ගෑනු ළමයි ඒක රිජෙක්ට් කරනවා.සහමුලින්ම අකමැති වෙනවා. සමහර වෙලාවට අපහාසත් කරනවා. එතකොට කොල්ලො කරන්නේ ඒක අත් අරින එක. හිත ගිනි ගනිද්දී පවා ඒක අමතක කරන එක. ඒත් කෙල්ලෙක් කොල්ලෙකුට කැමැත්තෙන් ඉන්නකොට සෑහෙන දෙනෙක් ලෑස්ති වෙනවා ඒක කොහොමහරි කරලා දෙන්න.ඒක හරි අවුලක් අනූ”

තේජගේ වචන සත්‍යයක් බව හිමාෂාට සිතිණ. ලාවන්‍යාගේ ප්‍රේමය ගැන ඇය දැන් කිහිප වතාවක් වක්‍රව ඔහුට කියා තිබේ. දෙවතාවක්ම ඒ ගැන සෘජුව පවසා තිබේ. නමුත් නිර්වාන් ලාවන්‍යාට ඇති ප්‍රේමය ගැන උෂාන් ඇයට පැවසුවේ එක් වතාවකි. ලාවන්‍යා ඒ ගැන කිසිවක්ම නොපැවසූ නිසා සමහරවිට නිර්වාන් තවම බලාපොරොත්තු සහගතව හිඳිනවා වන්නට ද හැකි ය. තේජගේ මේ කතාවට අනුත්තරා කිසිවක්ම නොකියා ඉන්නට ප්‍රවේසම් වූවා ය. ලාවන්‍යා නිසා තේජ සහ තමන් අතර ඇති මිත්‍රත්වයේ ඝට්ටනයක් ඇති වන්නට ඉඩ ඇති බව පාරමී අනාවැකි කී අන්දම ඇයට සිහි වේ. ඒ සියල්ලම අනුත්තරාට ගෙන ආවේ අපහසු හැඟීමකි.

“සමහර දේවල් වෙනකම් බලන් හිටියට ඒවා නොවෙද්දී මිනිස්සු කැමැත්තෙන් හරි අකමැත්තෙන් හරි හිත හදා ගන්නවා. ලාවිට බලාගෙන හිටියා ඇති වෙන දවසක් එයි. එහෙම නැත්තම් ඔයාට පුලුවන් මේ ගැන එයා එක්ක කෙලින් කතා කරන්න.”

අනුත්තරා එසේ කියද්දී තේජට දැනුණේ අපහසු හැඟීමකි. ඔහු පසු කළ අතීතය සමඟ බලද්දී මේ ගැටළුව ඉතා සුළු දෙයකි. බොහෝවිට කාලය විසින් මෙය විසඳන්නට වැඩි ඉඩක් තිබේ. එසේ තිබියදී අනුත්තරා සමඟ කමකට නැති කතාවක් ගෙන යාම ගැන ඔහු ශෝක වූයේ ය.

“ඕනම දෙයක් නියපොත්තෙන් කඩන මට්ටමේ තියනකොට විසඳා ගන්න.නැත්නම් ඇත්තටම ප්‍රශ්න විසඳා ගන්න අමාරුයි. ආදරේ කියන කාරණාවටත් ඒක පොදුයි. ලාවිට කලින් වතාවේ වුණෙත් නියපොත්තෙන් කඩන්නේ නැතුව බලන් හිටිය එක. අන්තිමට පොරවක් නෙවෙයි ලොකු කියතක් ඕන වුණා.”

අනුත්තරා එසේ පවසා යන්නට ගියේ තේජට කල්පනා කරන්නට ඉඩ ඉතුරු කරමිනි.

තේජට ප්‍රේමයක් නොවීම හන්දා සාංකාවෙන් සිටියේ අනුත්තරා පමණක් නොවේ. ඒ මොහොතේ නවීන් ද සිටියේ අයියා හන්දා කරදරයකට මැදිව ය. අම්මා ඔහු කාර්යාල හෝරා ගෙවන වගවත් නොසිතා ඔහුට අමතා තිබිණ.

“අයියට මොකුත් සම්බන්දයක්වත් තියනවද පුතේ? එහෙම තියනවනම් අපිට කියන්න කියන්නකො. බලලා කරලා දෙමු.”

අම්මාගේ ජීවිතයේ එකම අරමුණ අයියාට වාහයක් කර දීම බවට පත් වීම දරාගන්නට අපහසු දෙයක් බව නවීන්ට සිතිණ.අයියාට සැනසීමෙන් හිඳින්නට ඉඩ හැරිය යුතු වේ. ඔහුට විවාහයට බල කිරීම ම ඔහුගේ ජීවිතයට කරන මහත් හානියක් බව නවීන් තේරුම් ගෙන තිබිණ. කෞෂිගේ අතීතයත් ලියෝන්ගේ වර්තමානය සහ අනාගතයත් ඔහුට ප්‍රමාණවත් නම් එතැනින් එහා බලපෑම් කිරීම අනවශ්‍ය වැඩකි.

“මිනිස්සුන්ගේ ජීවිතේ එකම අරමුණ කසාදයක් වෙන්න ඕනද අම්මේ? අයියා බබෙක් නෙවෙයිනෙ”

ඒ ප්‍රශ්නයට මල්ලිකා ඇය දන්නා හොඳම තුරුම්පුව පිටතට ගත්තා ය. අම්මා කෙනෙකු නැතිව දරුවෙක් ඇතිදැඩි වීම කිසිම අයුරකින් හොඳ දෙයක් වන්නේ නැත. ඔහුට පාළුව සහ තනිකම දැනෙන්නේ තව උස්මහත් වෙන විටදී ය. රමාලි හොඳ පුංචි අම්මා කෙනෙකු වග සත්‍යයකි. නමුත් ලියෝන්ට අම්මා කෙනෙකු ඕනෑම ය.

“ආදරයකින් තනි වුණු කෙනෙක්ට තියන ලොකුම පීඩනේ තමයි අම්මේ  බඳින්න කියලා ඒ මනුස්සයට බල කරන එක. ඒක මොන තරම් ඔලුවෙ කැක්කුමක්ද? පොඩි කාලේ බලෙන් කොළ මැල්ලුම් කවනව වගේ බලහත්කාරෙන් කසාද කරලා දෙන්න හදන්න එපා අම්මේ. අයියා කසාදයක් කර නොගත්තට කෞෂි එක්ක හොඳින් හිටියානෙ.ආපහු කෞෂි එයිද කියලවත් අපි දන්නවද?”

රතිඤ්ඤා කරල් පුපුරන තරමට අම්මා කියවාගෙන යන හඬ නවීන්ට ඇසිණ. ඔහු දුරකථනය විසන්ධි කළේ ය.

(ඇත්තටම කෞෂි ආයේ එයිද?)

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles