මා හද මට නැති විට – 31

ලාවන්‍යා දෑස් හැරියේ ඉන්ද්‍රා ආන්ටිගේ කියවිල්ලේ සැරට ය. ඇයට කැමිලා පාකර්ගේ තොප්පියේ ඇදය ද මීනා කුමාරිගේ කොණ්ඩයේ සරුසාර බව ද අලුත් නිළියකගේ ගවුමේ කොට ද කාංචනා අනුරාධිගේ හුරතල්කම ද එකතු කර සලාද හදන්නට හැකියාව තිබේ. ඒ සේරෝම අගමුල නැතුව අසා හිඳින්නට වෙද්දී අම්මාගේ ඔළුව කැරකවිල්ල හැදෙන බව ඇය දනියි. නමුත් අම්මා ඉන්ද්‍රා ආන්ටිගේ ඕපාදූප ඇසීම නතර කරන්නේ ද නැත.

“හරි ඉතිං ඒ යෝජනාවෙ තියන නරක මොකක්ද අනෝජා?”

මේ කියන්නේ මුදල් ප්‍රතිව්‍යුහගතකරණය ගැන වන්නට ඇතැයි ලාවන්‍යා සිනාවකින් සිතුවා ය. ඉන්ද්‍රා ආන්ටි එහෙන් මෙහෙන් අහුලා ගන්නා කතාවකින් රට හැදීම ගැන ඉෂාර ඇයට අනන්ත වාරයක් බැන වදියි. නමුත් තේරුමක් ඇත්තේම නැත.

“දරුවෙක් ඉන්න තාත්තෙක්නෙ.”

ලාවන්‍යා ඇඳ මත ඉද්ද ගැසුවා සේ හිඳ ගත්තා ය. මේ කතා වෙන්නේ මොනවාදැයි ඇයට පුදුම ය.

“අපේ කෙල්ලත් දික්කසාද වෙච්ච කෙල්ලනෙ අනෝජා. අනේ අර මෝඩ ඉලන්දාරියට වඩා නම් තේජ පුතා දාහෙන් සම්පතයි. පොඩි පුතෙක් ඉන්න එකේ කෙල්ලක් හදා ගත්තම ජීවිතේ සම්පූර්ණයි.”

ඉන්ද්‍රා ආන්ටි කියන තරමට ජීවිතය පහසුනම් මොනවා කරන්නට බැරිදැයි ලාවන්‍යා සිතී ය. ඔවුන් තමන් සහ තේජ අතර සම්බන්ධයක් ගැන සැක කර පාටකි.

“අපේ සෝමෙට බැරියැ ඕක ගැන කතා කරන්න.”

නැත! ඉන්ද්‍රා ආන්ටි තේජට යොමු කරන්නට සැරසෙන්නේ විවාහ යෝජනාවකි. අනුත්තරාගේ ප්‍රේම යෝජනාව දැන් විවාහ යෝජනාවක් වී තිබේ. ඔහු ගැන සිතන්නට ගත් මුල් කාලයේ උදරය පුරා සමනළුන් පියෑඹූ හැඟීම තවදුරටත් නැති බව ලාවන්‍යා සිතුවා ය.ආදරය ද නොපවසන ප්‍රතික්ෂේප කිරීම ද සෘජුව නොකරන මිනිසෙකු නිසා ඇති වන්නේ සුළුපටු මානසික පීඩාවක් නොවන බව ඇය අනතුරුව සිතුවා ය. අනුත්තරාට පසු සෝමසිරි අංකල්  මේ ගැන කතා කරන්නට යාම හොඳ වැඩක් නොවේ. තේජට ඕනෑම දෙයක් සිතා ගන්නට හැකියාව තිබේ.

“අනේ ආන්ටි! මට මඟුල් කතා කරන්න එපා. මම භවන්ත එක්ක වින්ද දුක් මගෙ අම්මත් නෙවෙයි ඔයයි හරියටම දැක්කේ. එහෙව් එකේ මට හිත හදාගන්න කාලයක් ඕන. එතන මනුස්සයෙක් විතරක් නෙවෙයි දරුවෙකුත් ඉන්නවනෙ.”

ලාවන්‍යා අනාරාධිතවම කතාව මැදට පැන්නේ එහෙම කියන්නට ය. වෙනදානම් ආන්ටිගේ බොරු කතා මැදට පැන ඒවා “අල කිරීම” ඇගේ විනෝදාංශය ය. නමුත් අද තත්ත්වය වෙනස් ය.

ඉන්ද්‍රා ආන්ටි පිටව ගියේ අසන්තෝෂයෙනි. ලාවන්‍යාට යහපතක් කරන්නට උත්සාහ කළ මුත් එය ඈ නොපිළිගැනීම ගැන ඇය ශෝක වූවා ය.

“මොකෙක් හරි පටලවන් ඇති.”

ඒ කතාව සෝමසිරි සමඟ බෙදා ගත යුතු වේ. ඕවා ඉෂාරට කියන්නට යාම හොඳටම දොස් අහන්නට කාරණාවකි. නමුත් ලාවන්‍යාට කොල්ලෙකු ඉන්නවානම් ඒ ගැන ඉෂාර දන්නා වග ඉන්ද්‍රා අනිත් අතට සිතුවා ය. ගහට පොත්ත මෙන් ඇලුණු අක්කාත් මල්ලීත් එක කුසයක නූපන් නමුත් ඒ වාගේම හිඳින්නන් ය. භවන්ත ලාවන්‍යාට හොඳටෝම තඩි බෑ දිනක ඔහුට ගහන්නට දොර පොල්ලක් ගත් ඉෂාර ඉන්ද්‍රාට අමතක නොවන මතකයකි. 

“අපේ කොල්ලා ලාවන්‍යාට පණ ඇරලා නිසා එයා ලව්වා මේ යෝජනාව කරවන්න ඕන”

ඉන්ද්‍රා ඉන් අනතුරුව සිතුවා ය.

“ඔයා අරහෙම ඉන්ද්‍රාට කියපු එකනම් වැරදි.”

දරුවෙකු සිටින තේජ ලාවන්‍යාට සුදුසුදැයි සැකයක් තිබූ නමුත් අනෝජා පැවසුවේ අමනාපයෙනි.

නැන්දලා ගෙනාපු යෝජනාවට කිසිම උත්තරයක් දෙන්නෙ නැතුවට ඒ මිනිස්සුන්ටත් කේන්ති ගිහින්. මට හරියට දොස් කිව්වා. ඒ මිනිස්සු හොඳක් කරන්න හදනකොට ගණං ඉස්සුවාම කේන්ති යන එක සාධාරණයි.”

අම්මාගේ අමනාපය ලාවන්‍යාට මහත් කෝපයක් ඇති කරන්නට සමත් ය.ලොකු නැන්දා ගෙන ආ යෝජනාව හතළිස් වියැති මිනිසෙකුගෙනි. ආදරය කරන්නට වයස බාධාවක් නොවන මුත් විවාහ යෝජනා සොයමින් හිඳ බොහෝ කාලයක් විවාහ වන්නට නොහැකි වූ හිතවතෙකු තමන්ට ජෝඩු කරන නැන්දා ගැන ලාවන්‍යාට බරපතල මට්ටමේ කෝපයක් හටගෙන තිබිණ.

“අම්මේ,මං එක වතාවක් කිව්වනෙ අම්මට.ඒ යෝජනාව නෙවෙයි කොයි යෝජනාවටත් මම අකමැතියි.  මට කසාද තිත්ත වෙලා තියෙන්නේ.පාඩුවෙ ජීවත් වෙන්න මට බැරිකමක් නෑනෙ අම්මේ.එහෙම හිතනකොට ඇයි මේ කෙළවරක් නැතුව කසාද හොයන්නේ. දැන් ඉන්ද්‍රා ආන්ටිත් හවුල් වෙලා. පාඩුවේ හිටිය ලේන් එකෙනුත් මනමාලයෝ හොයනවා.”

ලාවන්‍යාගේ ඒ කෑගැසීම අනෝජාව දමනය කරන්නට සමත් නොවිණ.ඇය මුහුණේ නපුරුකම නොමකාම දියණිය දෙස බලා හුන්නා ය.

“අඩුම තරමේ මනුස්සයෙක්ව එකපාරක් මුණ ගැහෙන්නෙවත් නැතුව අකමැතියි කියන්නෙ කොහොමද ළමයො? ඔහොම ගණන් උස්සන්න කලින් පොඩ්ඩක් මුණ ගැහිලා බලනව. උදේ හවස දකින තේජව නම් ටිකක් ආස්සරේ කරන්න පුලුවන් නේද?”

අම්මාට පැහැදිලිව කියා දෙන්නට දෙයක් ඇති බව ලාවන්‍යා සිතුවා ය. ඒ සත්‍යය පහදා දෙන්නට කල් ගැනීම ගැන ඇයට පසුතැවීමක් ද ඇති විණ. ඇය සන්සුන් හඬකින් අම්මා අමතන්නට වූවා ය.

“අම්මේ,මම කසාද බඳින්නයි බෑ කියන්නේ.එකපාරක් වැරදුණු දේ ආයේ හරියයි කියලා මට විශ්වාසයක් නැති නිසා. කවුරුහරි හ්ඳ බව හිතුණට ආයේ ටික දවසකින් ඒ මනුස්සයගෙ රතු  එළි මට පේන නිසා. එහෙම අවිශ්වාසෙන් ආයේ කසාදෙකට යන්න මට ඕනෑත් නෑ. ඒ නිසා මට කරදර කරන්න එපා. අම්මා මෙහෙම තිස්සෙම කරදර කරනකොට මට ඒක මානසික වදයක්.”

ඒ වචන අනෝජාව නිවා දැමුවේ නැත.ඇය වඩා සැරෙන් ඇවිළුණා ය. ලසඳනීට හෝ ලිහිණිට කතා කර කේලම කියන්නට ඇයට ඕනෑ විය.

“මම කරදර කරන්නේ හරි මොකක් හරි කරන්නෙ ඔහොම ඉන්නව මට බලන් ඉන්න බැරි නිසා.අම්මෙක්ගෙ හිතේ තියන වේදනාව තේරුම් ගන්න බැරිද පුතේ? දරුවෙක් තනි වෙලා කියන එක අම්මෙක්ට මහා ලොකු වේදනාවක්. මං ඉන්නෙ ඒ වේදනාවෙන් ගොඩ එන්න පාරක් හොයන ගමන්. දරුවො මං කියන එක නාහා ඉන්නකොට මට මොන දුකක්ද ඒක .තාත්තා වගේ මාත් මැරිලා ගියානම් මොකුත් නෑ.”

හැඟීම්බර වී අම්මා පවසන සියල්ලම හිතට ගෙන තමන්ගේ ඇතුළාන්ත සාමය අහිමි කරගත යුතු නැතැයි ලාවන්‍යා සිතුවා ය. එනිසාම ඇය කාමරයට යන්නට සැරසුණේ කියන්නට ඇති අන්තිම කතාව ද අම්මාට පැහැදිලිව පැවසීමෙන් පසුව ය.

“අම්මේ,කසාදයක් නෑ කියලා මං තනි වෙලා නෑ.මට රස්සාවක් තියනවා.මට මං ගැන බලා ගන්නයි ඔයාව බලා ගන්නයි රස්සාව හොඳටම ඇති.අම්මා මං ගාව ඉන්නකොට හිත සැහැල්ලු නිසා ඊළඟ මනුස්සයා ගැන විශ්වාස කරන්න පුලුවන් කියලා ස්ථිරවම කියන්නෙ කොහොමද අම්මේ?”

ඒ ප්‍රශ්නයට දෙන්නට පිළිතුරක් නැතැයි සිතූ අනෝජා කරබා ගත්තා ය.විවාහය සම්බන්ධයෙන් ඇති විශ්වාසය ලාවන්‍යාගේ හදවතින් ගිලිහී අවසන් ය.දැන් ඇයට පිරිමින් ගැන හෝ විවාහය ගැන විශ්වාසයක් ඇති කිරීම පහසු නොවන බව අනෝජා සිතුවේ වේදනාවෙනි.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles